වන ගහනය යන වදන ඇසූ පමණින් දැනෙන්නේ මනස පිරිමදින ආකාරයේ අතිශය පියකරු වූ සිසිලසකි. මෙතෙක් මිහිතලය වසා පැතිර සිටිමින් සෙවණ දුන් පතාක යෝධයන් අද වන විට එකා පසුපස එකා අවසන් ගමන් යමින් සිටී. එය ඇසීමෙන් පවා දැනෙන්නේ හදවත දහදියෙන් තෙත් කරවාලන ආකාරයේ අමානුෂික ග්‍රීෂ්මයකි. ලැව්ගිනි වැනි ස්වභාවික උපද්‍රව හේතුවෙන් වන ගහණය ස්වභාවිකවම අඩුවෙමින් පවතී. සත්කාර්යයන් උදෙසා වෙහෙසීමට වඩා දුෂ්කාර්යයන් වෙනුවෙන් සක්‍රීය වන මිනිසා ද, තම ස්වභාවය යළි යළිත් හෙළිදරව් කරමින්, මහා පරිමාණයෙන් ගස් උගුල්ලා දමමින් සිටී. ආර්ථික වෘද්ධිය උදෙසා ගමන් කරන මාර්ගය වටා පරිසරයට යම් ආකාරයක හානියක් සිදුවීම නොවැළැක්විය හැකි කාරණයක් වුවද එය සියලු ප්‍රමිතීන් සහ සම්මුතීන් උල්ලංඝනය කරමින් සිදු කිරීම, අනාගතය දැකීමට වඩා, වස්තුව එක්රැස් කර ගොඩ ගසා හිස් අතින් මියයාම වැදගත් කොට සලකන මිනිසුන්ගේ අමනෝඥ ක්‍රියා කලාපයකි.
උඩුගම් බලා යන මිනිසෙක්
එසේ රැල්ලට ගසාගෙන යන සමස්තය අතරේ උඩුගං බලා යන උදාහරණයක් සොයා ගැනීම දුෂ්කර කාර්යයකි. මිනිසෙකු බොහෝ දෙනාගේ ආදර ගෞරවයට පාත්‍ර වීමට ඔහු සතු ඩොලර් ප්‍රමාණය සෑම විටම වැදගත් නොවේ. ඩොලර් මිනිසුන්ට, පුද්ගලයන් ආදර ගෞරවය දක්වන්නේ සැඟවුණු අපේක්ෂාවන් සහිතවය. එහෙත් මිනිසුන් උදෙසා වෙනත් කිසිවෙකුට කළ නොහැකි කැප කිරීමක් කළ හැකි දුප්පත් මිනිසෙකුට මේ මිහිතලයේ වෙසෙන දුෂ්ටම මිනිසෙකුගේ පවා හදවතෙහි නොමිලයේම ඉඩක් වෙන්වෙයි. එය සොබාදහමේ සියලු ආශ්චර්යයන් මෙන් තවත් එක් ආශ්චර්යයකි. අසීමිතව ලොවට එක්වන කාබන්ඩයොක්සයිඩ් උරා ගැනීමට ගසක් නොව වනාන්තරයක්ම දායාද කළ ඉන්දීය ජාතික ජාදව් මොලායි පායෙන්ග් (Jadav “Molai” Payeng) එවන් එක් සොඳුරු මිනිසෙකි.
මිහිතලය මත මානුෂීය සලකුණ
මීට වසර තිස් නවයකට පමණ පෙරාතුව තරුණ ජාදව්ගේ සිතේ ඇදහිය නොහැකි සිතිවිලි කළලයක් රෝපණය විය. උතුරු ඉන්දියාවේ ඇසෑම්හි තමා පදිංචි ප්‍රදේශය අසල පැවති නිසරු වැලි පිටියක දිනපතා යමක් සඟවා ඒමට ඔහු පුරුදු වී සිටියේය. සැඟවූ බිජුවට සියල්ල ඵල දරා අංකුර නැගී එන විට අප්‍රමාණ ප්‍රීති ප්‍රමෝද්‍යයට පැමිණි තරුණ ජාදව් නොකඩවා ඒවාට ජලය සහ පොහොර සපයමින් සාත්තු සප්පායම් කරන්නට විය.
අද වන විට අක්කර 1360ක් පුරා පැතිර පවතින ජාදව්ගේ සැබෑවක් කරගත් සිහිනයෙන්, සමස්ත මානව වර්ගයාටම සිදු වන අතිමහත් යහපත මුදලින් කිසි විටක ගිනිය නොහැකිය. මිහිතලය මත එවන් මානූෂීය සලකුණක් සටහන් කළ සියැටල් පුත්‍රයෙකු පිළිබඳ මානව වංශ කතාව තුළ මෙතෙක් අප අසා නොමැති තරම්ය.
ඔහුගේ ව්‍යාපෘතියෙහි ආරම්භය වර්ෂ 1979 තරම් ඈත අතීතයට දිව යයි. වර්ෂ 1979 දී ඇති වූ අධික ගංවතුර තත්ත්වයක් හේතුවෙන් ජාදව් වාසය කළ ප්‍රදේශය අවට විශාල ඛාදනයක් සහ විනාශයක් සිදු විය. එවිට වයස 16ක නව යෞවනයෙකු වූ ජාදව්, ගංවතුර තත්ත්වය පහව යන විට දුටුවේ වැලිපිටිය මත තැනින් තැන උරගයන් විශාල සංඛ්‍යාවක් මියගොස් සිටින ආකාරයයි. ඔහුගේ ජීවිතයේ සන්ධිස්ථානය වූයේ ද එකී හද සසල කරවන දර්ශනයයි. එකී අත්දැකීම සිහිපත් කරමින් ජාදව් පවසා සිටින්නේ, ශාකමය ආවරණයක් නොවීම හේතුවෙන් එම සත්ත්වයන් උෂ්ණත්ව වෙනස්වීම් දරාගත නොහැකිව මිය ගිය බවයි. එම සත්ත්ව සංහාරය දැක තමා බිම වැටී හඬා වැලපුණ බව ද ඔහු පවසයි.
ජාදව්ගේ ශ්‍රමයෙන් නිමැවුණු මහා ඝන වනාන්තරය
ඔහු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අමතා, අදාළ භූමියෙහි ශාක වගා කළ හැකිදැයි විමසා තිබෙන අතර ඔවුන්ගේ පිළිතුර වී තිබෙන්නේ එම භූමිය මත කිසිවක්ම නොවැවෙනු ඇති බවය. කෙසේ නමුත් ඔවුන් ඔහුට පවසා ඇත්තේ හැකි නම් උණ ශාකය වගා කිරීමට උත්සාහ කර බලන ලෙසය. කිසිවෙකුගේ උදව් උපකාරයකින් තොරව සිය වේදනාකාරී අරගලය තනිව ආරම්භ කළ මේ මිනිසා අවසානයේ බොහෝ දෙනාට අනුව කළ නොහැක්කක් වූ දෙයක් කළ හැකි වූවක් බවට තහවුරු කර සමස්ත ලෝකයටම මහත් ආදර්ශයක් සැපයුවේය. ඔහුගේ අදහස පිළිබඳ ආරම්භයේදී කිසිදු ප්‍රියතාවක් නොදැක්වූ බොහෝ දෙනා අද ඔහුගේ ප්‍රතිඵල ඉදිරියේ නිරුත්තරව සිටී. පාරිසරික සමතුලිතතාව පිළිබඳ ගැඹුරු අවබෝධයකින් පසු වූ ජාදව් තමන් විසින් නිර්මාණය කරන පරිසර පද්ධතිය තුළට කුහුඹුවන් පවා රැගෙන ගියේය.
ඒ අනුව ආරම්භයේදී හුදු වැලි පිටියක් ලෙස දිස් වූ භූමිය ක්‍රමක්‍රමයෙන් ස්වයං ක්‍රියාකාරී පරිසර පද්ධතියක් බවට පත්විය. අවසානයේ මෙය මොලායි වනාන්තරය බවට පත් වූ අතර එය දැන් බොහෝ පක්ෂීන්, මුවන්, රයිනෝසර්, කොටි, අලි යනාදී සත්ත්ව විශේෂයන් ගණනාවකට වාසස්ථාන සපයයි. කලාපයේ වන සංරක්ෂණ නිලධාරීන් මෙම වනාන්තරය පිළිබඳ දැනගන්නා විට වර්ෂ 2008 පමණ වී තිබූ අතර ව්‍යාපෘතිය ආරම්භ වී දීර්ඝ කාලයක් ගත වී තිබුණි. මෙකී හඳුනා ගැනීමෙන් අනතුරුව ජාදව්ගේ පරිශ්‍රමය යම් ඇගයීමකට ලක් කරන ලද නමුත් එය ප්‍රමාණවත් වූවක් නොවුණි. වනාන්තර පිළිබඳ සහකාර සංරක්ෂක අධිකාරීවරයා, ජාදව්ගේ මහා පරිමාණ වන වගා ව්‍යාපෘතිය පිළිබඳ පුදුමය පළ කරයි. ඔහු පවසන්නේ ඉන්දියාවේ නොවී වෙනත් රටක වසර තිහක් තුළ මෙවන් ව්‍යාපෘතියක් සිදු කළේ නම් ඔහු ජාතික වීරයකු ලෙස සම්මාන ලබනු ඇති බවයි. කෙසේ නමුත් ජාදව්, සිය මෙහෙවර වෙනුවෙන් 2015 වර්ෂයේදී පද්ම ශ්‍රී ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. එය සිවිල් වැසියන්ට පිදෙන ඉන්දියාවේ සිව් වැනියට පවත්නා ඉහළම ගෞරව සම්මානයයි.
මෙවන් විශාල ව්‍යාපෘතියක් කිසිදු සහයෝගයකින් තොරව තනිව ක්‍රියාත්මක කිරීමට නිරන්තර සෙවණැල්ලක් වූ සිය ආදරණීය භාර්යාවත් දරු තිදෙනාත් සමඟම ජාදව් ජීවත් වූයේ කුඩා අතුපැළකය. දැන් ඔහුගේ ව්‍යාපෘතියෙහි ආයු කාලය වසර 40කට ආසන්න වන අතර ඔහු විසින් හුදෙකලා සටනකින් අනතුරුව තනිව බිහි කරන ලද වනාන්තරය, නිව්යෝර්ක් නගරයේ මධ්‍යම උද්‍යානයට වඩා ප්‍රමාණයෙන් විශාලය. අක්කර 550කට අධික භූමි ප්‍රදේශයක් පුරා මේ වන විට පැතිරී පවතින එය තනි මිනිසෙකුගේ දහදිය කඳුළුවල ප්‍රතිඵලයකි.
මෙවන් කටයුත්තකට කිසිවෙකුත් සහය නොවන බව සැබෑවකි. නමුත් ඉන් අනිසි ඵල ලබා ගැනීමට බොහෝ දෙන යුහුසුළුව සිටිති. මේ සා මෙහෙවරක් කළ ද ජාදව් වේදනාවෙනි. හොර දඩයක්කරුවන් පිළිබඳ බලධාරීන් වෙත නිරන්තර පැමිණිලි කිරීමට ඔහුට සිදු වී ඇත. ජාදව් ඉන්දීය රජය වෙත වැදගත් කරුණු ගණනාවක් යෝජනා ලෙසින් ඉදිරිපත් කර ඇත. පොල් වගා කිරීමේ පාරිසරික වටිනාකම මෙන්ම එහි ආර්ථික වටිනාකම ද ඔහු විසින් දක්වා ඇත. පාංශු ඛාදනය මන්දගාමී කිරීම සහ දේශීය වගාකරුවන්ට මුදල් බවට පත් කරගත හැකිවීම ඔහු පෙන්වා දෙන ලද වාසි කිහිපයකි.
ජාදව්ගේ වීර වික්‍රමාන්විතය අළලා චිත්‍රපට ගණනාවක් නිෂ්පාදනය වී ඇත. ජාදව් ඔහුගේ අවසාන හුස්ම පොද දක්වා සිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ අධිෂ්ඨානයෙන් පසු වේ. ඔහු වැනි තව පුද්ගලයන් කිහිප දෙනෙකු වුව බිහි වන්නේ නම් ඒ සොබාදම් දිනිතියගේ වාසනාවටය.
කවරයේ පින්තූරය: Prudential
මූලාශ්‍ර
- www.mnn.com
- thebetterindia.com
- 1millionwomen.com.au
- theguardian.com