“There should be a limit on war – යුද්ධ කිරීමටද සීමාවක් ඇත” අන්තර්ජාතික මානුෂවාදී නීතිය – II

International Humanitarian Law (IHL) හෙවත් අන්තර්ජාතික මානුෂවාදී නීතිය පිළිබඳ කෙටි හැඳින්වීමක් පෙර ලිපියෙන් අප ඔබ වෙත ගෙන ආවෙමු. ඕනෑම රටක අභ්‍යන්තරය තුළ හෝ රටවල් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අතර හටගන්නා යුදමය තත්වයන් පවා පාලනය කෙරෙනුයේ මානුෂවාදී නීතිය මගිනි. ශ්‍රී ලංකාව තුළ පැවති යුදමය තත්වය මේ අතුරින් අන්තර්ජාතික නොවන යුදමය තත්ත්වයක් හෙවත් Non International armed conflict ගණයට අයත් වේ. නමුත් මානුෂවාදී නීතිය මෙරටට අදාල වන්නේ කෙසේදැයි යන්න සාකච්ඡා කිරීමට පෙර මානුෂවාදී නීතියෙහි වපසරිය පිළිබද තවත් සාකච්ඡා කිරීම මනා ය.

http://combiboilersleeds.com/keywords/war-1.html

පෙර ලිපියෙන් පැවසූ පරිදිම, යනු යුදමය තත්ත්වයක් තුළින් හට ගත හැකි අයහපත් ප්‍රතිඵල හැකිතාක් අවම කරගැනීම සඳහා බලපැවැත්වෙන මූලධර්මයන් සමුදායකි. යුද්ධයක නිරත විය හැකි ආකාරයන් මෙන්ම ඒවායේ දී භාවිත කළ හැකි ක්‍රමෝපායයන් සදහා මෙතුළින් සීමා පනවා ඇති අතර, තවදුරටත් යුද කටයුතු වල නිරත නොවන පුද්ගලයින්ටද විශේෂ ආරක්ෂාවන් සපයා දී ඇත. යුද පිටියේදී මෙන්ම සයුර තුළ තුවාල ලබන හා අසනීප වන සොල්දාදුවන්ගේ තත්වය යහපත් කිරීම, යුද සමයන්හී දී යුද සිරකරුවන්ගේ අයිතිවාසිකම් මෙන්ම  සිවිල් වැසියන්ගේ අයිතිවාසිකම් ද මේ තුළින් ආරක්‍ෂා කෙරේ.

අන්තර්ජාතික මානුෂවාදී නීතිය යනු රාජ්‍යයන් අතර සබඳතා පාලනය කෙරෙන අන්තර්ජාතික නීතියෙහි ම (Public International Law ) තවත් එක් ශාඛාවකි. විවිධ රාජ්‍යයන් විසින් යුද්ධ කළ යුත්තේ කෙසේද යන්නට පිළිතුරු සෙවීමේදී භාවිතයට ගත් චාරිත්‍රානුකූල නීතීන් හෙවත් Customary IHL Rules පවා මීට අයත් වේ. මේ වන විට ලොව පිළිගත් චාරිත්‍රානුකූල මූලධර්මයන් 161ක් පවතී. ඕනෑම රාජ්‍යයක් යුද්ධ සමයක් තුළදී ඒවා පිළිපැදීමට බැඳී සිටී. “Do not kill the messenger” හෙවත් “පණිවිඩකරුව මරා නොදමනු” යන්න එවැනි චාරිත්‍රානුකූල නීතියකින් බිඳී ආවකි. ඉන් අදහස් වනුයේ සටන් බිමක යුද වදින සතුරු පාර්ශවයන් අතර පණිවිඩ හුවමාරු කරනා අතරමැදියෙකුට කිසි විටෙකත් ජීවිත හානි හෝ තුවාල් සිදු නොකළ යුතු බවයි.

https://www.icrc.org/en/war-and-law/treaties-customary-law/geneva-conventions

මෙහි ඇති තවත් එක් වැදගත් කරුණක් නම්, රටක් තුළ ඇති වන් අභ්‍යන්තර කළහකාරී තත්වයන් කෙරෙහි මානුෂවාදී නීතිය බල නොපෑමයි. උදාහරණයක් ලෙස, 1970/ 1980 දශකයන් තුළ මෙරට ඇති වුනු භීෂණ සමයන්හි දී සිදු වුනු සිදුවීම් වලට මානුෂවාදී නීතිය බල පැවැත්විය නොහැකිය. එමෙන්ම, යුදමය තත්වයක් හටගත් සැනින්ම බල පැවැත්වීම ආරම්භ වන මානුෂීය නීතිය එම යුද්ධයට සම්බන්ධ වී සිටින දෙපාර්ශවයටම හෝ සියළුම පාර්ශවයන්ට එක හා සමානවම අදාල වීම ද විශේෂත්වයකි.

අරමුණු

මානුෂවාදී නීතිය බල පැවැත්වීමේ මූලික අරමුණු දෙකකි;

  1. යුදමය කටයුතු සදහා සහභාගී වූ, නමුත් වැඩිදුරටත් ඒ හා සම්බන්ධ නොවන පුද්ගලයින් මෙන්ම කිසිදු ආකාරයකින් යුද්ධයට මැදිහත් නොවුනු සිවිල් වැසියන් ආරක්ෂා කිරීම.
  2. යුද්ධ කටයුතු වල නියැළීමේ ආකාරය හෙවත් යුද පිළිවෙත් සහ විවිධ ආයුධ වර්ග ( means and methods of warfare-military tactics )භාවිතය සීමා කිරීම.

ආරක්ෂාව යනු කුමක්ද?

යුද්ධයකට දායක නොවන ඕනෑම පාර්ශවයකගේ අයිතිවාසිකම් සුරැකීම මානුෂවාදී නීතියෙහි අරමුණයි. තවද, යුද පිටියෙහි සේවයේ නිරතව සිටින වෛද්‍යවරුන්, හෙද හෙදියන් හා ආගමික නියෝජිතයින් ( පූජකවරුන් වැනි ) ආදී පුද්ගලයින් ද මින් ආරක්ෂා කෙරේ. ලෝක රතු කුරුස සංවිධානය ආරම්භ කිරීමේ අරමුණ වූයේ ද එයයි. මෙම පුද්ගලයින්ගේ ජීවත් වීමට ඇති අයිතිය පමණක් නොව, ඔවුන්ගේ කායික හා මානසික තත්වයන් පවා සුරක්‍ෂිත කිරීම මෙහිදී ඉතා වැදගත් කොට සැලකේ.සොල්දාදුවන් හා යුද සිරකරුවන් වෙත පවා නෛතික සුරක්ෂිතතාවයක් සැපයෙනුයේ යුද්ධයක නියැලෙන්නන්ට පවා කිසිදු ආකාරයක වෙන් කොට සැළකීමක් නොකළ යුතුය යන ප්‍රතිපත්තිය නිසාවෙනි.

මීට අමතරව, යුදමය වාතාවරණයක් යටතේ ආරක්ෂා කරනු ලබන ස්ථාන, පුද්ගලයින් හා ප්‍රදේශ හදුනා ගැනීම පිණිස මානුෂවාදී නීතිය මගින් විශේෂ සංඥා හඳුන්වා දී ඇත. රතු කුරුස සංවිධානයේ හා රතු අඩ සඳ සංවිධානයේ ලාංඡන ( Red Cross and the Red Crescent ) මින් වැඩි වැදගත්කමක් දරයි. එමෙන්ම, සංස්කෘතික දේපල හා සිවිල් ආරක්ෂක කදවුරු දැක්වෙන සලකුණු ද ඉතා වැදගත් ය. යුද්ධයක් බලපැවැත්වෙන ප්‍රදේශ වල පිහිටා ඇති පාසල්, ආගමික ස්ථාන, රෝහල් යනාදිය සලකුණු කිරීමට මේවා යොදා ගන්නා අතර, එවැනි සලකුණක් තිබියදී එම ප්‍රදේශ වලට බෝම්බ හෙලීම ආදිය සිදු කිරීම සපුරා තහනම් වේ.

https://www.pinterest.com/peterlarssonz/international-red-cross-red-crystal-red-lion-and-s/

සියල්ලන්ගේම අයිතිවාසිකම් සුරැකිය යුතු වීම

යම් හෙයකින් දුර්වලභාවයට පත් ව සටන් කිරීමට අපොහොසත් වන හෝ තමා ඉදිරියේ යටත් වන සතුරු පාර්ශවයේ කිසිදු පුද්ගලයෙකු හට තුවාල හෝ හිරිහැර සිදු කිරීම මෙන්ම ඔවුන් මරණයට පත් කිරීම මානුෂවාදී නීතිය තුළ කිසි විටෙකත් අනුමත නොකෙරේ. සතුරු පාර්ශව හමුදා සොල්දාදුවන් යටත් වුනු පමණින් ඔවුන්ට ජීවිත හානි පැමිණවීමට කිසිදු ඉඩක් ලබා දී නොමැත. ඔවුන් යටත් වූ පසුව ඔවුන්ට අවශ්ය  වන රෝහල් හා ගිලන් රථ පහසුකම්, වෛද්‍ය ප්‍රතිකාර, සනීපාරක්ෂාව මෙන්ම ආහාර හා ඉදුම් හිටුම් යනාදිය සපයා දීම පවා ඔවුන්ව යටත් කරගන්නා පාර්ශවයෙහි වගකීමක් වන්නේය.

යුද සිරකරුවන් රඳවා තබන කදවුරු වල තත්වයන් මනුෂ්‍ය වාසයට සුදුසු ඒවා විය යුතු අතර, ඔවුන්ව කිසිදු ආකාරයකින් කෲර හා අමානුශික වධ බන්ධනයන්ට ලක් නොකළ යුතු ය. එමෙන්ම, තම පවුලේ සාමාජිකයන් සමග පණිවිඩ හුවමාරු කර ගැනීමට පවා ඔවුන්ට අවස්ථාව සලසා දිය යුතු වේ. සතුරු පාර්ශවය නියෝජනය කරන ජාතියෙහි හෝ රාජ්‍යයෙහි සිවිල් වැසියන්ට පවා මෙම නීතිය අදාළ වේ. මෑත කාලීනව මෙරට විශාල ආන්දෝලනයක් ඇති කළ “සුදු කොඩි නඩුව” ඊට කදිම නිදසුනකි. එම සිදුවීම හා බැදි නීතිමය රාමුව පිළිබඳව ඉදිරි ලිපිවලින් සාකච්ඡා කරන්නෙමු.

http://www.rogerebert.com/reviews/a-war-2016

අපට IHL කුමට ද?

මානුෂවාදී නීතිය පිළිබදව අප දැනුවත් වීමේ වැදගත්කම අන් කිසිවක් නොව, විවිධ දේශපාලකයින් විසින් මෙරට ජනතාව නොමග ‍යැවීම වළකාලීමයි. අන්තර්ජාතික කරළිය තුළ මෙම නීතීන් ක්‍රියාත්මක වන ආකාරය මෙන්ම ඒවාට මුල් වන මූලධර්මයන් පිළිබදව මනා අවබෝධයක් ඇති කිරීම හරහා පොදු මහජනතාවගේ ඡන්ද ගරා ගැනීම පිණිස ජිනීවා යෑම හා හයිබ්‍රිඩ් අධිකරණය වැනි දෑ පිළිබඳ පුන පුනා පැවසීම නවතාලිය හැකිවන අතර, සත්‍ය තත්වයන් පිළිබඳවද අවබෝධයක් ජනතාවට ලබා දිය හැකි වන්නේය.

කවරයේ රූපය – http://blogs.icrc.org/law-and-policy/2016/06/29/locating-geneva-conventions-commentaries/

තොරතුරු උපුටා ගැනීම – ICRC ADVISORY SERVICE ON INTERNATIONAL HUMANITARIAN LAW

Related Articles

Exit mobile version