1945 ජූලි 17 වන දා ජර්මනියේ පොට්ස්ඩෑම්හි දී ස්ටාලින්, ටෲමන්, සහ චර්චිල් යන ප්‍රධාන මිත්‍ර පාක්ෂික නායකයන් තිදෙනා හමුවුණා. ඒ දෙවන ලෝක යුද්ධය අවසානයේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා යි.
මෙම රැස්වීමෙහි පළමු දිනයේම ඇමරිකානු ජනාධිපති හැරී එස්. ටෲමන් වෙත විශේෂ පණිවිඩයක් ලැබුණා. එයින් කියැවුණේ පළමු පරමාණු බෝම්බ අත්හදා බැලීම සාර්ථක වීම පිළිබඳව යි. ඔහු මේ පිළිබඳව බ්‍රිතාන්‍ය අගමැති චර්චිල් වෙත දන්වා සිටියා. පසුව සෝවියට් නායක ජෝසප් ස්ටාලින් හමුවූ ටෲමන් ඇමරිකාව සතුව නව අවියක් තිබෙන බව ඔහුට දැනුම් දුන්නා.
ස්ටාලින් ඒ පිළිබඳව එතරම් උද්‍යෝගයක් දැක්වූයේ නැහැ. එහෙයින් ටෲමන් කල්පනා කළේ ස්ටාලින්ට තමන් ප්‍රකාශ කළ දේ පිළිබඳ එතරම් වැටහෙන්නට නැති බව යි.
නමුත් ඇත්තම කාරණය අනෙකක්. ස්ටාලින් පරමාණු බෝම්බ ව්‍යාපෘතිය පිළිබඳ ඒ වෙද්දිත් සැලකිය යුතු ප්‍රමාණයක් තොරතුරු දැන සිටියා. ඔහු ටෲමන් හමුවේ කළේ රඟපෑමක් බව බටහිර රටවලට තේරුණේ තවත් ටික කලකට පසුව පරමාණු බෝම්බ ව්‍යාපෘතියට සම්බන්ධ වී සිටි සෝවියට් ඔත්තුකරුවන් පිළිබඳව හෙළි වූ විට යි.
පළමු ඉඟිය
බටහිර රටවල් යම් කිසි පරමාණු බෝම්බ සම්බන්ධ වූ ව්‍යාපෘතියක නියැලී සිටින්නේ ය යන සැකය මුලින්ම NKVDයට ඇති වුණේ 1940 තරම් ඈත දී බව ඇසුවොත් ඇතැම් විට ඔබ පුදුම වේවි. සරලව කිවහොත්, මෙම ව්‍යාපෘතිවල මුල් අවධියේ සිටම ඔවුනට එම සැකය ඇති වී තිබුණා. නමුත් ඒ යම් ඔත්තුකරුවකු විසින් ලබා දුන් තොරතුරක් අනුව නොවේ. එක් කනිෂ්ඨ නිලධාරියකු විසින් කෙරුණු දක්ෂ නිරීක්ෂණයක් මීට හේතු වුණා.
NKVDයේ තාක්ෂණික සහ විද්‍යාත්මක බුද්ධි අංශයේ සේවය කළ ලියොනිඩ් ක්වාස්නිකොෆ් (Leonid Kvasnikov) බටහිර රටවල විද්‍යාත්මක පර්යේෂණ වාර්තා පළ කෙරෙන සඟරා කියවන අයෙකු වුණා. 1940 දී ඔහු දුටුවේ, එක්වරම මෙන්, පරමාණුක කටයුතු පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයන් ඒ පිළිබඳ පර්යේෂණ පත්‍රිකා පළ කිරීම නවතා දමා ඇති බව යි. මෙම නිහැඬියාවට හේතුව ඔවුන් යම් රහස්‍ය පර්යේෂණයක නියැලීම විය හැකියැ යි ක්වාස්නිකොෆ් අනුමාන කළා. ඔහු මේ බව එවක NKVDයේ ප්‍රධානී ලැව්රෙන්ටි බෙරියා වෙත සැළ කළා. මේ අනුව ඔවුන් ඒ පිළිබඳ විමසිලිමත් වීමට තීරණය කළ අතර ඒ සඳහා විශේෂ මෙහෙයුමක් දියත් කළා. මෙය “ඔපරේෂන් එනෝර්මස්” (Operation Enormous) ලෙස හඳුන්වනු ලැබුණා. මෙහි අරමුණ වූයේ බටහිර රටවල න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳ තොරතුරු එකතු කර, ඊට සම්බන්ධ විද්‍යාඥයින් හඳුනාගැනීම සහ ඒ අතර වූ කොමියුනිස්ට් හිතවාදීන් හඳුනාගැනීම යි.
ක්ලවුස් ෆ්‍යුක්ස්
ජර්මන් බ්‍රිතාන්‍ය විද්‍යාඥයකු වූ එමිල් ජුලියස් ක්ලවුස් ෆ්‍යුක්ස් න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳව ඔත්තු බැලූ වැදගත්ම සෝවියට් ඔත්තුකරුවා වුණා. 1911 දෙසැම්බර් 29 වන දා ජර්මනියේදී උපන් ක්ලවුස් ෆ්‍යුක්ස් ලයිප්සිග් සරසවියෙහි අධ්‍යාපනය ලබන අතරවාරයේ ශිෂ්‍ය දේශපාලන කටයුතුවලට සම්බන්ධ වූ අතර මුලින් ඔහු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පාක්ෂිකයෙකු වුණා. 1932 දී ඔහුව එම පක්ෂයෙන් ඉවත් කෙරුණ අතර ඔහු කොමියුනිස්ට් පක්ෂයට බැඳුණා. 1933 රයික්ස්ටාග් ගින්නෙන් පසු ඔහු සැඟව ගිය අතර පසුව පැරිසියට පැමිණ එතැනින් එංගලන්තයට පළා ගියා. ඔහු හිතවතුන්ගේ මාර්ගයෙන් බ්‍රිස්ටල් සරසවියට ඇතුළත්ව සිය අධ්‍යාපන කටයුතු අවසන් කළා.
දෙවන ලෝක යුද්ධය ඇරඹි අවස්ථාවේ ෆ්‍යුක්ස් පිළිබඳ ද බ්‍රිතාන්‍ය බලධාරීන් විපරම් කළේ ඔහු ජර්මනියෙන් පැමිණි අයකු වූ නිසා යි. ඔහු කොමියුනිස්ට්වාදියකු බව ජර්මන් තානාපති නිලධාරීන් විසින් යුද්ධයට පෙර බ්‍රිතාන්‍යයට වාර්තා කර තිබුණා. කෙසේ නමුත් ෆ්‍යුක්ස් බ්‍රිතාන්‍යයේ දී කිසිදු කොමියුනිස්ට් දේශපාලන කටයුත්තකට සම්බන්ධ වී තිබුණේ නැහැ. එම නිසා බ්‍රිතාන්‍යයන් සැක කළේ ජර්මන් බලධාරීන් ෆ්‍යුක්ස්ව අපකීර්තියට පත් කිරීම සඳහා මෙසේ දැනුම් දෙන්නට ඇති බව යි. ඔහුට ඔහුගේ අධ්‍යයන කටයුතු කරගෙන යාමට අවස්ථාව ලැබුණා.
1943 අගෝස්තුවේ දී බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල්, ඇමරිකානු ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී. රූසවෙල්ට්, සහ කැනඩා අගමැති මැකෙන්සි කිංග් රහස් සාකච්ඡාවක් සඳහා හමුවුණා. එහිදී චර්චිල් තම රටෙහි න්‍යෂ්ටික පරීක්ෂණ කටයුතු ද ඇමරිකානු ව්‍යාපෘතිය යටතට පත් කිරීමට අනුමැතිය පළ කළා. මේ අනුව බ්‍රිතාන්‍ය න්‍යෂ්ටික විද්‍යාඥයන් ඇමරිකාව වෙත ළඟා වුණා. ෆ්‍යුක්ස් ද ඒ සමග ඇමරිකාවට පැමිණියා.
ඇමරිකාවේදී න්‍යෂ්ටික ඔත්තු බැලීම් ක්‍රියාත්මක වුණේ නිව් යෝර්ක් නගරයේ සෝවියට් කොන්සල් කාර්යයාලය මූලස්ථානය කරගෙන යි. මෙම මෙහෙයුම භාරව කටයුතු කිරීමට ලියොනිඩ් ක්වාස්නිකොෆ් එහි එවනු ලැබුණා. එරටට පැමිණි ෆ්‍යුක් හැසිරවීම සඳහා වගකීම පවරන ලද්දේ ඇමරිකාවේ ඒජන්තයකු වූ හැරී ගෝල්ඩ් වෙත යි. ඔත්තුකරුවකු හැසිරවීම කළ තැනැත්තා (handler) විසින් ඔහු සහ ඔත්තු සේවය අතර සම්බන්ධීකරණය පවත්වාගන ගියා.
1945 දී ප්ලූටෝනියම් බෝම්බය පිළිබඳ තොරතුරු ගෝල්ඩ් වෙත සහ ඒ හරහා සෝවියට් දේශයට ලබා දුන්නේ ෆ්‍යුක්ස් විසින්. එමෙන්ම පළමු පරමාණු බෝම්බ අත්හදා බැලීමට මාසයකට පෙර ඒ බව ද ගෝල්ඩ් වෙත දැන්වීමට ෆ්‍යුක්ස් සමත් වුණා.
මේ හේතුවෙන්, පරමාණු බෝම්බය අත්හදා බැලීමට මාසයකට පෙර ඒ පිළිබඳ සෝවියට් දේශය දැන සිටියා. පොට්ස්ඩෑම්හි දී ස්ටාලින් ටෲමන් හමුවේ සිදු කළේ තනිකරම රඟපෑමක්.
මෑන්හැටන් ව්‍යාපෘතිය සහ ලොස් ඇලමෝස්
න්‍යෂ්ටික බෝම්බ නිපදවීමේ වැඩපිළිවෙල ක්‍රියාවට නැගුණේ මෑන්හැටන් ව්‍යාපෘතිය යටතේ යි. මෙහි ප්‍රධාන පරීක්ෂණාගාර සංකීර්ණය 1942 දී නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ ලොස් ඇලමෝස්හි පිහිටුවනු ලැබුණා. මෙය ඉතාම දැඩි ආරක්ෂාවක් යටතේ ක්‍රියාත්මක වූ විද්‍යාගාර සංකීර්ණයක් වූ අතර එහි විවිධ ආරක්ෂක උපක්‍රම යොදවා තිබුණා. එක් එක් අංශවල විද්‍යාඥයින්ට එකිනෙකා හා සාකච්ඡා කිරීමට පවා තහනම් වූ අතර එවැනි අවශ්‍යතාවක් මතු වුවහොත් මෑන්හැටන් ව්‍යාපෘතියේ ප්‍රධානී මේජර් ජෙනරාල් ලෙස්ලි ග්‍රෝව්ස්ගෙන් අවසර ගත යුතු වුණා. ලොස් ඇලමෝස්හි සේවය කළ අයට විද්‍යාගාරයෙන් පිටව යාමට අවසර ලැබුණේ මසකට වතාවක් පමණ යි. එමෙන්ම ඒ ආසන්න ප්‍රදේශයන් ද දැඩි ආරක්ෂාවකට යටත් කර තිබුණා.
මේ හේතු නිසා කිසිදු අයකුට සම්පූර්ණ ව්‍යාපෘතිය පිළිබඳ තොරතුරු දැනගැනීමට හැකියාවක් වූයේ නැහැ. ෆ්‍යුක්ස් ද දැන සිටියේ ඔහුට දැනගැනීමට ලැබෙන තොරතුරු පමණ යි. මේ අතර තවත් ඔත්තුකරුවකු ලොස් ඇලමෝස්හි සිටින බව ද ෆ්‍යුක්ස් දැන සිටියේ නැහැ.
තියඩෝර් හෝල්
තියඩෝර් හෝල් යනු කුඩා කල අධ්‍යාපනයට අති දක්ෂ වූ අයෙක්. ඔහුගේ උපන් නාමය තියඩෝර් ඇල්වින් හොල්ට්ස්බර්ග් වූ අතර ඔහු උපන්නේ යුදෙව් පවුලක යි. වයස අවුරුදු 15 දී හාර්වර්ඩ් විශ්ව විද්‍යාලයට ඇතුලත් වූ හෝල් භෞතික විද්‍යාව හැදෑරුවා. ඔහු වයස අවුරුදු 18 දී සිය උපාධිය සම්පූර්ණ කළා.
1944 දී හෝල් මෑන්හැටන් ව්‍යාපෘතියට බඳවා ගනු ලැබුණේ එහි ලාබාලම විද්‍යාඥයකු ලෙස යි. මේ අතර ඔහු යුද්ධය යන අත පිළිබඳ විශේෂ අවධානයකින් පසු වුණා. සෝවියට් දේශය ෆැසිස්ට්වාදය පරාජය කිරීමේ ප්‍රධාන කර්තව්‍යය දරන බව ඔහු තීරණය කළා. මේ අනුව හෝල් සෝවියට් දේශය වෙනුවෙන් පරමාණු ව්‍යාපෘතියේ තොරතුරු ලබාදීමට ඉදිරිපත් වුණා. ඔහු ඒ සඳහා සම්බන්ධතාවය ගොඩ නගාගත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ කොමියුනිස්ට් පක්ෂය හරහා යි.
සෝවියට් ඔත්තුකරුවකු වූ මොරිස් කොහෙන්ගේ බිරිඳ ලෝනා කොහෙන් හෝල් හැසිරවීමේ කටයුත්ත සිදු කළා. ඇය ලොස් ඇලමෝස් අසල ස්ථානයකට කිහිප වතාවක්ම ගමන් කර අවසානයේ හෝල් මුණගැසීමට සමත් වුණා. ඔහු තමන් සතු ලියකියවිලි ඇයට ලබා දුන් අතර ඇය ඒවා ආරක්ෂකයින්ට හසු නොවී ගෙනෙන්නට සමත් වුණා.
මේ අතර 1945 ජූනි මාසයේ දී ෆ්‍යුක්ස් මෙන්ම හෝල් ද ජූලි මාසයේ කෙරෙන න්‍යෂ්ටික අත්හදා බැලීම පිළිබඳව සෝවියට් ඒජන්තයින්ට අනතුරු ඇඟවූවා.
ග්‍රීන්ග්ලාස් සහ ඇලන් මේ
මේ අතර ලොස් ඇලමෝස්හි සේවය කළ යාන්ත්‍රික ශිල්පියකු ඔත්තු සේවා කටයුතු සඳහා බඳවා ගැනීමට සෝවියට් ඔත්තු සේවාවන් සමත් වුණා. මේ පුද්ගලයා වූයේ ඩේවිඩ් ග්‍රීන් ග්ලාස් නමැත්තෙක්. ඔහුව බඳවා ගන්නා ලද්දේ ඔහුගේ ඥාති සහෝදරයා වූ ජුලියස් රොසෙන්බර්ග් සහ ඔහුගේ බිරිඳ මෙන්ම ඩේවිඩ්ගේ සහෝදරිය වූ ඊතල් රොසෙන්බර්ග් විසින්. ග්‍රීන් ග්ලාස් විද්‍යාඥයකු නොවූ නමුත් ඔහු තමා වැඩකටයුතු කරන යන්ත්‍ර සූත්‍ර සහ අනෙකුත් ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබා දුන්නා.
මේ අතර තවත් විද්‍යාඥයින් කිහිප දෙනකු තම බුද්ධි කටයුතු වෙනුවෙන් බඳවා ගැනීමට සෝවියට් ඒජන්තයින් සමත් වුණා. මේ අතර වැදගත්ම අයකු වූයේ ඇලන් මේ නම් වූ විද්‍යාඥයා යි. ඔහු සෝවියට් ඒජන්තයින් වෙත යුරේනියම් 235 සමස්ථානිකයේ සාම්පලයක් ද න්‍යෂ්ටික ව්‍යාපෘතිය පිළිබඳ විවිධ තොරතුරු ද ලබා දුන්නා. යුරේනියම් භාවිතා කර නිපදවන ලද පරමාණු බෝම්බය සඳහා යුරේනියම් 235 සමස්ථානිකය වෙන්කර ගත යුතු වූ අතර එය පියවර ගණනාවකින් යුක්ත වූ ක්‍රියාවලියක් වුණා. මේ පිළිබඳ සියළු තොරතුරු රහස්‍ය වශයෙන් තබා ගැනුණා.
සෝවියට් බෝම්බය
පළමු පරමාණු බෝම්බ අත්හදා බැලීම පිළිබඳව ස්ටාලින් දැන සිටිය ද ටෲමන් ඔහු වෙත එය දන්වා සිටීමත් සමග ඔහු බෙරියා වෙත දන්වා සිටියේ සෝවියට් න්‍යෂ්ටික වැඩපිළිවෙල වේගවත් කළයුතු බව යි. මේ වෙද්දීත් සෝවියට් විද්‍යාඥයින්ට අවශ්‍ය ඇතැම් තොරතුරු ඔත්තුකරුවන් මඟින් ලැබී තිබුණ අතර අනෙකුත් කටයුතු ඔවුන් විසින් කරගෙන ගියා. නමුත් ඔවුන් ස්වාධීනව පරමාණු බෝම්බයක් නිපදවූයේ නම් ඒ සඳහ අවම වශයෙන් අවුරුදු දහයක්වත් ගත වීමට ඉඩ තිබුණ බව විශ්වාස කෙරෙනවා.
කෙසේ වෙතත් න්‍යෂ්ටික වැඩපිළිවෙලට සම්බන්ධව සිටි විද්‍යාඥයන් විසින් දිගටම තොරතුරු එවනු ලැබුණා. ෆ්‍යුක්ස් ඉන් ඉතාම වැදගත් වූ අතර 1946 දී යළි බ්‍රිතාන්‍යයට පැමිණි අවස්ථාවේ, මෑන්හැටන් ව්‍යාපෘතිය යටතේ නිපදවන ලද බෝම්බවල සැලසුම් සෝවියට් ඒජන්තයකු වෙත ලබා දීමට ඔහු සමත් වුණා. මෙම තොරතුරු මත ද පදනම් ව සෝවියට් දේශය පරමාණු බෝම්බයක් නිපදවීමට සමත් වුණා. මෙය 1949 අගෝස්තු මාසයේදී මුල් වරට අත්හදා බලනු ලැබුණා.
හෙළිදරව් වීම
1945 දී කැනඩාවේ ඔටාවා නගරයෙහි සෝවියට් තානාපති කාර්යයාලයේ ලිපිකරුවකු වූ ඉගෝර් ගුෂෙන්කෝ කැනඩාවේ රැකවරණ පතාගෙන පැමිණියා. ඔහු විශාල ලිපිගොනු ප්‍රමාණයක් ගෙනවිත් තිබූ අතර ඒ අනුව සෝවියට් දේශය වෙනුවෙන් ඔත්තු බැලූ 13 දෙනෙකුගේ පමණ විස්තර හෙළිදරව් කරගනු ලැබුණා.
මෙම තොරතුරු මත ඇලන් මේ අත් අඩංගුවට ගෙන වසර දහයකට සිරගත කරනු ලැබුණා. මේ අතර, එක් සෝවියට් ඔත්තුකරුවකුගේ සටහන් පොතක ක්ලවුස් ෆ්‍යුක්ස්ගේ දුරකතන අංකය තිබුණෙන් ඔහු පිළිබඳව ද සැකයක් මතු වුණා. එහෙත් ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂ්‍ය තිබුණේ නැහැ.
මෙම සාක්ෂ්‍ය ලැබෙන්නට පටන් ගත්තේ CIA සංවිධානය විසින් සිදු කළ වෙනෝනා ව්‍යාපෘතිය සමග යි. මෙහිදී පැරණි සෝවියට් රහස් පණිවිඩ කියවීම සිදු වූ අතර එයින් ලද තොරතුරු මත ෆ්‍යුක්ස් පිළිබඳ සැකය ද තහවුරු වුණා. 1951 දී ඔහුව බ්‍රිතාන්‍ය බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමෙන් පසු වසර 14ක සිර දඬුවමක් නියම කෙරුණා. ෆ්‍යුක්ස් සිය සිර දඬුවම ගෙවා දැමීමෙන් පසු නැගෙනහිර ජර්මනියේ පදිංචියට ගියා.
ෆ්‍යුක්ස් තමාගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී තමා හැසිරවීමේ කටයුතු සිදු කළ ඇමරිකානුවා පිළිබඳ තොරතුරු ලබා දුන්නා. ඒ අනුව හැරී ගෝල්ඩ් අත්අඩංගුවට ගනු ලැබුණා. ගෝල්ඩ් ද වසර 30කට සිරගත කෙරුණා. මේ අතර ඔහු විසින් ඩේවිඩ් ග්‍රීන් ග්ලාස් පිළිබඳව තොරතුරු ලබා දුන්නා. ග්‍රීන්ග්ලාස් අත්අඩංගුවට ගනු ලැබුණ අතර ඔහු තම දඬුවම අඩු කරන පොරොන්දුව පිට රජය සමග එකඟතාවකට පැමිණියා. මේ අනුව ඔහු තම සහෝදරයා වූ ඊතල් සහ ඇගේ සැමියා වූ ජුලියස් රොසෙන්බර්ග්ට එරෙහිව රජයේ සාක් ෂිකරුවකු බවට පත් වුණා. රොසෙන්බර්ග් යුවළ නඩු විභාගයකට ලක් කර මරණ දඬුවමට යටත් කෙරුණා. මෙම සිද්ධිය පිළිබඳව මෙන්ම හැරී ගෝල්ඩ් සිර දඬුවමකට පමණක් ලක් වෙද්දී රොසෙන්බර්ග් යුවළ මරණ දඬුවමට යටත් කිරීම පිළිබඳ විශාල විවාදයක් පැවතුණා. රොසෙන්බර්ග් යුවළ අවසානය තෙක්ම තම නිදොස්බව ශපථ කර සිටියා.