ණය ආපසු ගෙවීමට නොහැකි බංකොලොත් රටක් බවට පත් වූ ශ්‍රී ලංකාව දැන් දකුණු ආසියාවේ අසාර්ථක ආර්ථික රටක මොඩලයක් බවට පත් ව අවසන්. රට පත්ව ඇති තත්ත්වයේ බරපතල බව සියලු දෙනා ම අවබෝධ කරගත යුතුබව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ බීබීසිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පසුගිය දා සඳහන් කර සිටියා.
මේ අතර බහුතරයක් දේශපාලනඥයන් තවමත් උත්සාහ කරන්නේ බලය රැකගැනීමට මිස රට ගැන හැඟීමකින් නොවන බව සිදුවන දෑවලින් අපට පේනවා. ලංකාවෙන් පාඩම් ඉගෙන ගැනීමට උත්සාහ කරනා ආර්ථික අර්බුදවලින් පිඩා විඳින තවත් දකුණු ආසියානු රටවල් තුනක් ගැන අපි විමසිලිමත් වුණා.
බංකොලොත් රටක්
ජනතාව විඳින පීඩා අවම කිරීමට නම් රටේ ස්ථාවර දේශපාලන තත්ත්වයක් අනිවාර්යෙන් ම අවශ්‍යයැ යි මහ බැංකු අධිපතිවරයා පවසනවා. තීව්‍ර උද්ධමනයත් සමඟ ශ්‍රී ලංකාවේ භාණ්ඩ මිල ගණන් දිනපතාම පාහේ නොසිතූ විරූ ලෙස ඉහළ යමින් පවතින අතර එය ජනතාවට දරා ගැනීමට බැහැ. වසරකට පෙර රුපියල් 137කට පැවති පෙට්‍රල් ලීටරයක් රුපියල් 470 දක්වා ඉහළයෑමත්, රුපියල් 12කට පැවති අවම බස් ගාස්තුව රුපියල් 40 දක්වා ඉහළයෑමත් මෙය මනාව පෙන්වා දෙනවා. (පසුගිය දා පෙට්‍රල් ලීටරයක් රු. 20කින් සහ අවම බස් ගාස්තුව රු. 2කින් අඩු කළා.)
ජුනි මාසය වන විට ශ්‍රී ලංකාවේ උද්ධමනය 54.6% දක්වා ඉහළ ගොසින්. රටක් බංකොලොත් වෙනකොට ඒකෙ තියෙන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ දරාගත නොහැකි උද්ධමනයක් ඇති වීම යි. එයට කියන්නේ තීව්‍ර උද්ධමනය යි. ඊළඟට අධි උද්ධමනයක් ඇති වෙනවා. අපි අත්විඳින්නේ තීව්‍ර උද්ධමනයේ මූලික අවස්ථා. ලංකා ඉතිහාසයේ කවදාවත් මෙතරම් උද්ධමනයක් පැමිණ නැහැ. ජනවාරි මාසයේ සිට සෑම මාසයේ ම 10% – 15%කින් භාණ්ඩ මිල මට්ටම් වැඩි වෙලා තියෙනවා.
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන මෑතක දී කළ සමීක්ෂණයකින් හෙළි වූයේ ශ්‍රී ලංකාවේ පවුල්වලින් තුනෙන් දෙකකට පමණ දිනකට ගන්නා ආහාර ප්‍රමාණය හා වේල් ගණන අඩු කිරීමට සිදු ව ඇති බව යි.
ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බවට පත්වන බව රාජපක්ෂ ආණ්ඩුව දැනගෙන සිටියත් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ නායකයන් එය එය රටේ ජනතාවගෙන් වසන් කිරීමට කටයුතු කළා. තව තවත් ණය ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස ලේසියෙන් ගොඩ ගත නොහැකි මට්ටමකට රට පිරිහීමට ලක් ව තිබෙනවා.
අයිඑම්එෆ් මතය
පවත්නා විදේශ සංචිත හිඟය නිසා ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඉන්ධන, ගෑස්,බෙහෙත් ගෙන්වීම පවා ගැටලුවක් බව කවුරුනුත් දන්නවා. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් බිලියන 3ක ණය මුදලක් ඉල්ලා තිබෙන්නේ එම අවුල සමනය කර ගැනීමට යි. පාකිස්තානය, බංග්ලාදේශය, ලාඕසය, මාලදිවයින ආදී ආසියානු රටවල් කිහිපයක් ද මේ වනවිට ආර්ථික අර්බුදවලට ලක් ව සිටිනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ ඒ රටවලට ආර්ථික වශයෙන් නිවැරදි වීමට තවමත් කල් තිබෙන බව යි. ශ්‍රී ලංකාවේ පසුබිම අධ්‍යයනය කිරීම ඒ රටවලට හොඳ පාඩමක් බවත් මූල්‍ය අරමුදල පවසා තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිස්ටිනා ජෝජියේවා පසුගිය දා මෙසේ පවසා සිටියා:
‘‘ඉහළ විදේශ ණය බරක් ඇති රටවල් ශ්‍රී ලංකාව වගේ මූල්‍ය ප්‍රතිපත්තියකින් තොර ව කටයුතු කළොත් තවත් අගාධයකට යාවි. සංවර්ධනය වන රටවල් හැම විමට ඔවුන්ගේ ඉලක්ක කරා යාමේදී තිරසාර ප්‍රාග්ධන වියදම් පවත්වා ගත යුතුයි. ‘‘
ශ්‍රී ලංකාවේ අසාර්ථක බව දෙස බලා පාඩම් ඉගෙන ගන්නා ලෙස ඇය අනෙක් ආසියානු රටවලින් ඉල්ලා සිටියා. නැතහොත් එම රටවලට ද බංකොලොත් වීමට සිදුවන බ වයි අයිඑම්එෆ් සංවිධානය පවසන්නේ.
පාකිස්තානය
ශ්‍රී ලංකාව මෙන් පාකිස්තානයත් පසුගිය වසරේ අගෝස්තුවේ සිට ඩොලර් හිඟයකට මුහුණ පා සිටිනවා. පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පසුගිය අප්‍රේල් 09 වැනිදා විශ්වාසභංගයෙන් පරාජය වීමත් සමඟ ඉල්ලා අස්වුණා. නව අග්‍රාමාත්‍යවරයා ලෙස තුන් වතාවක් හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ 70 හැවිරිදි බාල සොහොයුරා වන පාකිස්තාන විපක්ෂ නායක ෂෙහ්බාස් ෂරීෆ් තේරී පත්වුණා. ඉන් පසු ඇති වූ දේශපාලන අස්ථාවරත්වය නිසා රටේ ආර්ථික අර්බුදය තවත් ඔඩුදුවා තිබෙනවා. ඉම්රාන්ගේ ආධාරකරුවන් රටපුරා උද්ඝෝෂණ පැවැත්වීම නිසා මෙන් ම එරට අගනුවර වට කිරීමට උත්සහ ගැනීමත් නිසා දේශපාලන අර්බුදය සිවිල් යුද්ධයක් බවට පත්ව තිබෙනවා.
එරට ගෙවීමට ඇති විදෙස් ණය ප්‍රමාණය ඩොලර් බිලියන 90ක්. රටේ මහ බැංකුව සතු වත්කම ඩොලර් බිලියන 10ක් පමණයි. පාකිස්තානය මේ වසරේ පමණක් ඩොලර් බිලියන 25ක ණය ගෙවිය යුතු ව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 03ක ණය මුදලක් පාකිස්තානය ඉල්ලා සිටිය ද එය ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති නිසා අර්බුදය වඩාත් උග්‍ර බවට හැරිලා.
මැයි මාසයේ අග සිට පාකිස්තානයේ ඉන්ධන මිල 90% කින් පමණ ඉහළ දමා තිබෙනවා. රජය ඉන්ධන සහනාධාර නැවැත්වීම එයට හේතුව යි. දැන් පාකිස්තාන රජය අයිඑම්එෆ් සමග සාකච්ඡා පවත්වමින් සිටින්නේ අර්බුදය අවම කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ව යි.
බඩු මිල ඉහළ යාම හේතුවෙන් ආර්ථිකයේ උද්ධමනය වැඩිවෙමින් පැවතීම පාකිස්තානයටත් අලුත් දෙයක් නොවෙ යි. පසුගිය ජුනි මාසයේ එරට උද්ධමනය සියයට 21.2ක් සලකුණු කළා. ඒ පසුගිය වසර 13ක කාලයේ එරට මුහුණ දුන් වැඩි ම උද්ධමනය යි.
පාකිස්තාන ආණ්ඩුව මහා පරිමාණ නිෂ්පාදකයන්ට සියයට 10ක බද්දක් පැනවුයේ මේ ඩොලර් හිඟයට පිළියමක් ලෙස යි. ඉන් ඩොලර් බිලියන 1.93ක් එකතු කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. පසුගිය මාසයේ පාකිස්තාන ඇමතිවරයෙක් ජනතාවගෙන් ඉල්ලා සිටියේ තේ පානය අඩුකරන ලෙස යි. ඒ තේ ගෙන්වීමට වැයවන ඩොලර් යම් ප්‍රමාණයක් ඉතිරිකර ගැනීමට යි.
මාලදිවයින
ශ්‍රී ලංකාවට ආසන්න දූපත් රාජ්‍යයක් වන මාලදිවයිනේ ප්‍රධාන ආදායම් මාර්ගය වුණේ සංචාරක කර්මාන්තය සහ මාළු අපනයනය යි. එය ලක්ෂ හතරක පමණ ජනගහණයක් සිටින රටක්. නමුත් කොවිඩ් වසංගතය නිසා ශ්‍රී ලංකාවේ මෙන් ම මාලදිවයිනෙත් ඒ ආදායම් ඇහිරී ගියා. මේ නිසා ඩොලර් එරටට ඒම අඩු වුණා. මාලදිවයින රුසියානු සහ යුක්රේන සංචාරකයන් ද විශාල වශයෙන් පැමිණෙන රටක්. යුක්රේන යුද්ධය නිසා දැන් එයත් නැවතිලා.
මාලදිවයිනේ විදේශ ණය ප්‍රමාණය ද ඉහළ යමින් පවතිනවා. ඒ අතරින් වැඩි ප්‍රමාණයක් ලබා ගෙන ඇත්තේ චීනයෙන්. වරාය සහ ගුවන් පථ සෑදීමට එම මුදල් යොදවා තිබෙනවා. සංචාරක කර්මාන්තය මත දැඩි සේ යැපෙන රටවල ණය ප්‍රමාණය අධික ව පැවතීම සාමාන්‍ය දෙයක්. මේ රටේ ඉන්ධන වියදමත් ඉහළ යි. බෝට්ටු සඳහා විශාල ඩීසල් ප්‍රමාණයක් වැය කෙරෙනවා. වර්ෂ 2023 වන විට ශ්‍රී ලංකාවට මෙන් මාලදිවයිනටත් ණය අර්බුදයකට මුහුණ දීමට සිදුවිය හැකි බව ලෝක බැංකුව අනතුරු අඟවා සිටිනවා.
ශ්‍රී ලංකාව හා පාකිස්තානය මෙන් ම නේපාලය ද ආර්ථික අර්බුදයට ලක්වූ තවත් ආසියාතික රටක්. ඉන්දියාවේ අසල්වැසියා වන නේපාලයේ මිලියන 29ක ජනතාවක් ආර්ථික අර්බුදයෙන් පීඩා විඳිනවා.
නේපාලයේ විදේශ විනිමය සංචිතය පසුගිය අවුරුද්දේ ජූලි මාසයේ සිට මාර්තු මැද භාගය වනවිට සියයට 18 කින් පහත වැටී තිබෙනවා. විදේශ සංචිත ප්‍රමාණවත් වන්නේ මාය 6ක ආනයනවලට පමණක් බවයි වාර්තා වන්නේ. එරටට සංචාරක කර්මාන්තයෙන් මෙන් ම අනෙක් ආදායම් මාර්ගවලින් ද ලැබුණු ආදායම් ඇහිරිලා.
යුක්රේන-රුසියා යුද්ධය එරට ආහාර සැපයුමටත් බලපා තිබෙනවා. මේ නිසා ම නේපාල ආණ්ඩුව මෝටර් රථ, රූපලාවන්‍ය ද්‍රව්‍ය, රත්‍රං සහ රිදී ඇතුළු සියලු සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය කිරීම තහනම් කරලා. ආහාර ඇතුළු අතවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වීමටත් ඩෙලර් හිඟය බලපා තිබෙනවා.
ඉන්ධන හිඟය මඟහරවා ගැනීම සඳහා වැඩ සතිය දින පහක කාලසටහනකට අඩු කරමින් අතිරේක නිවාඩු දිනයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නේපාලය අමරිකාවෙන් ඩොලර් මිලියන 659ක ආධාරයක් ද ලබා ගත්තා.