ලෝකයේ විවිධ රටවල මහා පරිමාණයෙන් මිනිසුන් සංහාරයට ලක් කරපු අවස්ථා ගණනාවක් ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා. මිලියන ගණන් මිනිසුන් මරු තුරුළට යවමින් රුසියාව තුළ සහ නාට්සි ජර්මනිය තුළ සිදු වූ යුදෙව් සංහාර ඒ අතරින් ප්‍රධාන යි. ඒ තරමට ම අවධානයක් නොලැබුණත් මිනිසුන් විසින් සතුන් ව සංහාරයට ලක් කරපු අවස්ථාත් බොහොම යි. ඇමරිකාවේ බයිසන් ගව සංහාරය මෙයට හොඳම උදාහරණයක්.
කොහොම නමුත් වටිනා සත්ත්ව කොට්ඨාසයක් රැකගැනීම වෙනුවෙන් අවශේෂ සතුන් ව සංහාරයට ලක් කරන්නත් සමහර අවස්ථාවල සිදු වී තිබෙනවා. එයට හොඳම උදාහරණය වුණේ ගලපගෝස් දිවයින්වලට මිනිසුන් ගෙන ආ සතුන් නිසා එහි ආවේණික සතුන් වඳ වී යන්න පටන් ගැනීමත් එක්ක, එයට එරෙහිව දියත් කරපු “ඉසබෙලා” ව්‍යාපෘතිය යි. එළුවන්, බූරුවන්, සහ ඌරන් වැනි සතුන් 250,000කට වඩා අමු අමුවේ මරා දමන්න සිදු වුණත් මෙයින් ගලපගෝස්හි යෝධ ඉබි ගහනය ආරක්ෂා කරගන්න හැකියාව ලැබුණා.
ගලපගෝස් දිවයින් සහ එයට ම ආවේණික යෝධ ඉබ්බන්
මහා විද්‍යාඥ චාල්ස් ඩාවින්ට පරිණාමවාදය ගැන අදහසක් ලබා දෙන්න සමත් වුණු ගලපගෝස් දූපත් කියන්නේ ලෝකයේ විශාලතම සාගරය වන පැසිෆික් සයුරේ තනි වුණු පුංචි දූපත් සමූහයක්. මේ දූපත් පිහිටා තිබෙන්නේ ආසන්නතම දකුණු ඇමරිකානු භූමිය වන ඉක්වදෝරයට කි. මී. 1000ක් පමණ ඈතින් මුහුද මැද. ගිනිකඳු ක්‍රියාකාරීත්වයෙන් බිහිවුණු ගලපගෝස් දිවයින්වලට සතුන් පැමිණ තිබෙන්නේ දකුණු ඇමරිකාවේ සිට පාවෙන ශාක කඳන් යොදාගෙන යි. නමුත් ආහාර බොහෝ සෙයින් අවශ්‍ය ක්ෂීරපායී සතුන්ට ඒ දුර පැමිණීමට නොහැකි නිසා මෙහි ක්ෂීරපායීන් දකින්න නැහැ.
උරගයන් සහ කුරුල්ලන් තමයි මේ දූපත්වල සම්පූර්ණයෙන් ම වගේ පැතිරිලා තියෙන්නේ. මේ දූපත්වලට ම ආවේණික යෝධ ඉබි විශේෂ එයින් ප්‍රධාන යි. ගලපගෝස් කියන නම ලැබිලා තියෙන්නෙත් ස්පාඤ්ඤ භාෂාවෙන් ඉබ්බාට කියන “galapago” කියන වචනයෙන්.
කොහොම නමුත් කාලයත් එක්ක දේශාටනයේ යෙදුණු පිරිස් මේ දිවයින්වලට එළුවන්, ඌරන්, සහ බූරුවන් ගෙන ආවා. ඔවුන් ඉතා ම වේගයෙන් ආහාර ගනිමින් බෝවෙන්න ගැනීමත් එක්ක දූපත්වලට ආවේණික ඉබ්බන් ඇතුළු සත්ත්ව විශේෂ විශාල ගැටලුවකට මුහුණ පෑවා. විශේෂයෙන් ම මෙසේ බෝ වුණු එළුවන් අධික ලෙස බෝවීම යෝධ ඉබ්බන්ගේ පැවැත්මට සුවිශාල තර්ජනයක් වුණා.
ඉසබෙලා ව්‍යාපෘතිය
1990 ගණන්වල දී මේ දූපත්වල එළුවන් ප්‍රමාණය 200,000කට වැඩි බවත්, යෝධ ඉබ්බන් ප්‍රමාණය 10,000කටත් අඩු බවත් හඳුනාගැනීමෙන් පසු ඉක්මනින් ම මෙයට යමක් කළ යුතු බව පරිසරවේදීන් තේරුම් ගත්තා. 1995 දී පැවැත්වුණු “ඉබ්බන් පිළිබඳ සමුළුව” තුළ දී මේ ගැටලුව දැඩි ව කතාබහට ලක් වුණා. සියලු දෙනා ම එහි දී එකඟ වුණේ පුළුල් මෙහෙයුමක් හරහා එළුවන් සියල්ල ම ඉවත් කළ යුතු බව යි. ගලපගෝස් දූපත්වල සියලුම එළුවන් මරා දැමීමට “ඉසබෙලා” ව්‍යාපෘතිය 1997 දී ආරම්භ වුණේ ඒ අනුව යි. මෙයට නම යොදනු ලැබුවේ එළුවන්ගෙන් වැඩි ම හානියකට ලක් වුණේ ගලපගෝස්හි ඉසබෙලා දූපත් දෙක වීම හේතුවෙන්.
ගලපගෝස්හි සන්තියාගෝ දිවයිනේ ඌරන් මරා දැමීමේ මෙහෙයුමක් ඒ වන විටත් දියත් වෙමින් තිබුණා. එයින් ලබපු දැනුමත් යොදාගෙන ගලපගෝස්හි පින්ටා දිවයිනෙන් එළුවන් තුරන් කිරීමේ මෙහෙයුම මුලින්ම ආරම්භ වුණා. ප්‍රමාණයෙන් කුඩා පින්ටා දිවයිනේ දී එළුවන් ඉවත් කරන විවිධ ක්‍රම අත්හදා බලා වඩාත් හොඳ ක්‍රම තෝරා ගැනුණා. ඒ අතරතුර දී බූරුවන් සහ ඌරන් ඉවත් කිරීමේ මෙහෙයුම් කුඩා පරිමාණයෙන් සිදු වුණා.
පින්ටා දිවයිනේ මෙහෙයුමේ අත්දැකීම් සමග එළුවන් තුරන් කිරීමේ මහා පරිමාණ මෙහෙයුම් සන්තියාගෝ දිවයිනේත්, ඉසබෙලා උතුරු සහ ඉසබෙලා දකුණු දිවයින්වලත් ආරම්භ වුණා. මෙහි දී සිදුකෙරුණේ මැෂින් තුවක්කුකරුවන් කිහිපදෙනා බැගින් සිටින හෙලිකොප්ටර් යොදාගෙන අහසේ සිට එළුවන් වෙඩි තබා මරා දැමීම යි. මහා සංහාරයක් සිදුකිරීමෙන් පසු ව එළු ගහනය වේගයෙන් අඩු වන බව පෙනෙන්න තිබුණා. ඌරන් සහ බූරුවන්වත් මීට සමාන ලෙස ම වෙඩි තබා මරා දැමුණා.
“ජුදාස්” එළුවන් යොදාගැනීම
එළු ගහනය අඩු වී යාමත්, එළුවන් හෙලිකොප්ටර් ශබ්දය ඇසුණු විට සැඟවීමත් නිසා තවත් ඔවුන් සොයාගැනීම අපහසු වෙන්න ගත්තා. ඉන්පසු ව එළුවන් සොයාගැනීමට යොදාගත් ක්‍රමය වුණේ තෝරාගත් එළුවෙක් ම යොදාගෙන එළුවන් සිටින තැන් සොයාගැනීම යි.
මේ සඳහා යොදාගත්තේ ගැහැණු සතෙක්. මේ සතාට GPS උපාංගයක් සවි කර කැලෑවට මුදාහැරියා ම උන් එළුවන් රැස් වී සිටින තැන් කරා යාමත්, ගැහැණු සතා සොයාගෙන පිරිමි එළුවන් පැමිණීමත් නිසා එළුවන් සිටින තැන් සොයාගන්න වඩා පහසු වුණා. ඒ විදිහටත් එළුවන් ඉන්නා තැන් සොයාගෙන මරා දමන්න තුවක්කුකරුවන් යොදවනු ලැබුවා. මේ වැඩේට යොදාගැනුණු ගැහැණු එළුවන් “ජුදාස්” එළුවන් කියලයි හැඳින්වුණේ (ඔවුන් කිතුණු ආගමේ එන ජුදාස් මෙන්ම තම පිරිසට විනාශය ගෙන එන නිසා). ඒ කිසිම අවස්ථාවක ජුදාස් එළුවන් මරා දැමුණේ නැහැ.
වසර කිහිපයක් තිස්සේ මේ විදිහට ජුදාස් එළුවන් 900ක් පමණ යොදාගැනුණා. මරා දමන ලද එළුවන් ප්‍රමාණය 250,000ක් පමණ බව කියවෙනවා.
ඉසබෙලාහි සාර්ථකත්වය
අරමුණ අතින් බැලුවා ම නම් ඉසබෙලා ව්‍යාපෘතිය ඉතා ම සාර්ථක වුණා. පින්ටා දිවයින 2003 වන විට එළුවන්ගෙනුත්, 2004 වන විට බූරුවන්ගෙනුත් තොර වුණා. 2004 අවසාන වන විට සන්තියෝගේ දිවයින ඌරන්ගෙන් තොර වුණා. 2005 වන විට සන්තියාගෝ දිවයිනත්, උතුරු ඉසබෙලා දිවයිනත් එළුවන්ගෙන් තොර වුණා. 2006 දී සන්තියාගෝ දිවයින ඌරන්, බූරුවන්, සහ එළුවන් ඇතුළු මිනිසා විසින් ගෙන එන ලද සියලුම විශාල සත්ත්ව වර්ගවලින් තොර බව ප්‍රකාශයට පත් වුණා.
උතුරු ඉසබෙලා දූපතේ ජුදාස් එළුවන් 20කුත්, දකුණු ඉසබෙලා දිවයිනේ ජුදාස් එළුවන් 266කුත් නිරීක්ෂණ කටයුතු සඳහා ඉතිරි කර ඉතිරි ජුදාස් එළුවන්වත් මරා දැමුණා. මරා දැමූ සියලු සතුන්ට ඒ තැන්වල ම වැටී ඉන්නට ඉඩ හරින ලද්දේ ඔවුන් දූපත්වලින් ලබා ගත් පෝෂක නැවත පසට එකතු වීම සඳහා යි.
මිනිසුන් ගෙන ආ එළුවන් ඇතුළු සත්ත්ව විශේෂ වඳ වී යාමත් එක්ක ම ගලපගෝස් දූපත්වල කැපී පෙනෙන වෙනසක් දකින්න ලැබුණා. එළුවන් නිසා විනාශ වී ගිය කැලෑ යළි වර්ධනය වෙන්නත්, වේගයෙන් පහත වැටුණු යෝධ ඉබි ගහනය ඇතුළු සත්ත්ව ගහනයන් වේගයෙන් ඉහළ යන්නත් පටන් ගත්තා. අද වන විට මේ දූපත් පෙර තිබූ තත්ත්වයට ම වගේ ප්‍රකෘතිමත් වී තිබෙන බව යි කියවෙන්නේ.
යෝධ ඉබ්බන් වගේ වටිනා, දුර්ලභ සත්ත්ව කොට්ඨාසයක පැවැත්ම වෙනුවෙන් මිනිසා ගෙන ආ සත්ත්ව වර්ග මහා පරිමාණයෙන් මරා දැමීම ගැන එක අතකින් සාධාරණයැ යි සිතුණත් අහිංසක සතුන් මේ විදිහට සංහාරයකට ලක් කිරීම උචිත ද කියන එක නම් විශාල ගැටලුවක්.
කවරයේ රූපය : wikipedia.org
මූලාශ්‍රයයන්:
galapagos.org/conservation/our-work/ecosystem-restoration/project-isabela/
allthatsinteresting.com/project-isabela
hear.org/galapagos/invasives/topics/management/vertebrates/projects/pi.htm