Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ලාංකිකයන්ගේ බඩ පුරවන රස අහර

සැරම සැර කොච්චි සම්බෝලයක් එක්ක තම්බපු මඤ්ඤොක්කා කෑල්ලක් කන්න කවුරුත් ප්‍රිය කරනවා. ඒ තරමටම මඤ්ඤොක්කා කියන ආහාරය අප සමාජය තුළ ජනප්‍රිය යි. එසේම පහසුවෙන් සොයාගැනීමට හැකි මඤ්ඤොක්කා අඩු මුදලකට බොහෝ දෙනෙකුගේ බඩ පුරවන ආහාරයක් බවට පත්ව තිබෙනවා. එනිසා මඤ්ඤොක්කා ශාකය ගෙවතු වගාවක් සහ වාණිජ භෝගයක් ලෙස වගා කිරීමට බොහෝ දෙනෙකු පුරුදුව සිටිනවා.

මඤ්ඤොක්කා වගාවට අවශ්‍ය දේශගුණික සාධක 

සාමාන්‍යයෙන් බොහෝ ශාකයන් වගා කිරීමේ දී අවශ්‍ය වන දේශගුණික තත්ත්වයන් තිබෙනවා. නමුත් මඤ්ඤොක්කා ශාකය වඩාත් උස්බිම්වල, ශීත දේශගුණයක් ඇති ප්‍රදේශවල හැර සාමාන්‍යයෙන් වෙනත් ඕනෑම ප්‍රදේශයක වගා කිරීමේ හැකියාව තිබෙනවා. ඒ අනුව මුහුදු මට්ටමේ සිට, මීටර් 1200ක් පමණ උසකින් පිහිටි බිම් තෙක් මඤ්ඤොක්කා වගාව සිදුකරනු ලබනවා.

වැඩිපුරම වගාකරන ප්‍රදේශ 

මඤ්ඤොක්කා ශාකය වියළි කලාපය තුළ වාර්ෂික භෝගයක් ලෙසින් වගාකරන විට එය තෙත් කලාපය තුළ වගා කරන්නේ කන්න භෝගයක් ලෙස යි. වර්තමානය වන විට ලංකාවේ බොහෝ ප්‍රදේශවල මඤ්ඤොක්කා වගාව සිදුකරන ආකාරය දක්නට ලැබුණත් වාණිජ මට්ටමේ විශාල වගා භූමි වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ අනුරාධපුර, කුරුණෑගල, පුත්තලම, ගම්පහ, වවුනියාව, පොළොන්නරුව, සහ යාපනය වැනි දිස්ත්‍රික්ක තුළ යි. සාමාන්‍යයෙන් එකම මඤ්ඤොක්කා ප්‍රභේදයේ පිෂ්ඨ ප්‍රමාණය, රසය, සහ ගුණාත්මකබව ප්‍රදේශයෙන් ප්‍රදේශයට සුළු වශයෙන් වෙනස් වනවා. ඒ අනුව ඉහළම ගුණාත්මක බවෙන් යුත් මඤ්ඤොක්කා අනුරාධපුරය, කුරුණෑගල, සහ ගම්පහ ප්‍රදේශවලින් ලැබෙන බව හඳුනාගෙන තිබෙනවා. 

මඤ්ඤොක්කා වගාවක් (Agri Farming)

වගාකිරීමට නිර්දේශිත ප්‍රභේද 

ඇතැම් මඤ්ඤොක්කා ප්‍රභේද විෂ වීමට ඉඩ තිබෙනවා. එම නිසාම වගා කිරීමට සුදුසු ප්‍රභේද වර්ග කිරීමේ දී අදාළ ප්‍රභේදයේ මඤ්ඤොක්කා කිලෝවක අඩංගු HCN අම්ල ප්‍රමාණය සැලකිල්ලට ගෙන තිබෙනවා. ඒ අනුව අවම විෂ සහිත අලයේ වැඩි වියළි ද්‍රව්‍ය සහ පිෂ්ඨ ප්‍රමාණයක් අඩංගු, වැඩි අස්වැන්නක් ලබාගත හැකි වැඩි දියුණු කළ මඤ්ඤොක්කා ප්‍රභේද 6ක් වගාව සඳහා නිර්දේශ කර තිබෙනවා.

කිරිකවඩි 

කිරිකවඩි නම් මඤ්ඤොක්කා ප්‍රභේදය වගාකිරීමෙන් පසුව අස්වැන්න නෙළාගැනීම සඳහා මාස 6-12ත් අතර කාලයක් ගතවනවා. එසේම මෙම ප්‍රභේදයේ කිලෝවක අඩංගු HCN අම්ල ප්‍රමාණය මිලිග්‍රෑම් 10-22ත් අතර වනවා. ඒ අනුව වගා කිරීමට නිර්දේශිත මඤ්ඤොක්කා ප්‍රභේද අතුරින් විෂ අඩුම, ඉක්මනින්ම අස්වැන්න ලබාදෙන ප්‍රභේදය වන්නේ කිරිකවඩි නම් ප්‍රභේදය යි. එම හේතුවෙන් මෙම වර්ගය වගාකරුවන් අතර ඉතාමත් ජනප්‍රිය වී තිබෙනවා. සාමාන්‍යයෙන් ගසේ අතු බෙදෙන කිරිකවඩි ප්‍රභේදයේ වයස අනුව අස්වැන්න වෙනස්වනවා. එසේම මෙම වර්ගයේ අලයේ පොත්ත ඇතුළත කිලිටි සුදු පැහැයක් ගන්නා විට මදය සුදු පැහැයක් ගන්නවා. 

ස්වර්ණ 

ස්වර්ණ නම් මඤ්ඤොක්කා ප්‍රභේදය වගාකිරීමෙන් පසුව අස්වැන්න නෙළාගැනීම සඳහා මාස 8-12ත් අතර කාලයක් ගතවනවා. මෙම ප්‍රභේදයේ කිලෝවක අඩංගු HCN අම්ල ප්‍රමාණය මිලිග්‍රෑම් 20-25ත් අතර යි. සාමාන්‍යයෙන් කඳ රිදීමය අළු පැහැයක් ගන්නා මෙම ප්‍රභේදයේ මදය කහ පැහැයක් ගන්නා විට පිටපොත්ත දුඹුරු පැහැයක් ගන්නවා. 

CARI 555

CARI 555 නම් මඤ්ඤොක්කා ප්‍රභේදය වගාකිරීමෙන් පසුව අස්වැන්න නෙළාගැනීම සඳහා මාස 8-10ත් අතර කාලයක් ගතවනවා. මෙම ප්‍රභේදයේ කිලෝවක අඩංගු HCN අම්ල ප්‍රමාණය සාමාන්‍යයෙන් මිලිග්‍රෑම් 28-30ත් අතර පවතිනවා. මධ්‍යස්ථ ලෙස අතු බෙදෙන මෙම ප්‍රභේදයේ මඳය සුදු පැහැයක් ගන්නා විට පොත්ත ඇතුළත ලා රෝස පැහැයක් ගන්නවා. 

සුරනිමල

සුරනිමල නම් මඤ්ඤොක්කා ප්‍රභේදය වගාකිරීමෙන් පසුව අස්වැන්න නෙළාගැනීම සඳහා මාස 8-12ත් අතර කාලයක් ගතවනවා. මෙම ප්‍රභේදයේ කිලෝවක අඩංගු HCN අම්ල ප්‍රමාණය මිලිග්‍රෑම් 38-40ත් පමණ වනවා. සාමාන්‍යයෙන් අග්‍රස්ථයෙන් අතු බෙදෙන මෙම ප්‍රභේදයේ මදය සුදු පැහැ වන අතර පොත්ත දුඹුරු පැහැයක් ගන්නවා. 

ශානි 

ශානි නම් මඤ්ඤොක්කා ප්‍රභේදය වගාකිරීමෙන් පසුව අස්වැන්න නෙළාගැනීම සඳහා මාස 8-12ත් අතර කාලයක් ගතවනවා. මෙහි කිලෝවක අඩංගු HCN අම්ල ප්‍රමාණය මිලිග්‍රෑම් 43-45ත් අතර වනවා. කඳ දුඹුරු පැහැයක් ගන්නා මෙම ප්‍රභේදයේ අතු බෙදීම සිදුවන්නේ යම් කාලයක් ගතවීමෙන් පසුව යි. මෙම වර්ගයේ මදය සුදු පැහැති ද, පොත්ත දුඹුරු පැහැති ද වනවා.. 

mu 51

MU 51 නම් මඤ්ඤොක්කා ප්‍රභේදය වගාකිරීමෙන් පසුව අස්වැන්න නෙළාගැනීම සඳහා මාස 8-10ත් අතර කාලයක් ගතවනවා. මෙම මඤ්ඤොක්කා ප්‍රභේදයේ කිලෝවක අඩංගු HCN අම්ල ප්‍රමාණය මිලිග්‍රෑම් 50ට අඩු යි. මධ්‍යස්ථ ලෙසින් අතු බෙදෙන මෙම ප්‍රභේදයේ මදය සුදු පැහැයක් ගන්නා අතර පොත්ත ඇතුළත දම් රෝස පැහැයක් ගන්නවා. 

ගලවන ලද මඤ්ඤොක්කා අල (YaYa.lk)

මඤ්ඤොක්කා වාණිජ වගාවේ වාසි සහ අවාසි 

නිසරු බිම්වල වගා කළ හැකිවීමත්, නියඟයට ඔරොත්තු දීමට හැකිවීමත්, අඩු අවධානයක්‌ යොදා අවම යෙදවුම් මත ඒකක භූමි ප්‍රමාණයකින් වැඩි නිෂ්පාදනයක්‌ ලබාදීමත් නිසා මඤ්ඤොක්‌කා වගාව සම්පත් අඩු ගොවීන් අතර වඩාත් ජනප්‍රිය භෝගයක්‌ බවට පත්ව තිබෙනවා. නමුත් මඤ්ඤොක්‌කා අල ඉතාම කෙටි පසු අස්‌වනු සමයක්‌ පවතින භෝගයක්. වඩාත් පැහැදිලිව කිවහොත්, අස්‌වැන්න නෙළාගැනීමෙන් කෙටි කාලයක් තුළ මඤ්ඤොක්කා පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්වෙනවා. එහි දී අලවල කළු – නිල් පැහැති ඉරි ඇති වී ක්‍රමයෙන් අව පැහැයට හැරෙන ආකාරය දක්නට පුළුවන්. සාමාන්‍යයෙන් අල ගැලවීමේ දී අලවලට සිදුවන හානිය මෙම ක්‍රියාවලිය වඩාත් වේගවත් කිරීමට දායක වනවා. එම නිසා අල පළුදු නොවන අයුරින් මඤ්ඤොක්කා ගැලවීම සිදු කළ යුතු යි. 

මඤ්ඤොක්කාවල ගුණ 

ඉතාමත් රසවත් ආහාරයක් ලෙසින් ප්‍රසිද්ධ මඤ්ඤොක්කා රසයෙන් මෙන්ම ගුණයෙන් ද යුක්ත යි. එනිසාවෙන් මඤ්ඤොක්කා ආහාරයට ගැනීම තුළින් පහත ලෙඩ රෝගවලින් ආරක්ෂා වීමට හැකියාව ලැබෙන බවකුයි පැවසෙන්නේ. 

  1. මඤ්ඤොක්කා කොළ අධික රුධිර පීඩනයට, හිසරදයට, ශරීරයේ වේදනාවට ගුණදායක බව පැවසෙනවා.
  2. කුඩා ළමයින්ට ඇතිවන මල පිටවීමේ රෝගයට ගුණදායක ඔසුවක් වනවා
  3. අක්මා රෝගවලට ගුණදායක වනවා 
  4. මඤ්ඤොක්කා කොළ මැල්ලුම විස නැසීමේ ගුණයෙන් යුක්ත යි. එසේම ඉන් පණු අමාරුවලට ද සහනයක් ගෙන දෙනවා. 
  5. මඤ්ඤොක්කා ලිංගික සරුබව සඳහා, ඇස්වල ඉදිමීම, සන්ධි රෝග, පාචනය, ඇස්වලින් කඳුළු ගැලීම, ඇස්  රතුවීම, උරා යන රෝග සඳහා ඉතා ගුණදායක ඔසුවක් වනවා.
  6. සිරුරේ ඇතිවන තුවාල සඳහා ආයුර්වේදයේ දී මඤ්ඤොක්කා යුෂ භාවිතා කරනු ලබනවා 

ඒ කෙසේ වුවත්, මේ විශ්වාසයන් බහුතරය පර්යේෂණයන්ගෙන් තහවුරු කොට නැති නිසා, ඒවා ප්‍රසිද්ධ විශ්වාසයන් ලෙස සැලකීම පමණක් නුවණට හුරු යි. 

මඤ්ඤොක්කාවලින් කරන නිෂ්පාදන 

සාමාන්‍යයෙන් මඤ්ඤොක්කා අප රට තුළ  විශාල වශයෙන් පරිභෝජනය කරන්නේ පිසූ ආහාරයක් ලෙස යි. නමුත් සැකසූ ආහාර කර්මාන්තයේ දී සහ සත්ත්ව ආහාර නිෂ්පාදනයේ දී මඤ්ඤොක්කා කර්මාන්ත අමුද්‍රව්‍යයක් ලෙසින් භාවිතා කෙරෙනවා. එසේම පසුගිය කාල සමයේ මඤ්ඤොක්කා චිප්ස් වැනි සැකසූ ආහාර වෙළඳ පොළ තුළ දක්නට ලැබුණත් තවමත් මඤ්ඤොක්කා සැකසූ ආහාර සහ කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදනවල දී භාවිතා වන්නේ ඉතාමත් අවම ප්‍රමාණයක්.

මඤ්ඤොක්කා චිප්ස් (pansala.online)

කවරයේ ඡායාරූපය- මඤ්ඤොක්කා තැම්බීමෙන් පසුව (bigsta.net)

මූලාශ්‍රයයන්- උද්‍යාන භෝග පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ නිල වෙබ් අඩවිය 

Related Articles