දමිත් වැලිකලව මුලින්ම අප හඳුනාගන්නෙ කවියෙක් විදියට. නමුත්, ඔහු එතැනට පමණක් ලඝු කොට හඳුන්වන්න බැරි චරිතයක්. ඒකට හේතුව ඔබට මේ සංවාදය අතරතුර දැනගන්නට ලැබේවි. ඔහු ගැන අප ඔබට කියනවාට වඩා, ඔබම ඔහු කියවා ගන්නවාට යි අප කැමති. එහෙනම් මෙන්න, දමිත් සමග අප කළ කතාබහේ සංක්ෂිප්තය.
වැලිකල, font හදන වැඩේ පටන් ගත්තෙ ඇයි?
ඒක එකපාරටම වගේ වෙච්ච දෙයක්. මම මේ ගැන අත්දැකීමක් හෝ අවබෝධයක් තිබුණු කෙනෙක් නෙවෙයි. මම නවකතාවක් ලියන්න උත්සාහ ගනිමින් හිටියා කාලයක් තිස්සේ. ඒ අතරෙදි මට කල්පනා වුණා, මේ පොත මගේම අත්අකුරින් මුද්‍රණය වුණා නම් හොඳයි කියලා. මොකද, මට ටිකක් රවුම් අත්අකුරක් ලියන්න පුළුවන්. ඒක මුද්‍රිත අකුරකට ගෙනාවොත් කියවන්න පහසු හැඩයක් එහි තියේවි කියා හිතුවා. ඒ ඔස්සේ තමයි මං නිර්මාණය කරපු පළවෙනි ෆොනුරුව විදියට ‘වැලිකල’ අකුරු මෝස්තරය එළියට එන්නෙ.
එහෙම අහම්බයක් විදියට නිර්මාණය වුණු ‘වැලිකල ෆොනුරුව’ මේ වෙද්දී ඊට වඩා පුළුල් පරාසයකට ව්‍යාප්ත කරන්න යි ඔබේ වෑයම. ඒ ගැනත් කතා කරමු.
අක්ෂර නිර්මාණ ශිල්පියෙකු විදියට ගමනක් යන්න හිතාගෙන පටන් ගත්ත වැඩක් නෙවේ මේ. නමුත්, ‘වැලිකල’ අකුරු මෝස්තරයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඊට පස්සෙ මම හොයලා බැලුවා මේ ක්ෂේත්‍රයේ දැනට නොකෙරුණු දේවල් මොනවද කියලා. ඒ අනුව තමයි සෙල්ලිපි අකුරු මෝස්තරය, පැරණි අච්චු අකුරු මෝස්තරය, සහ ටයිප් රයිටර් අකුරු මෝස්තරය කියන ෆොනුරූ ත්‍රිත්වය නිර්මාණ වෙන්නෙ. ඒ ෆොනුරූ ජනගත කිරීම ‘මතක අකුරු’ නමින් ජූලි 12 රෝයල් තැප්‍රොබේනියන් අවකාශයේ දී සිදුවෙනවා.
එදාට “Z” අකුර වෙනුවට සිංහල අකුරකුත් එළිදැක්වෙනවා නේද?
‘Z’ අකුර සහ සංවෘත ‘අ’ දැක්වීම සඳහා යෝජනා වී ඇති අකුරු අතරින් වඩාත් සාධනීයයැ යි සිතුණු අකුරු මගේ ෆොනුරූ සඳහා යොදා ගත්තා. නමුත්, ඒවා මා විසින් නිර්මාණ කළ ඒවා නොවෙයි. ‘Z’ අකුර සඳහා යෝජනා රැසක්ම ඉදිරිපත් වී තිබෙනවා. එත් ඒ සමහර යෝජනා අතාර්කික යි. ප්‍රායෝගික නැහැ. ඒ නිසා වඩාත්ම සුදුසුයැ යි සිතිය හැකි යෝජනාවක් මා යොදා ගත්තා.
දැන් ෆේස්බුක් එකේ ‘අකුරු හදන’ යම් රැල්ලකුත් නිර්මාණය වෙලා නේද? නිතර නිතර යන-එන රැලිවලට සාපේක්ෂව ගත්තාම නම් ඒක ඉතා හොඳ ප්‍රවණතාවයක්. ඒක වැලිකලගේ වැඩේ එක්ක හැදුණු රැල්ලක් ද? නැත්නම්…
නැහැ. ඒක ‘අකුරු සාමූහිකය’ කියන සමූහයකින් කරන වැඩක්. මේ වැඩ දෙකම සමගාමී ව ආපු එක අහම්බයක්. නමුත්, ඒකෙන් අකුරු ගැන උනන්දුවක් ගොඩක් දෙනා තුළ ඇති වුණා.
දැන් font කතා බහෙන් මෙහාට ඇවිත් චුට්ටක් කතා කරමු. ගොඩක් අය නිතර කතා බහ වෙනවානේ “මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනි” කියන කාරණාව. ඇත්තටම මේ පවතින සිස්ටම් එක වෙනස් වෙන්න ඕනි කොහොම ද?
සිස්ටම් එක වෙනස් කරන්න කලින්, තියෙන සිස්ටම් එක හරියට තේරුම් ගන්න ඕනෑ. එතකොට තමයි අපට අවශ්‍ය කුමන මොඩලයේ වෙනසක් ද කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නෙ. සිදුකළ යුතු වෙනස සහ එහි පරිමාව ගැන පැහැදිලි අවබෝධයක් නැතුව, අලුතින් සිස්ටම් ගෙන ඒම භයානක යි. මිනිසුන් තුළ ඇති කරන්න ඕනෙ ඒ ගැන අවබෝධය මිසක්, හැම එකටම
‘සිස්ටම් වෙනසක් අවශ්‍ය යි’ කියලා ඇඟ බේරාගැනීමේ පුරුද්දක් නෙවෙයි. උදාහරණයක් අරගෙන කිව්වොත්, දැන් Z අකුරට යෝජනා 5කට වැඩිය තියෙනවා. යෝජනා කොපමණ තිබුණත්, ඒවා පාවිච්චියට ගත හැකි ෆොන්ට් නිර්මාණය නොවුණොත් ඒවා තවත් යෝජනා පමණ යි. අවශ්‍යතාව පැහැදිලි අවබෝධයකින් දැනගත්තාම මිනිස්සු හරිම විකල්පය තෝරගනීවි.
දමිත් වැලිකල, වෘත්තිමය වශයෙන් ප්‍රචාරණ ක්ෂේත්‍රයේ නිරත වෙන කෙනෙක්. ප්‍රචාරණ ක්ෂේත්‍රය සහ නිර්මාණාත්මක චින්තනය කියන දෙක අතර තියෙන සහසම්බන්ධතාවය සහ එය මේ වෙද්දී භාවිතා වෙන විදිහ ගැන ඔබේ අදහස?
නිර්මාණශීලීත්වය උපරිමයෙන්ම භාවිත කළ හැකි ක්ෂේත්‍රයක් තමයි ප්‍රචාරණය කියන්නෙ. නමුත් ලංකාව වගේ රටක ඒකට සෑහෙන සීමාකම් බලපානවා. විශේෂයෙන්ම, සංස්කෘතික කාරණා. ඒ වගේම සේවාදායකයාගෙ අවශ්‍යතාව සහ කැමැත්ත ඊට ඍජුව බලපානවා. ඒ නිසා ලංකාවේ ප්‍රචාරණ ක්ෂේත්‍රය ඇතුළේ පෙරළියක් කරන්න පුළුවන් සීමාව හරි අඩු යි. නමුත්, එවැනි පෙරළිකාර දේවල් බාරගන්න මිනිස්සු කැමතියි. සේවාදායකයාට අවශ්‍ය විදියට ප්‍රචාරණ කටයුතු කිරීම තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නෙ.
දමිත් වැලිකල කියන ‘නාට්‍යකරුවා’ 2017 ගත්ත රාජ්‍ය සම්මානෙත් එක්කම අහකට වෙලා ද?
කෙටි නාට්‍ය පිටපත් කිහිපයක් ලියා තියෙනවා. 2012 සහ 2017 වසරවල හොඳම කෙටි නාට්‍ය පිටපතට රාජ්‍ය සම්මාන හිමිවුණා නම් තමයි. නමුත්, නාට්‍ය කිරීමේ ආසාව නැතිවෙලා නෑ. සෑහෙන කාලෙක ඉඳන් දිගු නාට්‍යයක් කිරීමේ ආසාවකුත් තියෙනවා. ඒ සඳහා ඉඩක් ලැබෙනකල් ටිකක් කල් මරමින් ඉන්නවා.
දමිත් වැලිකල කියන ‘කවියා, ලේඛකයා’ විසින් සහෘදයන්ට පිරිනැමෙන ඉදිරි නිර්මාණ ගැන පොඩ්ඩක් කතා කරලම අදට අපි මේ කතා බහ අවසන් කරමු.
අඩක් අවසන් කළ නවකතාව මගේම අකුරු මෝස්තරයකින් එළිදැක්වීම ඉදිරියේ දී සිදුවේවි.