ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය කොටස් ගණනාවකින් සමන්විතයි. ඉහළ අධිකරණ සහ පහළ අධිකරණ වශයෙන් හඳුනාගත හැකි ඒවා පහත අයුරින් පෙළගැසේ.
- ශ්‍රේෂ්ඨාධිකරණය (Supreme Court)
- අභියාචනාධිකරණය (Court of Appeal)
- මහාධිකරණය (High Court)
- දිස්ත්‍රික් උසාවි (District Court)
- මහේස්ත්‍රාත් අධිකරණය (Magistrate Court)
- ප්‍රාථමික උසාවි (Primary Courts)
මේ ගැන සරල විස්තරයක් ඔබේ ප්‍රයෝජනය උදෙසා ඉදිරිපත් කිරීමට මෙම ලිපියෙන් අදහස් කෙරේ.
ශ්‍රේෂ්ඨාධිකරණය (Supreme Court)
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඉහළම සහ උත්තරීතර අධිකරණය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය යි. අග්‍ර විනිශ්චයකාරවරයා සහ තවත් විනිසුරුවන් හයකට (6) කට නොඅඩු සහ දහයකට (10) නොවැඩි ප්‍රමාණයකින් එය සමන්විත යි.
ශ්‍රේෂ්ඨාධිකරණය සතු බලතල සහ කාර්යභාරය පහත පරිදි වේ.
අවසාන අභියාචනාධිකරණ බලය
එනම් සිවිල් සහ අපරාධ නඩු වල දී අභියාචනාධිකරණයෙන් සහ පහළ උසාවි වලින් එන අභියාචනා සළකා බැලීමේ බලයයි. අභියාචනා සම්බන්ධ අවසාන අධිකරණ බලය හිමිවන්නේ මෙම උත්තරීතර අධිකරණයටයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති අර්ථ නිරූපණය කිරීමේ පූර්ණ බලතල හිමිවන්නේ මෙම අධිකරණයටයි.
මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධ අධිකරණ බලය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, සිතීමේ නිදහස, හෘද සාක්ෂියේ නිදහස, ආගමික නිදහස, ක්‍රෑර අමානුෂික වධහිංසා වලින් නිදහස, සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම, අත්තනෝමතිකව සිරභාරයට ගැනීමෙන්, රඳවා තබා ගැනීමෙන්, සහ දඬුවම් කිරීමෙන් ගැලවීමේ නිදහස, භාෂණයේ, රැස්වීමේ, සමාගමයේ, රැකියාවේ, සහ යාම් ඊම් යනාදියේ නිදහස ආදියයි මූලික අයිතිවාසිකම් වශයෙන් හඳුනා ගන්නේ. මෙම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම සම්බන්ධ චෝදනා සළකා බැලීමේ පූර්ණ අධිකරණ බලය හිමි වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට යි.
පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ වීම සම්බන්ධ අධිකරණ බලය
එනම් ඡන්ද පෙත්සම් විභාග කිරීමේ බලය, නීතිඥවරුන්ගේ පත්කිරීම්, අත්හිටුවීම්, සහ ඉවත් කිරීම සම්බන්ධ අධිකරණ බලය හිමි වන්නේ මෙම අධිකරණයට යන්නයි.
අභියාචනාධිකරණය (Court of Appeal)
අභියාචනාධිකරණයේ සභාපති (President of Court of Appeal) සහ තවත් හයට (6) නොඅඩු සහ එකොළහට (11) නොවැඩි විනිසුරුවන් සංඛ්‍යාවකින් අභියාචනාධිකරණය සමන්විත වේ. ශ්‍රේෂ්ඨාධිකරණයට පසුව ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණය වශයෙන් සැළකෙන්නේ මෙයයි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අභියාචනාධිකරණයේ බලතල හා කාර්යභාරය මෙසේයි.
පහළ උසාවි සහ අනෙකුත් විනිශ්චය සභා වලින් එන අභියාචනා සළකා බැලීම.
නිවැරදි කිරීමේ අධිකරණ බලය
එනම් නීතිමය සහ සිද්ධිමය දෝෂ නිවැරදි කිරීමේ බලයයි.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව දඬුවම් පැනවීමේ බලය.
රිට් ආඥා නිකුත් කිරීමේ බලය.
සර්ටියෝරි, ප්‍රෙසිඩෙන්ටෝ, මැන්ඩාමුස්, ක්වෝ වැරන්ටෝ වැනි රිට් ආඥා මේ අතර වේ.
මහාධිකරණය
මහාධිකරණය පිහිටුවා ඇත්තේ පළාත්බදව ය. පහළ උසාවි සම්බන්ධ අධිකරණ බලය හිමි එකම අධිකරණය වන්නේ මෙයයි. මහාධිකරණය සතුව දෙයාකාරයක අධිකරණ බලයක් පවතී. එනම්, අපරාධ අධිකරණ බලය සහ වාණිජ අධිකරණ බලයි.
- අපරාධ නඩු විභාග කිරීමේ බලය
- ජූරි සභාව හෝ හෝ විනිසුරුවන් ඉදිරියේ නඩු විභාග කිරීමේ බලය
- නීතිය මඟින් නියම කර ඇති දණ්ඩන පැනවීමේ බලය
මහාධිකරණය සතු සාමාන්‍ය බලතල වේ.
මහාධිකරණය යන්න ආකාර කිහිපයකින් සමන්විතයි.
සිවිල් අභියාචනා මහාධිකරණය
දිස්ත්‍රික් උසාවි වලින් පැමිණෙන සිවිල් අභියාචනා සලකා බැලීමේ අරමුණෙන් මෙම අධිකරණය පළාත්බද වශයෙන් පිහිටුවා ඇත.
මහාධිකරණය සහ පළාත්බද මහාධිකරණය
මහාධිකරණ විනිසුරු හෝ ජූරි සභාවක් ඉදිරියේ මහාධිකරණ නඩු කැඳවනු ලබයි.
වාණිජ මහාධිකරණය
මිලියන 5 ට වැඩි වාණිජ ගනුදෙනු සම්බන්ධ නඩු විභාග කිරීමේ බලය මෙම අධිකරණය සතු වේ.
දිස්ත්‍රික් උසාවි
සියලුම ආකාරයේ සිවිල් නඩු, තෙස්තමේන්තු නඩු, වෛවාහික ගැටළු (දික්කසාද, විවාහ ශුන්‍ය කිරීම) ආදිය විභාග කිරීමේ බලතල හිමි වන්නේ දිස්ත්‍රික් උසාවියටයි.
මහේස්ත්‍රාත් උසාවි
පහත බලතල හා කාර්යභාරයන් මහේස්ත්‍රාත් අධිකරණය සතු වේ.
- දණ්ඩ නීති සංග්‍රහය සහ අනෙකුත් නීති වලට යටත්ව අපරාධ නඩු සම්බන්ධ අධිකරණ බලය
- පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම
- සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරියේ පැමිණවීම සඳහා වරෙන්තු නිකුත් කිරීමේ බලය
- සෝදිසි වරෙන්තු නිකුත් කිරීම
- පුද්ගලයන් යහපත් හැසිරීමේ බන්ධනයට ඇතුලත් කරවීම සඳහා නියෝග නිකුත් කිරීම
ප්‍රාථමික උසාවි
අධිකරණ සංවිධාන පනත දක්වන ආකාරයට රුපියල් එක දහස් පන්සියයට (රු. 1500.00) නොවැඩි, සාමයට බාධා වීමේ සිද්ධි විනිශ්චය කිරීමේ බලය මෙම අධිකරණය සතු වේ. එනම්, ප්‍රාදේශීය වශයෙන් හෝ අධිකරණ බල සීමාව තුළ සිවිල් සහ අපරාධ නඩු විභාග කිරීමේ බලය ප්‍රාථමික උසාවි සතු වේ යන්නයි. මීට අමතරව සාමයට බාධා වියහැකි ආකාරයේ ඉඩම් ආරවුල් විභාග කිරීමේ බලය ද මෙම උසාවිය සතු වේ.
විකල්ප ගැටළු නිරාකරණය (Alternative Dispute Resolution– ADR)
ඉහතින් සඳහන් කළ අධිකරණ ක්‍රියාදාමයට අමතරව ‘විකල්ප ගැටළු නිරාකරණය’ නම් වූ ක්‍රමයක් ද ශ්‍රී ලංකාවේ ගැටළු නිරාකරණය කිරීමේ ක්‍රමවේදය තුළ දැකගත හැකි වේ. සමථකරණය, බේරුම්කරණය වැනි ක්‍රම මෙහි දී අනුගමනය කරයි. අඩු කාලයක් තුළ, අවම මුදලක් දරා ගැටළු නිරාකරණය කර ගැනීමත්, අධිකරණයේ අධික වැඩ ප්‍රමාණය අවම කර ගැනීමත් මෙම ක්‍රමවේදයේ අරමුණ යි.
කවරයේ කතාව: groundviews.org
මූලාශ්‍ර
blog.ipleaders.in
english.constitutionalassembly.lk
hierarchystructure.com
jsc.gov.lk