අඩුම මුදලකින් බඩ පුරවාගත හැකි පෝෂ්‍යදායක ආහාර අතරට අයත්වන බෝගයක් බඩඉරිඟු. මෙම ශාකය අප රටේ දේශගුණයට හොඳින් ඔරොත්තු දෙනවා. එම නිසා බොහෝ ප්‍රදේශවල බඩඉරිඟු වගාව සාර්ථකව සිදුවනවා. එමඟින් විශාල පවුල් ප්‍රමාණයකට සිය ජීවිකාව කරගෙන යාමට හැකිව තිබෙනවා. බඩඉරිඟු බෝගය ලාංකිකයන් අතර ජනප්‍රිය වුණත් මෙහි උපන් බිම ලෙසින් සැලකෙන්නේ මෙක්සිකෝව යි.
බඩඉරිඟු බෝගයේ ඉතිහාසය
මීට වසර 5000-10000 අතර කාලයකට පෙර මෙක්සිකෝවේ දී බඩඉරිඟු ශාකයේ උපත සිදුවුණා. 15 වන සියවසේ අග භාගයේ දී යුරෝපීය දේශ ගවේශකයින් උතුරු ඇමරිකා මහද්වීපයට පැමිණි අවස්ථාවේ දී බඩඉරිඟු කමින් සිටි කියුබානු වැසියන් පිරිසක් හමුවුණා. එතනින් බඩඉරිඟු හඳුනාගත් යුරෝපා ජාතීන් එය අනිකුත් මහද්වීපයන් කරා ව්‍යාප්ත කළා. ඒ අනුව, 16 වන සියවසේ දී පමණ පෘතුගීසින් එම බෝගය මෙරටට හඳුන්වා දෙන්නට ඇතැ යි අනුමාන කරනවා.
බඩඉරිඟු වගාවට හිතකර දේශගුණික සහ පාංශු සාධක
බඩඉරිඟු බෝගය සෑම දේශගුණයකටම ඔරොත්තු දෙන්නේ නැහැ. එයට වඩාත් හිතකර දේශගුණික තත්ත්වයන් තිබෙනවා. බඩඉරිඟු ශාකය හොඳින් වර්ධනය වීමට සෙල්සියස් අංශක 25-28 අතර උෂ්ණත්වය පරාසයක් වඩාත් යෝග්‍ය යි. සාමාන්‍යයෙන් වැඩි උෂ්ණත්ව යටතේ, ශාකයේ එන්සයිම ක්‍රියාකාරීත්වය අඩුවන නිසා ලබාගත හැකි අස්වනු ප්‍රමාණය ද අඩු වී යයි.
මෙම වගාව සාර්ථකව සිදුකිරීම සඳහා මි.මී. 375ට වැඩි වාර්ෂික වර්ෂාපතනයක් තිබිය යුතු යි. එසේම පැළ සිටුවන අවස්ථාවේ දී ප්‍රමාණවත් තරම් තෙතමනයක් පසේ තිබිය යුතු යි. ගැඹුරු, සියුම් සංයුතියක් සහිත, හොඳින් වාතාශ්‍රය ලැඛෙන, හොඳින් ජලය රඳවා ගන්නා, කාබනික ද්‍රව්‍ය අඩංගු පසක් මෙම වගාව සඳහා වඩාත් සුදුසු යි. තව ද පසෙහි PH අගය 6-7 අතර පරාසයක පැවතිය යුතු යි.
ලංකාවේ බහුලවම බඩඉරිඟු වගා කරන ප්‍රදේශ
ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල බඩඉරිඟු වගාව සිදුකළ හැකි වුණත්, බහුලවම බඩඉරිඟු වගා කරන්නේ වියළි සහ අතරමැදි යන කලාප තුළ යි. ඒ අනුව වැඩි වශයෙන් බඩඉරිඟු වගාව දක්නට ලැබෙන්නේ අම්පාර, මොණරාගල, අනුරාධපුර, බදුල්ල වැනි දිස්ත්‍රික්ක තුළ යි. වර්තමානය වන විට හෙක්ටයාර 30000-50000 අතර බිම් ප්‍රමාණයක බඩඉරිඟු වගා කරනවා. නමුත් ඉන් ලැබෙන අස්වැන්න දේශීය පරිභෝජන අවශ්‍යතාවය සපුරාලීමට ප්‍රමාණවත් වන්නේ නැහැ. එම නිසා ටොන් ලක්ෂයකට වැඩි බඩඉරිඟු ප්‍රමාණයක් වාර්ෂිකව ආනයනය කිරීමට සිදුව තිබෙනවා.
විවිධ බඩඉරිඟු ප්‍රභේද
1960 වසරේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් T48 නම් බඩඉරිඟු ප්‍රභේදය හඳුන්වා දුන්නා. එමඟින් හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 3.5ක පමණ අස්වැන්නක් ලබාදුන්නා. මෙරට වර්ෂාපතන රටාවට අනුව මාස 3ක පමණ කාලයකින් අස්වැන්න නෙළාගත හැකි බඩඉරිඟු ප්‍රභේද කිහිපයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් පසුකලෙක දී නිර්දේශ කරනු ලැබුවා. පහත දක්වා ඇත්තේ එම ප්‍රභේද පිළිබඳව යි.
භද්‍රා
1972 වසරේ දී මෙම ප්‍රභේදය නිර්දේශ කරනු ලැබුවා. පැළ සිටුවා දින 105-110 අතර කාලයකින් අස්වැන්න නෙළාගත හැකියි. හොඳින් වැඩුණු ශාකයක උස සෙ.මී 195ක් පමණ වන විට ශාකය පුරා පත්‍ර 13ක් පමණ දක්නට ලැබෙයි. දිග සෙ.මී 22ක් පමණ වන පැසුණු කරලක බීජ පේළි 14ක් පමණ දක්නට ලැබෙයි. එක පේළියක තිබෙන බීජ සංඛ්‍යාව 40ක් පමණ වෙයි. බීජවල වර්ණය තැඹිලි පැහැයක් ගනියි. හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 4ක විභව අස්වැන්නක් ලැබෙයි.
රුවන්
1990 වසරේ දී මෙම ප්‍රභේදය නිර්දේශ කරනු ලැබුවා. පැළ සිටුවා දින 105-110 අතර කාලයකින් අස්වැන්න නෙළාගත හැකියි. හොඳින් වැඩුණු ශාකයක උස සෙ.මී 215ක් පමණ වන විට ශාකය පුරා පත්‍ර 13ක් පමණ දක්නට ලැබෙයි. එසේම පැසුණු කරලක දිග සෙ.මී 21ක් පමණ වන අතර, බීජ පේළි 12-14 අතර ප්‍රමාණයක් දක්නට ලැබෙයි. එක පේළියක තිබෙන බීජ සංඛ්‍යාව 40ක් පමණ වෙයි. බීජවල වර්ණය තැඹිලි පැහැයක් ගනියි. හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 4ක විභව අස්වැන්නක් ලැබෙයි.
මුතූ
1992 වසරේ දී මෙම ප්‍රභේදය නිර්දේශ කරනු ලැබුවා. පැළ සිටුවා දින 110-115 අතර කාලයකින් අස්වැන්න නෙළාගත හැකියි. හොඳින් වැඩුණු ශාකයක උස සෙ.මී 170ක් පමණ වන විට ශාකය පුරා පත්‍ර 13ක් පමණ දක්නට ලැබෙයි. පැසුණු කරලක දිග සෙ.මී 22ක් පමණ වන අතර, එහි බීජ පේළි 14ක් පමණ දක්නට ලැබෙයි. එක පේළියක තිබෙන බීජ සංඛ්‍යාව 42ක් පමණ වෙයි. බීජවල වර්ණය සුදු පැහැයක් ගනියි. හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 4-4.5 අතර විභව අස්වැන්නක් ලැබෙයි.
අරුණ
1992 වසරේ දී මෙම ප්‍රභේදය නිර්දේශ කරනු ලැබුවා. පැළ සිටුවා දින 90-100 අතර කාලයකින් අස්වැන්න නෙළාගත හැකියි. හොඳින් වැඩුණු ශාකයක උස සෙ.මී 150ක් පමණ වන විට ශාකය පුරා පත්‍ර 10-13 අතර ප්‍රමාණයක් දක්නට ලැබෙයි. පැසුණු කරලක දිග සෙ.මී 14ක් පමණ වන අතර, එහි බීජ පේළි 14ක් පමණ දක්නට ලැබෙයි. එක පේළියක තිබෙන බීජ සංඛ්‍යාව 42ක් පමණ වෙයි. බීජවල වර්ණය තැඹිලි පැහැයක් ගනියි. හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 4ක විභව අස්වැන්නක් ලැබෙයි.
සම්පත්
2004 වසරේ දී මෙම ප්‍රභේදය නිර්දේශ කරනු ලැබුවා. මෙය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇති එකම දෙමුහුන් ප්‍රභේදය යි. පැළ සිටුවා දින 105-110 අතර කාලයකින් අස්වැන්න නෙළාගත හැකියි. හොඳින් වැඩුණු ශාකයක උස සෙ.මී 180ක් පමණ වන විට ශාකය පුරා පත්‍ර 15ක් පමණ හටගනියි. දිග සෙ.මී 22ක් පමණ වන පැසුණු කරලක බීජ පේළි 14ක් පමණ දක්නට ලැබෙයි. එක පේළියක තිබෙන බීජ සංඛ්‍යාව 44ක් පමණ වෙයි. බීජවල වර්ණය තැඹිලි පැහැයක් ගනියි. හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 5-6 අතර විභව අස්වැන්නක් ලැබෙයි. එසේම මෙය නියඟයට ඔරොත්තු දෙන ප්‍රභේදයක් නිසා ගොවීන් අතර ජනප්‍රිය යි.
බඩඉරිඟු භාවිතයෙන් සාදාගත හැකි ආහාර
බඩඉරිඟු තම්බා හෝ පුළුස්සා ආහාරයට ගැනීමට බොහෝ දෙනෙකු ප්‍රිය කරනවා. නමුත් බඩඉරිඟු භාවිතා කරමින් විවිධ ආකාරයේ ආහාර වර්ග සකසා ගන්නට පුළුවන්. එලෙස බඩඉරිඟු භාවිතා කරමින් සාදනු ලබන ආහාර වර්ග කිහිපයක නම් මෙලෙස දැක්විය හැකියි.
1) කේක් 2) බිස්කට්
3) මුරුක්කු 4) තලප
5) විළඳ 6) රොටී
7) පිට්ටු 8) කිරිබත්
වැළඳෙන රෝග සහ හානි කරන පළිබෝධකයන්
දැනට වසර 2ක පමණ කාලයක සිට සේනා නම් දළඹු විශේෂය මෙරට බඩඉරිඟු වගාවට විශාල හානියක් සිදුකර තිබෙනවා. ඊට අමතරව ලංකාවේ බඩඉරිඟු වගාවට හානි කරන පළිබෝධකයන් කිහිප දෙනෙකු සිටිනවා. එසේම වැළඳෙන රෝග කිහිපයක් ද තිබෙනවා.
පුරුක් පණුවා
මෙම පළිබෝධකයා සිදුකරන හානියේ මුල් අවධියේ දී ළපටි පැළවල පත‍්‍ර ආශ්‍රිතව ඕවලාකාර සිදුරු දක්නට ලැබෙනවා. පුරුක් පණුවාගේ ළපටි කීටයන් විසින් එම සිදුරු ඇති කරනවා. ඉන් අනතුරුව වැඩුණු කීටයන් පැළවල වර්ධක ස්ථානයට හානි කිරීම නිසා මළ හදවත නම් තත්ත්වය ඇති වනවා. එවිට පැළවල වර්ධනය අඩු වී පහසුවෙන් ඇද වැටෙනවා. එහි දී කරල්වලට හානි කිරීම නිසා බීජයන් ද විනාශ වනවා.
පුරුක් පණුවා මඟින් වන හානිය පාලනය කිරීම සඳහා මහ කන්නයේ දී පමණක් වගාව කල් ඇතිව ක්ෂේත්‍රයේ සිටුවිය යුතු යි. එසේම ඩයසිනෝන්, එකොෆෙන් ප්‍රොක්ස් වැනි නිර්දේශිත පළිබෝධනාශක නාශක සුදුසු පරිදි වගාවට යෙදිය යුතු යි.
කූඩිත්තා
කූඩිත්තන් පත්‍රවලින් යුෂ උරාබීම සිදු කරයි. එම නිසා පැළවල වර්ධනය බාල වෙයි. එසේම පූමාංගි මල්වලට හානි කිරීම නිසා පරාග විසිරීමට බාධා ඇතිවෙයි. මෙම පළිබෝධකයාගෙන් සිදුවන හානිය වලක්වා ගැනීම සඳහා සුදුසු පළිබෝධනාශකයක් යෙදිය යුතු යි.
මෙම පළිබෝධකයන් දෙදෙනාට අමතරව කරල් විදින පණුවා සහ බඩඉරිඟු ගුල්ලා ඉරිඟු වගාවට හානි කරනවා. එහි දී කරල් විදින පණුවා කරල්වලට හානි කර බීජ කා දමන විට බඩඉරිඟු ගුල්ලා බීජවල අක්‍රමවත් සිදුරු සාදනවා. එම පළිබෝධකයන් දෙදෙනා පාලනය කිරීම සඳහා ද නිර්දේශිත පළිබෝධනාශක යෙදිය යුතු යි.
පත්‍ර අංගමාරය
මෙම රෝගය පත‍්‍රවලට පමණක් හානි සිදුකරයි. එහි දී දුඹුරු පැහැති ලප නාරටි අතර හටගනියි. ඉන් පසුව එම ලප පත‍්‍ර, කඳ, පත‍්‍රකොලපු, කරල් හා ආවරණවල ද හටගනියි. කරලේ නටුවට හානි වුණු විට කරල් මුල් අවධියේ හැලීයාමට ඉඩ තිබෙනවා. එසේම හානි වුණු පැළ සති 3 – 4ක් ඇතුළත මැරීයාමට ඉඩ තිබෙනවා. මෙම රෝගය පාලනය කිරීම සඳහා නිර්දේශිත දිලීරනාශක යෙදිය හැකියි.
කොපු අංගමාරය
මෙම රෝගය අධික තෙතමනයක් සහිත කාලවල දී හටගනියි. විශාල දුඹුරු පැහැති පුල්ලි ආසාදනය වුණු පත‍්‍ර කොපුමත දක්නට ලැබෙයි. එහි දී ආසාදනයට පත්වුණු පත‍්‍ර සම්පූර්ණයෙන්ම හානියට පත්විය හැකි අතර, කරල් හටගන්නා පර්වයේ පත‍්‍ර කොපුවට රෝගය මඟින් හානි සිදුවුණු විට කරල ද සම්පූර්ණයෙන්ම විනාශ වී යයි.