පත් සිඳුණු වසන්තයෙන් පසු බොහෝ ‘මතක මියඇදෙන සඳ’ එකී ඉතිහාසය නැවත පෙළගස්වමින් නැවතත් අප වෙත මේ සම්මුඛ වන්නේ ‘හෂිත අබේවර්ධන’ යි. ඔහු වැඩි වැනුම් බලාපොරොත්තු නොවන අයෙකු ලෙස අප දැන හඳුනාගෙන ඇති හෙයින්, ඔබට ඔහුව කියවා ගැනීමේ පහසුව උදෙසා ඔහු නියැලෙන ක්ෂේත්‍රයන් පමණක් සිහිපත් කරන්නට සිතිණි. ඔහු පරිවර්තකයෙක්, ලේඛකයෙක්, විචාරකයෙක් සහ දේශකයෙකු ලෙස අපට විවිධ අවස්ථාවන්හි දී මුණගැසේ. මේ සංවාදය වෙන්වන්නේ, ඔහු විසින් ප්‍රතිරචනය කොට අප වෙත පිරිනමන ‘මතක මියඇදෙන සඳ’ නම් කෘතිය වෙනුවෙනි. ඒ ඔස්සේ මේ එළඹෙන්නේ ඉතිහාසයත්, වර්තමානයත් කියවමින් අනාගත පිවිසුම් දොරටුව වෙත ළඟා වීමේ චාරිකාව යි.
මොකද්ද මේ ‘මතක මියඇදෙන සඳ’ නමින් අලුතෙන් එන පරිවර්තන කෘතිය? අපි එතනින් අපේ කතාබහට ප්‍රවේශයක් ගමු.
මතක මියඇදෙන සඳ, අම්බලවානර් සිවානන්දන්ගේ ‘When Memory Dies’ නවකතාව සිංහලෙන් නැවත කීමක්. ඒ නවකතාව 1900ත් 1980 ගණන්වල මැදත් අතරේ ලංකාවේ දේශපාලන-ආර්ථිකයේ වෙනස් වීමත්, ඒ නිසා වාර්ගික සම්බන්ධතා ඇතුළු මිනිස් සම්බන්ධතා වෙනස් වුණු ආකාරයත් දෙස ප්‍රබන්ධ ඇසකින් බැලීමක් ලෙස හඳුන්වන්න පුළුවනි. ඒ කතාව පළ වුණේ 1997 අවුරුද්දේ. ඉන්පසු අවුරුද්දේ ඊට හොඳම කුළුඳුල් නවකතාවට හිමි වන පොදු රාජ්‍ය මණ්ඩලයේ සාහිත්‍ය ත්‍යාගය ලැබුණා.
මේ නවකතාව ඇතුළේ පරම්පරා තුනක, චරිත තුනක් ඇසුරෙන් ඉතිහාසය නැවත පෙළ ගැස්වීමක් මුණගැහෙනවා, ඒ කාල වකවානු තුනක. 1900-1940, 1940-1959, හා 1959-1986 වගේ කාල පරාසයන් එහි ඇතුළත් වෙනවා.
ලංකාවේ මුල් බැස ගෙන තිබෙන වාර්ගික ගැටළුව ගැන ඔබ මොකද හිතන්නෙ? අපේ බහුතරයක් තාමත් ජාති, ආගම් විතරක් නෙවෙයි දේශපාලනිකවත් බෙදිලා.
මම ඒකටත් පොතෙන් ම උත්තර දෙන්නම්. නිදහස ලැබුණ ගමන් සිදුවුණේ වතු දෙමළ ජනයාගේ ඡන්ද අයිතිය නැති කළ එක. ඉන් පස්සේ මහජන අපේක්ෂාවන් නොතකා වාක් බහුල සුළුතරවලට යටවෙන්න සියලු ප්‍රජාවන්ට සිදුවුණා. අනිත් අතින් ජනවර්ග අතර බෙදීම තීව්‍ර කෙරෙන විදිහේ ප්‍රතිසංස්කරණ මිසක් ජාතික යටත්විජිතහරණ ව්‍යාපාරයක් ගොඩනැගුණේ නෑ. මේ සියල්ල එකතු වුණා ම අපට හමුවෙන්නේ ‘බස් ජනසතු කර-ජාතිය වර්ග සතු කළ’ ඉතිහාසයක්. ඉන් පස්සේ සෑම ප්‍රතිසංස්කරණයක් ම ඒ පරතරය පළල් කළා මිසක්, යා කළේ නෑ. දැන් ඉන්නේ මේ මහා බෙදීමේ ඵල නෙලන දේශපාලන සංස්ථාපිතයක්. ඒ අයට මේ බෙදීම අවම කරන්න උවමනාවක් නෑ. මොකද, ඡන්ද බැංකුව තියෙන්නේ ඒ බෙදීම තහවුරු කිරීම මත සහ අපි ඓතිහාසිකව කළ පොදු අරගල අමතක වෙලා ගිහිල්ලා, නැත්තම් මතකයෙන් මකා දාලා.
එහෙව් බෙදීමක් ඇතුළේ විවිධ පිරිස්, විවිධ කාලවල දී මේ සිදුකරන ‘සූරාකෑම්’වලට දැනෙන බලපෑමක් කරන්න නම් ඔබ යෝජනා කරන විකල්පය?
නැවතත් ‘මතක මියඇදෙන සඳ’ නවකතාවෙන් ‘සිවා’ යෝජනා කරන, ‘ඔබ මහජන මුදලින් ලබාගත් දැනුම මහජනයාට නැවත දෙන්න’ කියන යෝජනාව කරන්න කැමතියි. නමුත්, අපි කොහොමද මේ යෝජනාව ක්‍රියාත්මක කරන්නේ කියන ප්‍රයෝගික ගැටළුවට සියලුම විමුක්තිකාමී හා ප්‍රගතිශීලී බලවේග මුහුණ දෙනවා. සූරාකෑම පමණක් නෙවෙයි ගැටළුව, එය වින්දනය කිරීමට පුද්ගලයාට පුහුණු කිරීමත් මේ වෙනකොට කෙරෙනවා. එතකොට මේ සූරාකෑමේ ස්වභාවය තේරුම් ගැනීමේ අවකාශයක් නිර්මාණය කිරීම ඉතා වැදගත්. අපි කොහොමද මහජනයා අතරට යන්නේ, සමාජයීය ගැටළු විශ්ලේෂණය කරන්නේ කොහොම ද? ඒ සඳහා ඉදිරිපත් වෙන්නේ කවුද? අතිරික්ත කාලය ස්වේච්ඡාවෙන් ඒ සඳහා යෝදවන්නේ කොහොම ද? වගේ ප්‍රායෝගික ප්‍රශ්නවලටත් පිළිතුරු සපයන ගමන් මහජන ක්‍රියාකාරීත්වයක් ගොඩනගන එක තමයි එකම පිළිතුර. ඒ සඳහා අවශ්‍ය ලාලසාව ඇති කරන්න උවමනා යි. නායකත්වය උඩින් පාත් වෙනකම් නොඉඳ තමන්ගේ නායකයන් නිෂ්පාදනය කිරීමට අපිට පුළුවන් වෙන්න ඕන. ඒකට තියෙන ප්‍රධාන බාධාවක් තමයි මධ්‍යම පාන්තික අලසකම සමාජය වෙලාගෙන තිබීම.
නාමල් ජයසිංහගෙ ‘සහෝදරයා’ නාට්‍යයේ තැනක දී මතු කරනවා වගේ ම ‘මේ රට තාමත් මරණවලින් පාඩම් ඉගෙන ගෙන නෑ’ නේද?
මරණවලින් පාඩම් ඉගෙන ගන්න, මරණ මතක තියෙන්න ඕන. ‘අපි මරණ උත්කර්ෂයට නංවන්න දන්නේ නෑ’ කියලයි මට හිතෙන්නේ. අවසාන වශයෙන් උත්කර්ෂයට නැගෙන මරණය ‘පුරන් අප්පු’ වෙන්න පුළුවනි. ‘ආතර් වී දියෙස්’ගෙන් පස්සේ එහෙම පාඩම් ඉගෙන ගන්න තරම් මතකයක් නැහැ කියල යි මට හිතෙන්නේ. ඝාතනය කිරීම හා ඝාතනය වීම සාමාන්‍යකරණය වීම නිසා ඒ කිසිම දෙයකින් ගාමක බලවේගයක් ගොඩනැගෙන්නේ නෑ. හැබැයි ඒකට හේතුව වෙන්නේ, කුල වශයෙන් හා පසුව වර්ග වශයෙන් ජාතිය බෙදී යෑම. ඒක නැවතත් ඡන්ද බැංකුව තහවුරු කරගැනීමේ උපක්‍රමයක් කරගෙන තියෙනවා. අපිත් ඒ උගුලේ වැටිලා එකතැන කැරකෙනවා. මරණවලින් පාඩම් ඉගෙනගත්තා නම් 1971, 1989, 2004 සුනාමිය හෝ 2009 මහජන අදහස් වෙනස් වෙන්න තිබුණා. එතන දී අපිට ආපහු අමතක වෙනවා කන්දසාමි ලා, සෝමපාල ලා අරගල මැද දී මියගිය එක. සිවා මේ නවකතාවෙන් අමතන්නේ ඒ මියයන මතකවලට.
ළඟ දී ජනාධිපතිවරණය පැවැත්වෙනවානෙ. ඔබේ නිරීක්ෂණයන්ට අනුව, ජනතාව මොන වගේ තීරණයක් ගනියි කියලද ඔබ හිතන්නෙ මේ වතාවේ?
ජනතාව තීරණ ගන්න පාටක් පෙනෙන්නේ නෑ. ඒ අයට තීරණය දුන්නම කැමතියි-අකමැතියි කියන එක තමයි වෙන්නේ. එතැන දී සෑම වෙලාවකම වෙන්නේ මර්දනකාරී චිත්තයකින් කැමති-අකමැති වීම මිසක්, දීර්ඝ කාලීන බලපෑම් ගැන හිතා බැලීමක් නෙවෙයි. අනිත් අතින් එහෙම උවමනාවක් නෑ, ‘ඇද්ද උඹලට?’ වගේ අපිත් එක්කම ඉන්න තවත් මනුස්සයෙක්ට ලේබලයක් ගහන එකයි අපි කරන්නේ (මමත් ඇතුළුව). දැන් අපිට බයියෝ හා ටෝයියෝ ඉන්නවා. හැබැයි පීඩිත පාර්ශවයකට අසාධාරණයක් වෙනකොට මේ බයි-ටොයි බෙදීම මර්දක-මර්දිත කියන බෙදීමටත් යනවා. බයි-ටොයි බෙදීමට වඩා හානිදායක මේ මර්දක-මර්දිත බෙදීම. මර්දක රැල්ල බලවත් වුණොත්, කවර පාර්ශවයක් බලයට ආවත් එයින් සිදුවන යහපතක් නෑ.
මර්දනය ගැන කතා කරපු නිසා මට මෙහෙම අහන්න හිතුණා. ලංකාවෙ දැන් පවතින ප්‍රසිද්ධ මාධ්‍යයන් නම් අමුතුවෙන් මර්දනය කරන්න දෙයක් නෑ නේද? ඒවත් පක්ෂවලට බෙදිලා නේද? එතකොට ජනතාවට පක්ෂ කවුරුත් ම දැන් නැද්ද?
ජනතාවට තමන්ට පක්ෂ කවුරු හරි උවමනා ද? ඒක ටිකක් නරුම ප්‍රශ්නයක් වුණත්, මගේ හිතේ ඒක මතුවෙන එක නවත්තන්න අපහසු යි. මාධ්‍ය ආයතනවලින් අඹරන ගුලිය එහෙමම ගිලින එකේ සැපක් දකින ජනතාවක් හැදිලා ඉවරයි. මේ සිවා තමන්ගේ කතාවේ මතුකරන එක ප්‍රශ්නයක්. ද්විභාෂික අධ්‍යාපනයට වළ කපලා කළේ මේක. ඉන් පස්සේ ඒකභාෂික කථනය (භාවිතය), ඒක පාර්ශවික දෘෂ්ටියක් හදන්න මෙවලමක් කරගත්තා. දැන් ද්විභාෂික වුණත්, ඒ වර්ණාවලිය තනා ගැනීමට අපහසු දෘෂ්ටිවාදයක් ගොඩනගලා ඉවරයි. ඒ නිසා මාධ්‍ය අයිතිය, මාධ්‍ය භාවිතය ප්‍රශ්න නොකරන ලෙසට ව්‍යාජ පුවත්, ව්‍යාජ ඉතිහාසයන් මැවීම විනෝද ආර්ථිකයේ කොටසක් වෙලා. තවදුරටත් අත කාගේ ද, හඬ කාගේ ද අහන එක ‘වැදගත් නෑ’ කියන ‘නිස්සාර’ අදහස් මුල් අද්දලා තියෙනවා. මේක ජයගන්න පුළුවන්; නැවත බේසික් පොලිටික්ස් කිරීමෙන් කියලයි මම හිතන්නේ. ජනයා අතර වැඩ කිරීම නැවත විලාසිතාවක් කරන්න උවමනයි. මේ සංවාදය මතුවෙමින් පවතින එක සතුටට කරුණක්. බේසික් පොලිටික්ස් කියන්නේ ස්වේච්ඡාවෙන් දේශපාලන ක්‍රියාකාරීත්වයට සම්බන්ධ වෙන ක්‍රමයක් ඇති කරන එක.
එහෙම බිම් මට්ටමෙන් දේශපාලනය කරන්න තරම් මනසක්, වුවමනාවක්, හයියක් දැන් ඉන්න බහුතරය තුළ තියෙනවා ද?
දේශපාලන බලපෑම් කරන්නේ සැම විටම සුළුතරයක්! ඒ අවම ගම්‍යතාව ඇති කරන්න බැරිකමක් නැහැ. හැබැයි, එයට මේ මායාවෙන් මිදීම අවශ්‍ය යි. ඒක හරියට තේ වත්තක පරණ තේ ගස්වලින් දළු කඩන පොහොර නොදාන වතු හිමියෙක් වගේ නොවී, අලුත් වගාවක් කරන්න, පරණ ගස් මුලින් උගුල්ලන්න අවශ්‍යයි. අපේ රාජ්‍ය යන්ත්‍රයත් ඒ වගේ, තේ ගහ තියෙනවා එන එන දළු ටික කඩනවා මිසක් මේ ගහ ගැළපෙනවද නැද්ද කියලා හිතන්නේ නෑ. සමාජයක් වෙනස් කරන්න උනන්දුව තියෙන තරුණ පිරිසක් හා වැඩිහිටි පිරිසක් හැම කාලෙකම ඉන්නවා. ඒ අය තමන්ගේ සැප-කොටුවලින් එළියට ආවා නම් කිසිවක් අපහසු නෑ. සිවානන්දන් පරා සිත්තප්පා හා විජේ අතරේ සංවාදවලින් ගොඩනගන්නේ අන්න ඒ තර්කය යි.
අපි එතනින් එමු සාහිත්‍යය පැත්තට. දැන් දැන් සාහිත්‍යය ඇතුළෙත් විවිධ කුලක හැදිලා නේද? ඒක සාහිත්‍යය තුළ ඇති වෙලා තියෙන අර්බුදයක් නෙවෙයි ද?
‘සාහිත්‍ය කුලක’ ඇති වෙන එක නවත්තන්න බැහැ. තොටගමුවේ-වෑත්තැවේ බෙදීමත් එහෙමනේ ආවේ. මම ඒක අර්බුදයක් විදිහට දකින්නේ නෑ. ගැටළුව තියෙන්නේ මර්දක-මර්දිත බෙදීම සාහිත්‍යයට ආවොතින්. එතන දී බලය අත්පත් කරගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කරන එක මඟින් සාහිත්‍යයේ විවිධත්වයට හානි කරනවා නම් එතන යි ගැටළුව ඇති වෙන්නේ. විවිධත්වය වෙනුවෙන් කියලාම ව්‍යාකරණ ගරු කරන කෙනෙකුව මර්දනය කරනවා නම් ඒක අවුල් වැඩක්, ඒ කෙනා සංස්ථාපිතය ම නියෝජනය කළත්. ඒ පාර්ශව සාහිත්‍යමය නොවෙන උපක්‍රම මඟින් තමන්ගේ නොවෙන පාර්ශව මර්දනය කරනවා නම් එතන යි අර්බුදය තියෙන්නේ. මාර්ටින් වික්‍රමසිංහ හා ඩබ්. ඒ. සිල්වා කියන්නේ එකට අඩි ගැහුව මිත්‍රයෝ දෙන්නෙක්. හැබැයි, සාහිත්‍ය ධාරා දෙකක හිටිය අය.
ඔබට අනුව, ‘කියැවීම’ කියන්නෙ?
‘කියවීම’ කියන්නේ පුළුල් ශ්‍රමික ක්‍රියාවලියක්. ඒක පුහුණු කරන එක තෘප්තිකර කාර්යයක්. හරියට ව්‍යායාම කරනවා වගේ. ඒත් එක්ක කියවීමේ ක්‍රියාවලියට ආවර්ජනයන් එකතු කරන්න පුළුවනි නම්, දෘෂ්ටිවාදී උගුල්වල අහු නොවී ඉන්න පුළුවනි.
ඔබ මතු කරන විදියෙ අව්‍යාජ ‘සමාජ-දේශපාලන පෙරළියක්’ අපේක්ෂා කරන, ඒ වෙනුවෙන් බිම් මට්ටමෙන් වැඩ කරන්න කැමති ‘සුළුතරය’ වෙනුවෙන් කියන්න යමක් වේ නම්, අපේ කතා බහේ නිමාව සටහන් වෙන මේ ඉඩ තුළ මම එහෙම ඇරඹුමක අපේක්ෂාවකින් යුතු ව, ප්‍රශ්නාර්ථයකින් ඔබ්බට ගිහින් හර්ෂාදි ලකුණක් ව හිටගන්න කැමතියි.
අව්‍යාජ ද, නැද්ද කියන එක මම දන්නේ නැහැ. නමුත්, කවර අයුරකින් හරි මර්දනයට එරෙහිව පෙරමුණ ගන්නවා නම් ඒක වැදගත් ක්‍රියාවක්. දිගුකාලීන කැපකිරීමක් හා තමන්ගේ විෂයයට අවංක වීමක් නම් තිබිය යුතු වෙනවා. මට මේ පොත පර්වර්තනය කරන්න අවුරුදු හතරක් යන්නේ, පුස්තකාල, ශබ්දකෝෂ, ඉතිහාසය මතක මිනිස්සු/ ගෑණු, මේ හැම පරිශීලන අවකාශයක් ම මේ සඳහා යොදාගත්ත නිසා. කිසිම අරගලයක් කෙටිකාලීනව ජයගන්න බැහැ. දිගුකාලීන අරමුණක් තමයි තියෙන්න ඕන. ඒ අරමුණට අවංක වෙන්න වෙනවා. ඒක තමා තමන් එක්කම කරන අරගලයක්!