අභ්‍යවකාශය දක්වා උසට ගොඩනැගිලි හදන්න පුළුවන් ද?

ලෝකයේ දැනට උස ම ගොඩනැගිල්ල ලෙස වාර්තා තබා තිබෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ බර්ජ් කලීෆා ගොඩනැගිල්ල යි. මීටර් 829.8ක් (අඩි 2,722) උස එය 2008 සිට මේ වන තුරු “ලෝකයේ උස ම ගොඩනැගිල්ල” යන නාමය හිමිකරගෙන සිටිනවා.

මේ වන විට ගොඩනගමින් යන අරාබියේ ජෙඩා කුලුන ඉදි වූ පසු ව ඩුබාහි හි බර්ජ් කලීෆා ගොඩනැගිල්ලට ලොව උස ම ගොඩනැගිලිවලින් දෙවන ස්ථානයට පත් වීමට සිදුවෙනවා. ජෙඩා කුලුන සැලසුම් කර ඇති උස කිලෝමීටර එකක්. ඒ සමග ම ලොව උස ම කිරුළ මෙම ගොඩනැගිල්ලට හිමි වෙන අතර, එය ලබන වසර අවසන් වන විට සාදා නිම කිරීමට නියමිත යි. මෙසේ අහස උසට ගොඩනැගිලි ඉදිකිරීමේ තරගය මින් නිම වේවි ද? තවත් මීට වඩා උස ගොඩනැගිලි නිර්මාණය වේවි ද? අභ්‍යවකාශය දක්වා උසට විහිදී යන “අභ්‍යවකාශ සෝපානයක්” අනාගතයේ නිර්මාණය වේවි ද?

මේ සඳහා ඉදිකිරීමේ අමුද්‍රව්‍ය හා යන්ත්‍ර සූත්‍රවල පවතින ගැටලු, කොතරම් ඉහළක බාධාවකින් තොර ව සුවපහසුවෙන් මිනිසුන්ට රැඳී සිටිය හැකි ද, හා විදුලි සෝපානවල භාවිතා වන තාක්ෂණය කොතරම් දුරකට සීමා වේ ද? යන කරුණු මේ ඔස්සේ සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

අහස සිඹින ගොඩනැගිලිවල ඉතිහාසය

බර්ජ් කලීෆා (Klook)

Skyscrapers හෙවත් “අහස සිඹින ගොඩනැගිලි” ලෙස හඳුන්වන්නේ වාණිජ කටයුතු සඳහා ඉදිකරන සාමාන්‍ය උස ප්‍රමාණය ඉක්මවා ගිය ගොඩනැගිලි යි. 1885 දී චිකාගෝ හි ඉදිකරන ලද මීටර් 42ක් උස Home Insurance නම් ගොඩනැගිල්ල ලෝකයේ පැරණි අහස සිඹින ගොඩනැගිල්ලක් ලෙස නම් කරන්න පුළුවන්.

ගොඩනැගිල්ල ඇතුළතත් පිටතත් යකඩ හා කොන්ක්‍රීට් භාවිතයෙන් ඉදි වූ පළමු අහස සිඹින ගොඩනැගිල්ල වූයේ එය යි. ඉදිකිරීමේ දී බලපාන ලබන පරිසර සාධක බොහෝමයක් පිළිබඳ ව අධ්‍යයනය කිරීමෙන් පසු ව යි මෙය නිර්මාණය වෙන්නේ.

මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමෙන් පසු ව ඉතා උසට ගොඩනැගිලි ඉදිකිරිම වඩාත් ලාභදායි ක්‍රමයක් බව ලෝකය පුරා පැතිරී යනවා. ඒ හේතුවෙන් දිනෙන් දින අහස උසට නැගෙන ගොඩනැගිලි ඉදිවීම ඉක්මන් වෙනවා. නමුත් මේ සමග තවත් ප්‍රශ්නයකට මුහුණදීමට සිදුවෙනවා. ඒ තමයි බොහෝ උස, බොහෝ ප්‍රශ්නවලට හේතු වෙන බව.

ඉන්පසු ව, One World Trade Center ගොඩනැගිල්ල මීටර් 541ක් උසට ඇමෙරිකාවේ දී ඉදිවෙන අතර මෙහි මූලික ප්‍රශ්නය වන්නේ කොන්ක්‍රීට් ඉහළට රැගෙන යාම යි. ඒ, බිම සිට ගොඩනැගිල්ල ඉහළට කොන්ක්‍රීට් රැගෙන යාමේ දී ඉහළට යන කොන්ක්‍රීට් භාවිතයට පෙර කැටි ගැසීම යි.

බර්ජ් කලීෆා ගොඩනැගිල්ලේ ඉතා වේගවත් නළ මාර්ගයක් ඔස්සේ කොන්ක්‍රීට් ඉහළට පොම්ප කළ අතර, මේ සඳහා රාත්‍රී කාලය භාවිතා කර තිබුණේ කොන්ක්‍රීට් ඝන වීමේ සීඝ්‍රතාවය අවම කිරීමට යි.

බර්ජ් කලීෆා ව්‍යුහ ඉංජිනේරු බිල් බේකර්

ජෙඩා කුලුන ඉදිවෙමින් (The National)

බිල් බේකර් කියන්නේ ඩුබායි හි බර්ජ් කලීෆා ගොඩනැගිල්ලේ ව්‍යුහ ඉංජිනේරුවරයා යි. ඔහු පවසන ආකාරයට නිවැරදි ව්‍යුහාත්මක සැලැස්මක් මඟින් ගොඩනැගිල්ලක් සැතපුමක් උසට ඉදිකළ හැකි බව යි. ඩුබාහි හි ඉදිකරමින් යන ජෙඩා කුලුන සැතපුමක් (කිලෝමීටර් 1.6) උසට නිර්මාණය කිරීමට සැලසුම් කර තිබුණා.

නමුත් පාදම පිහිටි පොළවේ ස්වභාවය හා පස් සාම්පල පරික්ෂා කිරීමෙන් පසු ව එවැනි ගොඩනැගිල්ලක් දරා ගැනීමට නොහැකි බව පරීක්ෂණවලින් පෙනී ගිය බැවින් කි.මි 1කට කුලුනේ උස සීමා කිරීමට ගෘහ නිර්මාණ ශිල්පින් හා ඉංජිනේරුවන් විසින් කටයුතු කරනවා.

උස වැඩි නම් ප්‍රශ්න වැඩියි  

Burj Khalifa vs X-Seed 4000 (Wikipedia)

උස ගොඩනැගිලිවල ප්‍රධානතම ගැටලු වන්නේ ඉදිකිරීමේ අමුද්‍රව්‍ය බිම් මට්ටමේ සිට ඉහළ රැගෙන යාම හා ගබඩා කර තබා ගැනීම යි. එයට එක උදාහරණය ලෙස 1995 දී Taisei Corporation නම් ඉදිකිරීම් සමාගම විසින් ජපානයේ ඉදිකිරීමට සැලසුම් කරන ලද X-Seed 4000 නම් ගොඩනැගිල්ල හඳුන්වා දිය හැකියි. මහල් 800කින් යුක්ත කිලෝමීටර් 4ක උසින් යුක්ත මේ ගොඩනැගිල්ල ඉදිකිරිම පිළිබඳ ව ඉහත සඳහන් ගැටලු රැසක් පැන නැඟුණු බැවින්, එය ඉදි නොකිරීමට අදාළ සමාගම විසින් කටයුතු කරනවා.

මේ සියලු ගැටලු නිරාකරණය කරගනිමින් ඉදිකළත්, එහි මිනිසුන්ට සුවපහසුව ජීවත් වීමට නොහැකි වෙනවා. ඇතිවන වායුගෝල පීඩනය වෙනස් වීම, ඔක්සිජන් ප්‍රමාණය වෙනස් වීම වැනි නොයෙකුත් ප්‍රශ්නවලට පිළිතුරු සෙවිය යුතු වීම අධික ලෙස මුදල් වැය වන කටයුත්තක්.

අභ්‍යවකාශය දක්වා ගමන් කළ හැකි විදුලි සෝපානයක්

අභ්‍යවකාශ සෝපානය (Cosmos Magazine)

මේ ආකාරයට පෘථිවි වායුගෝලය අවසන් වන තුරු ශක්තිමත් හා සැහැල්ලු තන්තු යොදාගනිමින් විදුලි සෝපානයක් ඉදිකිරීම හා ඒ අවසානයේ පෘථිවියේ ආවර්ත කාලයට ම සමාන ආවර්ත කාලයක් ඇති අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් (කි.මී 41,842ක දුරින්) හා විදුලි සෝපානයේ කෙළවර සම්බන්ධ හැකි යි. ඒ අභ්‍යවකාශ විදුලි සෝපානය පිළිබඳ ව ඇති න්‍යායාත්මක විග්‍රහ කිරීම යි.

මේ ඔස්සේ ඉහළට රැගෙන ගොස් අභ්‍යවකාශයට මුදා හැරෙන ඕනෑම යානාවක් හෝ චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීම සඳහා වැය වන ශක්තිය බිංදුවක් ලෙස දැක්විය හැකියි. යානාවක් හෝ චන්දිකාවක් අභ්‍යවකාශගත කිරීම වර්තමානයේ රොකට්ටුවක් ආධාරයෙන් කරන බැවින් එය ඉතා මිල අධික ක්‍රියාවලියක් ලෙස දැක්විය හැකි යි.

අභ්‍යවකාශ සෝපානයක් මඟින් යානා හෝ චන්ද්‍රිකා අභ්‍යවකාශ ගත කිරීමේ දී වැය වන මුදල කිලෝග්‍රෑමයට ඇමෙරිකානු ඩොලර් 1000ක් ලෙස දක්වා තිබෙන අතර, වර්තමානයේ භාවිතා කරන රොකට් ක්‍රමයෙන් මේ සඳහා කිලෝග්‍රෑමයක් සඳහා ඇමෙරිකානු ඩොලර් 22,000ක් වැය වෙනවා.

මේ වන විට ජපානයේ අභ්‍යවකාශ පරීක්ෂණ හා සම්බන්ධ ආයතනයක් වන Obayashi Corporation විසින් අභ්‍යවකාශ සෝපානයක් නිර්මාණය කිරීමේ කටයුත්තට අතගසා තිබෙනවා. 2050 වසර වන විට එය ආරම්භ කිරීමට ඔවුන් විසින් තීරණය කර තිබෙනවා. නමුත් මෙය සාර්ථක වීමට පවතින ඉඩකඩ ඉතා සීමිත බව යි විද්‍යාඥයන් විසින් පෙන්වා දෙන්නේ.

 

Related Articles

Exit mobile version