Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවේ මැංගුස් වගාව ගැන තොරතුරු බිඳක්

අප රට තුළ විවිධ රසවලින් යුත් පළතුරු වර්ග රැසක් දක්නට ලැබෙනවා. වසරේ එක් එක් කාර්තුවේ දී දේශීය වෙළඳපොළේ විකිණීමට ඇති පළතුරු වර්ග අතුරින් මැංගුස්වලට කවුරුත් ප්‍රියතාවයක් දක්වනවා. ඒ, මැංගුස්වල ඇති එයටම ආවේණික වුණු රසය නිසා යි. 

ලංකාවේ මැංගුස් වගාවට වඩාත් ප්‍රසිද්ධියක් උසුලන්නේ කළුතර දිස්ත්‍රික්කය යි. කළුතර සහ මැංගුස් අතර තිබෙන බැඳීම නිසාම කළුතර නගර සභාවේ ලාංඡනය පවා නිර්මාණය වී තිබෙන්නේ මැංගුස් ගෙඩියේ හැඩයට යි. එසේම 1949 වසරේ සිට කළුතර විද්‍යාලය සහ තිස්ස විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික මහා තරගය හඳුන්වනු ලබන්නේ ද මැංගුස් සටන නමින්. 

මැංගුස්වල ඉතිහාසය පිළිබඳව කෙටියෙන් 

මැලේසියාව හෝ ඉන්දුනිසියාවේ සුන්ඩා දූපත් මැංගුස්වල උපන් බිම බව උද්භිද විද්‍යාඥයන්ගේ මතය යි. වර්තමානය වන විට මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, පිලිපීනය, සහ කාම්බෝජය වැනි රටවල මැංගුස් වගාව බහුලව දක්නට ලැබෙනවා. එසේම මෙම පළතුර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන දකුණු ආසියානු කලාපීය රටවල්වල ද සාර්ථකව වගා කළ හැකියි. නමුත් එම රටවල්වලට මෙම පළතුර හඳුන්වාදුන් නිශ්චිත කාල සීමාවක් ගැන සඳහනක් නැහැ. බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ පසුගිය සියවස් 2ක තුළ දී එම රටවල් දෙකෙහි මැංගුස් වගාව ව්‍යාප්ත වුණු බව යි.

මැලේසියාවේ මැංගුස් (gettyimages)

මැංගුස් වගාවට හිතකර දේශගුණික සහ පාංශු තත්ත්වය

මැංගුස් සෑම දේශගුණයකටම ඔරොත්තු දෙන භෝගයක් නොවෙයි. එයට වඩාත් හිතකර දේශගුණික සහ පාංශු තත්ත්වයන් තිබෙනවා. පහත දක්වා තිබෙන්නේ එම දේශගුණික සහ පාංශු තත්ත්වයන් පිළිබඳව යි.

1) මැංගුස් වගාව සඳහා වසර පුරා පැතිරුණු මි.මි 1500 – 2000 පමණ වර්ෂාපතනයක් අවශ්‍ය යි.

2) වායුගෝලීය උෂ්ණත්ව පරාසය සෙල්සියස් අංශක 25-28 අතර අගයක පැවතීම වඩාත් සුදුසු යි. පරිසරයේ උෂ්ණත්වය වැඩිවුණු විට ශාකයේ පත්‍ර පිළිස්සීම ඊට හේතුව යි.

3) පරිසරයේ ආර්ද්‍රතාවය (75-80)% අතර පරාසයක පැවතිය යුතු යි.

4) කාබනික ද්‍රව්‍ය අඩංගු වන ජලය හොඳින් බැස යන මීටර් 1 1/2 – 2 පමණ වුණු  ගැඹුරු පසක් වගාව සඳහා වඩාත් යෝග්‍ය වනවා. එම නිසා වගාව ජලය ආශ්‍රිත ඉඩම්වල බහුලව ව්‍යාප්ත වී තිබෙන බව නිරීක්ෂණය කළ හැකියි.

බහුලවම දක්නට ලැබෙන ප්‍රදේශ 

ඉහත සඳහන් කරන ලද මැංගුස් වගාවට වඩාත් හිතකර දේශගුණික සහ පාංශු තත්ත්වයන්ට අනුව එම වගාව අප රට තුළ බහුලවම දක්නට ලැබෙන්නේ තෙත් කලාපයේ දී යි. ඒ අනුව දැනට වඩාත්ම හොඳින් මැංගුස් වගාව සිදුකරන දිස්ත්‍රික්ක කිහිපයක් හඳුනාගෙන තිබෙනවා. ඒ කළුතර, ගාල්ල, මහනුවර, කෑගල්ල, රත්නපුර, ගම්පහ, කොළඹ යන දිස්ත්‍රික්ක හත යි. එම දිස්ත්‍රික්කයන් තුළ මැංගුස් වගාව බහුලවම දක්නට ලැබෙන්නේ ගෙවතු වගාවක් ලෙස යි. නමුත් මහා පරිමාණයේ මැංගුස් වගාවන් ද එම දිස්ත්‍රික්ක තුළ දී හමුවනවා.

ලංකාවේ මැංගුස් වගාවක් (rove.me)

මැංගුස් ප්‍රභේද 

මෙහි ඵලවල බීජ හටගන්නේ මල් පරාගනය වී ඩිම්බ සංසේචනය වීමකින් තොරව යි. එම නිසා මැංගුස් බෝගයේ විවිධ ප්‍රභේද දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් උද්භිද විද්‍යාත්මක ලක්ෂණවල වෙනස්කම් පවතින ශාක දැකිය හැකියි.

වැළඳෙන රෝග සහ හානි කරන පළිබෝධකයන් 

මැංගුස් වගාවට ප්‍රධාන වශයෙන් හානි කරන්නේ කොළ කන දළඹුවා සහ කොරපොතු කෘමියා යන පළිබෝධකයන් දෙදෙනා යි. එසේම කොළ පුල්ලි රෝගය සහ ගම්බෝජ් රෝගය මඟින් ද මැංගුස් වගාවට හානි සිදුවනවා. පහත දැක්වෙන්නේ එම පළිබෝධකයන් දෙදෙනා සහ රෝග මඟින් මැංගුස් වගාවට සිදුවන හානිය සහ ඔවුන් මර්ධනය කළ හැකි ආකාරය පිළිබඳව යි.

කොළ කන දළඹුවන් 

මැංගුස් ශාකයේ දළු දමන අවස්ථාවේ දී කොළ කන දළඹුවන් විසින් විශාල හානියක් සිදුකරනු ලබනවා. එලෙස ශාකයට කොළ කන දළඹුවන් මඟින් සිදුවන හානිය පාලනය කිරීම සඳහා නිර්දේශිත පළිබෝධනාශක වර්ගයක් භාවිතා කළ යුතුයි. ඒ සඳහා පෙන්තියෝන් වැනි පළිබෝධනාශකයක් භාවිතා කළ හැකියි. එවිට කොළ කන දළඹුවාගෙන් වගාවට සිදුවන හානිය පාලනය කර සාර්ථක අස්වැන්නක් ලබාගත හැකියි.

කොරපොතු කෘමියා 

කොරපොතු කෘමියා නම් පළිබෝධකයා විසින් තවානේ ඇති පැළ සඳහා බලවත් ලෙස හානි සිදුකරනු ලබයි. එලෙස ශාකයට කොරපොතු කෘමියා මඟින් සිදුවන හානිය පාලනය කිරීම සඳහා නිර්දේශිත පළිබෝධනාශක වර්ගයක් භාවිතා කළ යුතුයි. ඒ සඳහා ඩයිමෙතොඒට් වැනි පළිබෝධනාශකයක් භාවිතා කළ හැකියි.

ගම්බෝජ් රෝගය (කිරි වෑස්සීම)

මෙම රෝගය වැළඳුණු විට මැංගුස් ගෙඩියේ පිට පොත්තේ සිට ඇතුළත මදය වෙත කහ පැහැති කිරි වෑස්සීම සිදුවෙයි. එම නිසා ඵලය ආහාරයට ගත නොහැකි තත්වයට පත්වෙයි. ගම්බෝජ් රෝගය ඇතිවන්නේ පසේ තෙතමනය වෙනස්වීම, දේශගුණික තත්ත්වය හදිසියේ වෙනස්වීම, ශාකයට නිසි පරිදි පෝෂණය නොලැබීම වැනි හේතු නිසා යි. එම නිසා නියං කාලවල දී වසුනක් යෙදීම සහ ක්‍රමානුකූලව පොහොර යෙදීම මඟින් මෙය පාලනය කරගත හැකියි.

කොළ පුල්ලි රෝගය 

මැංගුස් ශාකයක් කොළ පුල්ලි රෝගයට ගොදුරු වුණු අවස්ථාවක දී රතු හෝ දුඹුරු පුල්ලි පත්‍රවල ඇතිවන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. රෝගය වඩාත් දරුණු ලෙසින් පැතිර යන අවස්ථාවක දී මැංගුස් පත්‍රය පුරාම පුල්ලි දැකිය හැකියි. නිර්දේශිත දිලීර නාශකයක් යෙදීම මඟින් මෙම රෝගය පාලනය කළ හැකියි.

මැංගුස්වල ගුණ 

බොහෝ දෙනෙකුගේ ප්‍රියතම පළතුරක් වන මැංගුස් රසයෙන් මෙන්ම ගුණයෙන් ද අනූන යි. පහත දක්වා තිබෙන්නේ මැංගුස් නම් පළතුර අනුභව කළ විට ඔබට ලබාගත හැකි ප්‍රතිලාභ පිළිබඳව යි.

1) මැංගුස්වල අඩු කැලරි ප්‍රමාණයක් සහ අඩු සංතෘප්ත මේද ප්‍රමාණයක් අඩංගු යි. එම නිසා ස්ථුල පුද්ගලයන්ට මැංගුස් ආහාරයට ගැනීම මඟින් සිය සිරුරේ බර පාලනය කරගත හැකියි. 

2) මැංගුස්වල අඩංගු සංඝටක රතු රුධිරාණු වර්ධනය වැඩි කරන අතර රක්තහීනතාවය වැලැක්වීමට උපකාරී වෙයි. එසේම ඉන් රුධිර ගමනාගමනය වැඩි කරන නිසා කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය වැනි රෝග වැළඳුණු අයට වඩාත් සුදුසු ය. ඊට අමතරව එම සංඝටක මඟින් ඇස්වල ලේ ගමනාගමනය වැඩි දියුණු කර පෙනීම වැඩි කිරීම ද සිදු කරයි.

3) මැංගුස්වල විටමින් සී බහුලව අඩංගු වන නිසා විෂබීජ ආශ්‍රිත රෝගවලට එරෙහිව ප්‍රතිශක්තිය දියුණු කරයියි. එසේම එහි ප්‍රොලේට් ඇති නිසා ගර්භණි කාන්තාවන්ට සුදුසු යි.

4) මැංගුස්වල අඩංගු ප්‍රතිබැක්ටීරියාකාරක ගුණය සම පෝෂණය කරයි. එම නිසා මුහුණේ කැලැල් ඇති වීම පාලනය කරයි. මැංගුස් ආහාරයට ගැනීම මඟින් වියලි සමට සහ සමේ තෙල් ගතියට විසඳුම් ලබාගත හැකියි. එසේම සෛල නිපදවීම උත්තේජනය කරයි. 

5) ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝගවලට ප්‍රතිකාරයක් ලෙසින් භාවිතා කළ හැකියි.

මැංගුස් ගෙඩියක් (gettyimages)

කවරයේ ඡායාරූපය- gettyimages

මූලාශ්‍රයන්- dea.gov.lk

Related Articles