Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්ධන හිඟයෙන් පහර වැදුණු ඖෂධ බෙදාහැරීමේ ක්‍රියාවලිය

මාස ගණනාවක් තිස්සේ රටේ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතය මෙන් ම ආර්ථික සහ සමාජයීය වශයෙන් ඉතා වැදගත් ක්ෂේත්‍ර ගණනාවක් ද බිඳ වැටී ඇති බව අපි දනිමු.

මේ තත්ත්වය කෙතරම් බරපතල ද යත් ඉන්ධන හිඟය හේතුවෙන් පාසල් සහ අනිකුත් රාජ්‍ය ආයතනවල කටයුතු පවත්වාගෙන යාම පවා මේ වන විට අවිනිශ්චිත තත්ත්වයකට පත් වී ඇත.

දෛනික ඉන්ධන ඉල්ලුම

දෛනික ඉන්ධන ඉල්ලුම සපුරාලිය නොහැකි වීම නිසා කිව්.ආර්. පද්ධතිය හඳුන්වා දුන් බවත් විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ඉදිරි මාස 12 ඇතුළත ද ඉන්ධන ආනයනය සීමා කිරීමට සිදුවන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මේ අතර පවසා තිබිණි. ඛනිජ තෙල් සංස්ථාව සෑම ඉන්ධන පිරවුම්හලකට ම දිනපතා ඉන්ධන බෙදා හැර නොමැති බවත්, තොග අසීමිත ව තිබුණ ද සෑම ඉන්ධන පිරවුම්හලකට ම දිනපතා ඉන්ධන ලබා දීම ප්‍රායෝගිකව කළ නොහැකි බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කර තිබිණි.

ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමක රැඳී සිටින ජනතාව- www.adaderana.lk

ඉන්ධන හිඟය හේතුවෙන් විශාල බලපෑමක් එල්ල වී ඇති ඉතා වැදගත් ක්ෂේත්‍රයක් ලෙස සෞඛ්‍ය සේවාව හැඳින්විය හැකි ය. නිවසේ සිටින රෝගියෙක් රෝහලකට රැගෙන යාම, හදිසි අනතුරු වැනි අවස්ථාවලට මුහුණ පෑ පිරිස් රෝහලට ගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයා ගැනීම සඳහාත් විශාල පරිශ්‍රමයක් දැරීමට මේ වන විට ජනතාවට සිදු වී ඇත. ඉන්ධන හිඟය හමුවේ රෝහල්වලට ඖෂධ බෙදා හැරීමේ ක්‍රියාවලියට ද මේ සමඟ ම බලපෑම් එල්ල වී ඇති බව පසුගිය දා වාර්තා විය.

රෝහල් ආශ්‍රිත ව උද්ඝෝෂණ

පසුගිය කාලය පුරා රටේ රෝහල් ආශ්‍රිත ව උද්ඝෝෂණ සහ මාධ්‍ය සාකච්ඡා පවත්වමින් රෝහල් පද්ධතිය තුළ පැන නැඟී ඇති ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය පිළිබඳ ව ජනතාව දැනුම්වත් කරමින් රජයට බලපෑම් කිරීමට සෞඛ්‍ය නිලධාරීන් උත්සාහ දරන ආකාරය ද මේ අතර දක්නට ලැබිණි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙබ් පිටුවක් නිර්මාණය කරමින් මෙරටට වුවමනා ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය මඟහරවා ගන්නට උපකාරී වන ලෙස  විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වෙත ආරාධනාවක් කර සිටියේ ද මේ වන විට ශ්‍රී ලංකාව උග්‍ර ඖෂධ හිඟයකට මුහුණදී සිටින බැවිනි.

ඖෂධ වර්ග 60ක මිල 40%කින් ඉහළ නංවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ඒ අතර පසුගිය අප්‍රේල් මාසයේ දී එවක සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනගේ අත්සනින් යුතුව නිකුත් කර තිබිණි.

ඊට අනුව යම් උපලේඛනගත ඖෂධයක් විකුණන නිෂ්පාදකයකුට හෝ ආනයනකරුවකුට ප්‍රතිශෝධිත සිල්ලර මිල සමානුපාතිකව සම්පූර්ණ වශයෙන් 40% ක ප්‍රතිශතයකින් ඖෂධ මිල ඉහළ නැංවීමට හැකියාව ලැබිණි.

පවතින ගැටැලුවලට විරෝධය දක්වන වෛද්‍යවරු – www.sandiegouniontribune.com

මෙවන් පසුබිමක් හමුවේ ඉන්ධන හිඟය හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති ඖෂධ බෙදාහැරීමේ ක්‍රියාවලිය පිළිබඳ ව මේ ලිපියෙන් සොයා බලමු.

මේ වන විට රට තුළ පෙර නොවූ විරූ ආකාරයේ උග්‍ර ආර්ථික අර්බුදයක් ඇති වී තිබෙන බව අපි දනිමු. උද්ගත වී ඇති විදේශ මුදල්, විශේෂයෙන් ම අමෙරිකානු ඩොලර් සංචිත හිඟය හේතුවෙන් ඉන්ධන, ගෑස්, කිරිපිටි සහ සිමෙන්ති වැනි භාණ්ඩ ගණනාවක් ආනයනය කිරීම සීමා වී තිබේ. මේ තත්ත්වය තුළ මාස ගණනාවක් තිස්සේ ඉන්ධන ආනයනය ද සාමාන්‍ය පරිදි සිදු නොවේ. රට පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වලට සාමාන්‍ය පරිදි ඉන්ධන තොග නොලැබෙන අතර, සිය වාහනවලට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා ජනතාවට දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදු වී තිබේ.

සෞඛ්‍ය සේවකයන් මුහුණ දෙන ගැටලු

ඉන්ධන හිඟය හේතුවෙන් සෞඛ්‍ය සේවකයන්ට අවශ්‍ය ඉන්ධන ලබාගැනීම සහ ප්‍රවාහන පහසුකම් සපයා ගැනීම ද මේ වන විට දුෂ්කර වී තිබේ. මේ තත්ත්වය තුළ ප්‍රමාණවත් කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් රෝහල් කිහිපයක් වසා දැමීමේ සිදුවීම් පවා පසුගිය දා වාර්තා විය. ඊට පිලියමක් ලෙස සෞඛ්‍ය සේවකයන්ට ඉන්ධන නිකුත් කිරීම සඳහා සිකුරාදා දිනය නම් කිරීම වැනි වැඩසටහන් හඳුන්වා දුන් නමුත් ඒවා සාර්ථක වූ බවක් තව ම නොපෙනේ.

ඉන්ධන පෝලිමක රැඳී සිටින වෛද්‍යවරයෙක් – www.sundaytimes.lk

 ඉන්ධන නිකුත් කිරීමේ දී රාජ්‍ය සේවකයන්ට ඉන්ධන නිකුත් කිරීමට ප්‍රමුඛතාව ලබා දෙන බව රජය නිවේදනය කළත්, පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගැනීමට පැමිණෙන රාජ්‍ය සේවකයන්ට ජනතා විරෝධය එල්ල වන අවස්ථා නිරන්තරයෙන් වාර්තා වේ. මේ තත්ත්වය තුළ වෛද්‍යවරු, හෙද කාර්ය මණ්ඩලය, සාත්තු සේවක සේවිකාවන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයෝ ඉන්ධන හිඟයෙන් තවමත් පීඩා විඳිති.

ආර්ථික අර්බුදය හමුවේ උද්ගත වී ඇති ඖෂධ හිඟය

ප්‍රධාන වශයෙන් ආර්ථික අවකළමනාකරණය හේතුවෙන් ඇති වූ විදේශ විනිමය හිඟය නිසා අත්‍යවශ්‍ය ඖෂධ ආනයනය සඳහා අවශ්‍ය ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් උදා විය. මේ හේතුවෙන් නිසි වෙලාවට ඖෂධ ආනයනය සිදු කිරීමට නොහැකි ව අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම මඟහැරුණු ඇතැම් රෝගීන් මිය යාමේ අවදානමක් පවා මතු වී තිබේ.

ඖෂධ හිඟය නිසා රෝගීන්ගේ ජීවිත හානි සිදුවීම ගැන කතා කිරීමේ දී මහරගම අපේක්ෂා රෝහල ද අමතක කළ නොහැකි ය. පිළිකා රෝගීන්ට මාසයක් ඖෂධ නොමැති වුවහොත් වසර ගණනක් පුරා කළ ප්‍රතිකාර පල රහිත වන බව වෛද්‍යවරු පවසති. එය ඉතා භයානක තත්ත්වයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ඖෂධ හිඟයට විසඳුම් ඉල්ලන වෛද්‍යවරු – www.japantimes.co.jp

පසුගිය මැයි මාසයේ දී වාර්තා වූයේ රට පුරා පිහිටි රෝහල්වලට අවශ්‍ය ඖෂධ සැපයීම සිදු කරන, සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ඇති වෛද්‍ය සැපයීම් අංශයේ තිබිය යුතු ඖෂධ 1,358ක් අතරින් 525ක තොග අවසන් වී ඇති බව යි. ඒ අතර ජීවිතාරක්ෂක ඖෂධ 6ක්, අත්‍යවශ්‍ය ඖෂධ 239ක්, සහ නිතර භාවිතයට නොගැනෙන ඖෂධ 280ක් වූ බව ද වාර්තා විය. වෛද්‍ය සැපයීම් අංශය සතුව තිබිය යුතු ශල්‍ය උපකරණ 8,553ක් අතරින් 5,376ක තොග අවසන් වී ඇති බව ද වාර්තා විය.

පවතින වාතාවරණය තුළ රෝහල්වල හිඟ බවට වාර්තා වූ ඖෂධ අතර Filgrastim, Paclitaxel, Anastrozole, Imatinib, Capecitabine, Chlorambucil, Melphalan, Doxorubicin hydrochloride, Cytrabine, Etoposide, Lecucovorin, Procarbazine, Paclitaxel, Irinotecan, Azathioprine, Rituximab, Exemestane, Abiraterone, Mercaptopurine, Goserelin, Rituximab, Imatinib, Lenalidomide, Megstrol සහ Sorafenib යන ඒවා ද, ශල්‍ය උපකරණ අතර Urethral catheter, 10 cc syringes, Glucose trips, IC bottle, Dialyser, Close wound suction bottle සහ Respirometre යන ඒවා ද වේ.

දැනට සෞඛ්‍ය සේවාවේ උද්ගත වී තිබෙන ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය නිසා ඇතැම් ඖෂධ සහ උපකරණ ඔසුසල්වලින් මිල දී ගැනීමට ද රෝගීන්ට  සිදු වී තිබේ. අද දවසේ රසායනාගාර පරීක්ෂණ සඳහා අවශ්‍ය කටු පවා ෆාමසිවලින් මිල දී ගෙන ලබා දිය යුතු බව රෝගීහු පවසති. තවත් මාස කීපයකින් අත්‍යවශ්‍ය ඖෂධ නැත්තට ම නැති විය හැකි වීමේ අවදානමකට අප මුහුණදී සිටින්නේ රටේ උද්ගත වී ඇති ඩොලර් හිඟය හේතුවෙනි. 

වෛද්‍ය සැපයීම් අංශය/ www.dailymirror.lk

වෛද්‍ය සැපයුම්

රෝගී සත්කාරක සේවා සැපයීමට අවශ්‍ය භෞතික සම්පත් අතරින් වෛද්‍ය සැපයුම් සඳහා වැදගත් ස්ථානයක් හිමි වන්නේ වෛද්‍ය සැපයුම්වලින් තොර රෝගී සත්කාරක සේවාවක් ගැන සිතිය නොහැකි බැවිනි.

රේඛීය අමාත්‍යාංශය හා පළාත් සභා යටතේ ඇති සියලු ම රෝහල් හා සෞඛ්‍ය ක්ෂේත්‍රයට අයත් වෙනත් ආයතනවලින් සපයන රෝගී සත්කාරක සේවාව සඳහා අවශ්‍ය ඖෂධ, ශල්‍ය ද්‍රව්‍ය හා විකිරණශීලී ද්‍රව්‍ය හා රසායන ද්‍රව්‍ය වෛද්‍ය සැපයීම් ලෙස හඳුන්වයි.

වෛද්‍ය සැපයීම්වල සමස්ත අවශ්‍යතාව සම්පාදනය කර ගැනීම සඳහා ප්‍රසම්පාදනය ඇණවුම් කිරීම, භාර ගැනීම, සැපයුම්කරුවන්ට ගෙවීම් කිරීම, ගබඩා කිරීම හා නිකුත් කිරීම යන සමස්ත ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම, පාලනය කිරීම, මෙහෙයවීම හා අධීක්ෂණය කිරීම සඳහා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය යටතේ වෛද්‍ය සැපයුම් අංශය ස්ථාපිත කර ඇත. ළමා, මාතෘ සහ පිළිකා රෝහල් මෙන් ම රටේ ක්‍රියාත්මක අනෙකුත් රෝහල් හා සෞඛ්‍ය ක්ෂේත්‍රයට අයත් වෙනත් ආයතනවලින් සපයන රෝගී සත්කාරක සේවාව සඳහා අවශ්‍ය ඖෂධ, ශල්‍ය ද්‍රව්‍ය හා විකිරණශීලී ද්‍රව්‍ය හා රසායන ද්‍රව්‍ය ලබා දෙන්නේ වෛද්‍ය සැපයීම් අංශය මඟිනි.

 වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ ගබඩා කරන අයුරු – www.msd.gov.lk

ළමා, මාතෘ සහ පිළිකා රෝහල් වැනි ප්‍රධාන පෙලේ රෝහල් කිහිපයක වුවමනා ඖෂධ වෛද්‍ය සැපයීම් අංශයේ මෙන් ම රෝහල් වල ද හිඟ ව පවතින බවට වාර්තා වීමත් සමග බොහෝ රටවල්, දේශීය සහ විදේශීය සංවිධාන, සහ වෙනත් පරිත්‍යාගශීලීහු ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ සහ වෙනත් ශල්‍ය උපකරණ ලබා දීමට ඉදිරිපත් වූහ. 

ඖෂධ බෙදාහැරීමේ ක්‍රියාවලියට එල්ල වී ඇති බාධා

ඒ ආකාරයට ඖෂධ හිඟය යම්තාක් දුරකට පහ ව ගොස් තිබුණත්, පවතින ඉන්ධන හිඟය හේතුවෙන් රෝහල්වලට ඖෂධ ප්‍රවාහනය කිරීමේ දී මතු වී ඇති ගැටලු හේතුවෙන් සමහර රෝහල්වල යම් යම් ඖෂධ නොමැති බව වාර්තා වේ. විශේෂයෙන් ම, මේ වන විට සමහර ඖෂධ සහ ශල්‍ය උපකරණ කොළඹ පිහිටි වෛද්‍ය සැපයීම් අංශයේ තිබෙන නමුත් යම් යම් රෝහල්වල ඒවායේ හිඟයක් ඇතිව තිබේ. පවතින ඉන්ධන හිඟය හේතුවෙන් රෝහල්වලට එම ඖෂධ ප්‍රවාහනය කිරීමේ ගැටලුවට කොළඹ පිහිටි වෛද්‍ය සැපයීම් අංශය මේ වන විට මුහුණ දී සිටියි.

පවතින වාතාවරණය තුළ රෝහල්වල හිඟ බවට වාර්තා වූ ඖෂධ – dailymirror.lk

 

උදාහරණයක් ලෙස වකුගඩු රෝගීන්ට ලබා දෙන අත්‍යවශ්‍ය ඖෂධයක ප්‍රමාණවත් තොග වෛද්‍ය සැපයීම් අංශයේ තිබෙන නමුත් වකුගඩු රෝගවලින් පෙළෙන විශාල පිරිසක් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඒවායේ හිඟයක් පවතින බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ නියෝජිතයෙක් පසුගියදා සඳහන් කර තිබිණි. ඊට අමතරව ගර්භනී මව්වරුන්ට ප්‍රසූත වේදනාව අවම කිරීම සඳහා ලබා දෙන ඖෂධයක් ද අනුරාධපුර ශික්ෂණ රෝහලේ නොමැති නමුත්, එම ඖෂධයේ ප්‍රමාණවත් තොග වෛද්‍ය සැපයීම් අංශයේ තිබෙන බව ද වාර්තා විය.

වාර්තා වන ආකාරයට රෝහල්වලට වෛද්‍ය සැපයුම් අංශයට අයත් වාහන මගින් ඖෂධ බෙදාහැරීමේ ක්‍රියාවලියට ඉන්ධන හිඟය හේතුවෙන් බාධා එල්ල වී ඇත.  ප්‍රධාන පෙලේ රෝහල් සාමාන්‍යයෙන් එම රෝහල් සතු වාහන කොළඹට එවා අවශ්‍ය ඖෂධ ගෙන්වා ගත්ත ද, මේ වන විට පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ඊට ද බාධා ඇති වී තිබේ. විශේෂයෙන් u දුර බැහැර ප්‍රදේශවල පිහිටි රෝහල්වල මේ තත්ත්වය හේතුවෙන් සමහර ඖෂධ සහ ශල්‍ය උපකරණ වැනි දෑ හිඟයක් පවතින බවත් වාර්තා වේ. 

කවරයේ ඡායාරූපය- ඖෂධ සැපයීම් අංශයේ ඇති ඖෂධ රෝහල්වලට බෙදාහැරීමේ ක්‍රියාවලියට පවතින ඉන්ධන අර්බුදය හමුවේ බලපෑම් එල්ල වී ඇත-  www.msd.gov.lk

මූලාශ්‍ර:

www.themorning.lk

www.dailymirror.lk

www.sundaytimes.lk

www.msd.gov.lk

 www.auditorgeneral.gov.lk 

 www.silumina.lk

 www.newsfirst.lk

Related Articles