ලොව පවතින ඝණත්වයෙන් වැඩි ම ද්‍රව්‍යය කුමක්දැ යි යමෙකුගෙන් ඇසුවහොත් බොහෝ විට ලැබෙන පිළිතුර වන්නේ ‘දියමන්ති’ යන්න යි. දියමන්ති තැනී ඇති රසායනික මෙන්ම භෞතික ව්‍යුහය ඊට මෙම ගුණය ලබා දී තිබෙනවා. මෑතක් වන තුරු ම දියමන්තිවල ඝණත්වයට නිල වශයෙන් අභියෝග කරන ලද ද්‍රව්‍යයක් ස්වභාවික පරිසරයෙන් සොයාගන්නට කිසිවෙකුත් සමත් වූයේ නැහැ. කෙසේ නමුත්, පසුගිය දා ඊශ්‍රායලයේ පතලක් ආශ්‍රිත ව තිබී හමු වූ පාෂාණයක් දියමන්තිවලට වඩා ඝණත්වයෙන් වැඩි බව විද්‍යාඥයින් හඳුනාගෙන තිබෙනවා. මේ පාෂාණ වර්ගය මින් පෙර සෛද්ධාන්තික ව හඳුනාගෙන තිබුණත්, මේවා ඇති බවට විශ්වාස කෙරුණේ පෘථිවියෙන් පරිබාහිර අවකාශයේ පමණයි.
නව ඛනිජයක් සොයා ගැනේ
ඊශ්‍රායලයේ උතුරුදිග කඳුකර පෙදෙසක වූ පතලක් ආසන්නයේ තිබී පෙර නුදුටු ගණයේ ඛනිජයක් සොයා ගන්නට විද්‍යාඥයින් සමත් වී තිබෙනවා. මේත් සමග ම ලොව පුරා භූගර්භ විද්‍යාඥයින්ගේ අවධානය ඒ දෙසට යොමුවන්නට පටන්ගත්තා.
ඊශ්‍රායල ජාතික, කැනීම් සිදුකර ඛනිජ සම්පත් උකහා ගන්නා සමාගමක් වන ශෙෆා යමීම් සමාගමට අයත් පතලක වැඩෙහි නියුතු ව සිටි පිරිසකට මෙම ඛනිජය රැගත් පාෂාණය හමු වී තිබෙනවා. මෙය සොයාගත් ස්ථානය තිබෙන්නේ සෙවුලුන් නිම්නයේ, කාර්මේල් කන්ද ආශ්‍රිත ව යි. මෙහි වූ අසාමාන්‍ය ස්වභාවය නිසා ම වැඩිදුර පර්යේෂණ සිදුකෙරුණු අතර, එහි දී අනාවරණය වූයේ එය මින් පෙර පෘථිවියේ තිබී හමු වී නැති පාෂාණ වර්ගයක් බව යි.
නව පාෂාණයක් හෝ ඛනිජයක් සොයාගැනීම එතරම් අසාමාන්‍ය හෝ විශේෂිත දෙයක් නොවේ. අන්තර්ජාතික ඛනිජ විද්‍යා සංගමය නිතිපතා නව ඛනිජ ද්‍රව්‍ය හඳුනාගෙන, ඒවා නිල වශයෙන් සිය ලේඛනවලට ඇතුළත් කරගන්නා අතර, සාමාන්‍යයෙන් වාර්ෂික ව එලෙස ලියාපදිංචි කෙරෙන ඛනිජ ප්‍රමාණය 100ක් පමණ වෙනවා. කෙසේ නමුත්, උක්ත සොයාගැනීම සෑම අතින් ම විශේෂ වී තිබෙන්නේ මීට පෙර මේ ඛනිජයට හාත්පසින් ම සමාන ඛනිජයක් සොයාගෙන තිබීමත්, එය මීට පෙර හමු වී තිබෙන්නේ ‘පිට සක්වලින්’ පමණක් වීමත් නිසා යි.
විශේෂතා කිහිපයක්
මෙලෙස සොයා ගත් නව ඛනිජය ඉතා දැඩි ලෙස ඇලන්ඩයිට් නම් ඛනිජයට සමාන වෙනවා. මෙම ඇලන්ඩයිට් ඛනිජය ගවේෂණය කර තිබෙන්නේ එකම එක වතාවක දී වන අතර, ඒ 1969 වසරේ පෙබරවාරි මාසයේ දී පෘථිවියට කඩාවැටුණු ඇලන්ඩේ නම් ග්‍රාහකයේ තිබී පමණයි. මේ ඛනිජය ඉන්පසු හෝ ඉන් පෙර කිසිදු අවස්ථාවක පෘථිවියේ ස්වභාවික පරිසරයෙන් හමු වී නැහැ. මෙම නව ඛනිජය කාර්මෙල්ටසයිට් ලෙස නම් කර තිබෙනවා. ඒ එය සොයාගත් ස්ථානය සිහිවීම සඳහා යි. මෙම සංයුක්ත ඛනිජය ටයිටේනියම්, ඇළුමිණියම්, හා සර්කෝනියම් ඛනිජ ලවණවලින් සෑදී තිබෙනවා.
කාර්මෙල්ටසයිට් හි තවත් විශේෂයක් වන්නේ, මෙතෙක් අධ්‍යයනය කර ඇති එහි ගුණ අනුව එය ලොව භාවිතා කෙරෙන අනෙකුත් මැණික් වර්ගවල කුලකයේ බහා භාවිතා කළ හැකි වීම යි. නිතර අලුත් ඛනිජ වාර්තා වූවත්, මේ ගුණ දරන ඛනිජ හමුවන්නේ අතිශය කලාතුරකිනුයි.
මෙම නව ඛනිජය හමු වී තිබෙන්නේ සෆායර් වර්ගයේ පාෂාණයන්ගේ කඩතොළුවල රැඳී තිබිය දී යි. සෆායර් ස්වභාවික පරිසරයේ හමුවන පාෂාණවලින් දෙවනුවට දෘඪම පාෂාණය යි. කාර්මෙල්ටසයිට් සෆායර් හා රූබි යන මැණික් වර්ග දෙකෙහි ම ගුණ දක්වන අතර කළු, කළු-නිල්, කොළ-නිල්, හෝ තැඹිලි-දුඹුරු වර්ණවලින් හමුවෙනවා. මෙහි ලෝහමය දීප්තියක් ද පවතිනවා.
මේ ඛනිජයේ සුවිශේෂී ම ගුණය අනාවරණය වූයේ එහි දෘඪතාවය පරීක්ෂා කිරීමේ දී යි. එහි දී අනාවරණය වූයේ පැහැදිලිව ම එය දියමන්තිවලටත් වඩා දෘඪතාවයෙන් අධික බව යි. මේ හේතුවත්, එහි ඇති අතිශය දුර්ලභ බවත් මෙහි වටිනාකම ඉතා ඉහළ නංවා තිබෙනවා.
කාර්මෙල්ටසයිට්වල සම්භවය
ඊශ්‍රායලයේ සවුලුන් නිම්නය අනාදිමත් කාලයක පටන් යමහල් ක්‍රියාකාරීත්වයට ප්‍රසිද්ධියක් උසුලනවා. මේ අවට ප්‍රදේශයේ දැනට අක්‍රීය තත්ත්වයේ පවතින යමහල් විවර අවම වශයෙන් 14ක් වත් ඇති අතර, මේවා දීර්ඝ කාලයක් තිස්සේ විදාරණය වීමේ දී ඇති වන පාරිසරික තත්ත්වයන් නිසා කාර්මෙල්ටසයිට් වැනි ඛනිජ වර්ග සම්භවය වන්නට ඇතැ යි සැලකෙනවා. දැනට සොයාගෙන ඇති පරිදි කාර්මෙල්ටසයිට් සම්භවය වී ඇත්තේ භූමිය මතුපිට සිට සැතපුම් 18ක් පමණ ගැඹුරින් පෘථිවි කබොල එහි මැන්ටලය හමුවන සීමාවේ යි. අතිශය ඉහළ පීඩනය හා උෂ්ණත්වය නිසා උණු වූ පාෂාණ විපරීත වීම නිසා මේවා සම්භවය වන්නට ඇතැ යි සැලකෙනවා. ගිනිකඳු විදාරණය වීමේ දී ඉවතට පනින ලාවා වැනි ද්‍රව්‍ය සමග මේවා පොළොව මතුපිටට එන්නට ඇති බැව් අනුමාන කෙරෙනවා.
ඉදිරි කැණීම් කටයුතු හා වෙළඳපොළ
කාර්මෙල්ටසයිට් ඛනිජයේ විශේෂත්වය අනාවරණය වීමත් සමග එය සොයා ගත් සමාගම ප්‍රදේශයේ ආරක්ෂාව තරකොට යුහුසුලු ව එම ප්‍රදේශයේ කැණීම් ආරම්භ කොට තිබෙන්නේ, එම ඛනිජය වැඩි වැඩියෙන් සොයාගැනීමේ අභිප්‍රායෙනුයි. එහි දී ඔවුනට යම්තාක් දුරකට සාර්ථක ප්‍රතිඵල ලැබුණා. කෙසේ නමුත්, කාර්මෙල්ටසයිට් අතිශය දුර්ලභ බැව් ඉක්මනින්ම ඔවුනට හැඟී ගොස් තිබෙනවා. දැනට සොයාගෙන ඇති විශාලතම කාර්මෙල්ටසයිට් පාෂාණයේ බර කැරට් 33.3ක් පමණයි.
මෙම දුර්ලභ පාෂාණය එම සමාගම මඟින් ‘කාර්මේල් සෆායර්’ යනුවෙන් නම් කර ඇති අතර, අදාළ බලධාරීන්ගෙන් ඊට අවශ්‍ය අනුමැතිය ලැබී තිබෙනවා. ඔවුන්ගේ මීළඟ අභිප්‍රාය මේ පිළිබඳ ව ලෝකයා දැනුවත් කර මේවාට ළඟාවිය හැකි ඉහළ ම වෙළඳපොළ වටිනාකම ලබාගැනීම යි. තව ද, මේවා ‘මැණික් වර්ගයක්’ ලෙස වෙළඳපොළට හඳුන්වා දෙන්නටත් ඒවා යොදාගෙන ඉතා ම සුපිරි ගණයේ ආභරණ නිමැවීමටත් ශෙෆා යමීම් සමාගම පිඹුරුපත් සකස් කොට තිබෙනවා.
ශෙෆා යමීම් සමාගම හා ඊට අනුබද්ධ ආයතන දැනටමත් සිය නවතම සොයාගැනීමට ඉහළ වටිනාකමක් ලබා දීමේ ප්‍රචාරණ වැඩපිළිවෙල දියත්කොට තිබෙනවා. එහි කොටසක් ලෙස මේ ඛනිජය ‘පිටසක්වල පමණක් තිබූ’ ඛනිජයක් ලෙස සමාජගත කිරීම හඳුනාගත හැකියි. මේ හේතුව නිසා ඛනිජයකට මින් පෙර නොලැබුණු මට්ටමේ වටිනාකමක් මේ කාර්මෙල්ටසයිට් ඛනිජයකට කෙටි කාලීනව හෝ ලැබෙනු ඇතැ යි විද්වතුන් මත ඵල කරනවා.