රාවණාගේ අපරිමිත ප්‍රේමයේ හිමිකාරී, මන්දෝදරී

රාවණා පිළිබඳව ලියන ලද විවිධ ලිපි, දෘශ්‍ය පට, කලා නිර්මාණ මෙන්ම රාවණ ඉතිහාසය ආශ්‍රිත නව සොයාගැනීම් පිළිබඳව සිදුවන විවිධ කථිකාවත් ද වර්තමානය වන විට ඉතා සුලභ වුවකි. ඒ අතර තමන් රාවණා බව කියාගන්නා සහ රාවණාගේ ඥාතීන් බව කියාගනිමින් සමාජයේ අවධානය දිනාගන්නා විවිධ පුද්ගලයන් ද, රාවණා නැවත අවදි වන බව පවසමින් විවිධ අදෘශ්‍යමාන මිත්‍යා මත සමාජය තුළ ව්‍යාප්ත කරන්නන් ද බහුල වෙමින් පවතී. නමුත්, මේ ලිපියේ අරමුණ වන්නේ රාවණා යුගයේ ඉතිහාසයේ සැඟව ගිය, බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් නොවන දැවැන්ත ස්ත්‍රී චරිතයක් වටා ගොඩනැගුණු යම් යම් ජනශ්‍රැතික කාරණා සමාජ ගත කිරීමකි. ඇය නමින් ‘මන්දෝදරී’ වූ අතර රාවණාගේ අපරිමිත ප්‍රේමයේ හිමිකාරිය ද විය.

‘මන්දෝදරී’ කියන්නෙ කවුද?

මන්දෝදරී, අතීත ලංකාපුරයේ රාවණ රජුගේ අග මෙහෙසිය යි. මන්දෝදරී යන සංස්තකෘත වචනයේ අර්ථය “මෘදු වූ උදරයක් සහිත වූ කුමරිය” යන්න යි. ඇය සුන්දර පක්ෂග්‍රාහී ධර්මිෂ්ට කාන්තාවක මෙන්ම බුද්ධිමත් හෙළ කාන්තාවක ද විය. පංච කන්‍යාවන් අතරින් එක් අයෙකු ලෙස සලකන මන්දෝදරීගේ නාමයේ ආනුභාවයෙන් පාපය දුරුවන බව එකල හෙළ සමාජයෙහි විශ්වාසය විය. කල්‍යාණි සහ ධ්‍යානමාලිනී යන අපර නාමයන්ගෙන් ද මන්දෝදරී හඳුන්වා ඇත.

යක්ඛ ගෝත්‍රික කාන්තාවක වූ මන්දෝදරීගේ, පියා යක්ඛ ගෝත්‍රික බලවතෙකු වූ මායාසුර නොහොත් මයදානව නම් විය. පුරානෝක්තිවලට අනුව ඔහු එතෙක් මෙතෙක් හෙළය තුළ බිහි වූ මහා ගෘහනිර්මාණ ශිල්පියා සේ ම අතිවිශිෂ්ට නිර්මාණකරුවා ද වෙයි. ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳව ලියන ලද පැරණිතම කෘතිය වූ “මායා මතය” ග්‍රන්ථයේ කතුවරයා වන්නේ මයදානවයන් ය. දියණියක විවාහ කර දීමේ දී දායාදය පිරිනැමීමේ සිරිත මුලින්ම ආරම්භ කරන ලද්දේ මයදානව විසින් බව කියනු ලැබේ. ඒ මන්දෝදරී කුමරිය රාවණාට විවාහ කර දීමේ දී තමා සතුව තිබූ මහා බලසම්පන්න ත්‍රිශූලය සහ ඔහු විසින් නිර්මාණය කළ ලොව ප්‍රථම ගුවන් යානය වූ දඬු මොණර යන්ත්‍රය රාවණා රජු වෙත තිළිණ කිරීමෙනි. ලංකාපුරය මෙන්ම කුවේරගේ  ආලකමන්දාව වූ වර්තමාන සීගිරියේ පිහිටි ගිරි මාලිගය නිර්මාණය කරන්නේ ද මයදානව විසිනි. බෞද්ධ සහ හින්දු සාහිත්‍යයේ සඳහන් වන අසමසම ඉංජිනේරුවා වන මොහු, මරණයෙන් පසු විශ්මකර්ම ලෙස දේවත්වයට පත් විය. මන්දෝදරීගේ මව වූයේ ආකාශ අප්සරාවක වූ හෙමාව යි. ඇය හෙමප්සරා යන නමින් ද හඳුන්වනු ලැබීය.

සීගිරි බිතුසිතුවම් අතර සැගවුණු අප්සරාව, මන්දෝදරී

ආචාර්ය ගොඩකුඹුර ශූරීන් සඳහන් කරන පරිදි ‘ජනකතා’ පුරා විද්‍යාවේ ප්‍රධාන අංගයකි. රටක, පෙදෙසක හෝ ගමක වැසියන් අතර පවතින කතා අනුව ඇතැම් වැදගත් පුරාවෘත්ත සොයාගත හැකිය. මන්දෝදරී සහ රාවණ පිළිබඳව ඇති ඓතිහාසික සාක්ෂි සනාථ කිරීමට ප්‍රමාණවත් සාහිත්‍ය සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර සුලභ නොවූව ද, රාවණ පුරාවත හා බැඳි බොහෝ ජනශ්‍රැතික මූලාශ්‍ර ලංකාව පුරා විවිධ ප්‍රදේශවල පැතිරී පවතී. සීගිරි බිතුසිතුවම්වල දක්නට ඇත්තේ මන්දෝදරී සහ ඇගේ පරිවාර ස්ත්‍රීන් බව ඇතැම් ඉතිහාසඥයන්ගේ විශ්වාසය වේ. ප්‍රදේශයේ පවතින ජනකවි තුළින් ද ඒ බව මනාව ප්‍රකට වේ.

සිගිරිය අවට ග්‍රාමීය ප්‍රදේශවල පවතින තේරවිලි කවියක්.

ප්‍රශ්නය:

සීගිරි ගලේ විල සැදුවේ      කවුරුන්දෝ

සීගිරි ගලේ රූ ඇන්දේ       කවුරුන්දෝ

සීගිරි රුවෙන් දිස් වන්නේ  කවුරුන්දෝ  

මෙතුන් පදේ විසඳන්නේ   කවුරුන්දෝ

පිළිතුර:

සීගිරි ගලේ රාවණ දෙවි විල   සැදුවා

සීගිරි ගලේ විස්කම් සිත්තම් කෙරුවා

සීගිරි රුවෙන් මන්දෝදරී  දිස්වෙනවා

මෙතුන් පදේ නිසි ලෙස මම විසඳනවා

මෙහි එන විස්කම් යනු මන්දෝදරීගේ පියා වන මයදානව නොහොත් විශ්මකර්ම වෙයි.

විශ්මිත මදාරා සහ මන්දෝදරී

විවාහයෙන් පසු රාවණ සහ මන්දෝදරී කුවේර රජ පරදා අත්පත් කරගත් ගිරි මාලිගයේ ඉතා ආදරෙන් සහ සහයෝගයෙන් ජිවත් විය. රාවණ ඉතා දක්ෂ ලෙස වීණා වාදනය කළ කලාකාමී සුන්දර මිනිසෙකු මෙන්ම අතිදක්ෂ වූ වෛද්‍යවරයෙකු සහ පර්යේෂකයෙකු ද වූ බව පුරාවෘතවලට අනුව සනාථ වෙයි. ඔහු සිය ස්වකිය පර්යේෂණ මඟින් විවිධ වූ ඖෂධ වර්ග නිපදවීය. ඔහුගේ පරීක්ෂණ සඳහා මන්දෝදරී, පිය උරුමයෙන් ලද පර්යේෂණ ඥාණය යොදවමින් රාවණයන්ට නිරන්තර සහාය දැක්විය. මදාරා මල යනු රාවණ රජුගේ ජීව විද්‍යාත්මක පරීක්ෂණ මඟින් නිපදවන ලද පුෂ්පයකි. එම පුෂ්පය රාවණ රජු විසින් මදාරා ලෙස නම් කරන්නේ මන්දෝදරී ඔහු වෙත පුදන ප්‍රේමය සහ සහයෝගය සදා අනුස්මරණය වීමට ඇයට පුදන්නා වූ උපහාරයක් වශයෙනි. ඒ කෙසේ වෙතත් මදාරා යනු ලංකාව තුළ පවතින්නා වූ ඉතා විශ්මිත මෙන්ම දුර්ලභ වූ ශාක වර්ගයකි. මදාරා ශාකයට කිසිදු ආකාරයකින් කෘමි සතුන් ලං නොවන අතර එම ශාකයෙහි කිසිදු ලෙසක කෘමින් වාසය නොකරන බව කියවේ. දැවැන්ත අලි ඇතුන් පවා මදාරා ගසක් ඉදිරියෙන් ගමන් කිරීමේ දී දණ  නමා අචාර කරන බවට ගැමියන් තුළ මතයක් පවතින අතර, සබැවින්ම මදාරා ශාකයට අලි ඇතුන් දමනය කිරීමේ හැකියාවක් ඇති බවට නූතන පර්යේෂණ මඟින් ද සනාථ වී ඇත. අතීතයේ ලක්දිව විසූ රජවරුන් කඩු දුණු ආදී යුද්ධ ආයුධ නිපදවීමේ දී මෙම මදාරා ශාකයේ ලී භාවිත කළ අතර, එයින් යුධ ජයග්‍රහණ අත් වන බවට ඔවුන් තුළ දැඩි විශ්වාසයක් විය.

සීතා, මන්දෝදරීගේ දියණිය ද? 

මන්දෝදරී සහ රාවණගේ දරුවන් වූයේ මේඝනද හෙවත් ඉන්ද්‍රජිත්, ආථිකාය සහ අක්ෂය කුමාර යන කුමාර වරුන් ය. මන්දෝදරියට සොහේළි නමින් දූ කුමරියක් ද වූ බවට එක් පුරාවෘතයක් පවතී. මන්දෝදරී ප්‍රථම වරට ගැබ්ගත් අවස්ථාවේ, එකල හෙළ දීපයේ අතිප්‍රබල සෘෂිවරයෙකු වූ පුලස්ති විසින් අනාවැකියක් පළ කරන ලදී. එම අනාවැකිය වූයේ මන්දෝදරියට බිහිවන දරුවා මධ්‍යම රාත්‍රී 12ට පසුව බිහි වුවහොත් ඉන් අනාගතයේ දිනක මහත් වූ විනාශයක් සිදුවන බව යි. මන්දෝදරී බිහිකිරීමට සිටියේ නිවුන් දරුවන් ය. මධ්‍යම රාත්‍රිය ආසන්නයේ විලි රුදා ඇති වූ ඇයගේ ප්‍රථම දරුවා මධ්‍යම රාත්‍රී 12 පසුවන්නට පෙර බිහි විය. ප්‍රථම දරුවා කුමරෙකු වූ අතර ඔහුට මේඝනද නොහොත් ඉන්ද්‍රජිත් ලෙස නම් තැබීය. මන්දෝදරිගේ දෙවන දරු ප්‍රසුතිය මධ්‍යම රාත්‍රී 12න් පසු සිදු වූ අතර ඒ බිහි වූ දරුවා සුන්දර දූ කුමරියක විය. ඇය සොහේළි ලෙස නම් ලැබීය. පුලස්ති සෘෂිගේ අනාවැකිවල සත්‍යය බව හොඳ හැටි අවබෝධ කර සිටි රාවණ, දාරක ස්නේහය හදවතේ සඟවා සිව් හෙළයේ අනාගතය වෙනුවෙන් සිය ප්‍රිය බිරිඳට රහසින් කුඩා බිළිඳිය පැසක දමා මුහුදේ පා කර යැවූ අතර, එක් දරුවෙකු ප්‍රසුතියේ දී මිය ගිය බවට රජු සැමට සැල කර සිටියේ ය. විෂම නිවුන් දරුවන් ලැබීමෙන් පසුව සිය පවුලෙන් පිටත එක දරුවෙක් ඇති දැඩි විය යුතු බවට නියමයක් සහ චාරිත්‍රයක් ද එකල හෙළය තුළ පැවතුණි. කෙසේ හෝ පිට මං කළ බිළිඳිය සයුරු රළ මත හුදකලාවේ පැසක පාවී ගොස් ඉන්දියාවේ එක්තරා ගොවියෙකුට හමු වූ අතර, පැස විවර කිරීමේ දී රාජ වස්ත්‍ර සහිත සුන්දර බිළිඳිය දුටු ගොවියා ඇය රජ කුමරියක බව අනුමාන කර එකල ඉන්දියාව පාලනය කළ ප්‍රාදේශීය රජෙකු වූ ජනක රජුට කුමරිය බාර කළේ ය. ගොවියෙකුට හමු වූ කුමරියක නිසා නගුල යන අර්ථය සහිතව ඇය සීතා ලෙස නම් කළ ජනක රජු, ඔහුගේම දියණියක ලෙස කුමරිය ඇති දැඩි කළේ ය. පසු කලෙක ඇය, ජනක රජුගේ දියණිය වූ නිසා ජානකි ලෙස අපර නමකින් ද හඳුන්වනු ලැබිය. රාවණ සොයුරිය සුපර්ණකාට රාමගේ මලණුවන් වූ ලක්‍ෂ්මන් සිදුකළ බලහත්කාරී ව්‍යසනයට පලිගැනීමේ අදිටනින් ස්ත්‍රීන්ගේ වටිනාකම වටහා දීමේ අරමුණෙන් රාවණ විසින් මෙරටට පැහැරගෙන ආ සීතාව, අතීතයේ සයුරේ පා කර යැවූ රාවණගේ සහ මන්දෝදරිගේම දියණිය විය හැකි බවට ඉතිහාසඥයන් මත පළ කරති. කෙසේ වෙතත්, පලිගැනීමක් මත රැගෙන ආ සීතාව අපමණ සැප සම්පත් හා රැකවරණය සහිතව හා කිසිදු ලිංගික හිරිහැරයකින් තොරව රාවණ දැඩි ප්‍රේමයෙන් රකින්නේ ඇගේම දියණිය බවට හදුනාගැනීමෙන් පසුව බව අපට අනුමාන කළ හැකිය.

මන්දෝදරිගේ ආරාධනයෙන් රාවණා විසින් රචිත ග්‍රන්ථ

රාවණ විසින් රචිත ග්‍රන්ථ අතර; අර්ක ප්‍රකාශ, කුමාර තන්ත්‍රය (කුමාර චිකිත්සා), රසරත්නාකරය, වටිකා ප්‍රකරණය, උදිස්සා තන්ත්‍රය හා ඔඩිස්සා තන්ත්‍රය යනාදිය වඩාත් ප්‍රචලිත ග්‍රන්ථ වෙයි. මෙම ග්‍රන්ථ අතරින් අර්ක ප්‍රකාශය ලියැ වී ඇත්තේ රාවණ රජු සහ මන්දෝදරී අතර සිදුකෙරුණු කාව්‍යමය සංවාදයක් ලෙසිනි.

කුඩා දරුවන්ට වැළදෙන ලෙඩ රෝග සහ ඒවාට පිළියම් විස්තර කරමින් රාවණයන් කුමාර තන්ත්‍රය ලියනු ලබන්නේ, මේඝනද කුමරුන් කුස හොත් අවධියේ දී මන්දෝදරී දේවිය සිදුකළ ඉල්ලීමක් ඉටුකිරීමට ය. කුඩා දරුවන් හට වැළදෙන රෝග සහ ඒවාට පිළියම් සහිතව රචනා වූ ඉපැරණිතම සහ පුරාණ වෙද අත්පොත වන්නේ කුමාර තන්ත්‍රය නොහොත් කුමාර චිකිත්සාව යි.

මන්දෝදරී සැම විටම සිය සැමියාගේ අවශ්‍යතා සහ කාර්යභාරයන් නිසි ලෙස හඳුනාගනිමින් මනා අවබෝධයකින් සහ ස්නේහයෙන් රාවණයන්ට දිරි දෙමින් උපකාර කළ ආදර්ශමත් ස්ත්‍රී චරිතයක් ලෙස ඇය හා බැඳි ජනශ්‍රැතික කාරණා විශ්ලේෂණයේ දී මනාව පැහැදිලි වෙයි.

මන්දෝදරීට පෙම් කළ විභීෂණ

රාම රාවණ යුද්ධයේ දී රාම විසින් රාවණ පැරදවීම සිදුවන්නේ රාවණාගේ සොහොයුරෙකු වූ විභීෂණගේ පාවා දීම නිසාවෙනි. රාවණා කෙරෙහි විභීෂණගේ උරණ වීම කෙරෙහි බල පෑ හේතුව පිළිබඳ මන්දෝදරී විභීෂණ සහ රාවණා වටා බැඳුණු ජනප්‍රවාදයක් ද බැඳී පවතී. රාජ්‍ය පාලනයේ විවිධ ගැටළු, තීරණ සාකච්ඡා කිරීමට නිතර ගිරි මාලිගයට ආ-ගිය විභීෂණ, මන්දෝදරීගේ රූප ශ්‍රීයෙන් උමතුව ඇයට හදවතින් පෙම් කළ බවත්, ඇය විවාහ කරගෙන සිටින තමාගේ සොහොයුරු කෙරෙහි ඊර්ෂ්‍යයාකාරී ක්‍රෝධයක් ඇති කරගත් බවත් ඉතිහාසය පිළිබඳ අදහස් දක්වන ඇතැම් විද්වතුන්ගේ මතය යි. කෙසේ වෙතත්, රාවණා ඝාතනය කළ හැකි ආයුධ තුන සහ ඒවා තබා තිබුණේ වේරම්බ වාතයේ බව දැන සිටියේ මන්දෝදරී සහ විභීෂණ පමණක් බව ද සඳහන් ය. එවැනි අතිශය රහස් කරුණු සහ රාවණාගේ දියුණු යුධ උපක්‍රම භාරතියන් අතට පත් වන්නේ විභීෂණ හරහා ය. එයට ඉහත මන්දෝදරී හා බැඳී ජනප්‍රවාදය ද හේතු වන්නට ඇති බවට අනුමාන කළ හැකිය.

රාම-රාවණා යුද්ධයෙන් අසරණ වූ, මන්දෝදරී

දුර ඈත ඉතිහාසයේ සිට වර්තමානය දක්වාම දැවැන්ත යුද්ධ සහ අරගලවල දී අවසානයේ අසරණ සහ දැඩි සේ චිත්ත පීඩනයන්ට ගොදුරු වන්නේ යුද්ධයෙන් මියගිය අයගේ ජිවත් වන මව්වරුන්, භාර්යාවන් සහ කුඩා දරුවන් ය. මන්දෝදරී ද ඒ සදාතනික දුක්ඛ සත්‍යයේ අතීත හිමිකාරියකි. රාම රාවණ යුද්ධයට තුඩු දුන් රාම කුමරුගේ බිරිඳ වූ සීතා, රාවණ විසින් පැහැරගෙන හෙළ දීපයේ රඳවා ගෙන සිටීමට හේතු වූ කාරණාව ඉහත දී පැහැදිලි කර ඇත. රාම-රාවණ සමග යුද්ධ ප්‍රකාශ කිරීමෙන් පසුව කීප අවස්ථාවක දී ම මන්දෝදරී රාවණගෙන් සීතා නැවත රාමට බාර දෙන ලෙස ඉල්ලීම් කරයි. ඇය එලෙස සිදුකරනුයේ මහා විපතක පෙර සලකුණු ඇයට පෙරදීම දැනුණු නිසා විය හැකිය. නමුත් අවසානයේ සියල්ල නිමා වන්නේ මන්දෝදරී ලංකාපුරයේ වැන්දඹුවක් බවට පත් කරමිනි. සිය ප්‍රේමණීය සැමියා රාවණගේ නිසල සිරුර වැළඳ ගනිමින් මන්දෝදරී බොහෝ සේ හඬමින් වැලපෙන්නට ඇත. ඔහුගේ ප්‍රේමණීය මතකයන් නැවත නැවතත් තනිව සිහිපත් කරමින් ඇය මියෙන තුරුම දැඩි චිත්ත පීඩනයකින් පසු වන්නට ඇත. මන්දෝදරිගේ සැමියා කෙරෙහි වූ පක්ෂග්‍රාහි බව භාරතීය රාමායණයෙහි පවා එක් අවස්ථාවක ඇගයීමට පාත්‍ර කිර තිබීම සුවිශේෂී වූවකි. පෙර සඳහන් කරන ලද සීතා සහ මන්දෝදරී සම්බන්ධ පුරාණෝක්තිය සත්‍යය වි නම්, හුදෙකලා වූ මන්දෝදරිගේ පීඩනය තවත් බලවත් වන්නේ නොවේ ද? සීතාව භාරතීය කාන්තාවගේ පරමාදර්ශී චරිතයක් වූ අතර, රාවණ ඝාතනය කළ රාම, පාවා දුන් විභීෂණ, සහාය දුන් හනුමන් මෙන්ම ස්ත්‍රියක කුරිරු ලෙස හිරිහැරයට ලක් කළ ලක්ෂ්මන් ද දේවත්වයට පත් විය. රාවණ දුෂ්ඨ පාපිෂ්ඨයෙකු විය. මන්දෝදරි ද කාලයේ අසීමාන්තයේ කාටත් රහසේ සැඟ වී ගියා ය. රාමායණය හිස් මුදුනින් අගයන භාරත ගැති සමහරක් ලාංකිකයන් බොහෝ දෙනෙකු මන්දෝදරී යනු කවුරුන් ද වත් නොදැන සිටීම මහත් වූඛේදවාචකයකි. මන්දොදරිගේ චරිතය සතු ගුණාංග වූ දැඩි ඉවසීම සහ දරා ගැනීම, ත්‍යාගශීලිත්වය, සැමියා වෙත දැක් වූ අනුපමේය සහයෝගය සහ සෙනෙහස, බුද්ධිමත් බව මුළු මහත් ලෝකවාසී සියලු කාන්තාවන්ට ආදර්ශයක් වන්නා සේ ම, එවැනි කාන්තා චරිත ඉතිහාසය තුළ වැළලී යාමට නොදී මතු අනාගතය වෙත සංරක්ෂණය කිරීම ද අප කාගේත් යුතුකමකි.

කවරයේ පින්තූරය: allindiaroundup.com

Related Articles

Exit mobile version