ඉන්දීය සිනමාව තුළ මෑතකාලිනව දක්නට ලැබුණු සුවිශේෂී ලක්ෂණය වන්නේ සිනමාව තුළින් බොහෝ සමාජීය ගැටලු සාකච්ඡාවට ගෙන තිබීම යි. මෑත වසර කිහිපය තුළ එවන් ගැටලු ආමන්ත්‍රණය කිරීමටත් පසුගාමී අදහස් මැඩලීමටත් ඉන්දීය සිනමාව ගෙන ඇති උත්සාහය ඉමහත් ය. ලාංකීය සිනමාව මිනිසුන්ගේ සංස්කෘතික වර්ධනයන් වෙනුවෙන් කටයුතු කිරීම වෙනුවට බණ කතා ද, හුදු විදෙස් සම්මාන ඉලක්ක කළ නිර්මාණ සඳහා ද සිමා වී තිබීම කණගාටුදායක කරුණකි. දේශීය සිනමාවටත්, ප්‍රේක්ෂකයාටත් අසල්වැසි ඉන්දියාවේ සිනමාව තුළින් ගත හැකි ආදර්ශයන් රැසකි.
Hichki නමින් මේ වසරේ දී ප්‍රේක්ෂකයා හමුවට පැමිණි හින්දි චිත්‍රපටය තුළින් ද ආමන්ත්‍රණය කරනුයේ අප ඉහත සඳහන් කළ පරිදි තවත් සමාජීය ගැටලු ද්විත්වයකි. Hichki ලෙස මෙසේ සිනමාගත වන්නේ 2005 වසරේ දී බ්‍රැඩ් කොහෙන් සහ ලීසා විසෝකි විසින් රචනා කරන ලද ‘Front of the Class: How Tourette Syndrome Made me the Teacher I Never Had’ කෘතිය පාදක කොට ගෙන යි. මෙහි ප්‍රධාන චරිතය සඳහා පණ පොවන්නේ ඉන්දීය ප්‍රවීණ රංගන ශිලිපිනී රාණි මුඛර්ජි. සිද්ධාර්ත් පි. මල්හෝත්‍රා නම් තරුණ අධ්‍යක්ෂකවරයාගේ දෙවන අධ්‍යක්ෂණය වන Hichki රටවල් ගණනාවක ප්‍රදර්ශනය කර ඇත. ජර්මනියේ දී 2018 මාර්තු මස 22 වන දා ප්‍රදර්ශනය අරඹන ලද අතර, එදිනම කුවේට් රාජ්‍යයේ දී ද ප්‍රදර්ශනය කරන ලදී. මාර්තු 23 වන දා සිට ඉන්දියාවේ ප්‍රදර්ශනය කෙරුණු අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය, ඉන්දුනීසියාව, නෙදර්ලන්තය සහ එක්සත් ජනපදයේ ද ප්‍රදර්ශනය අරඹන ලදී. එසේම රුසියාවේ ඔක්තෝබර් 5 වන දිනට යෙදෙන ගුරුවන්ගේ දිනයට සමගාමිව එහි ද ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.
Hichki යන හින්දි වචනයේ අරුත ‘ඉක්කාව’ යි. නොනවතින ඉක්කාවේ කතාව Hichki වේ. මෙම සිනමා නිර්මාණය අපට කියන්නේ ටොරේට් සින්ඩොම් නම් ‘තත්ත්වය’ සහිත, ගුරුවරියක් වීමේ සිහිනය හඹා යන තරුණියකගේ කතාව යි. ටොරේට් සින්ඩ්‍රොම් නිසා ඇති වන ගැටලුව Hichki තුළ හමුවන එක් සාමාජීය ගැටලුවකි. අනෙක දරිද්‍රතාවයේ ගැටලුව යි.
ටොරේට් සින්ඩ්‍රොම් යනු කුමක්ද? Tic Disorder නම් ස්නායු අක්‍රමිකතාවයේ එක් කොටසක් ටොරේට් සින්ඩොම් (Tourette Syndrome) ලෙස හඳුන්වයි. මෙවන් අවස්ථාවන්හි දී සිදුවන්නේ පුද්ගලයාගේ අනුදැනුමකින් තොරව චලන සහ ශබ්ද නැවත නැවත ඇතිවීම යි. චලන (Motor Tics) ලෙස ඇසිපිය ගැසීම, මුහුණේ චලන, හකු චලන, හිස ගැස්සීම ආදී ලෙස පැවතිය හැකි ය. වාචික (Vocal Tics) ලෙස ශබ්ද පිට කිරීම, උගුර පෑදීම, හූ කීම, කෑ ගැසීම සිදුවිය හැක. විශේෂත්වය වන්නේ එය මෙම තත්ත්වයට මුහුණදෙන අයගේ පාලනයෙන් තොර වීමයි. ටොරේට් සින්ඩ්‍රොම් තත්ත්වයේ දී චලන සහ වාචික අවස්ථා දෙකේම ලක්ෂණ දක්නට ලැබේ.
අපගේ කතා නායිකාව වන නේනා මාතුර් නොනවතින ඉක්කාවක උරුමකාරියකි. ‘වාවා වා’ ‘චාචා චා’ ඇගේ ශබ්දකෝෂයේ නිතර භාවිතා වන්නේ ඇගේ අවසරයෙන් තොරව යි. එසේම ඒ සමග නිකට තෙරපීමක් ද ඇය සිදුකරයි. පාසල් අවධියේ සිටම නේනා ටොරේට් සින්ඩ්‍රොම් පිළිබඳ නොදැනුවත්කමින් පෙළෙන පාසලේ මිතුරන්ගෙන් පමණක් නොව ගුරුවරුන්ගෙන් ද ප්‍රතික්ෂේප වේ. ඇයව පාසල් 12කින් ඉවත් කරන්නේ මේ නැවතිය නොහැකි ඉක්කාව නිසා ය. අවසානයේ ඇය ඇතුළු වන්නේ පසුකලෙක ඇය ගුරුවරියක ලෙස සේවයට යන ශාන්ත නොට්කර් පාසල වෙත ය. ජිවිතය වෙනස් වන්නේ මෙහි දී ය. රාණි මුඛර්ජිගේ දක්ෂ රංගනය නිසාම ටොරේට් සින්ඩ්‍රොම් තත්ත්වය ඉතා තාත්ත්විකව ඉදිරිපත් කරයි. Hichki තුළින් අභියෝගාත්මක නවම අත්දැකීමක් ඇය ඉතා සාර්ථකව ජය ගනියි.
නේනා කුඩාකල සිටම ටොරේට් නිසා සාමාජීයව පීඩා විඳියි. පාසලේ දී ඇයව සමච්චලයට ලක් කිරීමේ සිට පාසලින් ඉවත්කර දැමීම දක්වා එම පීඩාව දිගු වේ. නේනාගේ මව දියණියගේ මෙම තත්ත්වය සාමාන්‍ය ලෙස සලකා නේනාට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට උපකාර කරයි. විදුහල්පතිවරුන් නේනාව පාසලින් ඉවත් කරන විට දරුවා විශේෂ පාසලකට ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටින අතර, ඇය විශ්වාස කරන්නේ දියණිය සාමාන්‍ය පාසලක ඉගෙනිය යුතු බව යි. නේනා අනෙක් දරුවන් මෙන්ම සාමාන්‍ය දරුවෙක් බව මව තරයේ විශ්වාස කරයි. නමුත් නේනාගේ පියා මේ ගැන දැඩි කනස්සල්ලෙන් පසුවෙයි. ඔහු ටොරේට් තත්ත්වය පිළිබඳ අනවබෝධයෙන් ද, ප්‍රසිද්ධියේ දී නේනා නිසා අපහසුතාවයට ද පත්වේ. ඒ නේනාගේ වරදකින් නොව ඔහුගේම දුර්වලතාවය නිසා ය. ඔහුට අවශ්‍ය වන්නේ මෙය සුව කිරීමට ය. ඔහු මෙහි නිරූපණය කරන්නේ සැබෑ ලෙසම අත්දැකිය හැකි පියෙකුගේ භූමිකාව යි.
ආපන ශාලාවේ දී තමන් කැමති ආහාරය ඉල්ලීමට උත්සහ කරන විට සුපුරුදු ලෙස ශබ්ද ඇති වන නිසා පියා වහාම මැදිහත්ව ඇය වෙනුවෙන් ආහාර ඇණවුම් කරයි. කුඩා අවධියේ දී එය ඉවසා සිටියත් පසුව ඇය එම මැදිහත්වීම ප්‍රතික්ෂේප කරයි. තමන් දුර්වලයෙකු නොවන බවත් තමන් සාමාන්‍ය පුද්ගලයෙකු බවත් ඇය දිගින් දිගටම ඇගේ පියාට වටහා දීමට උත්සහ කරයි. නේනා ගුරු වෘත්තියට ආශාව දැක්වූව ද පියා ඒ වෙනුවට ඇයට බැංකුවක රැකියාවක් සොයා දීමට වෙහෙසෙන්නේ ද ඇයට ගුරු වෘත්තිය නොගැළපෙන බවට ඔහු විශ්වාස කරන නිසා ය. සම්මුඛ පරීක්ෂණ හමුවේ දිගින් දිගටම අසමත් වන අතර, ඇය අර්ධකාලීන රැකියාවක් ලෙස ඇනිමේෂන් කටයුතුවල නියැළේ. නේනාගේ සිහිනය ගුරුවරියක් වීම යි. ඇයම පවසන පරිදි ‘මම ඉපදුනේ ගුරුවරියක් වීමට යි’
පාසල තුළ දී ලබන අත්දැකීම ආරම්භයේ දී ඉතා දුෂ්කර වෙයි. නේනාව පුරප්පාඩුවක් සඳහා ශාන්ත නෝට්කර් පාසලට ඇතුළත් කරගන්නේ මෙහි 9F පන්තියට පැමිණෙන ගුරුවරුන් සියලු දෙනා ඉතා ඉක්මනින් පාසැල හැර දමා යන නිසා යි. මේ බව ආරම්භයේ දී නොදත් නේනා සාමාන්‍ය පන්ති කාමරයක් අපේක්ෂා කළත් පළමු දිනයේම ලබන අත්දැකීමෙන් එය දුෂ්කර කටයුත්තක් බව පසක් කරගන්නා නමුත් අත්හැරීමට කිසිදු අදහසක් ඇයට නැත. 9F පන්ති කාමරයේ විශේෂත්වය වන්නේ මෙහි සිටින්නේ මීට පෙර නගර සභාවට අයත් කුඩා පාසලක සිටි සිසුන් පිරිසකි. නෝට්කර් පාසලට ක්‍රීඩා පිටියක් සඳහා එම පාසල ලබාගත් පසු පාසලේ ඉතිරි වූ දරුවන්ව නෝට්කර් පාසලට ඇතුළත් කරන ලදී. ඔවුන් නගරයේ දුගීම ප්‍රදේශවල දෙමාපියන්ගේ දරුවන් ය. එම දුගී පරිසරය නිසාම ඔවුන්ගේ හැසිරීම පාසලේ සියලු දෙනා විසින් පිළිකුල් කරයි. ගුරුවරුන් පවා ඔවුන්ව හැරදා පාසලින් පවා පිටව යයි.
දැන් ප්‍රේක්ෂකයාට යම් සමානකමක් දක්නට ලැබෙන සිදුවීම් දෙකක් දර්ශනය වෙයි. එක් පසෙකින් තමන්ට උපතින්ම උරුම වූ ටොරේට් නිසා සමාජය විසින් කොන් කරන ලද නේනා ද, අනෙක් පසින් උපතින්ම උරුම වූ දරිද්‍රතාව නිසා සමාජය විසින් කොන් කිරීමට ලක් වූ 9F සිසුන් ය. මෙම නිර්මාණයේ වැදගත්ම ලක්ෂණය මෙම අවස්ථා දෙක සංසන්දනාත්මකව මතු කිරීම යි. තමන්ට උරුම වූ දේට සමාජය ලබා දෙන වටිනාකම් අභිබවා යා හැකි බව ඉතා හොඳින් මෙහි පෙන්වා දෙයි. ‘ඉක්කාව’ නිසා නේනාව පාසලින් නෙරපුණි, නමුත් ඇය එය ජයගෙන අධ්‍යාපනයේ බොහෝ ඉහළට ගමන් කිරීමට සමත් විය. මීළඟට ගුරුවරියක් වීමේ අරමුණට නැවතත් තම ‘ඉක්කාව’ හරස් විය. වසර 5ක් පුරා ඇය ගුරුවරියක් වීමේ අරමුණින් සම්මුඛ පරීක්ෂණ රැසකට ගොස් අසමත් වෙයි. අවසානයේ ඇය එම අභියෝගය ද ජය ගනියි. නමුත් තමන්ට හිමිවන පන්ති කාමරය සිතා සිටි තරම් පහසු ස්ථානයක් බවට පත් නොවේ. පාසලේ සිටින අකීකරුම ශිෂ්‍ය පිරිසට අධ්‍යාපනය ලබාදීම නම් ඉතා දුෂ්කර අභියෝගය දැන් ඇය ඉදිරියේ ඇත.
එතැන් පටන් මෙහි කතාව පවසන්නේ එම අභියෝගයට ඇය මුහුණ දෙන ආකාරය යි. මිට පෙර සිටි ගුරුවරුන් පාසල හැර දමා පලා ගොස් ඇත්තේ ඇයි ද යන්න වටහා ගැනීමට පළමු දිනයම ඇයට ප්‍රමාණවත් වෙයි. 9A පන්තිය මෙම පාසලේ වැඩිම ලකුණු ලබා ගන්නා සිසුන් සිටින පන්තිය යි. එම පන්තියේ ගුරුවරයෙකු වන වාඩියා විසින් නේනාව විවිධ අවස්ථාවන්වල උපහාසයට ලක් කරයි. ඒ සියලු දුෂ්කරතා මධ්‍යයේ දැන් ඇය ගුරුවරියකි. ජිවිතයේ ඇය ප්‍රර්ථනා කළ රැකියාව ලබා ගැනීමට දැන් සමත් වී ඇත. ඇය ඉගැන්වීමේ නව ක්‍රම අත්හදා බලයි. පන්ති කාමරය බැහැරට ගෙන යයි, ළමුන්ගේ හැකියාවන් හඳුනාගැනීමට සමත්වන ඇය, එය දරුවන්ට ද පෙන්වා දෙයි. ‘නරක සිසුන් නොමැති බවත්, සිටින්නේ නරක ගුරුවරුන්’ බවත් ඇය පවසයි. පාසලේ ගුරුවරුන් පමණක් නොව සමාජය ද, ගුරුවරයෙකු ලෙස සිසුන්ට ලබා දෙන අධ්‍යාපනය නිවැරදි ද යන ගැටලුව අප හමුවේ තබයි. අපරාධකරුවන් බිහිවන සමාජයක් නිර්මාණය වන්නේ හුදු පුද්ගල කැමැත්ත මත ද, එසේත් නැත්නම් සමාජය විසින් බිහිකිරීමක් ද යන්න අප සිතා බැලිය යුතු ය. නම ගිය පාතාල නායකයෙකුගේ ඉතිහාසය අප විසින් සොයා බැලුවහොත් යම් දිනෙක ඔහු අපරාධ සඳහා යොමුකිරිමට අනුබලය සමාජය විසින් සැපයූ දෙයක් බව සොයා ගැනීම අපහසු නොවේ.
මෙම ඡායාරූපය අඩංගු දර්ශනය මෙහි එන ප්‍රබල දර්ශනයක කොටසකි. තමන්ව කොන් කරන ලද, තමන්ව වෙන්කොට සලකන ලද සමාජයේ පිළිබිඹුවක් ලෙස ඈතින් උස ගොඩනැගිලිවලින් සමන්විත නගරය පෙනෙන මානයේ සිට දරුවන්ගේ සාමුහිකත්වය මෙහි ප්‍රදර්ශනය කරයි.
ඉතාමත් රසවත් නිර්මාණයක් වන Hichki කිසිදු අලසකමකින් තොරව අවසානය තෙක් නැරඹිය හැකි, සමාජය අප ඉදිරියේ ප්‍රතිනිර්මාණය කරන, සහ සමාජය වෙනස් කිරීමට හැකි බව පෙන්වන නිර්මාණයකි. එක් කෝණයකින් මෙය සර්ව සුභවාදී දෘෂ්ටියක් සහිත නිර්මාණයක් ලෙස ද හැඳින්විය හැකි ය. නමුත් වඩාත් වැදගත් වන්නේ මේ තුළින් Tourette Syndrome පිළිබඳව ලබාදෙන මානුෂික අවබෝධය සහ ගුරුවරයෙකුගේ භුමිකාවේ ඇති වැදගත්කම පෙන්වා දීම යි. ජිවිතය වෙනස් කිරීමේ අභියෝගය නේනා භාර ගන්නේ එම වගකීම ද සමගිනි.
මෙහි අවසානයේ දී වාඩියා නම් ගුරුවරයා උදෑසන රැස්වීමේ දී කරනු ලබන කතාවක අතරතුර කරන ප්‍රකාශයකි මේ. ‘අපි සියලු දෙනා ප්‍රිය කරන්නේ ගුරුවරුන් වීමට යි. අපි සෑම විටම අන්‍යයන්ට ඉගැන්වීමට කැමැත්තක් දක්වයි. ගුරුවරයෙකු වීම පහසු ය. ශිෂ්‍යයෙකු වීම දුෂ්කර ය’.
කවරයේ පින්තුරය: cinema.mu