සියවස් ගණනාවක් මුළුල්ලේ මිනිසාට ළං විය නොහැකි මානයක රැඳෙමින් රහස් ගොන්නක් සඟවා ගෙන සිටි මහ සයුර, මුහුදු සර්පයින් සහ දියකිඳුරියන් වැනි මායාකාරී සතුන් රැසකට නවාතැන් සැපයූ බව යි පුරාණ මිනිසුන්ගේ විශ්වාසය වුණේ. ජනප්‍රවාදයේ සඳහන් වන ආකාරයට අඩක් මනුෂ්‍යයෙකුගේ සහ අඩක් මත්ස්‍යයෙකුගේ ස්වරූපය ගන්නා දියකිඳුරියන්, කාලාන්තරයක් තිස්සේ මිනිස් පරිකල්පනය තමන්ගේ ග්‍රහණයට නතු කරගෙන සිටි බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි.
කඟවේණුන් සහ මකරුන් සමග මිථ්‍යා ලෝකයේ වැජඹෙන රූමත් දියකිඳුරියන්, ගෙවී ගිය සියවසේ දී වඩාත් ජනප්‍රිය වුණේ හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් විසින් රචිත ‘පුංචි දියකිඳුරිය’ නම් සුරංගනා කථාන්තරය හේතුවෙන්. මෙසේ කාටත් හුරුපුරුදු රුවක් වන ‘දියකිඳුරිය’ පුරාවෘත්තයන් අතරට එක් වූ ආකාරය ද සිත් වසඟ කරවන සුළු යි. හදිසියේ ම මිනිස් මනසෙන් මතු නොවූ ඔවුන් එකිනෙකට වෙනස් මුල්කාලීන ප්‍රභවයන් රාශියක් ඔස්සේ ක්‍රමයෙන් වර්ධනය වුණා. මේ ලිපිය ඈත අතීතයේ පටන් ජනශ්‍රැතීන් ගෙත්තම් කිරීම සඳහා නොමඳ දායකත්වයක් ලබා දුන් දියකිඳුරියන් ගැන යි.
සංස්කෘතීන් රැසක් මැදින් දිග හැරුණු පුරාවෘත්තය
මුල්වරට දියකිඳුරියක් ගැන තොරතුරු වාර්තා වන්නේ ක්‍රි. පූ. 1,000 දී පමණ පුරාණ ඇසිරියාවෙන්. ඇසිරියානු රැජිනක් වූ සර්මිරාමිස්ගේ මව වූ ආටාගේටිස් දෙවඟන අතින් අනපේක්ෂිත ලෙස ඇගේ ආදරවන්තයා වූ මනුෂ්‍යය ගොපල්ලෙකුව මරණයට පත්වෙනවා. එයින් බලවත් ලෙස ලැජ්ජාවට පත් වූ ඇය මත්ස්‍යයෙකුගේ වෙස් ගැනීම සඳහා විලකට පනින ලද බව යි ජනශ්‍රැතියේ සඳහන් වන්නේ. නමුත් විල් ජලයට ඇගේ දිව්‍යමය සුන්දරත්වය සඟවා ගැනීමට නොහැකි වූ බැවින් ඇය දියකිඳුරියකගේ ස්වරූපය රැගෙන තිබෙනවා.
ග්‍රීක පුරාවෘත්තයන්හි සඳහන් වන්නේ මහා ඇලෙක්සාන්ඩර් අධිරාජ්‍යයාගේ සොයුරිය වූ තෙසලෝනිකා, ඇගේ මරණයෙන් පසුව දියකිඳුරියක් බවට පත්ව ඊජියන් මුහුදේ වාසය කරන බව යි. ඒ ඔස්සේ ගමන් ගන්නා සෑම නෞකාවක්ම නතර කරන ඇය එහි සිටින නාවිකයන් වෙත ‘ඇලෙක්සාන්ඩර් අධිරාජ්‍යයා තවමත් වාසය කරනවා ද?’ යන පැනය යොමු කරන අතර, ඊට ‘ඔහු තවමත් ජීවත් වෙමින් මුළු ලෝකයම පාලනය කරනවා’ යන නිවැරදි පිළිතුර ලබා දිය යුතු වෙනවා. එසේ නිවැරදි පිළිතුර ලබාදෙන නාවිකයන්ට නිදහසේ ඊජියන් මුහුද තරණය කිරීමට අවස්ථාව හිමි වන අතර, වැරදි පිළිතුර ලබා දී තෙසලෝනිකාව කෝප ගන්වන නාවිකයන්ට දරුණු කුණාටුවක් හේතුවෙන් ඔවුන්ගේ නෞකාව මෙන්ම ජීවිත ද අහිමි වන බව යි සඳහන් වන්නේ.
අරාබි නිසොල්ලාසයේ සඳහන් වන පරිදි සඳ වැනි මුහුණක් සහ මනුෂ්‍ය යුවතියකගේ වැනි කෙස් වැටියක් හිමි දියකිඳුරියන්ගේ දෑත්, දෙපා, සහ නාභියෙන් පහළ ශරීරය සමාන වන්නේ මත්ස්‍යයෙකුට යි. වේල්සයේ සහ ස්කොට්ලන්ත වැසියන්ගේ පුරාවෘත්තයන්ට අනුව දියකිඳුරියන් බොහෝ විට මනුෂ්‍යයින් සමග විවාහ දිවියට එළැඹෙනවා. ඔවුන් වැඩි දුරටත් විශ්වාස කරන්නේ දියේ වාසය කරන අතිශය රූමත් දියකිඳුරියන්ගේ දෙමුහුම් ස්වරූපය තාවකාලික වන අතර ගොඩබිමට පැමිණීමෙන් පසුව ඔවුන් සම්පූර්ණයෙන්ම මනුෂ්‍යයන් බවට පත් වන බව යි.
දියකිඳුරියන් කොතරම් රූමත් වුව ද ඔවුන් අවාසනාව සහ මරණය රැගෙන එන බව යි බොහෝ ජනශ්‍රැතීන්හි සඳහන් වන්නේ. මංමුලා වූ නාවිකයන් වෙනුවෙන් ගී ගයා ඔවුන්ව තමන් වෙතට ආකර්ෂණය කර ගන්නා දියකිඳුරියන්, ඔවුන්ගේ නෞකා පර්වත පිරුණු නොගැඹුරු මුහුදු කරා මෙහෙයවමින් ඒවා විනාශ කර දැමීමට කටයුතු කරන බව වාර්තා වෙනවා.
දේවත්වයෙන් අදහන දියකිඳුරන්
දියකිඳුරියන් තරම් ජනප්‍රිය නොවුණ ද දියකිඳුරන් වටා ගොතන ලද මිථ්‍යා කථාන්තර ද පවතිනවා. ඒවා බොහෝමයක් පදනම් වී ඇත්තේ පුරාණ දේව කථාන්තර මත යි. ඒ අතරින් වඩාත් ජනප්‍රිය චරිතයක් ලෙස මහ සයුරේ පණිවිඩකරුවා ලෙස කටයුතු කරන ‘ට්‍රයිටන්’ නම් ග්‍රීක දෙවිඳුන් හැඳින්වීමේ වරදක් නැහැ. මුහුදට අධිපති දෙවිඳුන් සහ දෙවඟන වන පොසයිඩන් සහ ඇම්ෆට්‍රයිටීගේ පුතු වන ඔහුව නිරන්තරයෙන්ම නිරූපණය කර ඇත්තේ අලංකාර මුහුදු නිල් පැහැ වලිගයක් සහ වරල් හිමි කඩවසම් තරුණයෙකු ලෙස යි. ත්‍රිශූලයක් සුරතේ දරාගෙන සිටින ට්‍රයිටන්ගේ උරහිස් ආවරණය වී ඇත්තේ මුහුදු කවචවලින්.
නමුත් අයර්ලන්ත මිථ්‍යා සාහිත්‍යයේ දියකිඳුරන් විස්තර කර ඇත්තේ අඳුරු කොළ පැහැ හිසකෙස්, දත් සහ සමක් ද, සිහින් දෑස් යුගලක් ද, රතු පැහැ නාසයක් ද, හිමි අවලස්සන සත්ත්ව කොට්ඨාසයක් ලෙස යි. එසේම අයර්ලන්ත වැසියන්ගේ විශ්වාසය අනුව දරුණු කුණාටු ඇති කිරීමේ සහ නෞකා ගිල්වා දැමීමේ වගකීම පැවරෙන්නේ දියකිඳුරන් වෙත යි.
සත්‍ය වශයෙන් ම දියකිඳුරියන් සිටිනවා ද?
දියකිඳුරියන් සත්‍ය වශයෙන්ම සිටින බව තහවුරු කිරීම සඳහා සාක්ෂි සොයා යෑම ඇරඹී ඇත්තේ මධ්‍යතන යුගය තරම් ඈත කාලයේ සිට යි. 1600 දී පමණ වේල්ලක් ඔස්සේ දියකිඳුරියක් ඕලන්දයට ඇතුළු වූ බව ද, තුවාල ලබා සිටි ඇය සුවපත් වීමෙන් පසුව දිගටම ඕලන්දයේ වාසය කළ බව ද ඉතිහාසයේ සඳහන් වෙනවා. එසේම 1614 දී කපිතාන් ජෝන් ස්මිත් වාර්තා කර ඇත්තේ කොළ පැහැ දිගු කෙස් වැටියක් සහ අලංකාර දෑස් හිමි දියකිඳුරියක් කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ත වෙරළට පැමිණ සිටි බව යි.
19 වැනි සියවසේ දී සර්කස් කණ්ඩායම් බොහෝමයක් දියකිඳුරියන් තමන්ගේ ප්‍රදර්ශන අතරට එක් කර ගැනීමට නොමඳ උත්සාහයක් දරා තිබෙනවා. එසේම මෑත කාලීනව පවා දියකිඳුරියන් හමු වී අැති බවට විවිධ මාධ්‍ය ඔස්සේ තොරතුරු පළ වුව ද මේ වනතුරු දියකිඳුරියන් සත්‍ය වශයෙන්ම වාසය කරන බවට මොනම ආකාරයේ හෝ විද්‍යාත්මක සාක්ෂියක් සොයාගෙන නොමැති බව යි විද්‍යාඥයින් සඳහන් කරන්නේ.
කවරයේ පින්තූරය : © Alsares / DeviantArt