ශ්‍රී ලංකාවේ 15 වැනි මහා මැතිවරණය එළඹෙන අගෝස්තු මාසයේ 5 වැනිදා පැවැත්වීමට නියමිතව යි. මේ දිනවල ලොව පුරා පැතිරෙන කොරෝනා වසංගතය නිසා මෙවර මහා මැතිවරණය පැවැත්වීමට සිදුව තිබෙන්නේ දැඩි නීති-රීති මධ්‍යයේ යි. එහිදී අනුගමනය කළ යුතු විශේෂ නීතිරීති මාලාවක් ද පසුගිය මාසයේ සෞඛ්‍යය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය මඟින් නිකුත් කරනු ලැබුවා. එම නීතිරීතිවලට අනුව මෙවර මහා මැතිවරණය පැවැත්වෙන නිසා විශාල අමතර වියදමක් දැරීමට ලංකා රජයට සිදුවනවා. පසුගිය දිනෙක මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසා සිටියේ මෙවර මහා මැතිවරණයේ සමස්ත වියදම කෝටි 1000 ඉක්මවා යාමට ඉඩ ඇති බව යි.
මැතිවරණයක් පැවැත්වීම සඳහා දායක වන නිලධාරීන්
ලංකාව තුළ ඕනෑම ආකාරයේ මැතිවරණයක් පැවැත්වීම සඳහා විශාල නිලධාරින් ප්‍රමාණයක් අවශ්‍ය යි. ලංකාව පුරාම ඡන්ද මධ්‍යස්ථානවල වැඩ කටයුතු සිදු කිරීමට සහ එහි ආරක්ෂාවට මෙලෙස නිලධාරීන් රැසක් යොදාගනු ලබනවා. එසේම ඡන්ද ගණන් කිරීමේ කටයුතු සඳහා ද නිලධාරීන් බොහෝ පිරිසක් සහභාගී කෙරෙනවා. ඊට අමතරව ඡන්ද පෙට්ටි ප්‍රවාහනය, නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම වැනි කාර්යයන් සඳහා ද විශාල සේවක පිරිසක් යොදා ගැනීමට සිදුවනවා. එම සේකයන්ටත් වඩා මැතිවරණ සමයේ දී වෙහෙස මහන්සි වී රාජකාරි කටයුතු කිරීමට සිදුවන්නේ මැතිවරණ දෙපාර්තමේන්තුවට අනියුක්ත වී සිටින නිලධාරීන්ට යි. මැතිවරණයක් සාර්ථකව පැවැත්වීම සඳහා ඔවුන්ට දිවා රෑ නොබලා රාජකාරි කටයුතු කිරීමට සිදුවන බව බොහෝ දෙනෙකු හොඳින්ම දන්නා කරුණක්. එසේම මැතිවරණය ආසන්න වන විට දිස්ත්‍රික් ලේකම් කාර්යාල විසින් මැතිවරණ මෙහෙයුම් කමිටු නිර්මාණය කරනු ලබනවා. එම මෙහෙයුම් කමිටු මඟින් මැතිවරණය සාර්ථකව නිමා කිරීමට විශාල සහායක් ලබාදෙනවා. ඉහත සඳහන් කළ නිලධාරීන්ට අමතරව සෑම ගමකම රාජකාරි කටයුතු සඳහා පත්කර සිටින ග්‍රාම නිලධාරියා මැතිවරණ කටයුතු සඳහා විශාල සහායක් ලබාදෙන බව ද මෙහි දී සඳහන් කළ යුතු යි.
මැතිවරණ කටයුතුවලට දායක වන නිලධාරීන් සඳහා යන වියදම්
මැතිවරණ කටයුතු සඳහා සහභාගි වන සියලුම නිලධාරීන්ට රාජකාරි වෙනුවෙන් ගෙවීම් සිදු කරනවා. ඊට අමතරව ඇතැම් නිලධාරීන්ට අතිකාල දීමනා ද ගෙවීමට සිදුවෙනවා. එසේම මැතිවරණ කටයුතු සඳහා සහභාගී වන නිලධාරීන්ට ආහාරපාන, ගමන් බිමන්, ලිපි ද්‍රව්‍ය වැනි දේ සැපයීම අත්‍යවශ්‍ය යි. ඊට අමතරව ඔවුන්ට සනීපාරක්ෂක කටයුතු සඳහා ද පහසුකම් සැලසිය යුතු යි. එම කටයුතු සඳහා අධික වියදමක් දැරීමට රජයට සිදුවනවා.
වැයවන වෙනත් වියදම්
මැතිවරණය සඳහා අලුතින් ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීමට සිදු වුණොත් ඒ සඳහා අමතර වියදමක් වැයවනවා. එසේම මැතිවරණයක් සඳහා අලුතින් ඡන්ද පෙට්ටි සහ ඡන්ද කුටි තැනීමට සිදුවන අවස්ථාවන් තිබෙනවා. ඊට අමතරව පැරණි ඡන්ද පෙටිටි අලුත්වැඩියා කිරීමට ද සිදුවනවා. එම කාර්යයන් සඳහා ද සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් වැය වනවා. නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සහ මැකී නොයන තීන්ත වර්ගය මිල දී ගැනීම වෙනුවෙන් ද විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වනවා. එම වියදම්වලට මැතිවරණ කටයුතු සිදුවන ඡන්ද, මධ්‍යස්ථාන, ගණන් කිරීමේ මධ්‍යස්ථාන, දිස්ත්‍රික් ලේකම් කාර්යාල වැනි ස්ථානවලට විදුලිය සහ ජලය ලබාගැනීම සඳහා වැයවන මුදල ද එකතු වෙනවා.
2020 මහා මැතිවරණයේ දී අනුගමනය කළ යුතු නව නීතිරීති
මෙවර මහා මැතිවරණයේ දී මැතිවරණ කටයුතු සිදුකිරීම සඳහා නව නීතිරීති පද්ධතියක් සෞඛ්‍යය සහ දේශීය වෛද්‍ය කටයුතු අමාත්‍යාංශය විසින් හඳුන්වා දී තිබෙනවා. එම නිසාම නිලධාරීන්ට රාජකාරි කටයුතු කිරීමට සිදුව තිබෙන්නේ එම නීතිරීතිවලට අනුකූලව යි. මෙවර මැතිවරණයේ දී අනුගමනය කළ යුතු පහත සඳහන් නීතිරීති මාලාව නිසා මැතිවරණ කටයුතු වෙනුවෙන් සනීපාරක්ෂක ද්‍රව්‍යය මිල දී ගැනීමට සිදුවනු ඇති.
1) මැතිවරණ කටයුතු සඳහා සහභාගි වන සෑම නිලධාරියෙකුම මුහුණු ආවරණ පැළඳිය යුතු යි.
2) සියලුම ඡන්ද දායකයන් ඡන්දය දෙන ස්ථානයට පැමිණීමට පෙර දෑත් සේදීම හෝ විෂබීජහරණය කළ යුතු යි.
3) ඡන්දය ලකුණු කරන කුටිය සෑම පැයකටම වරක් විශබීජහරණය කළ යුතු යි.
4) සියලුම ඡන්ද දායකයන් ඡන්දය ලකුණු කරන කුටියෙන් පිට වුණු පසුව දෑත් සබන් යොදා සේදීම හෝ විශබීජහරණය කළ යුතු යි.
5) මැතිවරණ කටයුතු සඳහා භාවිතා කරන ගෘහ භාණ්ඩ සහ වෙනත් භාණ්ඩ විශබීජහරණය කළ යුතු යි.
6) ඡන්ද දායකයින් සහ ඡන්ද මධ්‍යස්ථානයේ නිලධාරීන් අතර පාරදෘශ්‍ය ආරක්ෂිත තිරයක් යෙදිය යුතු යි. එම තිරයේ පහළින් සකස් කරන ලද හිඩැසකින් රාජකාරි කටයුතු කළ හැකියි
7) ඇඟිලි වර්ණ ගැන්වීම සිදු කරයි නම් ඒ සඳහා Cotton bud එකක් භාවිතා කළ හැකියි. ඇඟිලි වර්ණ ගැන්වීම අවසන් වුණු පසු එම Cotton bud එක සංවෘත කසල බඳුනකට දැමිය යුතු යි.
8) ඡන්ද පෙට්ටිය සහ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා භාවිතා කරන පෑන සෑම පැයකටම වරක් විශබීජහරණය කළ යුතු යි.
9) කෝදුවක් මඟින් ඡන්ද පත්‍රිකාව ඡන්ද පෙට්ටිය තුළට තල්ලු කිරීම සඳහා වෙනම සේවකයෙකු යෙදවිය යුතු යි. එම කෝදුව හෝ සේවකයා වෙනස් වන්නේ නම් භාවිතයට පෙර කෝදුව විශබීජහරණය කළ යුතු යි.
10) ඡන්ද විමසීම අවසන් වුණු පසුව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ කාර්යය මණ්ඩලය විසින් ඡන්ද මධ්‍යස්ථානය විශබීජහරණය කළ යුතු යි.
මෙවර මහා මැතිවරණයේ දී දැරිමට සිදුවන අමතර වියදම්
ඉහත සඳහන් කළ නීතිරීති පිළිපදිමින් මැතිවරණ කටයුතු සිදු කිරීම සඳහා පහත සඳහන් ද්‍රව්‍යයයන් මිල දී ගැනීම අනිවාර්ය වනවා. එම නිසාම මෙවර මහා මැතිවරණය පැවැත්වීම සඳහා අමතර රජයට අමතර මුදලක් වැයකිරීමට සිදුවනු ඇති.
1) විශබීජහරණය සඳහා භාවිතා කරන විශබීජ නාශක දියර මිල දී ගත යුතු යි.
2) මැතිවරණ කටයුතු සඳහා සහභාගි වන නිලධාරීන් සඳහා මුහුණු ආවරණ මිල දී ගත යුතු යි.
3) මැතිවරණ කටයුතු සඳහා සහභාගි වන නිලධාරීන් සඳහා අත් ආවරණ මිල දී ගත යුතු යි.
4) පාරදෘශ්‍ය ආරක්ෂිත තිර මිල දී ගත යුතු යි.
5) Cotton bud සහ සංවෘත කසල බඳුන් මිල දී ගත යුතු යි.
6) ජලය වැඩි ප්‍රමාණයක් පරිභෝජනය කිරීමට සිදුවන නිසා අමතර වියදමක් දැරීමට සිදුවෙයි
මැතිවරණ වියදම කෝටි 1000 ඉක්මවන ලකුණු
2019 ජනාධිපතිවරණයේ දී 13,252,499ක ඡන්ද දායකයන් ප්‍රමාණයක් සිය ඡන්දය ප්‍රකාශ කර තිබුණා. නමුත් ජනාධිපතිවරණයකට සාපේක්ෂව මහා මැතිවරණයක දී ඡන්ද දායකයන් ඡන්දය ප්‍රකාශ කරන ප්‍රමාණයෙහි යම් අඩුවීමක් දක්නට ලැබීම සාමාන්‍ය දෙයක්. 2015 වසරේ දී ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය මාස 8ක පමණ පරතරයකින් පැවති අවස්ථාවේ මහා මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කර තිබුණු ඡන්ද දායකයන් ප්‍රමාණය ලක්ෂ 10කින් පමණ අඩු වී තිබුණු ආකාරය දක්නට ලැබුණා. ඒ අනුව මෙවර මහා මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කරන ඡන්ද දායකයන් ප්‍රමාණය 12,000,000ක් පමණ විය හැකියි. එවැනි ප්‍රමාණයක් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණියහොත් විශබීජ නාශක දියර ලීටර් 144,000ක් පමණ අවශ්‍ය වෙතැ යි මැතිවරණ කොමිෂන් සභාව ගණන් බලා තිබෙනවා. ඒ අනුව මෙවර මැතිවරණය සඳහා විශබීජ නාශක මිල දී ගැනීම සඳහා දළ වශයෙන් ලක්ෂ 72ක් පමණ වියදම් වනු ඇති. එසේම මැතිවරණ රාජකාරි සඳහා මුහුණු ආවරණ 700,000ක් පමණ වැයවීමට ඉඩ ඇති බවට මැතිවරණ කොමිසන් සභාව පවසනවා. ඊට අමතරව අත් ආවරණ, පාරදෘශ්‍ය තිර, Cotton bud සහ සංවෘත කසල බඳුන් වැනි දේවල් සඳහා ද අධික මුදලක් වැයවනු ඇති. ඒ අනුව මෙවර මැතිවරණය සඳහා වැයවන සමස්ත වියදම කෝටි 1000 ඉක්මවා යනු ඇතැයි මැතිවරණ කොමිසම අවසන් වශයෙන් පවසා සිටියා.