විදේශ විනිමය සංචිත හිඟ වීම ඇතුළු හේතු කිහිපයක් මත රට තුළ උද්ගත වී ඇති ආර්ථික අර්බුදය හමුවේ ජනතාව දැඩි ලෙස පිඩාවට පත් වී ඇති බව නොරහසකි. භාණ්ඩ මිළ ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ වෙළෙඳපොළේ පවතින ගෑස්, කිරිපිටි සහ ඉන්ධන වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය හේතුවෙන් ජනතාව පීඩා විඳියි.
මේ තත්ත්වය තුළ රටට ලැබෙන විදේශ විනිමය ආදායම ඉහළ නංවා ගැනීම පිළිබඳ ව විශාල කතාබහක් ද නිර්මාණය වී තිබේ. මෙරටට ආදායම් උපදවා දෙන ඇඟලුම්, සංචාරක වැනි රටට සෘජු විදේශ විනිමය උපයා ගත හැකි ක්ෂේත්‍රවලට ද, ආර්ථික අර්බුදය නිසා දැඩි බලපෑම් එල්ල වී ඇත. එබැවින්, විදේශ විනිමය ආදායම ඉහළ නංවා ගැනීමට නම් වර්තමාන තත්ත්වය හමුවේ එවැනි ක්ෂේත්‍ර මුහුණපාන ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබා දීම අත්‍යවශ්‍ය ය.
පවතින තත්ත්වය තුළ සංචාරක ක්ෂේත්‍රය මුහුණපාන ගැටලු සහ ඒවාට විසඳුම් ලබා දීමෙන් මේ වන විට උද්ගත වී ඇති ආර්ථික අර්බුදය යම්කිසි දුරකට හෝ විසඳා ගත හැකි අයුරු මෙම ලිපියෙන් විමසා බලමු.
සංචාරක ක්ෂේත්‍රයේ වැදගත්කම
ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන මාර්ග ඉතා සීමිත සංඛ්‍යාවක් තිබේ. සංචාරක ක්ෂේත්‍රය, විදෙස්ගත ශ්‍රමිකයන්,තේ, පොල් සහ රබර් වැනි බෝග ආශ්‍රිත නිෂ්පාදන සහ නිමි ඇඳුම් අපනයනය වැනි දෑ ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. ලොව පුරා බොහෝ රටවල සංචාරකයන් අතර ජනප්‍රිය ගමනාන්තයක් වන ශ්‍රී ලංකාවට වාර්ෂිකව පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව බොහෝ විට මිලියන දෙකකට වැඩි අගයක් ගනී. වර්තමාන අර්බුදකාරී තත්ත්වය තුළ මෙම සංඛ්‍යාව පහළ බැස තිබේ.
සංචාරක ක්ෂේත්‍රයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ විනිමය ආදායම පිළිබඳ ව සැලකීමේ දී, 2016 වසරේ දී මෙරටට පැමිණි මිලියන 2.17ක් පමණ වූ සංචාරකයන්ගෙන් අමෙරිකානු ඩොලර් බිලියන 4.59කුත්, 2017 වසරේ දී පැමිණි මිලියන 2.25කට ආසන්න සංචාරකයන්ගෙන් ඩොලර් බිලියන 5.08කුත්, 2018 වසරේ දී පැමිණි මිලියන 2.52ක් පමණ වූ සංචාරකයන්ගෙන් ඩොලර් බිලියන 5.61කුත්, 2019 වසරේ දී පැමිණි මිලියන 2.03ක් පමණ වූ සංචාරකයන්ගෙන් ඩොලර් බිලියන 4.66කුත් මෙරටට ලැබී තිබේ.
2019 අප්‍රේල් 21 වැනි පාස්කු ඉරිදා දින සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සහ 2020 වසරේ මුල් භාගයේ දී ලොව පුරා පැතිර ගිය කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව විශාල ලෙස අඩු විය. 2020 වසරේ දී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව මිලියන 5.4ක් වූ අතර එමඟින් ලැබුණු ආදායම ඩොලර් බිලියන 1.08ක් පමණි. එතැන් පටන් මෙරට සංචාරක ක්ෂේත්‍රය ක්‍රම ක්‍රමයෙන් දරුණු පසුබෑමකට ලක් විය.
රටේ පවතින ආර්ථික අර්බුදය
කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ලොව පුරා ඇති වූ ආර්ථික පසුබෑමේ ප්‍රතිපලයක් ලෙස මේ වන විට පවතින ආර්ථික අර්බුදය ඇති වූ බව සමහරුන්ගේ මතය වුවත්, මෙම තත්ත්වයට ප්‍රධානත ම හේතුව ආණ්ඩුවල දුර්වල මූල්‍ය කළමනාකරණය බව නොරහසකි.
ජනතා අරගලයක ප්‍රතිපලයක් ලෙස පසුගිය දා බලයෙන් පහ කළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත් වී ඉතා කෙටි කාලයක් තුළ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට බදු සහන ලබා දීමත් සමඟ රජයට ලැබුණු බිලියන ගණනක විශාල ආදායමක් අහිමි විය. ඊට අමතර ව ආර්ථික විද්‍යාඥයන් ඇතුළු පාර්ශව ගණනාවකගේ විරෝධය මධ්‍යයේ අසීමිත ලෙස මුදල් මුද්‍රණය කිරීම ද උග්‍ර ආර්ථික අර්බුදයක් ඇති වීමට හේතු විය.
එවැනි වැරදි ක්‍රියාදාමයන් මාලාවක අවසන් ප්‍රතිපලය වූයේ ශ්‍රී ලංකාව සතු වූ විදේශ සංචිත, විශේෂයෙන් ම අමෙරිකානු එක්සත් ජනපද ඩොලර් සංචිත ඉතා වේගයෙන් පහළ බැසීම යි. ඒ සමඟ ම, ඩොලර් ගෙවා ආනයනය කළ යුතු ඉන්ධන, කිරිපිටි, ගෑස්, සිමෙන්ති සහ තවත් බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ මෙරටට ආනයනය කිරීම සීමා වූ අතර ජනතාවට ඉන්ධන, කිරිපිටි සහ ගෑස් වැනි භාණ්ඩ මිල දී ගැනීම සඳහා දින ගණනාවක් දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදු වී ඇත.
සංචාරක ක්ෂේත්‍රයට එල්ල වී ඇති බලපෑම
මාස ගණනාවක් තිස්සේ ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් සංචිත සොයා ගැනීමට නොහැකි වීම හමුවේ රට තුළ ඉන්ධන හිඟයක් නිර්මාණය වී තිබේ. ශ්‍රී ලංකාව සතු එක ම බොරතෙල් පිරිපහදුව වන සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් සඳහා අවශ්‍ය බොරතෙල් ආනයනය ද ඇණහිට තිබේ.
මේ හේතුවෙන් විදුලිය උත්පාදනය සඳහා බලාගාරවලට අවශ්‍ය ඩීසල් සහ දැවිතෙල් සැපයුම සීමා සහිත වීම හේතුවෙන් මහජන උපයෝගිතා කොමිසම, දෛනික විදුලි කප්පාදු කිරීම් සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අවසර දී තිබේ.
මේ හේතුවෙන් හෝටල්, ආපනශාලා සහ වෙනත් සංචාරකයන් සඳහා අවශ්‍ය සේවා සපයන ආයතන වෙත පැමිණෙන සංචාරකයන්ට ලැබෙන්නේ අමිහිරි අත්දැකීමකි. විශාල මුදලක් වැය කර, සුවපහසු නිවාඩුවක් ගත කිරීම සඳහා වෙනත් රටකට පැමිණෙන සංචාරකයෙක් විදුලි බලය නොමැති ව හෝටලයක් හෝ ආපනශාලාවක් වැනි ස්ථානයක කාලය ගත කිරීමට කැමති නොවනු ඇත. එවැනි අත්දැකීමකට මුහුණ දී නැවත සිය රට බලා යන අයෙක් වෙනත් අයකුට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම නිර්දේශ කරනු ඇද්ද යන්න සැකසහිත ය.
ප්‍රවාහන අර්බුදය
වර්තමාන තත්ත්වය හමුවේ සංචාරක ක්ෂේත්‍රයේ බිඳ වැටීම සඳහා හේතු වී ඇති තවත් ගැටලුවකි- ඉන්ධන හිඟය සමග උද්ගත වී ඇති ප්‍රවාහන අර්බුදය. මේ දිනවල පෞද්ගලික බස් සේවා ඉතාමත් සීමා සහිත මට්ටමක පවතින අතර ත්‍රීරෝද රථ හෝ වෙනත් කුලී රථ සොයා ගැනීම ද පහසු නොවේ. එමෙන්ම ‘කල දුටු කල වළ ඉහගන්නවා’ ක් මෙන් කුලී රථ රියදුරන් ද මීට පෙර අය කළ මිල ගණන්වලට වඩා විශාල මුදලක් මේ වන විට අයකරන බව වාර්තා වේ.
මේ තත්ත්වය නිසා මෙරටට පැමිණෙන සංචාරකයන්ට ඔවුන්ට අවශ්‍ය ගමනාන්ත වෙත ගමන් කිරීමට හැකි වේ ද යන්න ගැන අවිනිශ්චිත තත්ත්වයක් උදා වී ඇත. තවද, හෝටල් සහ වෙනත් සංචාරක සේවාවන් සපයන ආයතනවලට අවශ්‍ය බදු භාහිරාදිය ප්‍රවාහනය කිරීම සහ වෙනත් කටයුතු සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයා ගැනීම ද දුෂ්කර වී තිබේ.
ආනයන සීමා කිරීම
රට තුළ පවතින ඩොලර් සංචිත අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ඉතිරි කරගැනීමේ අරමුණින්, පසුගිය මාර්තු මාසයේ දී අත්‍යවශ්‍ය නොවන බවට හඳුනාගත් භාණ්ඩ 300ක් මෙරටට ආනයනය කිරීම සීමා කරමින් ගැසට් නිවේදනයක් නිකුත් විය. එම භාණ්ඩ අතරට කිරි, චීස්, බටර්, ක්‍රීම් වර්ග, චොකලට් සහ ඒ ආශ්‍රිත වෙනත් නිෂ්පාදන, මස් සහ මාළු ආශ්‍රිත ටින් කළ නිෂ්පාදන, ඇපල්, දොඩම් සහ මිදි වැනි මෙරට වගා නොකරන පලතුරු සහ එළවළු වර්ග වැනි භාණ්ඩ විය. එම සීමා ද මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ගැටලුකාරී තත්ත්වයක් ඇති වීමට හේතු විය.
පෙර කී භාණ්ඩ 300 අතර වූ බොහෝ දෑ සංචාරක හෝටල් සහ අනිකුත් සේවා සපයන මධ්‍යස්ථාන සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වීම ඊට හේතුව යි. විශේෂයෙන්ම, චීස්, ඇපල්, දොඩම්, චොකලට් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන වැනි බොහෝ දෑ සංචාරකයන් බොහෝ ප්‍රිය කරන දෑ ය. මේ වන විට අදාළ ආනයන සීමා ඉවත් කර ඇති බව වාර්තා වුවත්, එම භාණ්ඩ ආනයනය කිරීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට නොහැකි වීම නිසා ඒවායේ මිල ගණන් විශාල අගයන්ගෙන් ඉහළ ගොස් තිබේ.
ගෑස් හිඟය
රටේ පවතින ගෑස් හිඟය ද සංචාරක ක්ෂේත්‍රයේ බිඳ වැටීමට හේතු වී ඇත. තරු පන්තියේ හෝටල්වල පටන් කුඩා පරිමාණයේ හෝටල් සහ ආපනශාලාවල පවා ආහාරපාන සකස් කිරීම සඳහා ගෑස් උදුන් භාවිත කරයි. ග්‍රාමීය ප්‍රදේශවල පිහිටා ඇති එවැනි ආයතනවලට දර හෝ වෙනත් විකල්ප ක්‍රම භාවිත කිරීමෙන්, ගෑස් හිඟය හේතුවෙන් මතුවන ගැටලු යම් මට්ටමකට හෝ අවම කරගත හැකි වුවත්, කොළඹ සහ අනිකුත් තදාසන්න ප්‍රදේශවල එසේ කිරීම ප්‍රයෝගික නොවේ.
කෙසේ වෙතත් මේ තත්ත්වයට පිළියමක් ලෙස ගෑස් බෙදා හැරීමේ දී සංචාරක හෝටල්, ආපනශාලා සහ වෙනත් සේවා සපයන ස්ථානවලට ප්‍රමුඛතාව ලබා දීමට අදාළ අංශ පසුගියදා තීරණය කර තිබිණි. මේ වන විට ගෑස් නෞකා කිහිපයක් මෙරටට ළඟා වීමත් සමග ගෑස් හිඟය ටිකෙන් ටික පහව යන බවක් පෙනෙන්නට තිබේ.
විශාල පිරිසකට රැකියා අහිමියි
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය, කොවිඩ්-19 වසංගත තත්ත්වය සහ පවතින ආර්ථික අර්බුදය වැනි හේතු ගණනාවක් හමුවේ සංචාරක ක්ෂේත්‍රය බිඳ වැටීමකට ලක් වීම හේතුවෙන් විශාල පිරිසකට රැකියා අහිමි වී තිබේ. පසුගිය දිනවල වාර්තා වූයේ සංචාරක ක්ෂේත්‍රයේ සෘජු රැකියාවල නිරත වූ පුද්ගලයන් ලක්ෂ දෙකක් සහ වක්‍ර රැකියාවල නිරත වූ පුද්ගලයන් ලක්ෂ හතරක් ඇතුළු ව සංචාරක ක්ෂේත්‍රයේ සේවකයන් ලක්ෂ හයකගේ පමණ රැකියා අහිමි වී ඇති බව යි.
වැටුප් කප්පාදුව
සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වන බොහෝ සේවකයන්ගේ මූලික වැටුප සාමාන්‍යයෙන් පහළ අගයක් ගනී. සේවා ගාස්තු සහ අතිකාල දීමනා වැනි දීමනාවල එකතුවත් සමඟ ඔවුන්ට සැලකිය යුතු වැටුපක් ලැබේ. කෙසේ වෙතත් පවතින තත්ත්වය තුළ හෝටල්වලට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව පහළ අගයක් ගැනීම නිසා බොහෝ ආයතන සේවකයන්ගේ එවැනි දීමනා කප්පාදු කරන බව වාර්තා වේ. එබැවින් රැකියා අහිමි නොවුවත්, සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වන බොහෝ පිරිසකට මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති ජීවන වියදමට සරිලන ආදායමක් නොලැබේ.
සුවිශාල ජනතා අරගලයක් සිදු කර අසීමිත බලයක් සහිත ජනාධිපතිවරයෙක් ධුරයෙන් ඉවත් කිරීමේ අභියෝගය සාර්ථකව ජය ගත් ශ්‍රී ලාංකික ජනතාවගේ මීළඟ අභියෝගය වන්නේ රටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය ඉහළ නංවා මේ වන විට උද්ගත වී තිබෙන ආර්ථික අර්බුදය විසඳා ගැනීම යි. ඒ සඳහා ඉදිරියේ දී පත්වන රාජ්‍ය නායකයනට සහ රජයට මෙන් ම ජනතාවට ද විශාල වගකීමක් පැවරී තිබේ.