මහනුවර නගරයේ ප්‍රධාන ඓතිහාසික ගොඩනැගිලි අතරට ගැනෙන බෝගම්බර සිරගෙදර මෑතකාලීනව යළි කරළියට ආ මාතෘකාවක් වූයේ, එහි නවීකරණය සමග තවදුරටත් එම ස්ථානය සිරගෙයක් නොවීම හේතුවෙනි. මේ සටහන බෝගම්බර සිරගෙදර ආරම්භය සහ වර්තමානය පිළිබඳව යි.
අක්කර 11ක භූමි භාගයක පැතිරී පවතින බෝගම්බර සිපිරිගෙදර ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම සිපිරිගෙය යි. (විශාලතම සිපිරිගෙදර වැලිකඩ බන්ධනාගාරය යි.) එය මහනුවර නගර සීමාවේ මහනුවර වැව, වේල්ස් උද්‍යානය, තරුණ බෞද්ධ සංගමය, මහනුවර නගර මධ්‍යස්ථානය (KCC) සහ මහජන පුස්තකාලය පෙනෙන මානයේ ඇහැලේපොළ කුමාරිහාමි මාවතේ පිහිටා තිබේ. මෙම ගොඩනැගිල්ල මහනුවර නගරයේ පැරණිතම ගොඩනැගිල්ලක් වන අතර, එය පුරාවිද්‍යාත්මක වටිනාකමින් ද අනූන වූවකි. අවාසනාවන්ත මරණයකට මුහුණ දුන් ඇහැලේපොළ කුමාරිහාමි මහනුවර වැවේ ගිල්වා මරණයට පත් කිරීමෙන් අනතුරුව මළසිරුර ගොඩ ගැසූ බවට පිළිගන්නා ස්ථානය පවා ඇත්තේ මෙම බන්ධනාගාර සංකීර්ණය ඇතුළත යි. ඊට හේතුව වන්නේ අතීතයේ දී මහනුවර වැව හෙවත් කිරි මුහුද පිහිටා තිබුණේ වර්තමානයේ බෝගම්බර බන්ධනාගාරය පිහිටා ඇති ස්ථානයේ වීම යි. පසුකලෙක එය ගොඩ කර දළදා මාළිගාව ඉදිරිපස ඉදිකිරීමටත් පැරණි කිරි මුහුද පිහිටි ස්ථානයේ බන්ධනාගාරය ඉදිකිරීමටත් කටයුතු කරනු ලැබිණි. උපරිම ආරක්ෂාව සහිත සිරගෙයක් වූ බෝගම්බර සිරගෙය ඉදිකරනු ලැබුවේ බ්‍රිතාන්‍ය- ශ්‍රී ලංකා ආණ්ඩුවේ උපදෙස් පරිදි බන්ධනාගාර සහ පොලිසිය පිළිබඳ ඉන්ස්පෙක්ටර් ජෙනරල්, මෙරට ප්‍රථම බන්ධනාගාර සහ පොලිස් කොමසාරිස් එන්. ආර්. සෝන්ඩර්ස් මහතා විසින් 1876 වසරේ දී ය. ප්‍රංශයේ වැදගත් ඓතිහාසික සටනකට මුල් වූ බැස්ටිල් හිරගෙදර ගෘහනිර්මාණ ශිල්පයට සමානව මෙම බෝගම්බර බන්ධනාගාරය නිර්මාණය කර ඇතැ යි පැවසේ. මෙම බෝගම්බර බන්ධනාගාරයේ ඇති විශේෂත්වයක් වන්නේ එය කිසිම තැනකින් වෙන් නොවුණු තනි පාදමක් මත ඉදිකෙරුණු ආසියාවේ දිගම ගොඩනැගිල්ල වීම යි. බන්ධනාගාරය මහල් තුනකින් සහ සිරමැදිරි තුන්සිය විසි අටකින් සමන්විත වේ. මුල් කාලයේ බන්ධනාගාරය ඉදිකිරීමට වැය වූ මුදල රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලක් වූ අතර ඉදිකිරීම් කටයුතු සිදුකරන ලද්දේ රජයේ වැඩ දෙපාර්තමේන්තුව විසිනි. බන්ධනාගාරය තුළ දේශපාලනික සිරකරුවන් රඳවා තැබීමට වෙනම කොටසක්, ආගමික කටයුතු සඳහා වෙන් වූ ස්ථානයක්, වඩු කාර්මික ශිල්පය ඉගැන්වීම සදහා ගොඩනැගිල්ලක්, මුළුතැන්ගෙයක්, බාබර් සාප්පුවක් ආදී බොහෝ අංග පිහිටා තිබුණි. මේ වන විට පල්ලේකැලේ ප්‍රදේශයට ගෙන ගොස් ඇති බෝගම්බර බන්ධනාගාරය නවීකරණය කිරීමේ කටයුතු භාර ව ක්‍රියා කරන්නේ මෙගාපොලිස් සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මඟිනි. තව ද, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ද මේ ව්‍යාපෘතිය සඳහා අධීක්ෂණ කටයුතු ඔස්සේ සහාය ලබා දෙයි.
මෙම බන්ධනාගාරය දරුණු ගණයේ අපරාධකරුවන් සහ මරණ දණ්ඩනයට ලක් වූ රැඳවියන් රැඳවීමට ක්‍රියා කළ බන්ධනාගාරයකි.
ශ්‍රී ලංකා දේශපාලනයේ වැදගත් චරිත සහ ලංකාවේ බොහෝ පිරිසකගේ කතාබහට ලක් වූ රැඳවියන් බෝගම්බර බන්ධනාගාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ දී වැදගත් වේ. ඒ අතර ලංකා සමසමාජ පක්ෂයේ නායකයන් වූ පිලිප් ගුණවර්ධන, කොල්වින් ආර්. ද සිල්වා සහ විලියම් ද සිල්වා යන පුද්ගලයන් ද මතභේදයට ලක් වූ මරණයකට ලක් වූ මරු සිරා නම් සිරකරු ද බෝගම්බර බන්ධනාගාරයේ සිටි මතකයේ රැදුණු සිරකරුවන් වේ. පසුකලෙක මරණීය දණ්ඩනයට ලක්වූවන් ජීවිතාන්තය දක්වා සිරදඬුවමට පාත්‍ර කළ අතර, එල්ලුම් ගස ක්‍රියාත්මක නොකෙරිණි. නමුත්, 1876 සිට 1975 දක්වා කාලය තුළ බෝගම්බර බන්ධනාගාරයේ වරදකරුවන් 524 දෙනෙකුට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කර තිබේ. අවසාන වතාවට බෝගම්බර බන්ධනාගාරය තුළ එල්ලුම් ගස ක්‍රියාත්මක වී ඇත්තේ තිස්මඩ මිනීමැරුම සම්බන්ධයෙන් ඩබ්ලිව්.ඩී. රිචඩ් සහ ටී. එම්. ජයවර්ධන යන දෙපළ යි.
මෑතක දී බන්ධනාගාර ජාලය ව්‍යාප්ත කිරීම සහ සංවර්ධනය කිරීමේ අරමුණින් 2013 වර්ෂයේ දී එනම්, ඉදිකිරීමෙන් වසර 138කට පසු බෝගම්බර සිරකරුවන් අභිනවයෙන් ඉදිකෙරුණු පල්ලේකැලේ පිහිටි එළිමහන් සහ අභ්‍යන්තර බන්ධනාගාර වෙත රැගෙන යාමෙන් පසු බෝගම්බර බන්ධනාගාරය සති දෙකක පමණ කාලයක් මහජන ප්‍රදර්ශනය සදහා විවෘතව තැබිණි. අනතුරුව 2014 ජනවාරි 01 වන දින සැලසුම් කරන ලද සංස්කෘතික උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු සදහා බන්ධනාගාරය සම්පූර්ණයෙන්ම වසා දැමුණු අතර එහි පැවති භාණ්ඩ සියල්ලක් ශ්‍රී ලංකා රජය වෙත භාර දෙනු ලැබිණි.
පළමු අදියරේ වැඩ අවසන් කොට, 2019 අගෝස්තු 24 වන දින අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණු බෝගම්බර සංස්කෘතික උද්‍යානය එකල ජරාජීර්ණව පැවති සිරගෙය අද වන විට නවීකරණය කොට සංරක්ෂණය කර තිබේ. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා මේ වන විට වැය කර ඇති මුදල මිලියන 200කි. පරිදි මල්වතු සහ අස්ගිරි මහනායක ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය ද ඇතිව මහනුවර නගරයේ සංස්කෘතික ආකර්ශනයට හානියක් නොවන අයුරින් දියත් කොට ඇති මෙම වැඩසටහන තුළින් දෙස් විදෙස් සංචාරක ව්‍යාපාරයට ද විශාල ශක්තියක් ලැබෙනු ඇති බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ගැමුණු ප්‍රේමවර්ධන මහතා විශ්වාසය පළ කරයි.
මේ වන විට බන්ධනාගාරය පිහිටි භූමියේ ජාත්‍යන්තර තොරතුරු මධ්‍යස්ථානයක්, මහජන උද්‍යානයක් සහ උඩරටට අවේනික සංස්කෘතිකාංග ඉදිරිපත් කිරීම සඳහා එළිමහන් වේදිකාවක් ඉදිකොට තිබේ. මෙම ව්‍යාපෘතියේ අරමුණ වී ඇත්තේ පැරණි බන්ධනාගාර ගොඩනැගිල්ල පිහිටි ඉඩම තුළ කඩ සාප්පු සහ මහජනතාවට විවේකය ගත කිරීමට සුදුසු පරිදි නිදහස් පරිසරයක් ඇති කිරීමට යි. තව ද, පසුපස සිරමැදිරි නවීකරණය කිරීමටත් මෙහි තරු පහේ හෝටල් දෙකක් ඉදිකිරීමටත් වැඩිදුරටත් අපේක්ෂිත යි.
මහනුවර නගරයේ වැදගත්ම ඉඩකඩක සිරගෙයක් පිහිටා තිබීම කොතරම් යෝග්‍යය ද යන්න බොහෝ පිරිසකගේ කතාබහට ලක් වී තිබුණු අවස්ථාවක එම බන්ධනාගාර ගොඩනැගිල්ල එලෙසින්ම සංරක්ෂණය කර බන්ධනාගාර පල්ලේ කැලේ ප්‍රදේශයට විතැන් කර අභිනවයෙන් ඉදිකෙරුණු සංස්කෘතික උද්‍යානය ඓතිහාසික වටිනාකමකින් යුත් මහනුවර නගරයේ තවත් ආකර්ශනීය ස්ථානයක් බවට පත් වී හමාර ය.