සුලබව හමුවන මානසික සහ පෞරුෂත්ව ආබාධයන් පිළිබඳව ලිපි පෙලක් ඔබ වෙත ගෙන එන්නට Roar තීරණය කළ බව සඳහන් කළානේ. ඒ ලිපි පෙළේ පළමු ලිපිය ලෙස සීමාසන්න පෞරුෂත්ව ආබාධය පිළිබඳ ලිපියක් මින් සතියකට පමණ පෙර පලකෙරුණා. මේ එම ලිපි පෙළේ දෙවැන්න යි.
අද සමාජයෙ බොහොම දෙනෙක් පොඩි ප්‍රශ්නයක් ඇතිවුණු ගමන් “මට හරිම ඩිප්‍රෙස්ඩ් වගෙ” කියන්න පුරුදුවෙලා තියෙනවා. නමුත් විෂාදය, එහෙමත් නැත්නම් Depression, කියන්නෙ ඒ විදියට සුළුවෙන් තකන්න හෝ, සැහැල්ලුවෙන් සඳහන් කළ යුතු තත්ත්වයක් නෙවෙයි. විෂාදය කෙතරම් බරපතල ද කිව්වොත්, 2030 වසර වෙද්දී ලොව බහුලවම පැතිරුණු රෝගය බවට පත්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමාන කරනවා. එම සංවිධානයේ ගණන් බැලීම් වලට අනුව 2015 දී ලංකාවෙන් වාර්තා වුණු විෂාදය රෝගීන් ප්‍රමාණය 802 321ක්! වාර්තා නොවුණු ප්‍රමාණය ඇතැම්විට ඊටත් බොහොම වැඩි ඇති. දළ වශයෙන් ලංකාවෙ පුරවැසියන් 20කින් 1කට විෂාදය වැළඳී තිබෙනවා. ඔබ හෝ ඔබේ සමීපතමයෙකුත් ඒ අතරදැයි සැක නම්, මේ ලිපිය ඔබට යි.
මොකද්ද මේ විෂාදය?
පොදුවේ “විෂාදය” නමින් හැඳින්වූවාට, විෂාද-ආබාධයන් කීපයක්ම තිබෙනවා. නමුත් මේ සියලුම ආබාධයන්ට පොදු ලක්ෂණ බොහොම යි. මේවා එකිනෙකින් වෙනස්වන්නේ රෝග නිර්ණයට අදාළ කාලසීමාව, බලපැවැත්වෙන කාලය, සහ රෝග නිධානය අතින්. කොහොම නමුත්, විෂාද රෝගයන් සියල්ලම යම් පොදු ලක්ෂණයන් දරනවා. එනිසා මෙතැන් පටන් මේ ලිපියෙන් සාකච්ඡා වන්නේ ඒ ගැන යි.
ඔබ හෝ ඔබේ සමීපතමයෙකු සති දෙකකට වඩා කාලයක් බලපැවැත්වෙන ශෝකය, කාංසාව, හිස්බව වැනි මානසික ලක්ෂණ, විවිධ වේදනා සහ ශාරීරික රෝග ලක්ෂණ සහ, කෙඩෙත්තුව, නින්දේ සහ ආහාර රුචියේ වෙනස්වීම් වැනි හැසිරීම් ලක්ෂණත් පෙන්නුම් කරනවා නම්, විෂාදය ගැන තව දුරටත් කියවා දැනුවත් වීම නුවණට හුරු යි.
“ඩිප්‍රෙස්ඩ්” ද?
විෂාදය කියන්නෙ බහුල මෙන්ම, ඕනෑම කෙනෙකුට වැළඳිය හැකි නමුත් බරපතල මානසික ආබාධයක්. මෙය වැළඳුනහොත් යමෙකු සිතන පතන ආකාරයට, හැඟීම් වලට, ගෙදරදොර සහ රැකියාවේ වැඩ කටයුතුවලටත් දරුණු ලෙස බලපාන ආකාරයේ රෝග ලක්ෂණ ඇතිවිය හැකියි. විෂාදය වැළඳී ඇති බවට තහවුරු කරගැනීමට නම්, එයට අදාල රෝග ලක්ෂණ වලින් 5ක් හෝ වැඩි ගණනක්, අඩුම තරමින් සති දෙකක් පුරාවටවත් පෙන්නුම් කළ යුතු වෙනවා.
විෂාදය වැළඳුණු විට ඇතිවන ප්‍රධානම රෝග ලක්ෂණයක් සිතේ දුක. මෙය බොහෝවිට දිනපතා, දවස පුරා නිරීක්ෂණය කළ හැකියි. ඇතැම්විට අදාල තැනැත්තාම තමන්ට දුකක්, හිස්බවක්, හෝ තමන් පලක් නැති අයෙකු සේ හැඟෙන වග කියන්නට පුළුවන්. එසේ නැති අවස්ථාවන්වලත් ඔවුන් දුක් හෝ නොරුස්නාසුළු ස්වභාවයකින් සිටිනු අනෙකුන්ට නිරීක්ෂණය කරන්නට හැකියි.
මේ රෝගයේ තවත් ප්‍රධාන ලක්ෂණයක් විදියට, මින් පෙර ඔවුන් විසින් සතුටෙන් සිදුකළ කටයුතු දැන් දැන් එතරම් සතුටක් ගෙන දෙන්නේ නැති බව ඔවුනට හැඟෙන්නට පුළුවන්. උදාහරණයක් විදියට පොත් කියවීම, හෝ යම් සංගීත භාණ්ඩයක් වාදනය කිරීම පුරුද්දක් ලෙස කළ අයෙකු එය තවදුරටත් සිදුකිරීම නවතාදමන්නට පුළුවන්.
ඒ වගේම තමන් පලකට නැති බව, කිසිවෙකුට තමාගෙන් ප්‍රයෝජනයක් නැති බව, තමන් අනුනට බරක් බව හැඟීම, සහ ඒ හැඟීම් නිසා ඇතිවන අසාමාන්‍ය ආකාරයේ වරදකාරී හැඟීමත් විෂාදය සහිත පුද්ගලයින්ට සාමාන්‍ය යි. එසේම නිර්මාණශීලී හැකියාවන්ගේ මොටවීම, යමකට අවධානය යොමුකිරීමේ හැකියාව අඩු වීම, සහ තීරණ ගැනීමේ අපහසුවත් විෂාද රෝග ලක්ෂණයන් වනවා. මේ නිසා රෝගය වැළඳුණු තැනැත්තාගේ ගෙදරදොර ජීවිතයට පමණක් නොවෙයි, රැකියාවේ කාර්යයසාධනයට ද බොහෝ සේ හානි පැමිණිය හැකියි.
කනවා වැඩි ද? නින්ද අඩු ද?
විෂාදය වැළඳුනු විට ආහාර රටාවේ නොයෙක් වෙනස්කම් ඇතිවන්නට පුළුවන්. ප්‍රසිද්ධ මතය තමයි විෂාදය වැළඳුනාම කෑම-බීම අඩු කරන බව. හැබැයි මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වෙනවා. කෙනෙකුගේ ආහාර රුචිය ඉහළ යද්දී, තවෙකෙකුගේ ආහාර රුචිය පහත වැටෙන්නට පුළුවන්. සැළකිය යුතු තරමින් ශරීර බර වැඩිවීම හෝ අඩුවීම (මසක් තුළ බරෙන් 5%කට වඩා) සුලබ යි.
නවකතාවල එහෙම විෂාදය ගැන කතාකරද්දි, “ඩිප්‍රෙස්ඩ්” කෙනා දවස පුරා නිදාගන්නා බව කියනවනේ. නමුත් මේකත් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වෙනවා. සමහරෙක් දවස පුරා නිදාගනිද්දි, සමහරෙක් අසාමාන්‍ය ලෙස දිගු වේලාවක් නොනිදා සිටීම, කඩින් කඩ නින්දෙන් අවදිවීම දකින්න පුළුවන්. අහේතුකව කෙඩෙත්තුවක් දැනීමත් බහුලව දක්නට ලැබෙන තත්ත්වයක්.
සියදිවි නසාගැනීමේ අවදානම
විෂාද-රෝගයන් බරපතල ලෙස සළකන්නට එක් හේතුවක් මේ. විෂාදය වැළඳුනු තැනැත්තෙකුට නිරන්තරයෙන් සියදිවි නසාගැනීමේ සිතිවිලි පහළවෙන්න පුළුවන්. සියදිවි නසාගැනීමේ සැලැස්මක් ඇතිව හෝ නැතිව මේ සිතිවිලි පහළවෙනවා. සියදිවි නසාගැනීමට උත්සාහ කිරීම වගේම ඒවා සාර්ථකවීමත් විරල නැහැ. පසුගිය කාලයේ වාර්තා වුණු, තරුණ තරුණියන් සියදිවි නසාගැනීමේ රැල්ල ඔබට මතක ඇති නේ?
විෂාදයේ ප්‍රධානම ලක්ෂණයන් මේවා වුණාට, පැහැදිලි සෞඛ්‍යමය හේතුවක් නොමැතිව ඇතිවෙන ශාරීරික වේදනා සහ ආබාධයන් ඇතුළු තව තව ලක්ෂණයන් බොහොමයක් තිබෙනවා.
කොච්චර පැතිරිලා ද?
විෂාදය ජනගහනයෙන් 4.1% – 7% දක්වා පිරිසකට වැළඳී තිබිය හැකි යි. ඇතැම් පර්යේෂණ වාර්තාවන් එය 11.2%ක් තරම් ඉහළ බව පවසනවා. මෙය බොහෝවිට OCD, හෝ සීමාසන්න පෞරුෂත්ව ආබාධය වැනි වෙනත් මානසික හෝ පෞරුෂත්ව ආබාධයක් ද සමඟ ඇතිවන අතර, එවන් ආබාධයක් ඇති තැනැත්තන් අතරින් අඩකටත් වැඩි සංඛ්‍යාවකට මෙය වැළඳී තිබිය හැකියි.
දළ වශයෙන්, කාංසා රෝග ඇති අයගෙන් 50%කට පමණත්, OCD ඇත්තන්ගෙන් 66%කට පමණත්, සීමාසන්න පෞරුෂත්ව රෝගය ඇත්තන්ගෙන් 10 – 30% අතර ප්‍රමාණයකටත් විෂාදය වැළඳී තිබිය හැකියි.
එසේම මත්පැනට ඇබ්බැහිව සිටින/ අධික ලෙස මත්පැන් පානය කරන පිරිසකින් 30%කටම වාගේත්, යම් පෞරුෂත්ව ආබාධයන් වැළඳී ඇති පිරිසකින් 50% – 85% අතර පිරිසකටත් විෂාදය වැළඳී තිබිය හැකියි.
අවදානමේ සිටින්නේ කවුද?
නියුරෝසික හැසිරීම් සහිත තැනැත්තන් විෂාදය වැළඳීමේ අවදානමක සිටින්නන් අතරින් මුල් තැනක් ගන්නවා. මොවුන්ගේ ගති ලක්ෂණ නිසා, තමන්ට මුහුණදීමට සිදුවන පීඩාකාරී අවස්ථාවන් වල දී විෂාදය වැළඳෙන්නට පුළුවන්.
පීඩාකාරී ළමා කාලයක් හෝ ජීවන පරිසරයක් තිබීම වගේම, වගේම ළඟම ඥාතියෙකුට විෂාදය වැළඳී තිබීමත්, විෂාදය වැළඳීමේ අවදානමට ඉහළ නංවනවා. විෂාදය ජානමය වශයෙන් වැළඳිය හැකියි. යමෙකුට විෂාදය සහිත ළඟම ඥාතියෙකු සිටින්නේ නම්, ඔහුට එය වැළඳීමේ 40%ක සම්භාවිතාවක් තිබෙනවා.
විෂාදය මුල් කාලයේම හඳුනාගතහොත් මනෝවිද්‍යා උපදේශනය මඟින් සුවකර ගැනීමට ඉඩකඩ තිබෙනවා. නමුත් රෝග තත්ත්වය බරපතල නම්, මනෝවිද්‍යා උපදේශනය පමණක් නොව ඖෂධ ප්‍රතිකාර ද ලබාදීම මගින් රෝගය පාලනය කළ හැකියි.
ඔබේ සමීපතමයෙකු විෂාද රෝගයේ ලක්ෂණ පෙන්වනවා නම්, “ඒ එයාගෙ හැටි” කියලා තත්ත්වය නොසලකා හරින්නට එපා. හැකි ඉක්මනින් නිවැරදි ප්‍රතිකාර ලබාදීමෙන්, සහ ඔහු ගැන නිරන්තර අවධානයෙන් පසුවීමෙන් එම තැනැත්තාගේ දිවියට විය හැකි හානි සහ අනතුරු අවම කරගැනීමට හැකියි.
මේ ලිපිය කියවන ඔබට මේ රෝග ලක්ෂණයන් තිබේ යැයි හැඟෙනවා නම්, ඔබේ මිතුරෙකු හෝ විශ්වාසවන්ත අයෙකුට ඒ බව කියන්න. උදව් ඉල්ලන්න.
නිසි ප්‍රතිකාර ලබා නොගෙන භාවනා කිරීම, කෙම් ක්‍රමයන්ට යොමුවීම, තත්ත්වය නොසලකාහැරීම, හෝ ලබාදුන් ඖෂධ අවභාවිතාව නිසා විෂාදය තවත් දරුණු වී, ජීවිත හානි පවා සිදුවිය හැකියි.
ඔබ හඳුනන කිසිවෙකුත් මේ ලක්ෂණයන් පෙන්නුම් කරනවා ද?
මූලාශ්‍රයයන්:
The Diagnostic and Statistical Manual of Mental Disorders, Fifth Edition
nimh.nih.gov
World Health Organization
ips.lk
“The Comorbidity of Major Depression and Anxiety Disorders: Recognition and Management in Primary Care” by Robert M. A., Hirschfeld, M.D.
“Comorbidity of Depression and Other Diseases” by Masaru Mimura
Cover Image: Matt Sesow – sesow.com