දේපළ අනුප්‍රාප්ති නීතිය සැකවින්

යම් පුද්ගලයෙකු මිය ගිය පසු ඔහු සතු ව පැවති දේපළට සිදුවන්නේ කුමක් ද? යන්න බොහෝ දෙනා අතර කතාබහට ලක්වන්නක්. මෙවන් ගැටලු සහගත අවස්ථාවක නීතියේ පිළිසරණ පැතීමට පෙර ඔබ අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් ම තිබෙන බව මතක තබා ගත යුතු යි.

අන්තිම කැමති පත්‍රයක පැවැත්ම

යම් අයෙකුගේ මරණයෙන් පසු ඔබ පළමුව සොයා බැලිය යුත්තේ ඔහු/ ඇය විසින් මරණයට පෙර අන්තිම කැමති පත්‍රයක් සකස් කළේ ද යන්න යි. එසේ ඔහු/ ඇය විසින් සකස් කරන ලද අන්තිම කැමති පත්‍රයක් පවතින්නේ නම් මූලිකත්වය හිමිවිය යුත්තේ මේ අන්තිම කැමති පත්‍රයට යි. අන්තිම කැමති පත්‍රයක් සකස් කර තිබේ යන්නෙන් අදහස් වන්නේ ඔහු/ ඇය විසින් දැනටමත් දේපළට සිදුවිය යුත්තේ කුමක් ද යන්න තීරණය කර හමාර බව යි. එසේ නම් සිදුවිය යුත්තේ මේ අන්තිම කැමති පත්‍රය නිසි අධිකරණයක් තුළින් බලාත්මක කරගැනීම පමණයි.

chavakkadonline.com

යම් පුද්ගලයෙක් තමාගේ මරණයට පෙර තම දේපළ හිමි විය යුත්තේ කා හට ද? කුමන ප්‍රමාණයකින් ද? යන්න තීරණය කරමින් සකස් කරන ලියවිල්ල යි, අන්තිම කැමති පත්‍රයක් වශයෙන් හඳුනා ගන්නේ. ඔහුගේ/ ඇයගේ දේපළට උරුමකම් කියන නීත්‍යනුකූල උරුමකරුවන් කවුරුන් වුවත්, අන්තිම කැමති පත්‍රය තුළින් ඔවුන් හට දේපළ පවරා නොමැති නම්, ඔවුන්ට ඒ දේපළෙන් කිසිවක් හිමිවන්නේ නැහැ.

සාමාන්‍ය නීතියෙන්, උඩරට නීතියෙන් හෝ මුස්ලිම් නීතියෙන් අන්තිම කැමති පත්‍රය සකස් කිරීමේ හැකියාව පවතින අතර අන්තිම කැමති පත්‍රය කිසිදු අවස්ථාවකවත් අවලංගු කර නොමැති නම්, අන්තිම කැමති පත්‍රයක් සහිත දේපළ බෙදී යන්නේ අන්තිම කැමති පත්‍රය අනුව ම යි.

අන්තිම කැමති පත්‍රයක් සකස් කිරීම

වයස අවුරුදු 18 සම්පුර්ණ වූ ඕනෑම අයෙකුට අන්තිම කැමති පත්‍රයක් සකස් කිරීමේ හැකියාව පවතී. වයස අවුරුදු 18ට අඩු අයෙක් නම් අධිකරණය ‍මඟින් වයෝ පුර්ණත්ව සහතිකය ලබා සිටිය යුතු යි. අන්තිම කැමති පත්‍රය සකස් කරන අවස්ථාවේ යහපත් මානසිකත්වයෙන් යුතු ව සිටීම ද අනිවාර්ය යි.

අන්තිම කැමති පත්‍රයක් සකස් කළ හැකි ප්‍රධාන ක්‍රමවේද 2 කි.

  • ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු හා සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරියේ ලියා අත්සන් කිරීම මඟින්.
  • සාක්ෂිකරුවන් පස් දෙනෙකු ඉදිරියේ ලියා අත්සන් කිරීම මඟින්.

අන්තිම කැමති පත්‍රයක් යන්න රහසිගත ලේඛනයක් බැවින් එය ලියාපදිංචි කිරීම අවශ්‍ය වන්නේ නැහැ.

අන්තිම කැමති පත්‍රයක් නැවත අවලංගු කළ හැකි ද?

නව අන්තිම කැමති පත්‍රයක් සකස් කිරීම මඟින් පැරණි අන්තිම කැමති පත්‍රය අවලංගු කළ හැකියි. එමෙන්ම අන්තිම කැමති පත්‍රය සකස් කළ පුද්ගලයා විසින් ම අන්තිම කැමති පත්‍රය අවලංගු එකක් වන බව දැක්වීම මඟින් හෝ ඒ පුද්ගලයා විසින් චේතනාන්විතව ම අන්තිම කැමති පත්‍රය විනාශ කිරීම මඟින් ද අන්තිම කැමති පත්‍රය අවලංගු වේ.

thehindu.com

අන්තිම කැමති පත්‍රයට තවත් දේපළක උරුම හිමිකම එක් කිරීම ‍සඳහා එකී අන්තිම කැමති පත්‍රයට ම ඈඳමින් කොඩිසිල් පත්‍රයක් ද සකස් කළ හැකි අතර ඒවා ද වලංගු වේ.

අන්තිම කැමති පත්‍රයක් බලාත්මක කිරීම

යම් පුද්ගලයෙකුගේ මරණයෙන් පසු මරණකරුගේ අන්තිම කැමති පත්‍රය සොයාගත් පුද්ගලයාට එය දිසා අධිකරණය වෙත ඉදිරිපත් කළ හැකියි. ඒ අනුව අන්තිම කැමති පත්‍රය සොයාගන්නා පුද්ගලයා එය සොයාගැනීමෙන් මාස 3ක කාලයක් ඇතුළත එය පෙත්සමක් හා දිව්රුම් පෙත්සමක් මඟින් දිසා අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු වේ.

blog.ipleaders.in

එහි දී අන්තිම කැමති පත්‍රකරු මියයන අවස්ථාවේ පදිංචි ව සිටි පළාතේ දිසා අධිකරණයේ හෝ අන්තිම කැමති පත්‍රය සොයාගත් පුද්ගලයා පදිංචි පළාතේ දිසා අධිකරණයේ නඩුව පැවරීමේ හැකියාව තිබේ.

අන්තිම කැමති පත්‍රයක් අභියෝගයට ලක් කිරීම

අන්තිම කැමති පත්‍රයක් ලියන අවස්ථාවේ අන්තිම කැමති පත්‍රකරු මනා සිහි බුද්ධියෙන් යුතු ව නොසිටියේයැ යි ඔප්පු කිරීම හරහා අන්තිම කැමති පත්‍රයක් අභියෝගයට ලක් කළ හැකි වේ. එමෙන්ම වෙනත් පුද්ගලයෙකුගේ බල කිරීමක් හෝ තර්ජනයක් මත අන්තිම කැමති පත්‍රය සකස් කර ඇති බව ඔප්පු කිරීම මඟින් ද අන්තිම කැමති පත්‍රයක් අභියෝගයට ලක් කළ හැකි වේ.

අන්තිම කැමති පත්‍රයක් රහිත දේපළක අනුප්‍රාප්තිය

සාමාන්‍ය නීතිය යටතේ අන්තිම කැමති පත්‍රයක් රහිත දේපළ අයිතිවාසිකම් තීරණය වන්නේ 1876 අංක 15 දරන වෛවාහක අයිතිවාසිකම් හා උරුම ආඥා පනතේ සහ සිවිල් නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව යි.

ඒ අනුව ජිවත් වන කාලත්‍රයාට වෛවාහක උරුමයට මරණකරුගේ දේපළෙන් භාගයක (1/2) අයිතිය ලැබේ. මියගිය කාලත්‍රයා ස්වාමි පුරුෂයා වුවත්, බිරිඳ වුවත් ජිවත්වන කාලත්‍රයා හට මේ අයිතිය හිමි ය. වෙන් වී සිටියත් දික්කසාද නොවූ කාලත්‍රයාට ද මේ දේපළ හිමිකම හිමිවන අතර, දික්කසාද වූ ස්වාමි පුරුෂයෙකුට හෝ බිරිඳකට මෙසේ දේපළ හිමිකම ලැබෙන්නේ නැහැ.

timesofindia.indiatimes.com

කාලත්‍රයාට දේපළෙන් අඩක් හිමි වූ පසු ඉතිරි අඩ (1/2) මරණකරුගේ දරුවන් අතර සම සේ බෙදී යයි. සම්පුර්ණ ලේ දරුවන් අතර මෙන්ම අඩ ලේ දරුවන් අතර ද මේ දේපළ බෙදී යාම විශේෂත්වයකි.

දරුවෙකු මියගොස් ඇති විටෙක ඔහුගේ/ ඇයගේ පැවත එන්නන් අතර ඔහුගේ කොටස බෙදී යයි. මියගොස් ඇත්තේ අවිවාහකයෙකු නම් ඔහුගේ සම්පුර්ණ කොටස දෙමාපියන්ට හිමිවන අතර දෙමාපියන් නොමැති නම් අනෙක් සහෝදරයන් හට හිමි වේ.

යම් පුද්ගලයෙක් මියගොස් ඇත්තේ දරුවන් නොමැති ව නම් ඔහුගේ දේපළෙන් භාගයක් (1/2) කාලත්‍රයාටත්, ඉතිරි භාගය (1/2) මරණකරුගේ දෙමාපියන්ටත් හිමි වේ. දෙමාපියන් ද මියගොස් නම් ඉතිරි අඩ හිමිවන්නේ මරණකරුගේ සහෝදරයන් හට යි.

මරණකරුගේ කාලත්‍රයා මියගොස් ඇති විටෙක සම්පුර්ණ දේපළ දරුවන් අතර බෙදී යයි.

කවරයේ කතාව: bjbs.csu.edu.au

මූලාශ්‍රයයන්:

britannica.com

globalpropertyguide.com

lawnet.gov.lk

srilankalaw.lk

Related Articles

Exit mobile version