අතීත මිනිසා නව ගොඩබිම් සොයා යන විට නූතන මිනිසා නව ගොඩබිම් නිර්මාණය කරයි. 21 වන සියවස තුළ මිනිසා කෙතරම් තාක්ෂණික දියුණුවක් අත්පත් කරගෙන සිටින්නේදයත් ස්වභාව ධර්මයාට කෙරෙන අභියෝග දිනෙන් දින ඉහළ යාම තුළින් මැනවින් පෙනී යයි. ශක්‍යවාදී පරිසරිවේදීන් (මොවුන් මිනිසා විසින් පරිසරය අභියෝගයට ලක් කරමින් සිටින බවත් – ස්වභාව ධර්මයාට යටත් වී සිටිය යුතු නැති බවටත් විශ්වාස කරන දර්ශනවාදීන් යැයි සැකෙවින් විස්තර කළ හැක) විසින් ඔවුන්ගේ මතවාදයන් තුළ දිගින් දිගටම දක්වන ලද්දේද මෙවන් අදහස්මය.
මිනිසාගේ දියුණුව කොතෙක්ද යත් ඔහු විසින් කෘත්‍රිම දූපත්/ ගොඩබිම් නිර්මාණය කිරීමටද පටන්ගෙන ඇත. ‘පෝර්ට් සිටි‘ ව්‍යාපෘතිය නිසාවෙන් කෘත්‍රිම දූපත් ගැන යම් සංවාදයක් රට තුළ ගොඩ නැගුණද සැබවින්ම ගෝලීය වශයෙන් එවැනි ව්‍යාපෘති ගැන ලාංකික පුරවැසියන් බහුතරය දැනුවත්ද යන්න ප්‍රශ්නයකි. එහෙයින් මෙම ලිපිය තුළින් ලෝකයේ එලෙස ගොඩනංවන ලද කෘත්‍රිම ගොඩබිම්/දූපත් කිහිපයක් පිළිබදව ඔබව දැනුවත් කිරීම අපගේ අරමුණ වේ
ඩුබායිහි පාම් දූපත් (Palm Islands)
කෘත්‍රිම දූපත්/ගොඩබිම් සම්බන්ධ සාකච්ඡාවේදී ඩුබායිහි පාම් දූපත් සදහා ප්‍රමුඛත්වය දියයුතුම වේ. මෙහිදී පාම් දූපත් තුනක් දැක ගත හැකි අතර ඒවා Palm Jumeirah, Deira Island, Palm Jebel Ali වශයෙන් වෙන් කර ඇත. මෙම දූපත් ගොඩ නැගීම සම්බන්ධයෙන් වන සැලැස්ම 2001 වර්ෂයේ දී ආරම්භ කරන ලදී.
පළමුව මෙම දූපත් වර්තමානයෙහි පවත්නා ප්‍රමාණයට වඩා වැඩි විශාලත්වයකින් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබුණද පසුව එය වර්තමාන ප්‍රමාණයට ප්‍රතිව්‍යුහගත කරන ලදී.
කෙසේ වෙතත් මෙම ඩුබායි කෘත්‍රිම දූපත් සමූහය සම්බන්ධයෙන් ග්‍රීන්පීස් සංවිධානය දැඩි විවේචනයට බදුන් කරන අතර ඔවුන් දක්වන්නේ නිවැරදි පරිසර තක්සේරුකරණයකින් තොරව ආර්ථික සංවර්ධනය දෙස පමණක් අවධානය යොමු කරමින් මෙම දූපත් ගොඩ නගා ඇති බවත්, ඒ නිසාවෙන් මේ වන විටත් මුහුදු තරංගවල රටාවන් වෙනස්ව ඇති බවත්, සමූද්‍ර පරිසර පද්ධතියෙහි තුලනයද බිද වැටී ඇති බවක්.
එසේම එක්සත් ආරාබි එමීර් රාජ්‍යයෙහි වෙනත් මුහුදුබඩ ප්‍රදේශවල දැඩි මුහුදු ඛාදනයක් මෙනිසා සිදුවන බවත්ය.
Palm Jumeirah දූපත පිළිබද සාකච්ඡා කිරීමේදී එය ඩුබායි දූපත් ත්‍රිත්වය අතුරින් කුඩාම දූපත ලෙස සැලකේ. මෙය 2009 වර්ෂයේදී විවෘත කළ අතර එමගින් වර්ග කි.මී. 520ක් ඩුබායි මුහුදු තීරයට අමතරව එක් විය. 2007 වන විටත් එහි පවුල් 500ක් පමණ පදිංචිව තිබුණි. එහි නිවාස සංකීර්ණ, හෝටල්, විනෝද උද්‍යාන යනාදි නොයෙකුත් පහසුකම්වලින් සමන්විත වන අතර මොනෝ රේල් පද්ධතියක් ද එ් තුළ ස්ථාපිත කර ඇත.
Palm Jebei Ali පෙර සදහන් කළ Palm Jumeirah දූපතට වඩා 50%ක් පමණ විශාල වන අතර මෙහි විශාල උද්‍යාන හතරක් නිර්මාණය කිරීමට මේ වනවිට සැලසුම් කර ඇත. මෙය නිර්මාණය කිරීම 2002 දී ආරම්භ වූ නමුත් 2009 දී ඩුබායි ආර්ථික අවපාතය නිසා මෙම ඉදි කිරීම් තාවකාලිකව නතර විය. මෙම ආර්ථික කඩා වැටීම් යම් යම් බාධා කිරීම් සිදු වුවද තවදුරටත් මෙම ව්‍යාපාරික කටයුතු සිදු කරගෙන යන බව නකීල් සමාගම විසින් දක්වා ඇත.
Deira දූපත පිළිබදවද තවමත් ඉදි කිරීම් කටයුතු සිදුවෙමින් පවතින බව 2013 දී නකීල් සමාගම විසින් ප‍්‍රකාශ කරන ලදී. කෙසේ වෙතත් නූතන ඉංජිනේරු තාක්ෂණය තුළ මෙම පාම් දූපත්වල නාමය ඉදිරියෙන්ම කියවෙනු ඇත
පාම් දූපත්වල සැලසුම් (පසුකාලීනව මෙම දූපත් නිර්මාණයේ දී මෙම සැලසුමෙහි දක්වා ඇති යම් යම් හැඩතල – ගොඩබිම් නිර්මාණ කිරීම් විවිධ වෙනස්කම්වලට බදුන් විය.)
බහරේන්හි අම්වජ් දූපත් Amwaj Islands
ඊසානදිග වෙරළබඩ කලාපයට වන්නට පිහිටා ඇති මෙම දූපත් 2000 වසරේ දී සෑදීමට ආරම්භ කළ අතර ඔඒසිස් රියල් ස්ටේට් රෝයල් සමාගම විසින් මෙහි ඉදි කිරීම් කටයුතු සිදු කරයි. ඒ සදහා ඇ.ඩො. බිලියන 1.5 ක ආයෝජනයක් සිදු කර ඇත.
2016 වසර වන විට එහි යටිතල පහසුකම් සියල්ලම සම්පූර්ණ කරන ලද අතර ජනතාව පදිංචි වීමද සිදුවිය. එහි වාණිජ කටයුතු සදහා ගොඩනැගිලිද, නිවාස සංකීර්ණද ඉදි කොට ඇති අතර ඊට අමතරව විශ්ව විද්‍යාලයක්, ජාත්‍යන්තර පාසලක්, ඉන්ධන පිරවුම්හලක්, විව්ධාකාර උද්‍යාන සහ අවන්හල්ද දැකගත හැකිය.
එසේම මෙම දූපත් සංචාරක ආකර්ශනය දිනා ගැනීමට බලපාන ප‍්‍රධානතම හේතු සාධක කිහිපයක්ද පවතී. විදේශිකයන්ට 100%ක් ම අයිතිය ලබා ගත හැකි පරිදි පහසුවෙන් නිවාස මිලදී ගැනීමට හැකිවීම ඉන් ප‍්‍රධනම සාධකයකි.
එසේ ම ටජා (Taja) – මුර්ජාන් (Murjan) – ලුලු (Lulu) – ජූඩ් (Jood) – නජ්මා (Nujma) – අෂ්ඩාෆ් (Asdaf) යනුවෙන් දූපත් 6 කින් මෙම සංචාරක පාරාදීසය සමන්විත වන බැවින් ඒ ඒ අවශ්‍යතාව සහ රුචිකත්වය මත තමා කැමති දූපත් තෝරා ගැනීමේ අවස්ථාව සංචාරකයන් තිබීම තවත් කරුණකි. ජූඩ් දූපත තුළ සත්ව උද්‍යානයක් ද පවතින අතර විවිධ වර්ගයේ සතුන් 70ක් පමණ සිටින අතර කුරුල්ලන් 500කින් පමණ යුත් කුරුලු පාරාදීසයක් ද එහි අන්තර්ගත වේ.
බහරේන්හි ඩුරන් අල් දූපත් (Durrant Ali)
බහරේන්හි තෙවන විශාලතම කෘති‍්‍රම දූපත ලෙස මෙය සැලකෙන අතර මෙහි තරු පහේ හෝටල් මෙන්ම ගොල්ෆ් පිටියක්ද ස්ථාපිත කර ඇත. මෙහි වර්ග අඩි 7 500 000 ක භූමි ප‍්‍රමාණයක් පවතී.
මේ සදහා ඇ.ඩො. බිලියන 1.3 ක් වැයවී ඇති අතර මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය සදහා ඇ.ඩො. බිලියන 7ක් පමණ වැය වෙනු ඇතැයි ඇස්තමේන්තු කොට ඇති අතර දූපත් පහලොවක් සම්පූර්ණ ව්‍යාපෘතිය තුළ දක්වා ඇත.
මිට අමතරව තවත් කෘති‍්‍රම දූපත් රැසක් ලෝකයේ පවතින අතර ජපානය – චීනය වැනි රටවල්ද මෙවැනි කෘති‍්‍රම දූපත් නිර්මාණය කර ඇත. කෙසේ වෙතත් නිවැරදි පාරිසරික තත්ත්ව පරීක්ෂණ යටතේ මෙම සංවර්ධන කි‍්‍රයාවලීන් සිදුවීම අත්‍යවශ්‍ය සාධකයක් වන අතර එසේ නොවුණහොත් මෙවැනි යෝධ සංවර්ධන ව්‍යාපෘති හරහා සුබසිද්ධිය වෙනුවට අවැඩදායක ප‍්‍රතිඵල ජනනය වීම නොවැළැක්විය හැක්කක් බවට පත්වේ.
තිරසාර සංවර්ධනය – ආර්ථික සංවර්ධනය – ජනගහන වර්ධනය – භූමි පරිභෝජනය – විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුව යනාදී සෑම කරුණක්ම අවියෝජනීය සාධක බවට පත්වී ඇති බවත් මේ අනුව මනාව පැහැදිිලි වේ.
කවරයේ පින්තුරය: The Universe ලෙස නම් කර ඇති මෙයද ඩුබායිහි නිර්මාණය කරන ලද කෘති‍්‍රම දූපතකි. (alithinapsemata.wordpress.com)