ලංකාවේ පැරැන්නන් අතීතයේ සිටම ඉහල වාරි කර්මාන්ත තාක්ෂණයකට හා ගෘහ නිර්මාණ ශිල්පයකට හිමිකම් කියන ලදී. ඔවුන්ගේ නිර්මාණකරණයේ එක් පැතිකඩක් ලෙස පාලම් තැනීම දැක්විය හැක. බොහෝවිට අතීත රජවරු නගරය වටා දිය අගලක් කරවා විශාල තාප්පයකින් නගරය ආරක්ෂා කරන ලදී. මෙම දිය අගලෙන් නගරයට ඇතුල් වීමට දැවැන්ත පාලම් ඉදි කර තිබෙන ආකාරය වර්තමානයේ රුපවාහිනියේ විකාශනය වන කාටූන් කතන්දර වල පවා දක්නට ලැබේ. එලෙස ආරම්භ වූ පාලම් තාක්ෂණය වර්තමානයේ බොහෝ දියුණු මට්ටමක පවතී.
ක්‍රමවත් ලෙස වර්තමානයේ ඇති නූතන පාලම් වල ආරම්භය බ්‍රිතාන්‍ය පාලන සමයේ සිදු වී ඇත. ඔවුන්ගේ ආර්ථිකයේ ප්‍රධාන කොටසක් වූ වැවිලි කර්මාන්තය පදනම් කර ගනිමින් දියුණු මාර්ග පද්ධතියක් බිහිවිය. මේ හා සමගාමිව පාලම් තාක්ෂණයද දියුණු විය. නමුත් පුරාවිද්‍යාත්මක සාධක අනුව බ්‍රිතාන්‍ය යුගයට පෙර සිටම ලංකාවේ දියුණු පාලම් තාක්ෂණයක් තිබු බව සනාථ වී ඇත. අතීතයේ ලංකාවේ තිබු පාලම් වර්ග ප්‍රධාන කොටස් තුනකට බෙදා දැක්විය හැක. ඒවා නම් ලී පාලම්, ගල් පාලම් හා ග්‍රාමීය පාලම්ය. මෙම ලිපිය තුලින් ලංකාවේ තිබු පැරණි පාලම් පිළිබද තොරතුරු රැසක් ගෙන ඒමට මා බලාපොරොත්තු වේ.
ලී පාලම්
ලංකාවේ ඓතිහාසික මුලාශ්‍රයන් වල ලී පාලම් පිලිබදව බොහෝ තොරතුරු සඳහන් වේ. මේ පිළිබද ඇති පැරණිතම සාධකය ලෙස දැක්විය හැක්කේ හත්ථවනගල්ල, විහාර වංශයෙහි එන, තිසා වැව අසල වූ ලී පාලම පිළිබඳ සඳහනයි. මීට අමතරව විසුද්ධි මාර්ග සන්නයෙහි මිනිසුන්ට ගමන් කළ හැකි ලෑලි වලින් සැදු “ජංස සේතු” නම් පාලම් ප්‍රභේදයක් හා කරත්ත ගමන් කළ හැකි “සකට සේතු” නම් පාලම් ප්‍රබේධයක් පිළිබද සඳහන් වේ.
අපගේ පැරැන්නන් පිළිබද තොරතුරු සොයා ගැනීමට ඇති වඩාත් වැදගත්ම මුලාශ්‍රයක් ලෙස මහාවංශය දැක්විය හැක. මහා පරාක්‍රමබාහු රජුගේ දේව නම් සෙනෙවියෙකු විසින් කලා ඔය හරහා තැනු ලී පාලමක් පිළිබඳ තොරතුරු මහාවංශයේ දැක්වේ. චතුරංගනී සේනාවට එතෙර විය හැකි පරිදි ශක්තිමත්ව සකසා ඇති මෙම පාලම දිගින් මීටර් 90ක් පමණ වේ.
මහා වංශයට අනුව අතීතයේ ලංකාවේ වැඩිම පාලම් ප්‍රමාණයක් ඉදිවී ඇත්තේ දෙවැනි පරාක්‍රමබාහු රජුගේ කාලයේදීය. ශ්‍රී පාද මාර්ගයෙහි ඉදිකර ඇති මෙම පාලම් විවිධ ප්‍රමාණවලින් යුතු වේ. මෙම පාලම් අතරින් දිගම පාලම වශයෙන් හඳුනාගන ඇත්තේ “කදලිසේනගාම” යෙහි ඉදිකළ අඩි 1000 ක් පමණ දිග යැයි පැවසෙන පාලමකි. දැව ඉක්මණින් විනාශයට ලක්වන ඉදිකිරීම් මාධ්‍යයක් බැවින් පැරණිම ලී පාලම් බොහොමයක් අද වන විට විනාශ වී ඇත.
මහාවංශයෙන් පසු ලී පාලම් පිළිබඳ තොරතුරු අනාවරණය කරගත හැක්කේ 18 වන සියවසට අයත් වාර්තා හා පුරාවිද්‍යාත්මක සාධක ඇසුරෙනි. මීට අමතරව ලන්දේසි සිතුවම් හා වාර්තාද මේ සඳහා වැදගත් වේ. මහනුවර තානාපතිවරයෙක් ලෙස පත්ව ආ පයිබස් නැමැත්තාගේ වාර්තා වලට අනුව පලාපත්වල තිබු ලී පාලමක් හා හුලංගමුවේ හි වු කැටයම් කළ රූප සහිත පාලමක් පිළිබද තොරතුරු හෙළිදරව් වේ. 18 වන සියවසට අයත් ලි පාලමක් බදුල්ල දිස්ත්‍රික්කයේ බෝගොඩ රජමහා විහාරයේ ආසන්නයේ වර්තමානයේදී පවා දැකිය හැක.
ගල් පාලම්
ගල් පාලම් දෙයාකාරයකින් හදුනාගත හැක.
- ගල් බාල්ක පාලම්
- ගල් පුවරු පාලම්
මෙයින් විශාල පාලම් තැනීම සදහා ගල් බාල්ක ක්‍රමය යොදාගෙන ඇත. මෙවැනි පාලම් විශාල ප්‍රමාණයක් අනුරාධපුරය අවටින් සොයාගත හැක.
ගල් පාලම් මහාවංශයේ සඳහන් වන්නේ ශීලා සේතු නමිනි. අනුරාධපුරයේ ගල් පාලම් කොටස් කීපයකට බෙදා දැක්විය හැකිය. ඒවා නම්
- මල් වතු ඔයේ ගල් පාලම්
- ඇතුළු නුවරට පිවිසෙන පාරවල් වල ඇති ගල් පාලම්
- බාල්ක පාලම්
- ගල්පුවරු පාලම්
1. මල්වතු ඔයේ ගල්පාලම්
මෙම ගල් පාලම් අතර කිරිබත් වෙහෙරට නුදුරින් පිහිටි ගල්පාලමේ නටබුන් තවමත් ශේෂව පවතී. නඛා වෙහෙර සමීයෙහි තවත් පාලම් දෙකකද අවශේෂ දැකිය හැක. අනුරාධපුරයේ හාල්පාන් ඇළ හරහා ද කුඩා ගල් පාලමක් දැකිය හැකිය.
2. ඇතුළු නුවරට පිවිසෙන පාරවල් වල ඇති ගල් පාලම්
ජේතවනාරාම සංරක්ෂණ ව්‍යාපෘතියේ ප්‍රධාන පර්යේෂණ නිලධාරී තුසිත මෙන්ඩිස් මහතාට අනුව සතර දිශාවෙන් ඇතුළු නුවරට ප්‍රවේශ වන මාර්ග වල ගල්පාලම් දක්නට ලැබේ. උතුරු ප්‍රවේශය ඇති ගල් පාලම මල්වතු ඔය හරහා වැටී ඇත. බටහිර ප්‍රවේශයේ ගල් පාලම මහකදරා ඔය හරහා වැටී ඇත.
3. බාල්ක පාලම්
කොඩිතුවක්කු මහතාට අනුව ප්‍රධාන මාර්ගයන්ගේ ඉදිකර ඇති පාලම් බාල්ක පාලම් වේ. මේවා ඉදිකර ඇත්තේ ප්‍රධාන ගල්කණු තුනක් මතයි. මෙම ගල්කණු තුන මතට හරස් අතට තවත් ගල්කණුවක් දමා ඒමත ගල් පුවරු අතුරා මෙම පාලම් නිර්මාණය කර ඇත.
4. ගල්පුවරු පාලම්
විශාල පාලම් වලට අමතරව දක්නට ලැබෙන කුඩා ගල් පාලම් මේ නමින් හදුන්වයි. මේවා විශාල ආරාම ඇතුලේ සහ කුඩා අඩිපාරවල් වලට සම්බන්ධ කර ඇත.
5. ග්‍රාමීය පාලම්
ග්‍රාමීය පාලම් තුලට බොහෝ විට අයිති වෙන්නේ අඩි පාලම්ය. මේවා නිර්මාණය කිරීමට දඬු හා වැල් උපයෝගී කරගෙන ඇත. ඒ දඩු පාලම් මේ සඳහා කදිම උදාහරණයකි. කුඩා දියපාරවල් වලින් එතෙර වීමට ඒදඬු භාවිත කර ඇත. මේවා වර්තමානයේ පවා පිටිසර ගම්බද ප්‍රදේශ වල දැකිය හැක. එල්ලෙන පාලම්ද ග්‍රාමීය පාලම් විශේෂයක් ලෙස දැක්විය හැක. ගුරුගොඩ ඔය හරහා මහනුවරට පිවිසෙන මාර්ගයට අයත් වු ඉද්ද මල් පාන පාලම ඉන් එකක් ලෙස දැක්විය හැක. වර්තමානයේ පවා පේරාදෙණිය උද්භිත උද්‍යානයේ “සංගිලි පාලම” නම් එල්ලෙන පාලමක් දැකිය හැක. වළකුඹුර දුම්රිය ස්ථානය අසලද මෑත කාලයේ එල්ලෙන පාලමක් මා ඔය හරහා ඉදිකර ඇත.
කවරයේ පින්තුරය – waagner-biro.com