සියවස් ගණනක ඉතිහාසයකට හිමිකම් කියන ප්‍රජාතන්ත්‍රවාදය

ප්‍රජාතන්ත්‍රවාදය යන්න ලොව නිතරම පාහේ අසන්නට හා විවාදයන්ට භාජනය වන මාතෘකාවක් ලෙස හැඳින්විය හැකියි. එමෙන්ම මෙය වසර දහස් ගණනක ඉතිහාසයක් තිබෙන සංකල්පයක් ද වනවා. මෙම ලිපිය මඟින් ප්‍රජන්තන්ත්‍රවාදය ආරම්භ වූ අයුරුත්, බුදු දහමේ තිබූ ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණත්, විවිධ වර්ග කිරීම් සම්බන්ධයෙනුත්, මෙම ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රටක දක්නට ලැබෙන ලක්ෂණ පිලිබඳවත් විස්තර කිරීමට අප බලාපොරොත්තු වනවා.

ප්‍රජාතන්ත්‍රවාදයේ උපත​

philebersole.wordpress.com

ප්‍රජාතන්ත්‍රවාදය යන්නට ඉංග්‍රීසි භාෂාවෙන් Democracy යනුවෙන් හඳුන්වනු ලබන අතරම මෙය ග්‍රීක භාෂාවෙන් පැමිණි වචනයක් ලෙස සැලකෙනවා. Demos යන්නෙන් ජනතාව හඳුන්වනු ලබන අතරම Cracy යන්නෙන් පාලනය අදහස් කරනු ලබනවා. ඒ අනුව සමස්ථයක් ලෙස ගත් කල Demos+Cracy යන වචනය මඟින් ජනතාවගේ පාලනය යන්න දැක්වෙනවා. නමුත් ඇතැම් අවස්ථා වල kratos” යන්නෙන් පාලනය අදහස් වූ බවද සඳහන් වනවා.

ප්‍රජාතන්ත්‍රවාදයේ උපත සම්බන්ධයෙන් අවධානය යොමු කරන විට ඉතිහාසයට අනුව හා සාධක වලට අනුකුලව ග්‍රීසියේ පෞර රාජ්‍ය හට මේ සඳහා කෘතවේදිත්වය හිමි වනවා. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදයේ උපත නැතිනම් ආරම්භය ග්‍රීසියෙන් බව සාමාන්‍ය පිළිගැනීම බවට පත්ව තිබෙනවා.

නමුත් ඇතෑන්ස් වල වාසය කළ සියලු ජනතාව පුරවැසියන් ලෙස සලකා නොමැති අතරම එහි එක්තරා සමයක​ 80,000 කට අධික පිරිසක් වහලුන් ලෙස ද, 90,000 කට අධික ප්‍රමාණයක් කාන්තාවන්ද, ළමුන් හා විදේශිකයන් ද මෙහි වාසය කර තිබෙනවා. ඒ අනුව මෙම ඉහත සඳහන් පිරිස් පුරවැසියන් ලෙස සලකා නොමැති අතරම මොවුන්ට පාලනයට සහභාගී වීමට හැකියාව ලැබී නැහැ.

නමුත් මේ ආකාරයට ක්‍රිස්තු පුර්ව 510 දී පමණ ග්‍රීසියේ ඇතෑන්ස්වල පැවති ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණ වලට සමාන ලක්ෂණ ඉන්දියාවේද පැවත තිබෙනවා. බුදු දහමෙන් හමුවන මුලාශ්‍ර මඟින් හෙළි වී තිබෙන කරුණක් වන්නේ ඉන්දියාවේ සමුහාණ්ඩු ක්‍රමයක් පැවති බවයි. පාලි භාෂාව පිළිබඳ විද්වතකු වූ රිස් ඩේවිස් ප්‍රකාශ කර සිටින්නේ ශාක්‍ය, මල්ල හා වජ්ජි ආදී ජනපදයන් තුළ ඉතාමත් දියුණු තත්ත්වයේ ප්‍රජාතාන්තික පාලනයක් පැවතුණ බවයි. ඒ අනුව වජ්ජින් විසින්, නිතර රැස්වීම හා සාකච්ජා කිරීම, සමගිව රැස්ව සමගිව සාකච්ජා කර සමගිව විසිර යාම, ජ්‍යෙෂ්ඨයන්ට​ ගරු සැලකිලි දැක්වීම, ඔවුන්ගේ අවවාද අනුශාසනා වලට ගරු කිරීම හා ඒවා පිළිපැදීම ආදී සප්ත අපරිහානි ධර්ම ක්‍රියාත්මක කිරීම මඟින් ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණ දැක ගැනීමට හැකි වනවා.

මෙසපොතේමියානු භාෂාව හා සුමේරියානු සාහිත්‍ය පිලිබඳ විශේෂඥයකු වන​ තෝකිල්ඩ් ජේකොබ්සන් මෙසපොතේමියාව සම්බධයෙන් ජන විශ්වාසයන් හා සාහිත්‍ය ඔස්සේ අධ්‍යන සිදුකර තිබෙන අතරම ඒ අනුව ඔහු එළඹ ඇති නිගමනයක් ලෙස මෙසපොතේමියාවේද වැඩිහිටියන්ගේ කවුන්සිලයක් හා තරුණයන්ගේ කවුන්සිලයක් මඟින් පාලනය සිදු කරමින් ප්‍රජාතාන්ත්‍රික පාලන ක්‍රමයක් තිබුණ බව දක්වනවා.

ඉන් බොහෝ කළකට පසු, වර්ෂ 1215 දී ප්‍රකාශයට පත් වූ මැග්නා කර්ටා ගිවිසුම වත්මන් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ මුලින්ම අවධානයට යොමු වීමක් ලෙස දක්වතොත් එය නිවැරදිය.

ප්‍රජාතන්ත්‍රවාදයේ කොටස් කිරීම්

total-croatia-news.com

ප්‍රජාතන්ත්‍රවාදය මුලිකවම ප්‍රධාන කොටස් දෙකක් යටතේ වර්ග කිරීම සිදු කරනු ලබනවා. එනම්

  • සෘජු ප්‍රජාතන්ත්‍රවාදය
  • වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය

ග්‍රීසියේ ඇතෑන්ස් වල තිබූ පාලන ක්‍රමය සෘජු ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උදාහරණයක් ලෙස දැක්විය හැකි වනවා. මෙමඟින් අදහස් වන්නේ රටක ජනතාව එක ස්ථානයකට එකතු වී සෘජු මෙන්ම ඉක්මනින් පාලන කටයුතු පිලිබඳ සාකච්ජා කොට මහජනතාවගේ කැමැත්තට අනුව තීරණ ගැනීමයි.

නමුත් භුමි ප්‍රමාණය විශාලත්වය, අධික ජනගහනයකින් යුක්ත වීම, සියලු පුරවැසියන් එකම ස්ථානයකට එකතු වීමට තිබෙන අපහසුතා ආදිය හේතුවෙන් සෘජු ප්‍රජාතන්ත්‍රවාදයේ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති වුණා. මේ හේතුවෙන් වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදයට යොමු වීම සිදු වුණා. එනම් නියෝජිතයින් මාර්ගයෙන් රාජ්‍ය පාලන කටයුතු සිදු කර ගෙන යාමයි. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ලෙසද මෙය හඳුන්වනු ලබන අතරම 17 වන සියවසයේදී පමණ යුරෝපයේ භාවිතා වූ අතරම පසුව මෙම සංකල්පය පාර්ලිමේන්තු වැනි නියෝජන ආයතන බිහි වීම දක්වා වර්ධනය වීමක් සිදු වුවා.

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක දක්නට ලැබෙන ලක්ෂණ

srilankabrief.org

ප්‍රජාතාන්ත්‍රික පාලන ක්‍රමයක දක්නට ලැබෙන ලක්ෂණ බොහොමයක් පවතිනවා. ඒ අතරින් කිහිපයක් වන්නේ,

 

  • නීතියේ ආධිපත්‍ය

 

නීතිය රටක සියලුම දෙනාට ඉහළින් පවතින අතරම, නීතිය ඉදිරියේ පාලකයන් මෙන්ම පාලිතයන් ද සමාන තත්ත්වයේ සිටිනවා. එනම් ආගම, භාෂාව ආදී කරුණු පදනම් කර ගනිමින් විශේෂිකරණයට ලක් නොකළ යුතු වනවා.

 

  • අධිකරණයේ ස්වාධීනත්වය

 

අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යවශ්‍ය සාධකයක් ලෙස සලකනු ලබනවා. එමෙන්ම අධිකරණය ව්‍යවස්ථාදායකයේ හෝ විධායකයේ බලපෑම් වලින් තොර වීම සිදු විය යුතු වන අතරම, අධිකරණ කටයුතු වලදී අවංකව හා අපක්ෂපාතිව යුක්තිය ඉටු කල යුතු වනවා.

 

  • නිදහස් හා සාධාරණ මැතිවරණ

 

නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රමයද ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යවශ්‍ය ලක්ෂණයක් ලෙස දැක්විය හැකි වනවා. ඒ අනුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් මඟින් සිය නායකයන් තෝරා පත් කර ගැනීමට අවස්ථාව උදා විය යුතු වනවා. නියමිත කාල සීමාව තුළ මැතිවරණ පැවැත්වීම, නියමිත සුදුසුකම් සම්පුර්ණ කල පුරවැසියන්ට ජන්ද දායකත්වය සහ​ ජන්ද අපේක්ෂකත්වය ලැබීමට තිබෙන අයිතිය, එම මැතිවරණ කටයුතු වලට සහභාගී වීමට පුරවැසියන්ට තිබෙන අයිතිය ආදී අයිතීන් මඟින් දේශපාලන අයිතිවාසිකම් උරුම වීමක් සිදු වනවා.

 

  • තරඟකාරී පක්ෂ ක්‍රමය

 

රටක් පාලනය කිරීම උදෙසා සකස් කළ ප්‍රතිපත්ති සමුහයක් මත රටේ පාලන බලය ලබා ගැනීමේ අභිප්‍රායෙන් එක් රැස් වූ පුද්ගල එකතුවක් පොදුවේ පක්ෂයක් ලෙස දැක්විය හැකි අතරම, බහු පක්ෂ ක්‍රමයක් තිබීම මත රටක දේශපලයන සක්‍රිය වීමක් මෙන්ම ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණ නිරුපණය වීමක් සිදු වනවා.

මීට අමතරව සර්වජන ජන්ද බලය, ආණ්ඩු පක්ෂයකින් හා විරුද්ධ පක්ෂයකින් සමන්විත වීම, මාධ්‍ය නිදහස ආදී ලක්ෂණද ප්‍රජාතාන්ත්‍රික පාලන ක්‍රමයක් ක්‍රියාත්මක වන රාජ්‍යක දක්නට ලැබෙන ලක්ෂණ වනවා.

කවරයේ පින්තුරය:huffingtonpost.com

Related Articles

Exit mobile version