ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් බිහි කිරීම උදෙසා ජනමාධ්‍ය සිදු කරන කාර්යභාරය අති විශාල වේ. ඒ නිසාම ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන පාලන ඒකකවලට අමතර ව මාධ්‍යයට ද හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. යම්කිසි රටක මාධ්‍ය ආයතනවලට සහ වෘත්තිකයන්ට සිය කටයුතු කරගෙන යාමේ දී ලැබෙන නිදහස මත ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක, ප්‍රජාතන්ත්‍රවාදය සැබැවින් ම ක්‍රියාත්මක වන්නේ ද යන්න දැනගත හැකි ය.
කෙසේ වෙතත් බොහෝ දෑ වාවාණිජකරණය වී ඇති වර්තමාන සමාජයේ සමහර මාධ්‍ය ආයතන සැබැවින් ම තමන්ට හිමි වගකීම් ඉටු කරනවා ද යන්න තරමක් සැක සහිත ය. සිය පෞද්ගලික අරමුණු වෙනුවෙන් මාධ්‍යයේ කාර්යභාරය අමතක කර දමා වෙනත් න්‍යාය පත්‍රයන්ට අනුව කටයුතු කරන මාධ්‍ය ආයතන සහ වෘත්තිකයන් බිහි වී ඇත්තේ එහි ප්‍රතිපලයක් වශයෙනි. සිය වගකීම නිසි පරිදි හඳුනා ගෙන, අනේකවිධ බාධක හමුවේ සිය වගකීම හරියාකාර ව ඉටු කරන මාධ්‍ය ආයතන සහ වෘත්තිකයන් ද නැතුවා ම නොවේ.
මෙම ලිපියෙන් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඇති කිරීම සඳහා ජනමාධ්‍ය වෙත පැවරෙන කාර්යභාරය කුමක්දැයි සොයා බලමු.
ප්‍රජාතන්ත්‍රවාදී රාමුව යනු කුමක්ද?
ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් යනුවෙන් අදහස් කරන්නේ පුද්ගලයාගේ සංවර්ධනය සහ යහපැවැත්ම අරමුණු කොට ගත් සමාජ ක්‍රමයකට යි. යුක්තිය සහ නිදහස යන මූලධර්ම පදනම් කරගත් නිත්‍යානුකුල පාලනයක් පදනම් කරගත් එවැනි සමාජ ක්‍රමයක පාලකයන් තෝරා පත් කරගන්නේ නිදහස් සහ සාධාරණ මැතිවරණ හරහා වේ. ඊට අමතර ව නීතියේ ස්වාධිපත්‍යය සහ මානව හිමිකම්වලට ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමයක් තුළ ප්‍රමුඛ ස්ථානයක් හිමි වේ.
එවැනි සමාජ ක්‍රමයක් සහිත රටක ජීවත් වන පුරවැසියන්ට ප්‍රකාශනයේ නිදහස සහ විරෝධතා දැක්වීමේ නිදහස ඇතුළු මූලික මිනිස් අයිතිවාසිකම් නොඅඩුව ලැබේ. කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියාගන්නා සමාජ ක්‍රමයක් තුළ, පවතින දේශපාලන ක්‍රමය සහ දේශපාලනඥයන්ගේ ආකල්ප වැනි හේතු නිසා ඉහත කී මිනිස් අයිතිවාසිකම් සීමා වී ඇති රටවල් ද නැත්තේ නොවේ.
ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍ය සංකල්පය
හුදෙක් දැඩි ව්‍යාපාරික අරමුණු මත පදනම් නොවී, රටක ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා අවශ්‍ය සාධක ද පදනම් කරගෙන මාධ්‍ය ක්‍රියාත්මක වීමට අදාළ සංකල්පය ප්‍රජාතන්තවාදී මාධ්‍ය යනුවෙන් නිර්වචනය කළ හැක.
ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම
සාමාන්‍ය ජනතාව සහ රජය එකිනෙකාට යා කරන පාලමක් ලෙස කටයුතු කරන මාධ්‍යට යම්කිසි පුද්ගලයකු තුළ නව මතවාදයක් නිර්මාණය කිරීමට හෝ තිබෙන මතවාදයක් බිඳ දැමීමට ප්‍රබල හැකියාවක් ඇත. ප්‍රජාතන්ත්‍රවාදය පදනම් වී ඇත්තේ රටේ පුරවැසියන් මත බැවින් මාධ්‍ය, ඔවුන් තුළ ඇති කරන යහපත්= අයහපත් ආකල්පමය බලපෑම් හරහා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීම හෝ දුර්වල වේ. මෙම තත්ත්වය මත පුරවැසියා තුළ යහපත් ආකල්පමය වෙනසක් ඇති කිරීම සඳහා මාධ්‍යයට විශාල කාර්යභාරයක් පැවරී තිබේ.
වංචා දූෂණ වැනි දෑ හෙළි කිරීම
එදිනෙදා සිදුවීම් සහ විවිධ වංචා, දූෂණ වැනි දෑ සම්බන්ධයෙන් නිරන්තරයෙන් ජනතාව දැනුම්වත් කිරීම මාධ්‍යයේ ප්‍රධාන කාර්යභාරය වේ. ඒ අයුරින් විවිධ දූෂණ වංචාවලට සම්බන්ධ පුද්ගලයන් සහ දේශපාලනඥයන්ගේ අක්‍රමිකතා වැනි දෑ පිළිබඳ අනාවරණයන් කිරීමත් සමඟ එවැනි පුද්ගලයන්ගේ ජයග්‍රහණය උදෙසා තවදුරටත් ඡන්දය ප්‍රකාශ කළ යුතු ද යන්න තීරණය කිරීමට ජනතාවට හැකියාව ලැබේ. විවිධ දූෂණ වංචාවලට සම්බන්ධ පුද්ගලයන් ප්‍රතික්ෂේප කර එවැනි චෝදනාවලට ලක් නොවූ පුද්ගලයන්, දේශපාලනඥයන් ලෙස තෝරා පත් කර ගැනීම හරහා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය වැනි දෑ වඩාත් ශක්තිමත් වේ.
පක්ෂපාති නොවන තොරතුරු ජනතාවට ලබා දීම
ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් නිර්මාණය කිරීමට නම් කිසිදු පුද්ගලයකුට, කණ්ඩායමකට හෝ දේශපාලන පක්ෂයකට ළැදි නොවී පුවත් සහ වෙනත් තොරතුරු වාර්තා කිරීම මාධ්‍යට පැවරී ඇති තවත් කාර්යභාරයකි. ඒ හරහා මාධ්‍ය වෘත්තිකයන්ට ස්වාධීන ව සිය කටයුතු කරගෙන යා හැකි පරිසරයක් නිර්මාණය වේ. කෙසේ වෙතත් යම් යම් පාර්ශවයන්ට පක්ෂපාති වෙමින් තොරතුරු වාර්තා කිරීම නිසා ඇතැම් ජනමාධ්‍ය සිදු කරන්නේ ජනතාව රැවටීමකි. ඒ හරහා සත්‍ය තොරතුරු දැන ගැනීමට ඔවුන්ට ඇති අයිතිය උල්ලංඝණය වේ. විශේෂයෙන්ම යම් පාර්ශවයන්ට පක්ෂපාත වෙමින් තොරතුරු වාර්තා කිරීම හරහා අදාළ පාර්ශව සම්බන්ධයෙන් වන විවේචනාත්මක කරුණු ජනතාව අතරට යාම වැලැකෙයි.
ජනතාව දැනුමෙන් සවිබල ගැන්වීම
ප්‍රජාතන්තවාදී රාමුවක් නිර්මාණය කිරීමට නම් ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති වටිනාකම පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම අනිවාර්ය කරුණකි. විශේෂයෙන් ම සාක්ෂරතාව අඩු රටවල ජනතාව හුදෙක් සිය ජීවිත ගෙවා දමන්නේ එදිනෙදා අවශ්‍යතා සපුරාගෙන ජීවත් වෙමින් විනා ප්‍රජාතන්ත්‍රවාදය වැනි කරුණු සම්බන්ධයෙන් දැනුමක් ඔවුන්ට නැත. එම නිසා රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා සහ පුවත්පත් හැකි තරම් මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් නිර්මාණය කිරීම සඳහා ගත හැකි පියවර සම්බන්ධයෙන් වැඩි වශයෙන් වර්තාකරණයක් සිදු කළ යුතු ය.
ජාති, ආගම් සහ විවිධ සංස්කෘතීන් අතර ඇති සුහදත්වය
රටක් තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට නම් අදාළ රටේ සියලු ජන කොටස් ජාති, ආගම් හෝ සංස්කෘතිකමය වශයෙන් නොබෙදී සහයෝගයෙන් කටයුතු කළ යුතු ය. එවැනි සහයෝගිතාවක් නැති නිසා විවිධ රටවල ජීවත් වන ජනකොටස් අතර ගැටුම් ඇති වූ අවස්ථා අප නිරන්තරයෙන් අසා ඇත. ශ්‍රී ලංකාව වැනි රටවල යම් යම් මාධ්‍ය ආයතන විවිධ දේශපාලන අරමුණු මුල් කරගත් කණ්ඩායම්වල අවශ්‍යතාව අනුව මත ගැටුම් නිර්මාණය වන ආකාරයෙන් වාර්තාකරණ කටයුතු කළ අවස්ථා තිබේ. එවැනි සිදුවීම්වල අවසන් ප්‍රතිපලය වූයේ කිසිවිටෙකත් අනුමත කළ නොහැකි ආකාරයේ ඉතා දරුණු ගැටුම් වැනි දෑ ඇති වීම යි. එබැවින් ජාති, ආගම් සහ සංස්කෘතිකමය වශයෙන් ඇති විවිධත්වයට ගරු කරමින් සෑම ජන කොටසක් ම ආවරණය වන පරිදි වාර්තාකරණ කටයුතුවල යෙදීම මාධ්‍යයේ වගකීමකි.