යටත්විජිත කාලය යනු උඩරටට නම් 1815 පසු කාලය වුවත්, දකුණේ වෙරළබඩ අගනගරය වූ ගාල්ලට නම් 1600 ගණන්වල සිට උදා වුණි. ලෝකය හා වේගයෙන් ගැටුණු පෘතුගීසින්, ලන්දේසින්, සහ ඉංග්‍රීසින්ගේ ඇසුර පාතරට පළාතේ ප්‍රභූන්ට නිතරම ලැබුණි. එසේම වැවිලි හා වෙළදාම් කටයුතු දියුණු වීම හේතු කොටගෙන යටත්විජිත කාලය තුළ උඩරට පළාතට වඩා වෙරළබඩ කලාපයන් යම් සමෘද්ධිමත් ස්වභාවයක් ඉසිලීය. ඒ තත්ත්වය තුළ බෞද්ධ ශාසනික සේවාවන්වල ද යම් පිබිදීමක් දකින්නට ලැබුණි. හෙළ ගද්‍ය පද්‍ය සාහිත්‍යය ක්ෂේත්‍රය ද දකුණු වෙරළබඩ කලාපයෙන් ලැබුණු දායකත්වය විශේෂ ය. එකල ලංකාවේ බස රැකීමට, සාහිත්‍යය නැංවීමට, රටේ අධ්‍යාපනය පිහිටුවීමට කැපවුනු ගාලු පුත්‍රයින් රැසක්ම විය. එයින් කිහිපදෙනෙක් ගැනයි මේ.
හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි
උඩරට මූලික වූ සියම් මහ නිකායෙන් උපසම්පදාව ලද හික්කඩුවේ සුමංගල නාහිමි පාතරට හික්කඩුවේ ඉපිද හැදී වැඩුණු මහ තෙර නමකි. උන්වහන්සේ වරක් දුම්රියෙන් කොළඹ සිට උඩරට බලා ගමනක් යන්නට පළමු පන්තියේ මැදිරියකට ගොඩ විය. අද වැනි රූපවාහිනී ආදී ජනමාධ්‍ය නොතිබූ එකල මේ භික්ශුව හඳුනා නොගත් ඉංග්‍රීසි ජාතිකයන් දෙදෙනෙකු, නොයෙක් අපහාස උපහාස කතාවෙන් පළමු පන්තියේ මැදිරියක නැගී දුම්රියේ යන සුමංගල නාහිමි විවේචනය කරන්නට විය. “මූ තුන්වන පන්තියේ ටිකැට් අරගෙන තක්කඩිකමට පළමු පන්තියේ යනවාද කොහෙද“ ආදී කතාබහෙන් සුදුජාතිකයින් දෙදෙනා නාහිමියන්ව විවේචනය කරන ලදී. අතීතයේ පොල්ගහවෙල දී උඩරට යන ජනයා සහ රජරට යන ජනයා වෙන වෙනම දුම්රියවලට මාරු විය යුතු විය. මේ අවස්ථාවේ දී වෙනත් දුම්රියකින් පැමිණි එවකට ආණ්ඩුකාරවරයා සුමංගල නාහිමියන් දැක පැහැදී පැමිණ එකත්පස්ව වැඳ කතාබස් කර ගියේ ය. එය දුටු සුද්දන් දෙදෙනාට තරු විසිවිය. ඉන් පසු තමන් කළ දේ ගැන ඔවුන් නාහිමියන්ගෙන් සමාව ඉල්ලූ බව කියැවේ.
එකල ලාංකිය සසුන තුළ විදේශිකයින්ගේ පවා ගරු බුහුමනට ලක්ව, විදේශ දූත සේවාවන්වලට සහභාගී වූ හික්කඩුවේ සුමංගල හිමි සැබැවින්ම සඟ පීතෘවරයාණන් කෙනෙකු විය. විද්‍යෝදය පිරිවෙන ආරම්භය, බෞද්ධ පාසැල් ආරම්භ කිරීමට මුල් වීම, බෞද්ධ පොතපත නැවත සංශෝධනය කොට මුද්‍රණය කරවීම, විවාදාපන්න කාරණා වල දී මැදහත්ව ඒවා විසඳාදීම ආදී බොහෝ සේවාවන් උන්වහන්සේ අප රට වෙනුවෙන් ඉටුකර ඇත.
ආනන්ද රාජකරුණා
ගාල්ලේ මාදම්පාගම උපන් ආනන්ද රාජකරුණා කොළඹ යුගයේ දීප්තිමත් කවියෙකි.
රෝස මලේ නටුවෙ කටූ – වන බමරෝ ඔහොම හිටූ
නටුව නොවේ මල සිඹිමී – මම ළමයෝ පැණි උරමී
යනු ආනන්ද රාජකරුණාගේ අලංකාර ළමා කවියෙකි. ගේය පද තරම්ම ගායනයට සහායක් දක්වන කදිම කවි පැබඳීමට ආනන්ද රාජකරුණා ශූරයෙක් විය. එවකට සමාජයේ තිබූ විදේශ-ගැති සිරිත් වලට මුල් තැන දීම ආනන්ද රාජකරුනාගේ සිත් ගත්තේ නැත. ඔහු විදෙස් බස හා මුසුව හෙළ බස භාවිතා කිරීමෙන් සිංහල බසට වෙන හිරිහැරය ගැන පහත පරිදි කවි පටබැන්ඳේ ය.
හෙට සවස මෙහි ඒවි මිසිස් වැන්දබෝනා
කොට ගවුම ඇදන් දැන් යයි ෂොපින් මිස් ජෙහානා
කදිම ජොලි පෙළේ වික්ටර් ලුක් ඇට් මයි පියා නා
දොඩන සැටි බලව් අච්චාරු බසින් අඳෝනා
ඒ එවකට යුරෝපීයන් අනුකරණය කර සෝබන දැක්වීමට කැමති පිරිසක් ගැන වූ රාජකරුණාගේ කවියකි.
එදිනෙදා ජීවිතයේ විශේෂ අවස්ථාවන්වල දී ද කවි යොදාගත් රාජකරුණා වරක් උසාවියේ දී පිළිතුරු දී ඇත්තේද කවියෙකිනි. ළමා ගීත ළමයින්ගේ මනසේ චිත්‍ර ඇදෙන ලෙස කදිමට රචනා කිරීමට ආනන්ද කිවියානෝ සමර්ථයෙක් විය. අවසාන සමයේ ආනන්ද රාජකරුණා ශූරින් කිසිවෙකුගේ හව්හරණයක් නොමැති වූ නිසා පැවිදි දිවියට ඇතුළත් වූ අතර, පැවිදි දිවියේ වැඩිකලක් යන්නට මත්තෙන් කවියානන්ට දිවියෙන් සමුගන්නට සිදු විය.
රහල් හිමි
සැළලිහිණි සංදේශය ලිවීම පාදක කොට ගෙන අප රට සාහිත්‍යය ක්ෂේත්‍රයේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ සලකුණ සටහන් වී තිබේ. එහෙත් සාහිත්‍යය පමණක් නොව එවකට පැවති ධර්ම ශාස්ත්‍රීය කටයුතු සෑම එකකම පාහේ කෙළ පැමිණි රහල් හිමි බුද්ධිමත් තෙර නමක් විය. උන්වහන්සේ කිහිප විඩක්ම භාරතයෙන් මෙහි පැමිණි විවාදකරුවන්, විජ්ජාකරුවන් මඩින්නට සමත් විය. උන්වහන්සේගේ මරණය ගැන විවාදාපන්න මතවාද ඇත. ඇතැමෙක් ඉන්දියාවේ ගෝවේ දොන් සේවියර් මුණිතුමා යැයි හඳුන්වන මමිකරණයට ලක් කළ දේහය පෘතුගීසි දවස ලංකාවෙන් රැගෙන ගිය රහල් හිමිගේ දේහය යැයි මත පල කරති.
හිස රදයෙන් මිරිකී අයෙක් දිනක් රහල් හිමියක් හමුවන්ට පැමිණියේ ය.
අරළු බුළු නෙල්ලී
එකෙක් ඇවිදින් ඉල්ලී
කොටා හිස ගැල්ලී
වහ දිවේ හිසරද සෙල්ලි-සෙල්ලී
යනුවෙන් එවෙලේම කවි සිවුපදයකින් හිසරදයට බෙහෙත් කියන්නට තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සමත් වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ.
මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි
බලපිටියේ මිගෙල් ලෙසින් ඉපදුනු තරුණයෙක් පසුකලෙක රටේ නම ගිය වාදීභසිංහ හිමිනමක් බවට පත්විය. ඒ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපානන් වහන්සේ ය. එවකට කොළඹ සුද්දන්ගේ පාලනය යටතේ වූ අතර කැළණිය පංසල, රත්මලානේ පංසල ආදී තැන්වල මිස කොළඹ නගර සීමාවේ විහාරස්ථාන නොවී ය. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි කොටහේන දීපදුත්තාරාමය තනිවම ගොඩනඟාගනිමින් සිංහල බෞද්ධයාට අගනුවර වඳින පුදන තැනක් වෙන්කරගන්නට සටනට බැස්සේය. ඒ ගමනේ දී ඇතැම්විට ක්‍රිස්තියානි පාර්ශව සමග කලකෝලහාලවලට ද පැටලෙන්නට මිගෙට්ටුවත්තේ හිමිට සිදුවිය. එහෙත් කිසිවකින් නොසැලුනු උන්වහන්සේ යටත් විජිත සමයක වුව ද සිංහල හඬ වෙනුවෙන් පෙනී සිටි සේක.
පානදුරාවාදයට කරත්තයෙක නැගී වඩින ගුණානන්ද හිමිට අතරමග දී අන්‍යාගමිකයින් පිරිසකින් කරදරයක් වෙත්දෝයි සැක පහළ විය. උන්වහන්සේ වහාම කරත්තකරුවා හා කතාකොට මඳ වේලාවකට දෙදෙනා වෙස් මාරු කොටගෙන, ඉන්පසු නැවතත් පානදුරට ලං වෙනවිට සිවුර දරාගත් බව ජනප්‍රවාදයන්වල සඳහන් වේ. ඕල්කොට් තුමා ලංකාවට කැඳවාගෙන ඒම, සියම් රට සමග බෞද්ධ ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය කැරගැනීම ආදිය මිගෙට්ටුවත්තේ හිමි අතින් සිදුවූ අමිල මෙහෙයන් වේ.
බටුවන්තුඩාව දේවර්ක්ශිත පඬිතුමා
බඩුවන්තුඩාව පඩිතුමා එක්දාස් අටසිය ගණන්වල අග භාගයේ ලංකාවේ විසූ කීර්තිමත් පඬි රුවනකි. පාලි, සංස්කෘත මෙන්ම, සිංහල බසෙහි ද කෙළ පැමිණි පඬිතුමා සෙවනේ ජපානය ආදී රටවල සිසුන් ද ඉගෙනගෙන තිබේ. හික්කඩුවේ සුමංගල හිමි හා සහ සම්බන්ධව ග්‍රන්ථකරණයේ ද නිරත වූ පඬිතුමා සිංහල බෞද්ධ පුවත්පත් කිහිපයකටම සාරගර්භ ලිපි සපයන වියතෙක් වීය. එතුමා ගාල්ලේ බටුවන්තුඩාවේ උපත ලබා, මුල් කාලයේදී සිවුරු දැරූ අයෙකි. පඬිතුමාට ලිඛිත විවාදයක දී හෝ “ හීරළුවා“ යැයි ඇමතුවොත් වහා කිපෙන ගතියක් තිබුණි. එම නිසා පසුකලෙක සමකාලීන විවාදකරුවන් පඬිතුමාට කරන ගෞරවයක් සේ සලකා, ඔහුගේ සිවුරු හල පුවත ඉස්මතු නොකර වාද විවාද කරන්නට වග බලාගෙන තිබේ.
සී. ඩබ්. ඩබ්. කන්නංගර මහතා
අද දේශපාලනයේ පතාක යෝදයින් සේම, සෑම සියලු ක්ශේත්‍රයකම ඉහළින්ම නම් තැබූවෝ සියල්ල රටේ නිදහස් අධ්‍යාපනයෙන් ආලෝකය ලැබූ අයවලුන් වෙති. යටත්විජිත කාලයේදීම නිදහස් අධ්‍යාපනය යන අදහස පුබුදු කරගන්නට සී. ඩබ්. ඩබ්. කන්නංගර මහතා සමත්විය. එතුමා ආසියානු කලාපයෙන්ම දක්ශ සිසුවෙකු ලෙස, අධ්‍යාපනය ලබන කාලසීමාවේ දී පතල විය. පසුකලෙක දේශපාලනයට පිවිසි කන්නංගර මහතා දේශපාලනයෙන් අධ්‍යාපන ඇමති දක්වා ඉහළම තැනකට පැමිණියේ ඉගැනීමට තිබූ හැකියාව නිසාම ය. ඔහු නිදහස් අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දී මධ්‍ය මහා විද්‍යාල ඇති කිරිමේ පුරෝගාමියෙකු විය. ඒ නිසා ගම්බද දක්ෂ සිසුන් අති විශාල ප්‍රමාණයකට අධ්‍යාපනයේ දොරටු විවර විය.
එවකට කන්නංගර මහතාගේ අදහසට ලංකාවේ සිටි ඇතැම් දේශීය දේශපාලකයින්ගෙන් පවා ලැබුණේ “ගම්වල කොල්ලන් ඉගෙනගත්තම ගහකින් ගෙඩියක් කඩාගන්න යවන්නේ මොකාදැ”යි වැනි විරෝධාකල්ප ය. එහෙත් ඒ සියල්ල මැඬගෙන සියලුදෙනාට එක සේ නොමිලේ අධ්‍යාපනය ලැබිය හැකි ප්‍රතිපාදන සැලසීමට කන්නන්ගර මහතාට හැකි විය.
ගාලු පුරයෙන් රටට බිහිවූ විද්වතුන් සහ සාහිත්‍යධරයන්ගේ ලැයිස්තුව මීට වඩා බොහෝ දිග ය. මේ දක්වා ඇති චරිත කිහිපය ඔස්සේ ගාලු පළාතෙන් නැංවුනු ප්‍රබෝධය ගැන යම් අවබෝධයක් ගත හැකිය. නූතනයේ නම් තාක්ශණික දියුණුව හේතුවෙන් එක් එක් පළාත් අතර ගමනාගමනය මෙන්ම සන්නිවේදනයද දියුණු වී තිබේ. එහෙත් එදා කොළඹ සහ ගාල්ල යනු පෑ ගණනාවක ගමනකි. එදා යුගයේ ගාල්ලෙන් බිහිවූ තරු ලංකාවම එකලු කරන්නට සමත් වී ඇති බැව් ගාලු ඉතිහාසය දෙස බැලීමේදී පෙනී යයි.