Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජය පැරදුමෙන් තොර වූ ලොව දීර්ඝතම ටෙස්ට් තරගය

වසර 140ක ඉතිහාසයකට උරුමකම් කියන ජගත් ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ මෙතෙක් පවත්වා ඇති ටෙස්ට් තරග සියල්ලම පාහේ දින 6 ක් හෝ ඊට අඩු දින ගණනක් තුල පැවතී තිබෙනවා. සමහර විටෙක ටෙස්ට් තරගයක් මධ්‍යට විශේෂ නිවාඩු දිනයක් යෙදී තිබීම නිසා එයට වඩා කාලයක් පැතිරී පැවතුණු ටෙස්ට් තරග ඉතිහාසය පිරික්සීමේදී හමු වුණත් ඒ කිසිවක ක්‍රීඩාවේ යෙදුණු දින ගණන 6 ඉක්මවා නැහැ. ඒ කෙසේ වෙතත් 1939 වසරේ දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවර පැවති එක් ටෙස්ට් තරගයක් නම් මේ සම්මතයන් බිඳිමින් දින 10කටත් වඩා (ක්‍රීඩා කරන ලද දින 10 යි ) කාලයක් පැවැත්වුණා. The timeless test ලෙස හැඳින්වුණු මෙය දින නියමයක් නොමැතිව, යම් කණ්ඩායමක් ජය ගන්නා තුරුම පවත්වාගෙන යාම සංවිධායකයන්ගේ අභිප්‍රාය වුණා. එම තරගය සියල්ල අවසානයේ ජය පැරදුමකින් තොරව නිමා වීම කොයි තරම් දෛවෝපගතද?

දීර්ඝතම ටෙස්ට් තරගයේ අවසාන ලකුණු පුවරුව-espncricinfo.com

තරගයට මඟ එළි පෙහෙළි වීම

ක්‍රි.ව 1938 අග භාගයේදී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකා භූමියට ගොඩබැස්සේ සත්කාරක දකුණු අප්‍රිකාව සමඟ තරග 5 කින් යුතු ටෙස්ට් තරගාවලියකට සහභාගී වීම සඳහායි. ඉතා දීර්ඝ සංචාරයක් වූවත් මුල සිටම හොඳින් ක්‍රීඩා කළ එංගලන්තය තරග 4ක් අවසන් වන විට තරගාවලියේ පෙරමුණ ගෙන සිටියේ 1-0 ලෙසයි. ඒ වන විට ප්‍රබල තත්වයක සිටි එංගලන්තය සමඟ තරග 4ක් ක්‍රීඩා කොට ඉන් තුනක්ම ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට හැකි වීම පිළිබඳව දකුණු අප්‍රිකානු ක්‍රිකට් බලධාරීන් එක් අතෙකින් සතුටු වූ අතර 1939 මාර්තු මස 3 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ 5 වැනි තරගය කෙසේ හෝ ජය ගතහොත් තරගාවලිය 1-1 ලෙස සම කරන්නට ඇති හැකියාව පිළිබඳවත් ඔවුන්ගේ අවධානය යොමු වෙනවා.

අවසන් තරගය සම වූවත් පරාජය වූවත් තරගාවලියේ අවසන් ප්‍රතිඵලයේ වෙනසක් නොවන නිසා එය ජය ගැනීමට වැඩි අවස්ථාවක් උදා කර ගත හැකි අපූරු අදහසක් දකුණු අප්‍රිකානු බලධාරීන්ගේ සිතට පැමිණෙන්නේ මේ අවස්ථාවේදීයි. මාර්තු මස 8 වැනිදා වන විට තරගාවලිය නිමා වන අයුරින් තරග කාලසටහන නිමැවී තිබුණත් එංගලන්ත කණ්ඩායම නැවත සිය රට බලා යාමට සැළසුම් කරගෙන සිටි ‘ ඇත්ලොන් කාසල්’ නම් නෞකාව කේප් ටවුන් වරායෙන් පිටත්වීමට නියමිතව තිබුණේ ඊට සතියකට පමණ පසුවයි. වර්තමානයේ මෙන් ගුවන් ගමන් බහුල නොවූ ඒ සමයේ රටකින් රටකට යාම සඳහා වෙහෙසකර, දීර්ඝ ගුවන් නැව් ගමන්වල යෙදීමට සිදු වූ නිසා මෙසේ සංචාරයක් නිම වූ පසු දින කිහිපයක් විවේකයෙන් හා විනොදයෙන් නැවත නැව් නැඟීමට පෙර ගත කිරීම එකල ක්‍රිකට් කණ්ඩායම් වල සම්ප්‍රදාය වී තිබුණා. අවසන් ටෙස්ට් තරගය දින 5 ක්‍රීඩා කරනු වෙනුවට එංගලන්තය දකුණු අප්‍රිකානු භූමියේ ගත කරන ඉතිරි දින ටිකත් අළලා ‘දින නියමයක් නොමැති’ ටෙස්ට් තරගයක් ක්‍රීඩා කිරීමට දකුණු අප්‍රිකානු බලධාරීන් එංගලන්තයට යෝජනා කරනවා.

ටෙස්ට් තරගයක් දින නියමයක් නොමැතිව පැවැත්වෙන විට එය යම් කණ්ඩායමක් ජය ගන්නා තුරුම පවත්වන නිසා ජය පරාජයකින් තොරව අවසන් වීම යන අවසන් ප්‍රතිඵලය තරගයෙන් ඉවත් වෙනවා, වෙනත් ලෙසකට පැවසුවහොත් එංගලන්තය හා දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් දෙකෙන් එකකට අනිවාර්යයයෙන්ම තරගයේ ජය ලැබෙනවා. එංගලන්තය ඒ වන විට ක්‍රීඩා කරමින් සිටි විලාසය අනුව දින 5ක් පමණ ක්‍රීඩා කළා නම් බොහෝ විට අවසන් තරගයත් ජය පැරදුමෙන් තොරව නිමා කර ගෙන 1-0 ලෙස තරගාවලිය ජය ගැනීමේ පසුගාමී ක්‍රියාමාර්ගයට ඔවුන් අවතීර්ණ වන සෙයක් දිස් වෙමින් තිබුණු නිසා හා තරගාවලියේ මෙතෙක් ජය පැරදුමෙන් තොර වූ තරග සමහරක් තව කල් වේලා තිබුණානම් දකුණු අප්‍රිකාව ජයගැනීමට පවා ඉඩ තිබුණු බව නිර්ණය කළ දකුණු අප්‍රිකානු ක්‍රිකට් බලධාරීන් 0-2 ලෙස තරගාවලිය පරාජය වීමේ අවදානම රැගෙන සංචාරක කණ්ඩායමට මේ යෝජනාව ගෙන ආවා. එංගලන්තයත් 1938 වසරේ තමන්ගේ සත්කාරකත්වයෙන් ඕස්ට්‍රේලියාව සමඟ පැවති අවසන් තරගාවලිය සම වීම පිළිබඳ කණස්සල්ලෙන් සිටි නිසා මේ අමුතු අභියෝගය උරගා බැලීමට එක පයින් කැමැත්ත පළ කළේ තවත් ටෙස්ට් ජයග්‍රහණයක් තමන්ගේ ඔඩොක්කුවට දමා ගැනීමටයි.

තරගයේ විත්ති

කිංස්මීඩ් ක්‍රීඩාංගනය අද-oflocal.co.za

1939 මාර්තු මස 3 වනදා උදේ වරුව වන විට ජගත් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සදාතනික මතකයක් එක් කරමින් දින නියමයක් නොමැති ටෙස්ට් තරගය ආරම්භ කිරීමට සියළු කටයුතු සූදානම් කර තිබුණා. මේ සඳහා දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවර කිංස්මීඩ් ක්‍රීඩාංගණයට රැස්වූ එංගලන්ත කණ්ඩායමේ හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායමේ නායකයන් ලෙස පිළිවෙලින් වොලී හැමන්ඩ් හා ඇලන් මෙල්විල් කටයුතු කළා.

එංගලන්ත කණ්ඩායම-punditcafe.com

දකුණු අප්‍රිකා කණ්ඩායම-punditcafe.com

කාසියේ වාසිය දකුණු අප්‍රිකානු නායක මෙල්විල් ජයග්‍රහණය කර පන්දුවට පහර දීමට තීරණය කළේ එංගලන්ත නායක වොලී හැමන්ඩ් නායකත්වයට පත් වූ පරාජය වූ පළමු කාසියේ වාසිය සනිටුහන් කරමින්. මේ වන විට තමා නයකත්වය දුන් තරග 8 හිම කාසියේ වාසිය දිනා සිටි හැමන්ඩ් සාමාන්‍යයෙන් මුලින් පන්දුවට පහර දීම ප්‍රිය කළ නිසාත්, මේ සංචාරයේදී ඒ උපක්‍රමය සාර්ථකව තිබූ නිසාත් තරගය ආරම්භයේ දීම වූ මේ සිදුවීම සත්කාරකයින්ගේ සන්තෝෂයට හේතු වුණා.

ඇලන් මෙල්විල්-Getty images

වොලී හැමන්ඩ් -cricketcountry.com

එකළ දකුණු අප්‍රිකානු තණතිලි පළමු හා දෙවන දිනයන් වල පිතිකරුවන්ගේ පාරාදීසයක් බඳු වූ අතර ඉන් උපරිම පළ නෙළාගත් දකුණු අප්‍රිකා කණ්ඩායම සිය පළමු ඉණිමට පන්දු ඕවර 202 කුත් පන්දු 6ක් තුළ (ඕවරයට පන්දු 8යි) දැවැන්ත ලකුණු 530ක් ලබාගන්නවා. දකුණු අප්‍රිකාව වෙනුවෙන් ආරම්භක පිතිකරු පීටර් වැන්ඩර් බිජි අගනා ලකුණු 125 ලබාගත් අතර ඩඩ්ලි නෝර්ස් ලකුණු 103 ලබාගත්තා. එංගලන්තය වෙනුවෙන් සිය මංගල තරගය ක්‍රීඩා කරමින් සිටි රෙජිනෝල්ඩ් පර්ක්ස් ලකුණු 100 කට කඩුලු 5ක් බිඳ දැම්මා.

පීටර් වැන්ඩර් බිජි පන්දුවට පහර දෙමින් -punditcafe.com

දකුණු අප්‍රිකානු පළමු ඉණිමට පිළිතුරු වශයෙන් පන්දුවට පහර දීමට පිටියට බට එංගලන්තයට ඒ තරම් සාර්ථක වීමට දකුණු අප්‍රිකාණු පන්දු යවන්නන් ඉඩ තබන්නේ නැහැ. එඩී පේන්ටර් හා කඩුළු රකින ලෙස් ඒම්ස් අර්ධ ශතක වාර්තා කළත් එම ඉණිමට තිරිංග දැමීමට පන්දු යවන එරික් ඩෝල්ටන් සමත් වන්නේ ලකුණු 59 කට කඩුළු 4ක් බිඳ හෙළමින්. ඕවර 117 කුත් පන්දු 6ක් වැය වූ එංගලන්ත ඉණිම සටහන් වුණේ 316 ක් වශයෙන්.

ලකුණු 214 ක විශාල පළමු ඉණිමේ වාසියක් දකුණු අප්‍රිකාවට ලැබුණු අතර තරග නීති රීති අනුව අවශ්‍ය නම් එංගලන්තයට දෙවන වර පන්දුවට පහර දීමට ආරාධනා කරන්නට දකුණු අප්‍රිකානු නායක මෙල්විල්ට අවස්ථාව තිබුණා. ඒ කෙසේ නමුත් මෙය දින සීමාවක් නොමැති ටෙස්ට් තරගයක් නිසා එසේ නොකර තමන්ම දෙවන වර පන්දුවට පහ දෙන්නට ඔහු තීරණය කළා. නැවතත් සාර්ථක වන වැන්ඩර් බිජි සිය ආරම්භක සගයා වන බෲස් මිචෙල් සමඟ පළමු කඩුල්ලට ලකුණු 191 ක සම්බන්ධතාවක් ඇති කරගත්තේ ජයග්‍රහණය එංගලන්තයෙන් තව තවත් ඈතට ගෙන යමින්. මොවුන් දෙදෙනාම ශතකය පෙනි පෙනී දැවී ගියත් නායක මෙල්විල් ලකුණු 103ක් ලබාගන්නවා. එංගලන්තය වෙනුවෙන් ක්‍රියාත්මක වූ කෙන් ෆ්‍රාන්ස් ලකුණු 74 ට කඩුළු 4ක් දවාගන්නා අතර දකුණු අප්‍රිකා දෙවන ඉණිම ලකුණු 481 කට සීමා කරමින්. මේ අනුව ලකුණු 696 ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් එංගලන්තයට ලැබුණු අතර එය ලබා ගැනීමට ලෝක වාර්තාවක් තැබීමට සිදු වන නිසා දකුණු අප්‍රිකානුවන් මේ තරගය ජයගෙන තරගාවලිය සම කිරීමේ සැබෑ වීමට ආසන්න සිහිනය දුටුවා.

එංගලන්තය සටන් කරයි

එල්ල වූ දැවැන්ත අභියෝගය හමුවේ එංගලන්තය පහසුවෙන් පරාජය වනු ඇතැයි ක්‍රිකට් තරගය කෙරෙහි අවධානයෙන් පසු වූ බොහෝ දෙනා අනාවැකි පැවසුවා. එහෙත් එය පුස්සක් බවට පත් කරමින් එංගලන්ත ආරම්භක පිතිකරුවන් වන ශ්‍රීමත් ලෙන් හටන් හා පෝල් ගිබ් අධිෂ්ඨානශීලී සම්බන්ධතාවක් ගොඩනගන්නට වුණා. ලකුණු 78 වන විට අර්ධ ශතකයක් රැස් කරගෙන සිටි හටන් දැවී ගියත් ඊළඟට පිටියට පැමිණි බිල් එඩ්‍රිච් හා එක්වුණු ගිබ් ලකුණු 280 ක දැවැන්ත සම්බන්ධතාවක් ඇති කරගන්නේ දකුණු අප්‍රිකානුවන්ගේ නළල රැළි ගන්වමින්. ලකුණු 358 වන විට ගිබ් දැවී ගියත් තමන් තවමත් සටන අත් හැරීමට සූදානම් නැති බව පෙන්වූ එඩ්‍රිච් අංක 4 පිතිකරු ලෙස පිටියට පැමිණි නායක හැමන්ඩ් සමඟ එක්වී තවත් සාර්ථක සබඳතාවක් ඇති කරගන්නවා. දිනය නිමා වීමට කෙටි කාලයක් තිබියදී එඩ්‍රිච් දැවී යන විට ඔහු රන් හා සමාන ද්විත්ව ශතකයක් රැස් කරගෙන සිටි අතර ඔහු රැස් කළ ලකුණු 219 තම ටෙස්ට් දිවිය තුළ ඔහු එක් ඉණිමක රැස් කළ ඉහළම පෞද්ගලික ලකුණු ප්‍රමාණය වුණා.

බිල් එඩ්‍රිච් පන්දුවට පහර දෙමින්- punditcafe.com

1939 මාර්තු 13 වනදා දිනය නිමා වන විට නායක හැමන්ඩ් අර්ධ ශතකයක් රැස් කරගෙන පිටියේ රැඳී සිටී අතර ලකුණු පුවරුව කියැවුණේ කඩුළු 3 කට ලකුණු 496 ක් ලෙසයි. ජයග්‍රහණය සඳහා එංගලන්තයට තවත් ලකුණු 200ක් අවශ්‍යව තිබුණු අතර තරගයේ ප්‍රථම වරට ජයග්‍රාහී මානසිකත්වය එංගලන්තය වෙතට දෝලනය වී තිබුණා.

ජයග්‍රහණයට කාලගුණයත් කාලයත් හරස් වෙයි

ක්‍රි.ව 1939 මාර්තු 14 වනදාට එළි වන විට ලොව දීර්ඝතම ටෙස්ට් තරගය ගිණියම් වී තිබුණා. ඒ කෙසේ නමුත් එංගලන්ත පිළ වෙත කේප් ටවුන් නගරයෙන් පණිවුඩයක් ලැබී තිබුණා. ඒ නැවත නිවෙස් බලා යාම සඳහා  ඔවුන් වෙන් කරගෙන තිබූ නෞකාව කලින් සැලසුම් කළ පරිදිම මාර්තු 15 උදේ වරුවේ පිටත් වන බවත් ඒ නිසා එදින රාත්‍රී ඩර්බන් නුවරින් කේප් ටවුන් නඟරයට පිටත් වන දුම්රියේ නැඟී නෞකාව වෙත එන ලෙසත් සඳහන් වූ පණිවුඩයයි. ඒ අනුව ‘දින නියමයක් නොමැති ටෙස්ට් තරගයේ’ අවසන් දිනය මාර්තු 14 වැනිදා බවට තීරණය කෙරුණේ තරගය තවත් උණුසුම් කරමින්. ඩර්බන් අහසේ වැසි වලාකුළු මෝදු වෙමින් තිබීම තත්ත්වය තවත් තීව්‍ර කළා.

කඩුළු 7ක් අත තිබීම නිසාත්, කාලගුණයෙන් බාධා වන බව පෙණුනු නිසාත් එංගලන්තය වේගවත් ලෙස දිනය ආරම්භ කළා. ලකුණු 600 වාර්තා වන විටත් කඩුළු 3ක් පමණක් දැවී තිබුණු අතර ඒ තදාසන්නව නායක හැමන්ඩ් සිය ශතකයත් වාර්තා කළා. ලකුණු පුවරුවේ 611 සටහන් වන විට හැමන්ඩ් සමඟ පිටියේ සිටි පේන්ටර් ලකුණු 75 කට දැවී ගියත් ජයග්‍රහණයට තවත් ලකුණු 85 ක් පමණක් අවශ්‍යව කඩුළු 6 ක් අතැතිව එංගලන්තය සිටියේ ජය අත තබාගෙනයි.

නායක හැමන්ඩ් තව ලකුණු කිහිපයක් සිය කණ්ඩායමට එක් කරගන්නවාත් සමඟ ඩර්බන් අහස කළු වලාකුළු වලින් වැසී ගියා. ළඟ ළඟ එන වර්ෂාව සමඟ සටන් කරමින් ඔහු වේගවත් ලෙස ඉනිම ඉදිරියට ගෙන යන්නට උත්සාහ කළත් ලකුණු පුවරුව 650 වන විට එයට නැවතීමේ තිත වැටෙන්නේ ඩෝල්ටන්ගේ පන්දුවකට ස්ටම්ප් කිරීමට භාජනය වීම නිසායි. ඒත් සමඟම පාහේ වර්ෂාව පටන්ගත් අතර ඉතා අවාසනාවන්ත ලෙස ලකුණු පුවරුව 654/5 ලෙස දිස් වන විට ක්‍රීඩකයින්ට ක්‍රීඩාගාර වෙත එන්නට සිදු වුණා. මේ වන විට ජය පෙනි පෙනී සිටි එංගලන්තයට සිය බලාපොරොත්තු අත් හරින්නට සිදු වූයේ වර්ෂාව දිගටම පැවතීම නිසායි. පැයක් දෙකක් ගත වීමෙන් පසුව කණ්ඩායම් දෙකේ නායකයින් දෙදෙනා තරගය එතෙකින් හමාර කිරීම සඳහා එකඟතාවයකට පැමිණියා. සියල්ල අවසානයේ තරගය ජය පැරදුමෙන් තොරව නිමා වූ අතර එංගලන්ත පිළ රාත්‍රී දුම්රියෙන් කේප්ටවුන් බලා ගියේ තරගාවලිය 1-0 ලෙස ජයගැනීමෙන් අනතුරුවයි.

තරගය අත්හිටුවන විට ලකුණු පුවරුව -espncricinfo.com

දීර්ඝතම ටෙස්ට් තරගයෙන් පසු

ලොව දීර්ඝතම ටෙස්ට් තරගය අවාසනාවන්ත ලෙස ජය පැරදුමෙන් තොරව අවසන් වුණත් එය වාර්තා පොත් අතරට ගියා. එය එතෙක් මෙතෙක් ටෙස්ට් තරගයක වාර්තා වූ වැඩිම සමස්ථ ලකුණු ප්‍රමාණය වන 1981 ට හිමිකම් කියන අතර මාර්තු 3 හා 14 අතර පුරා දින 10 ක (මාර්තු 5 හා 12 ඉරිදාවන් විවේක දිනයන් ලෙස යොදාගෙන තිබිණි.) පැය 43 කුත් මිනිත්තු 16 ක් කණ්ඩායම් දෙක ක්‍රීඩාවේ යෙදී තිබුණා. ලොව එතෙක් මෙතෙක් සිවුවැනි ඉණිමක කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස එංගලන්තයේ 654/5 වාර්තා පොත් වල ලි‍යැවුණා.

දීර්ඝතම ටෙස්ට් තරගයට සහභාගී වූවන්ගෙන් වැඩිම කලක් ජීවත් වූ දකුණු අප්‍රිකා කණ්ඩායමේ නෝර්මන් ගෝර්ඩන්. 2014 වසරේ මිය යන විට ඔහු 103 හැවිරිදි වුණා. -espncricinfo.com

මේ තරගයත් සමඟ දින නියමයක් නැති ටෙස්ට් තරග ලෝකයෙහි කතාබහට ලක් වුණමුත් දින නිර්ණය කිරීමේ ගැටළු හා සංවිධානාත්මක ගැටළු නිසා ඒවා ප්‍රායෝගිකව සංවිධානය කිරීම අපහසු වුණා. මේ වන විට වැඩිපුර කතාබහ නොවුණත් දින නියමයක් නැති ටෙස්ට් තරග සංකල්පය තවමත් සම්පූර්ණයෙන් අභාවයට ගිහින් නැහැ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය 2013-14 වසර වල ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතා තරගාවලියක් පැවැත්වීමට සැළසුම් කරගෙන තිබුණු අතර එහි අවසන් තරගය දින නියමයක් නොමැතිව පැවැත්වීමට සැළසුම් කර තිබුණා. එම තරගාවලිය අවලංගු කළ නිසා දින නියමයක් නොමැති ටෙස්ට් තරගයක් නැවතත් නැරඹීමේ අවස්ථාව වත්මන් පරපුරට අහිමිව ගියා.

(කවරයේ පින්තූරය- mirror.co.uk/PA)

Related Articles