ශ්‍රී ලංකාව ස්වභාවික සම්පත්වලින් අනූන රටක්. අප රට තුළ පවතින ස්වභාවික සම්පත් අතරට අයත් වන ඛනිජ වැලි සම්පත රටේ ආර්ථිකය සවිමත් කිරීම සඳහා දායකත්වයක් ලබාදෙනවා. ඉල්මනයිට්, සිලිකා, රූටයිල්, සහ සර්කෝන් මෙරටින් හමුවන ප්‍රධාන ඛනිජ වැලි වර්ග හතර යි. එම ඛනිජ වැලි වර්ග අන්තර්ගත වන නිධි රට පුරා විසිරී පවතිනවා.
ලංකාවේ ඛනිජ වැලි පිහිටා තිබෙන ප්‍රදේශ
ආග්නේය පාෂාණ වසර ගණනාවක් තිස්සේ ජීර්ණයට ලක්වීම හේතුවෙන් සහ විවිධ දේශගුණ තත්ත්වයන්ට භාජන වීමෙන් ඛනිජ වැලි නිධි නිර්මාණය වනවා. එලෙස නිර්මාණය වුණු ඛනිජ වැලි නිධි ලංකාවේ ඊසාන, නැගෙනහිර, ගිණිකොණ, නිරිත, සහ වයඹ යන වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව පිහිටා තිබෙනවා. විවිධ ඛනිජ වැලි වර්ග ව්‍යාප්ත වී තිබෙන ප්‍රදේශ පහත පරිදියි.
* ඉල්මනයිට්– පුල්මුඩේ සහ නිලාවෙලි
* සිලිකා වැලි- මාරවිල, නාත්තන්ඩිය, හලාවත, මාදම්පේ, වල්ලිපුරම්, අම්පාර
* රූටයිල්- පුල්මුඩේ
* සර්කෝන්- බළංගොඩ, මීරිගම, පුල්මුඩේ
පුල්මුඩේ ඛනිජ වැලි නිධිය
ඛනිජ වැලි යන නම ඇසුණු සැනින්ම අපගේ මතකයට නැගෙන්නේ පුල්මුඩේ ප්‍රදේශය යි. ඒ ලංකාවේ විශාලතම ඛනිජ වැලි නිධිය පුල්මුඩේ ප්‍රදේශයේ පිහිටා තිබෙන නිසා යි. පුල්මුඩේ වෙරළ තීරය තුළ ඛනිජ වැලි තිබෙන බව මුලින්ම අනාවරණය කළේ ආනන්ද කුමාරස්වාමි මහතා යි. එතුමා 1904 වසරේ දී පමණ එය අනාවරණය කළත් 1950 දශකය වන තුරුම ඛනිජ වැලි නිධියෙන් කිසිදු ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. මෙම ඛනිජ වැලි නිධිය තුළ 65%ක ප්‍රතිශතයක් ඇත්තේ ඉල්මනයිට් නම් ඛනිජ වැලි වර්ගය යි. එසේම රූටයිල් සහ සර්කෝන් නම් ඛනිජ වැලි වර්ග 2ක් ද එහි දක්නට ලැබෙනවා.
ලංකා ඛනිජ වැලි සංයුක්ත මණ්ඩලය
1957 අංක 49 දරණ කර්මාන්තශාලා ආඥා පනත මඟින් ලංකා ඛනිජ වැලි සංයුක්ත මණ්ඩලය පිහිටවනු ලැබුවා. එය පිහිටුවීමේ අරමුණ බවට පත්වුණේ පුල්මුඩේ ඛනිජ වැලි නිධිය කැණීම් කර එහි තිබෙන සම්පත් පිරිසැකසුම් කිරීම සහ අපනයනය කිරීම යි. එසේම පුල්මුඩේ වෙරළ තීරය අසල පිහිටුවා ඇති යන්ත්‍රාගාරයේ ඉදිකිරීම් කටයුතු 1958 වසරේ දී ආරම්භ වුණා. ලංකා ඛනිජ වැලි සංයුක්ත මණ්ඩලය මඟින් මුල්ම වරට අපනයනයක් සිදුකරනු ලැබුවේ 1961 වසරේ දීයි. එහිදී ජපානයට ඉල්මනයිට් ටොන් 2800ක් අපනයනය කරනු ලැබුවා. ඉන් පසුව වසරින් වසර යවන ලද ඉල්මනයියිට් ප්‍රමාණයෙහි වර්ධනයක් දක්නට ලැබුණා.
පුල්මුඩේ ඛනිජ වැලි නිධියෙහි රූටයිල් සහ සර්කෝන් නම් ඛනිජ වැලි වර්ග 2ක් ද අඩංගු වනවා. එම නිසා ඛනිජ වැල්ලෙන් රූටයිල් සහ සර්කෝන් වෙන්කර ගැනීම පිළිබඳව බලධාරීන්ගේ අවධානයට යොමු වුණා. ඒ සඳහා පිරිසිදු ජලය ලබාගැනීම අවශ්‍ය වුණු නිසා 70 දශකයේ මුල් භාගයේ දී යාන් ඔය ජල පොම්පාගාරය ඉදිකරනු ලැබුවා. ඉන් අනතුරුව ඛනිජ වැලි නිධියෙන් ඉල්මනයිට්, රූටයිල්, සහ සර්කෝන් යන ඛනිජ වැලි වර්ග වෙන්කර ගැනීමට හැකියාව ලැබුණා.
මෙම ඛනිජ වැලි නිධිය උපරිම ඵලදායී ලෙස භාවිතා කිරීමේ අරමුණෙන් 1992 වර්ෂයේ දී ලංකා ඛනිජ වැලි සංයුක්ත මණ්ඩලය රාජ්‍ය සමාගමක් ලෙසින් සංස්ථාපනය කරනු ලැබුවා. එය ක්‍රියාවට නැංවුණේ 1987 අංක 23 දරණ රාජ්‍ය සංස්ථා හෝ ආණ්ඩුවට අයත් ව්‍යාපාර පොදු සමාගම් බවට පරිවර්තනය කිරීමේ පනත යටතේ යි. පසු කලෙක 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ මෙය පූර්ණ රාජ්‍ය සමාගමක් බවට පත්වුණා.
වාර්ෂික නිෂ්පාදන ධාරිතාවය
ලංකා ඛනිජ වැලි සංයුක්ත මණ්ඩලය ආරම්භ කළ අවධියේ සිට 90 දශකය ආරම්භ වන තුරු එහි නිෂ්පාදන කටයුතු ඉතාමත් හොඳින් සිදුවුණා. නමුත් 90 දශකයේ මැද භාගය වන විට එම ප්‍රදේශය ආශ්‍රිතව කොටි ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම්වල වර්ධනයක් දක්නට ලැබුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1998-2005 කාල සමය තුළ ඛනිජ වැලි සංස්ථාවේ වැඩ කටයුතුවලට බාධා එල්ල වුණා.
2005 වසරෙන් පසුව ඛනිජ වැලි නිධිය ආශ්‍රිතව නිෂ්පාදන කටයුතු යළි සාමාන්‍ය පරිදි සිදුවුණා. නමුත් පසුගිය වසර කිහිපය තුළ දී එහි නිෂ්පාදන කටයුතු තරමක් අඩාල වීමට හේතු කිහිපයක් බලපෑවා. කැණීම් බලපත්‍ර ලබාගැනීමේ ගැටළු, භාවිතා කරනු ලබන සමහර යන්ත්‍ර සූත්‍ර පැරණි ඒවා බැවින් කාර්යක්ෂමතාවය අඩුවීම වැනි ඒ හේතු අතුරින් ප්‍රධාන යි. නමුත් මෙම සමාගම මඟින් අදටත් ජාතික ආර්ථිකය නැංවීමට සැලකිය යුතු තරම් දායකත්වයක් ලබාදෙනවා. පහත දක්වා තිබෙන්නේ ඛනිජ වැලි සංයුක්ත මණ්ඩලය මඟින් සිදුකරනු ලබන වාර්ෂික නිෂ්පාදන ධාරිතාවන්.
1) ඉල්මනයිට්- ටොන් 90000
2) රූටයිල්- ටොන් 9000
3) සර්කෝන්- ටොන් 5500
4) මොනසයිට්- ටොන් 100
5) අධි සාණ්ද්‍ර ටයිටේනියම් ඉල්මනයිට්- ටොන් 4000
ඛනිජ වැලි මඟින් ලබාගත හැකි ප්‍රයෝජන
ශ්‍රී ලංකාවෙන් ප්‍රධාන වශයෙන් හමුවන ඛනිජ වැලි වර්ගවලින් විවිධ ප්‍රයෝජන ලබාගන්නවා. පහත දක්වා තිබෙන්නේ ඉල්මනයිට්, රූටයිල්, සහ සර්කෝන් මඟින් ලබාගන්නා ප්‍රයෝජන යි.
1) ඉල්මනයිට්, රූටයිල් සහ සර්කෝන් අමුද්‍රවයක් ලෙසින් අපනයනය කිරීම
2) ටයිටේනියම් ඩයොක්සයිඩ් නිපදවීම සහ ටයිටේනියම් නිස්සාරණය යන ක්‍රියාවලීන් සඳහා අවශ්‍ය වන්නේ ඉල්මනයිට් සහ රූටයිල් යන මූලික අමුද්‍රව්‍ය යි. මිශ්‍ර ලෝහ නිෂ්පාදනය, කඩදාසි කර්මාන්තය, ප්ලාස්ටික් කර්මාන්තය, සිමෙන්ති නිපදවීම, පිඟන් ගඩොල් නිපදවීම, උසස් තාක්ෂණ අභ්‍යාවකාශ ව්‍යාපෘති, වර්ණක නිෂ්පාදනය වැනි කටයුතුවල දී ටයිටේනියම් ඩයොක්සයිඩ් සහ ටයිටේනියම් යොදාගනියි.
3) ගඩොල් නිෂ්පාදනයේ දී සහ උඳුන් දාර සකස් කිරීමේ දී සර්කෝන් අමුද්‍රව්‍යයක් ලෙසින් භාවිතා කරයි. ඒ එය සෙල්සියස් 2500ක පමණ උෂ්ණත්වයක දී උණුවන නිසා යි.
4) න්‍යෂ්ටික ඉන්ධන ගබඩා කිරීම සඳහා යොදාගන්නා බහාලුම් නිෂ්පාදනය කිරීමේ දී පිරිසිදු සර්කෝන් යොදාගනියි.
5) ගෙවී නොයන රබර් අත් වැසුම්, ඝන ඔක්‌සයිඩ ඉන්ධන කෝෂ, කැපුම් උපාංග, ඔක්‌සිජන් සංවේදක සහ දන්ත වෛද්‍ය ක්‌ෂේත්‍රයේ විවිධ නිෂ්පාදන සඳහා සර්කෝන් භාවිතා කරනවා.
පුල්මුඩේ ඛනිජ වැලි නිධිය වැනි වටිනා සම්පතක් අප සතුව තිබියදීත් ඉන් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට හැකියාව ලැබී නැහැ. අප තවමත් සිදුකරන්නේ ඉල්මනයිට්, රූටයිල්, සහ සර්කෝන් අපනයනය කිරීම පමණ යි. ටයිටේනියම් ඩයොක්සයිඩ් නිපදවීම සහ ටයිටේනියම් නිස්සාරණය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වන ඉල්මනයිට් සහ රූටයිල් තිබිය දීත් එම නිෂ්පාදන මෙරට තුළ තවමත් සිදුවන්නේ නැහැ. එවැනි නිෂ්පාදන සිදුකිරීමට තවමත් උනන්දු නොවීම හේතුවෙන් අප රටට විශාල මුදලක් අහිමී ගොස් තිබෙනවා. එම නිසා අනාගතයේ දී පුල්මුඩේ ඛනිජ වැලි සම්පතෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීම සඳහා අවධානය යොමු කළ යුතු යි.