සුළි සුළඟක් ඇති වෙන්නේ මෙහෙමයි

අපට නොපෙනෙන, අතින් අල්ලා බැලීමට නොහැකි දෙයක් වුවද අප කවුරුත් විඳින්නට​ කැමති දෙයක් ලෙස සුළඟ​ හදුනා ගන්නට පුලවන්. සුළං රැල්ලකට අපගේ සිරුරේ තිබෙන විඩාව නිවා දැමීමට හැකි වෙනවා මෙන්ම සනීපයක් ගෙන දෙන්නටද පිළිවන්. එහෙත් මෙලෙස අපගේ ගත සිතිත නිවා සනසාලන සුළඟ​ විටෙක අපගේ ජිවිත උදුරා ගන්නට පවා කුරිරු වන අවස්ථාද පවතිනවා. එලෙස සුළඟ​ අපට විපත් ගෙන දෙන්නේ එය සුළි සුළඟක් බවට පත් වෙමිනුයි. ඉතින් මේ ලිපිය හරහා එලෙස සුළි සුළඟක් ඇති වෙන අකාරය පිලිබදව විස්තර ගෙන එනවා.

අප සුළි සුළඟක් වශයෙන් හදුන්වන්නේ වායු ගෝලයේ අඩු පීඩන ප්‍රදේශයක මධ්‍ය ලක්ෂය වටා කරකැවෙන සර්පිලාකාර සුළං රටාවක් වෙනවා. සුළි සුළඟක් සාමාන්‍ය ප්‍රමාණයෙන් මෙන්ම ඉතාමත් ප්‍රභලවද ඇති විය හැකි වෙනවා. මෙවැනි සුළි සුළං තත්වයක් ඇති වූ විට එහි කේන්ද්‍රය ආසන්නයේ සිට කිලෝමීටර සියයක් දක්වා පැතිර යා හැකි තද සුළං තත්වයක් පවතිනවා. එසේම කේන්ද්‍රය ආසන්නයේ පවතින සුළං තත්වය පැයට කිලෝමීටර 119ට වටා වැඩි වූ අවස්තාවන් වල සහ ඇතැම් අවස්තාවන් වල එහි උපරිම අගය පැයට කිලෝමීටර  170ට වඩා වැඩි අගයක් ගන්නා අවස්ථා වලදී එවැනි සුළි සුළඟක් දරුණු නිවර්තන සුළි සුළඟක් ලෙස හදුන්වනු ලැබෙනවා. නමුත් මෙම සුළි සුළං වලට භාවිතා කරන නාමය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනු දකින්නට පුළුවන් වෙනවා. එනම්, ඉන්දියන් සාගර කලාපයේ නිවර්තන සුළිසුලගක් ලෙස හැදින්වෙන මෙම පද්ධතීන් උතුරු පැසිපික් සාගර  කලාපයේදී ටයිෆූන් (typhoon) යනුවෙන්ද අත්ලාන්තික් සාගර කලාපයේ හරිකේන් (hurricane) යනුවෙන්ද හදුන්වනු ලබනවා. එහිදී මෙම නිවර්තන සුළි සුළඟක් යනු ඉතාමත් ප්‍රබල සහ ව්‍යසනකාරී කාලගුණික තත්වයක් ලෙස හදුනා ගන්නට පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් වසරකට සුළි සුළං 80-100 ක් පමණ ප්‍රමාණයක් නිවර්තන සාගර කලාප ආශ්‍රිතව ඇති වෙනවා.

සුළි සුළං ඇති වෙන ආකාරය දැක්වෙන පින්තුරයක් (climate.ncsu.edu)

මේ ආකාරයට සුළි සුළඟක් යන්න හදුනා ගන්නට හැකි වන අතර සුළි සුළඟක දැකගතහැකි ලක්ෂණ පිලිබදව සලකා බලන විට එහි සංසරණ ක්‍රියාවලිය වැදගත් වෙනවා. එනම් සුළි සුළඟක සංසරණ ක්‍රියාවලිය තිරස් දිශාවට කේන්ද්‍රයේ සිට කිලෝමීටර 1000 ක් දක්වා මෙන්ම සිරස් දිශාවට මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 15ක් දක්වාද විහිදී යයි. එසේම උතුරු අර්ධගෝලය ආශ්‍රිතව ඇති වන සුළි සුළඟක, සුළං ධාරාව​ වාමාවර්තව භ්‍රමණය වන අතර දකුණු අර්ධගෝලය තුලදී එම සුළං දක්ෂිනාවර්තව භ්‍රමණය වෙනවා. එසේම හොදින් වර්ධනය වූ සුළි සුළඟක කේන්ද්‍රය එහි ඇස ලෙස හදුන්වනු ලබන අතර එය සාමාන්‍යයෙන් සුළි සුළඟක කේන්ද්‍රයේ සිට අරය කිලෝමීටර 5-50 දක්වා වූ වර්ග ප්‍රමාණයක පැතිරෙයි. එය වැසි රහිත වලාකුළු වලින් තොර මඳ සුළං සහිත වෘත්තාකාර​ ප්‍රදේශයක් ලෙස හදුනා ගන්නට පුළුවන් වෙනවා. මෙය චන්ද්‍රිකා ඡායාරූප​ වලදී කලුපාටින් වෘත්තාකාර​ ලපයක් ලෙස දැකගැනීමට පුළුවන් වෙනවා. මෙවැනි සුළි සුළඟක ඇස වටා කිලෝමීටර 15-18  දක්වා උස්වූ සහ කිලෝමීටර 10-15ක් දක්වා පලල් වූ ඝන වෘත්තාකාර​ වළා පවුරක් පවතියි. එය ඉතා තද වැසි සහ ඉතා දැඩි සුලන් වලින් ගහන වෙනවා. එසේම සුළි සුළඟේ කේන්ද්‍රය තුලට සම්බන්ධ වූ සර්පිලාකාර වලා තීරු කිහිපයක් ඇසෙහි වලා පවුරෙන් පිටතට වන්නට දකින්නට ලැබෙනවා. මෙම ප්‍රදේශයේද තද වැසි සහ දැඩි සුළං දැකගැනීමට පුළුවන් වෙනවා.

public.wmo.int (සුළි සුළං තත්ත්වයක් උඩු ගුවනට පෙනෙන අයුරු)

පෘථිවියේ ඇතිවන සුළි සුළං අතරින් 5%ක්ම ඇති වන්නේ බෙංගාල​ බොක්ක ආශ්‍රිතව වෙනවා. එසේම අපේ පෘතුවිය තුල සුළි කුනාටු ඇති නොවන ප්‍රදේශයක්ද දැකගැනීමට ලැබෙන අතර එම ප්‍රදේශය නම් දකුණු අත්ලාන්තික් සාගරය හා ගිණිකොනදිග​ ශාන්තිකර සාගර ප්‍රදේශය වෙනවා. මෙලෙස සුළි සුළඟක් ඇතිවීම සදහා බලපාන සාධක පිලිබදව සලකා බලන විට එය සාධක කිහිපයක් ඔස්සේ හදුනා ගැනීමට පුළුවන් වෙනවා. එනම් එක් සාධකයක් ලෙස මුහුදේ මතුපිට සහ මුහුදේ මතුපිට සිට මීටර 60ක ගැඹුර​ දක්වා උෂ්ණත්වය සෙල්සියස් අංශක 26 ට වඩා වැඩි වීම හදුනා ගන්නට හැකි වෙන අතර එම පද්ධතිය වර්ධනය වන ස්ථානය රේඛාවට අංශක 03ක් උතුරින් හෝ අංශක 03ක් දකුණින් හෝ වීමද පොළොව මතුපිට සිට කිලෝමීටර 7-8 දක්වා වායුගෝලයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය 60%ට වඩා වැඩි වීම ආදී වශයෙන් සුළි සුළඟක් සදහා බලපානු ලබන සාධක හදුනා ගැනීමට පුළුවන් වෙනවා.

එලෙස හදුනාගතහැකි සාධක වලට අනුව සුළි සුළඟක් ඇති වන ආකාරය මෙලෙස හදුනා ගැනීමට පුළුවන් වෙනවා. එනම් මුහුදේ ජලය රත් වූ විට එහි ඉහල අහසේ අඩු පීඩන තත්වයක් ඇති වෙන අතර ඝනිභවනය වූ ජලය අංශු ලෙස ඉහලට ගමන් කර ඝනීභවනය වෙයි. එම ඝනීභවනය වූ ජලයෙන් වලාකුළු සෑදෙන අතර එම රත් වූ ජල අංශු වලාකුළු බවට පත් වන විට එහි තාපය පිටකර වලාකුළු සිසිල් වීම සිදු වෙයි. එම තාපය ශක්තියක් ලෙස එම වලාකුළු අවට සැරිසරන අතර මෙම ක්‍රියාවලිය අඩි 20000 ක් පමණ ඉහල අහසේ සිදුවන අතර එහි ඇති සුලන් ප්‍රමාණයද අඩුය. වාතය රත්වන විට ප්‍රසාරණය වීම සිදු වන අතර එවිට වාතයේ ඇති අංශු ප්‍රමාණයද අඩු වෙයි. මෙලෙස මධ්‍යයේ පීඩනය අඩු වන විට පිටතින් සුළං එම ප්‍රදේශයට ඇතුළු වීමට උත්සාහ දරන අතර එනිසා සුළි සුළං තත්වයක් ඇති වෙනවා. මෙම ක්‍රියාවලිය සදහා පෘථිවියේ භ්‍රමණය ද බලපාන නිසාවෙන් මෙම සංසිද්ධිය උතුරු අර්ධගෝලයේ සිදු වෙයිනම් මෙම සුළං ඇතුළු වීම වාමාවර්තව සිදු වෙන අතර දක්ෂිනාර්ධගොලයේ සිදු වෙයිනම් දක්ෂිණාවර්තව භ්‍රමණය වීම සිදු වෙයි. මෙසේ භ්‍රමණය වීමට හේතු වන්නේ උණුසුම් හා සිසිල් වාතය එකට හමු වීමයි.

සුළිසුළගක් නිසා ඇති වෙන හානි දැක්වෙන පින්තුරයක් – AP

මෙලෙස හදුනාගත හැකි සුළි සුළං තත්වයක් අපගේ දේපල මෙන්ම ජිවිත වලට හානි කැදවීමට සමත් ස්වභාවික ආපදාවක් ලෙස හදුනා ගන්නට හැකි වෙනවා. එනිසා එයින් සිදු විය හැකි හානිය අවම කරගන්නටනම් අපගේ දැනුවත් වීම හා සැලකිලිමත් බව ඉතාමත් වැදගත්. එනම් සුළි සුළඟක් ඒමට පෙර සිටම එයට සුදානමින් සිටීම ආරක්ෂාකාරී වෙනවා. එනම් නිවාස වල බීත්ති ආදියෙහි ආරක්ෂාකාරී බව පිලිබදව සැලකිලිමත් වීමද, නිවාස අවට ඇති අනාරක්ෂිත ගස් අතු ආදිය කපා දැමීම, ආදිය හදුනා ගැනීමට හැකි වෙන අතර සුළි සුළඟක් පිලිබදව අනතුරු ඇගවීමක් නිකුත් කල පසුවද සුළි සුළඟක් ඇති අවස්තාවකද අප ඉතාමත් සැලකිලිමත්ව කටයුතු කිරීම වැදගත් වෙනවා. එනම් විදුලි උපකරණ විසන්ඳි කර තිබීමද, එම කාලය තුල නිවාස තුලටම වී සිටීමද, සුළි සුළං බලපෑම සම්පුර්ණයෙන් අවසාන යයි දැනුම්දෙන තුරු ආරක්ෂාකාරී ස්ථානවල රැදී සිටීමද ආදී වශයෙනී. එසේම පරිසරයේ ස්වභාවික වෙනස්කම් පිළිබඳව​ අවධානයෙන් සිටීම මගින්ද අනතුරු කල් ඇතිව දැනගෙන ඉන් ආරක්ෂා වීමේ හැකියාව ලැබෙනවා.

කවරයේ පින්තුරය: science.sjp.ac.lk

මුලාශ්‍ර:

Related Articles

Exit mobile version