විවීමක් නොකර රෙදි නිපදවීමේ ( nonwoven) තාක්ෂණය

අප එදිනෙදා බොහෝ ඇඳුම් ඇන්දත් ඇත්තටම මොහොතක් ඒ ඇඟලුම් නිෂ්පාදනයේ දී යොදා ගන්නා රෙදි නිපදවන්නේ කොහොම ද කියල හිතල බැලුවද? අපි පහසුවෙන් වෙළඳපලින් ඇගලුම් මිලදී ගත්තත් ඒවා නිපදවීමේ දී යොදා ගන්න විවිධ තාක්ෂණයන් ගැන හිතන්නේ නැහැ. රෙදි නිෂ්පාදනයේ දී යොදා ගන්නා මූලික ක්‍රම තුනක් ලෝකයේ අද යොදා ගන්නවා. එනම් විවීමේ ක්‍රමය (woven), ගෙතීමේ ක්‍රමය (knitting) හා මේ ලිපිය හරහා ඔබට විස්තර කරන විවීමක් නොකර රෙදි නිපදවීම (nonwoven) යන ක්‍රම තුනයි.   මේ ක්‍රමය ගැනයි මේ තොරතුරු

විවීමේ ක්‍රමය,ගෙතීමේ ක්‍රමය හා විවීමක් නොකර රෙදි නිපදවීමේ ක්‍රමය  දැක්වෙන ජායාරූපයක්     (www.mhm.co.th)

විවීමේ ක්‍රමය හා ගෙතීමේ ක්‍රමය අද ලංකාවේ බොහෝ ආයතනවල සිදු කෙරුණත් විවීමක් නොකර රෙදි නිපදවීමක් මහාපරිමාණව ලංකාවේ තවමත් සිදු කරන්නේ නැහැ. 1940ත් 1960ත් අතර ලෝකයට හඳුන්වා දුන් මේ තාක්ෂණය ලංකාවට නම් තවමත් අලුත් තාක්ෂණයක් වෙනවා. ඒ නිසාම එම තාක්ෂණය ගැන ඔබව දැනුවත් කරන්න අප සිතුවා.

මොකක්ද මේ විවීමක් නොකර රෙදි නිපදවීම කියන්නේ?

විවීමක් නොකර රෙදි නිපදවීමේ තාක්ෂණය කියන්නේ කෙඳි එකතුවක් එකිනෙක බැඳීම් සිදු කර රෙදි නිපදවීම යි. මේ සඳහා යාන්ත්‍රික, උෂ්ණත්ව හෝ රසායනික යන ක්‍රමයන් යොදා ගන්නවා. ඒ වගේම කෙඳි තැම්පත් කිරීමේ දී තට්ටු වශයෙන් කෙඳි තැම්පත් කරන අතර ඒවා එකම දිශාවකට හෝ එක් රටාවකට ඇතිරීම සිදු කරනවා. (උදාහරණයකට කඩදාසි නිපදවීමත් ආසන්න වශයෙන් මේ විදිහටමයි සිදු කරන්නේ)

විවීමක් නොකර රෙදි නිපදවීමේ දී යොදා ගන්නා තාක්ෂණය

මේ ක්‍රමයේදී යොදා ගන්නා තාක්ෂණය කොටස් හතරකින් දක්වන්න පුළුවන්. එනම් ස්පන් බොන්ඩ් (Spunbound/Spunlace), එයාර් ලේයිඩ් (Airlaid), ඩ්‍රයි ලේයිඩ් (Drylaid), වෙට් ලෙයිඩ් (Wetlaid) යන ක්‍රමයන් එම ආකාර හතරයි.

ස්පන් බොන්ඩ් (Spunbound/Spunlace)

මේ ක්‍රමයේදී යොදා ගන්නේ පොලිමර් කාණ්ඩයට අයත් අමුද්‍රව්‍යයි. පළමුවෙන්ම පොලිමර් කැබලි උණු කරන අතර පසුව කෙලින්ම කුඩා කෙඳි ලෙස අවශ්‍ය පළලට අහඹු ලෙස ඒකාකාරී ඝනකමෙන් අතුරා ගනු ලබනවා. මෙසේ උණුසුම් වූ කෙඳි ඇතිරීම නිසා කෙඳි එකිනෙක අතර බැඳීමක් ඇති වීමෙන් මේ ක්‍රමයෙන් රෙදි නිපදවීම සිදු කරනු ලබනවා. පොලිඑස්ටර්, පොලිඑතිලීන්, පොලියුරතීන්, නයිලෝන් වැනි අමුද්‍රව්‍ය යොදාගෙන රෙදි නිෂ්පාදනයට මේ ක්‍රමය සුදුසු වනවා. (මෙහිදී යොදා ගන්නා කෙඳි උෂ්ණත්වයට උණුවීම අවශ්‍ය වීම එයට හේතුවයි)

ඒ වගේම නව සොයා ගැනීමක් වන ස්ප්‍රේ කිරීම මගින් ඇඳුම් නිපදවීමේ තාක්ෂණයත් මේ කාණ්ඩයටම අයත් වූවක්. එහිදී දියරමය අමුද්‍රව්‍ය මිනිස් ශරීරයට විඳීම මගින් සම මතුපිට කෙඳි ඇතිරීම කරනවා.

ස්පන් බොන්ඩ් තාක්ෂණය මගින් රෙදි නිපදවන අවස්තාවක් දැක්වෙන ජායාරූපයක් (docplayer.cz)

එයාර් ලේයිඩ් (Airlaid)

මේ ක්‍රමයේදී රෙදි සෑදීමට ගන්නා කෙඳි ඇතිරීමට වායු සැපයුමක් යොදා ගැනීම විශේෂිත වනවා. වායුව, ඇතිරූ කෙඳි තට්ටු අතරින් යැවීමෙන් එකිනෙක අතර බැඳීම ඇති කිරීම මෙහිදී සිදු වෙනවා.

එයාර් ලේයිඩ් තාක්ෂණය මගින් රෙදි නිපදවන අවස්ථාවක් දැක්වෙන ජායාරූපයක් (docplayer.cz)

ඩ්‍රයි ලේයිඩ් (Drylaid)

මෙහිදී කෘතීම වගේම ස්වභාවික කෙඳි වර්ග යොදා ගන්නත් පුළුවන්. එලෙසම මේ ක්‍රමය කොටස් තුනකට බෙදන්න පුළුවන්. එනම්,

යාන්ත්‍රිකව බැඳීමක් ඇති කිරීම

යාන්ත්‍රිකව කෙඳි අතර බැදීමක් ඇති කිරීමේ දී ක්‍රම දෙකක් යොදා ගන්නවා. ජල සැපයුමක් යොදා ගැනීම, ඉඳිකටු යොදා ගැනීම ඒ ක්‍රම දෙකයි. කෙඳි එකිනෙක බැදීම සදහා ජල පහරක් යොදා ගැනීමත්, එසේ නැතිනම් ඉඳිකටු මගින් කෙඳි එකිනෙක බැදීමක් ඇති කිරීමත් ඉහත ක්‍රම දෙක මගින් සිදු කරනවා.

යාන්ත්‍රිකව බැදීමක් ඇතිකිරීම මගින් රෙදි නිපදවන අවස්ථාවක් දැක්වෙන ජායාරූපයක්  (nptel.ac.in)

උෂ්ණත්වය ලබා දීමෙන්

මෙහිදී උණුසුමට දියවන කෙඳි වර්ග යොදා ගන්නා අතරම පීඩනය යොදා තෙරපීමත් සිදු කරනවා. එමඟින් අවශ්‍ය ඝනකම වගේම හොඳ බැදීමකුත් ඇති කරනු ලබනවා.

උෂ්ණත්වය ලබාදීම මගින් රෙදි නිපදවන අවස්ථාවක් දැක්වෙන ජායාරූපයක්  (www.tikp.co.uk)

ගම් යොදා බැදීමක් ඇතිකිරීම

ඇතිරූ කෙඳි  තට්ටු වලට දියරමය ගම් ඉසීම මගින් එකිනෙක බැදීමක් ඇතිකිරීම මේ ක්‍රමයේ විශේෂිත තාවය වනවා. නමුත් එලෙස කරන නිෂ්පාදන ඇගලුම් කේෂ්ත්‍රයට යොදාගන්නේ නැහැ.

ගම් යොදා බැදීමක් ඇතිකිරීම මගින් රෙදි නිපදවන අවස්ථාවක් දැක්වෙන ජායාරූපයක්  (docplayer.cz)

වෙට් ලෙයිඩ් (Wetlaid)

මේ ක්‍රමය කඩදාසි නිෂ්පාදනය කරන ආකාරයට සමාන ක්‍රමයකින් සිදු කරන අතර රෙදි සෑදීමට යොදා ගන්නා කෙඳි ජලයේ කලවම් කර පසුව ජලය පෙරීම මගින් කෙඳි තට්ටු සාදා ගන්නවා. ඉන්පසු ඉතිරි ජලය ඉවත් කරගන්න පුළුවන්.

වෙට් ලෙයිඩ් තාක්ෂණය මගින් රෙදි නිපදවන අවස්ථාවක් දැක්වෙන ජායාරූපයක්  (docplayer.cz)

විවීමක් නොකර රෙදි නිපදවිමේ වාසි

අනෙක් රෙදි නිෂ්පාදන වලට වඩා මේ ක්‍රම වලින් නිෂ්පාදනය කරන රෙදිවල හොඳ වාතාශ්‍රයක් පැවතීම, දියර පෙරීම සදහා යොදා ගැනීම, ජලය උරා ගැනීම, ජල විකර්ෂක නිපදවීම, සැහැල්ලු බව, නැවීමට හැකි වීම, නිෂ්පාදන කාලය අවම වීම, අවම පිරිවැය, පරිසර දූෂණය අවම වීම වැනි කාරණා වලින් වැඩි වාසි පවතිනවා.

මේ ක්‍රමයෙන් පරිසර දුෂණය අඩු කරගන්නේ කොහොමද?

බොහෝ විට මේ ක්‍රමයෙන් රෙදි නිෂ්පාදනයට යොදා ගන්නේ පොලිමර් කාණ්ඩයට අයත් අමුද්‍රව්‍ය නිසා අප බැහැර කරන ප්ලාස්ටික්, පොලිතීන් හා අනකුත් රෙදි වර්ග ප්‍රතිචක්‍රීකරණය කර නැවත රෙදි නිෂ්පාදනය කරන්න යොදා ගන්න පුළුවන්. ඒ වගේම ලෝකයේ සමහර රටවල ඉවත දමන ස්වභාවික කෙඳි මගින් නිපදවන රෙදි, කැබලි කර නැවත රෙදි නිෂ්පාදනය කිරීම සදහා මේ ක්‍රමය යොදා ගන්නවා. ඒ වගේම අනෙක් ක්‍රම වලට සාපේක්ෂව මේ ක්‍රමයෙන් රෙදි නිෂ්පාදනයේ දී සිදු වන වායු දූෂණය, ජල දූෂණය , පාංශු දූෂණය ඉතාමත් පහල මට්ටමක පවතිනවා.

ඇදුම් ප්‍රතිචක්‍රීය කරණය සිදුකරන අවස්තාවක් දැක්වෙන ජායාරූපයක්  (4.bp.blogspot.com)

විවීමක් නොකර නිෂ්පාදනය කරන රෙදි භාවිතා කරන අවස්ථා

මේ ක්‍රමයෙන් නිෂ්පාදනය කරන රෙදි වර්ග යොදා ගන්නා අවස්ථා අනුව පහත පරිදි බෙදා දක්වන්න පුළුවන්.

වෛද්‍ය ක්ෂේත්‍රය – සැත්කම් ඇදුම්, ආරක්‍ෂිත කබා, විෂබීජ නාශක ඇදුම්, මුඛ ආවරණ, අත් පිසින, තුවා, සනීපාරක්ෂක තුවා, වෙළුම් පටි, තුවාල ආවරණ

ගෘහ අලංකරණය – කාපට්, බිත්ති ආවරණ, මේස රෙදි, ජනෙල් රෙදි, බිම් ආවරණ

ඇඟලුම් – ලයිනින්, කෘතීම හම් රෙදි, රෙදි වර්ග, යට ඇදුම්

විවිධ කර්මාන්ත වලට ගන්නා රෙදි – වාහන වහල ආවරණ රෙදි, පෙරුම් කාරක කොටස්, අසුරන බෑග්, භූගත නිර්මාණ කටයුතු වලට අවශ්‍ය රෙදි, ගුවන්යානා නිෂ්පාදනයේ දී, වෙඩි නොවදින කබා, ශබ්ද   රෝධක, දුම්වැටි වල වායු පිරිසිදු කරන කොටස, තේ බෑග්, මහා මාර්ග වල බිම් ආවරණය සැකසීමට, නායයාම් පාලනයට

කෘෂිකර්මාන්තය – පැල ආරක්ෂා කරන රෙදි, ජලය හසුරුවන රෙදි, විෂබීජ රෝධක රෙදි

වෛද්‍ය ක්ෂේත්‍රයේ භාවිතා කරන විවීමක් නොකර නිෂ්පාදනය කල ඇඟලුමක් දැක්වෙන ජායාරූපයක්  (www.katomedsupplies.ml)

මීට අමතරව තවත් බොහෝ කාර්යයන් සඳහා මේ ක්‍රමයෙන් නිපදවන රෙදි වර්ග යොදා ගන්නවා.

ලෝකයේ විවීමක් නොකර නිෂ්පාදනය කරන රෙදිවල භාවිතය

අද වනවිට ගණන් බලා ඇති ලෙසට 2020 වසර වනවිට ලෝකයේ විවීමක් නොකර නිෂ්පාදනය කරන රෙදි වෙනුවෙන් ඇති ඉල්ලුම ඇ.ඩො. බිලියන 45.87ක් පමණ වනු ඇතැයි විශ්වාස කරනවා. වෛද්‍ය ක්ෂේත්‍රය මෙන්ම සනීපාරක්ෂක ඇඳුම් වැනි මිනිස් මුලික අවශ්‍යතා වලට ගැලපෙන නිෂ්පාදන වලට මේ රෙදි සුදුසුම වීම එලෙස ඉල්ලුම ඉහල යාමට බලපා තිබෙනවා.

කෙසේ වෙතත් තවමත් මේ ක්‍රමය ලංකාවේ අපට හුරු නොවුනත් එය යොදා ගැනීම පරිසරය රැකගැනීමට වගේම අපේ ආර්ථිකය වර්ධනය කරගන්නත් යොදා ගන්න පුළුවන්. විවීමක් නොකර රෙදි නිෂ්පාදනය කරන තාක්ෂණය හරහා නව ව්‍යාපාරික අවස්ථා ඇති කරගන්න වුනත් ලංකාවේ ව්‍යවසායකයින්ට හැකියාව තිබෙනවා.

මුලාශ්‍ර :

www.tikp.co.uk/knowledge/technology/nonwovens/under-construction/

www.oneboxvision.com/blog/non-woven-types

www.bizvibe.com/blog/topl-leading-nonwoven-manufacturers/

www.academia.edu/14864191/Recycling_of_Non_Woven_Waste

www.ibercampus.eu/engineers-of-fashion-develop-new-materials–1521.htm

කවරයේ පින්තූරය : www.fabricanltd.com

Related Articles

Exit mobile version