රෙදි නිෂ්පාදනයට යොදාගන්නා කෙඳි

ඈත අතීතයේ දී මිනිසා තම ශරීරය ආවරණය කරගත්තේ කොළ අතු භාවිත කරමින්. දඩයම් යුගයේ දී මිනිසා විසින් සතුන්ගේ හම් යොදාගෙන ඇදුම් නිර්මාණය කරන්නට පටන් ගත් අතර ඉන්පසු ක්‍රමක්‍රමයෙන් ඔවුන් නූල්වලින් රෙදි විවීමට පටන් ගත්තා. ඉන්දු-නිම්න ශිෂ්ටාචාරය තුළ දී ද කපු වගා කර එයින් කපු රෙදි නිපදවූ බවට සාක්ෂ්‍ය තිබෙනවා. මෙසේ නිපදවාගන්නා කෙදි ශාකවලින් (කපු, පොල් කෙඳි, ලිනන්, අන්නාසි කෙඳි, හණ, හා නියඳ කෙඳි ආදී), සත්ත්වයන්ගෙන් (පටපණු කෝෂවලින් ලබාගන්නා සේද/ බැටළුවා, එළුවා, ඔටුවා වැනි සතුන්ගෙන් ලබාගන්නා ලෝම) සහ ඛනිජවලින් (රන් සහ රිදීවලින් කෙඳි, ඇස්බැස්ටෝස් කෙඳි, වීදුරු කෙඳි) ආදියෙන් ලබාගන්නවා. මීට අමතර ව ඇඳුම් නිර්මාණය කරගැනීම සඳහා කෘත්‍රිම ව නිපදවාගන්නා නයිලෝන් වැනි කෙඳි වර්ග ද තිබෙනවා. දැන් අපි මෙම කෙඳි වර්ග කිහිපයක් ගැන වෙන වෙන ම සොයා බලමු.

ලෝම

බැටළුවා, එළුවා, සහ ලාමා වැනි ලෝම වැවෙන සතුන්ගෙන් ලෝම කෙඳි ලබාගන්නා අතර ඒ අතරින් මැරිනෝ නමින් හඳුන්වන බැටළු වර්ගයෙන් ලබාගන්නා ලෝම ඉතා උසස් තත්ත්වයේ පවතිනවා. සීත දේශගුණයක් සහිත රටවල්වල ලෝමවලින් නිපදවනු ලැබූ ඇදුම් බහුල ව භාවිතා වෙනවා. සතුන්ගෙන් ලබාගන්නා මෙම කෙඳි එතරම් දිගු ඒවා නොවන නිසා කෙඳි කිහිපයක් එක්කර දිගු නූල් සාදාගත යුතු වෙනවා.

ලෝම කෙන්ඳක් ඉතා ශක්තිමත් වන අතර එයට ග්‍රෑම් 38ක පමණ ස්කන්ධයක් ඉසිලිය හැකියි. ජලය වැඩි ප්‍රමාණයක් උරාගන්නා අතර තෙතමනය සහිත කෙඳිවල ශක්තිමත් බව අඩු යි. දැඩි ගින්නකට හසු වූ විට පහසුවෙන් විනාශ නොවෙයි. අම්ල හෝ භෂ්ම මඟින් හානි පැමිණෙයි. ලෝම රෙදි ඝනකම් වන අතර රෙද්ද මතුපිට කෙඳි පිපී ඇත. ලෝමවලින් නිපදවූ ඇඳුම්, උෂ්ණත්වය රඳවා තබා ගැනීමේ ගුණයෙන් යුක්ත යි. මේ නිසා මෙම ඇදුම් මිලෙන් අධික යි.

බැටළුවන්ගෙන් ලෝම වෙන්කර ගන්නා ආකාරය (thefutonshop.com)

ලිනන්

හණ ගහෙන් ලබාගන්නා කෙඳිවලින් ලිනන් සාදා ගනියි. හණ ගස් එතරම් උසකට නොවැඩෙන අතර හණ ගස කපා, ජලයේ දමා, දින කිහිපයක් තැබූ පසු එයින් කෙඳි වෙන්කර ගත හැකියි. ලිනන් කෙඳි ශක්තිමත් වන අතර එය ලෝම තරම් ශක්තිමත් නැහැ. ලිනන් කෙන්ඳකට ග්‍රෑම් 6ක පමණ ස්කන්ධයක් ඉසිලිය හැකියි. මේවා ජලය හොඳින් උරා ගන්නා අතර තෙතමනය සහිත ලිනන් කෙඳිවල ශක්තිමත් බව පෙරට වඩා වැඩි යි. අම්ල හෝ භෂ්ම මඟින් ඒවා විනාශ වන අතර පහසුවෙන් පුස් බැඳෙනවා. ලිනන් රෙදි සිනිඳු යි. සේදූ විට හැකිලෙයි. ලිනන් රෙද්දෙන් නිම වූ ඇඳුමක් පැළඳූ විට ඇඟට සිසිල් බවක් දැනෙයි.

කපු

කපු පුළුන් ගසෙන් ලබාගන්නා ගෙඩිවල ඇති පුළුන් ගෙන, එය කෙන්දක් ආකාරයට සාදා කපු කෙඳි සාදා ගන්නවා. මේවා මෘදු වන අතර ඇදෙන සුළු නැහැ. කපු කෙඳිවල ඇඹරුම් ගතිය නිසා කෙඳි අග බොකුගැහෙනවා. ඉතා ඉක්මනින් ජලය උරා ගන්නා බැවින් වියළීම ප්‍රමාද යි. කපු කෙන්ඳකට ග්‍රෑම් 4 සිට 12 දක්වා ස්කන්ධයක් ඉසිලිය හැකියි. සාන්ද්‍ර අම්ල හමුවේ විනාශ වන නමුත්, භෂ්ම හමුවේ විනාශ වෙන්නේ නැහැ. කපු රෙදි සිනිඳු, සැහැල්ලු, හා සායම් උරා ගනියි. එමෙන්ම කපු රෙදිවල නූල් අතර හිඩැස් බවක් ද තිබෙනවා.

කපු පුළුන් ගසක් (wikipedia.org)

සේද

පටපණුවා උපයෝගී කරගෙනයි සේද නිර්මාණය කර ගන්නේ. පටපණුවාගේ හිසෙන් පිටකරන ද්‍රව්‍යයක් මඟින් තැනෙන පටපණු කෝෂ තම්බා නූල් වෙන්කර ගන්නවා. විවිධ වර්ගයේ සේද නිර්මාණය සඳහා වර්ණ ගන්වන ලද පටපණු නූල් භාවිතයට ගන්නා අතර, මේවා විශේෂ වන්නේ පටපණුවාගේ ම සුවිශේෂී නිර්මාණයක් නිසාවෙනුයි. බොම්බික්ස් මෝර් නැමැති විශේෂ පටපණු වර්ගයෙන් නිපදවන නූල් ඉතා උසස් සේද ලෙස හැඳින්වෙනවා.

සේදවල ශක්තිය අඩු යි. තරමක් ඇදෙන සුළු බවක් තිබෙනවා. තාපය හමුවේ විනාශ වන අතර තෙතමනය නිසා ශක්තිමත් බව තවත් අඩු වෙනවා. අම්ල භෂ්ම හා පුස්වලින් සේදවලට පහසුවෙන් හානි සිදුකරන්න පුළුවන්. සේද රෙදිවල සිදුරු දක්නට නැහැ. මේවා ඉතා සිනිඳු වන අතර පැළඳූ විට සැහැල්ලු යි. ජලය හොඳින් උරා ගත්ත ද, එයට තරමක වේලාවක් ගතවෙනවා. මෙම සේද බහුල ව යොදාගන්නේ සාරි නිපදවීමට වන අතර කාවන්ගෙන් ආරක්ෂා කරගත යුතු යි.

පටපණු කෝෂ තෝරන පවුලක් (kadulla.wordpress.com)

නියඳ

නියඳ කියන්නේ හණ වර්ගයක්. ශාක පත්‍ර දිගු වන අතර තද කොළ පැහැයෙන් යුක්ත වෙනවා. මේවා බහුල ව යොදාගන්නේ පැදුරු විවීමට යි. ඊට අමතර ව මේවායේ කෙඳි, නූල් කෙටීමට ද යොදාගන්නවා. අතීතයේ දී ලංකාවේ කුණ්ඩසාලේ, යටවත්ත, රත්තොට, හා ගම්මඩුව ආදී ප්‍රදේශවල නියඳ වගා කොට තිබෙනවා. ලංකාවේ නියඳ හණ වර්ග දෙජාතියක් තිබෙනවා. එකක් අල හණ වන අතර ඒවායින් වැඩිපුර කෙඳි ලබාගන්නවා. අනික කොළ හණ. හණ කර්මාන්තය සඳහා යොදාගන්නේ හොඳින් වැඩුණු හණ පත්‍ර පමණයි.

හණ පත්‍රයේ කෙඳි වෙන්කර ගැනීම සඳහා උපකරණ දෙකක් භාවිතා වෙනවා. නියඳ පෝරුව හා ගෑවිල්ල යනු ඒ උපකරණ දෙක යි. නියඳ පෝරුව කැන්ද හෝ තෙලඹු ලී කොටයකින් සාදා ගන්නා අතර එය අඩි 3ක් පමණ දිග, අඟල් හයක් පමණ පළල, අඟල් හතරක් පමණ උස ලී කොටයකි. ගෑවිල්ල තනන්නේ කිතුල් හෝ කැකුණ ලී කොටයකින්. එම ලී කොටයේ ඝනකම අඟල් දෙකක් පමණ වෙනවා. හණ පත්‍රය පෝරුව මත තබා එක් කොණකින් පයින් පාගාගෙන ගෑවිල්ලෙන් තදින් ඇතිල්ලීමෙන් හණ කෙඳි ලබා ගැනෙනවා. හණ පත්‍රයේ බාහිර ව ඇති කොළ පැහැති කොටස් ඉවත් වී, සුදු පැහැති හණ කෙඳි ලැබෙයි. ඉන්පසු ඒවා සෝදා වියළා ගනියි. වියළන ලද කෙඳිවලට පොල්තෙල් දමා, නියඳ කොස්ස නම් උපකරණයෙන් පීරා කෙඳිවල අවුල් හැර ගනියි.

නියඳ ශාකයක් (apeosupala.blogspot.com)

දැන් ඔබට මේ ලිපිය අපේ ස්මාර්ට් ඇප් එකෙන් පහසුවෙන් කියවන්න පුළුවන්.

 

මූලාශ්‍රයයන්:

  1. ජාතික ශිල්ප සභාව
  2. විජය පුවත්පත
  3. iagronomist.blogspot.com

කවරයේ පින්තූරය: පාකිස්ථානයේ කපු කටින කාන්තාවක් (wikipedia.org)

Related Articles

Exit mobile version