පක්ෂීන් අතර තරමක් වෙනස් පක්ෂියකු ලෙස “මොනරා” හැඳින්විය හැකිය. විශේෂයෙන් ම වියළි කලාපීය ප්‍රදේශවල දැකිය හැකි මොනරා අනික් පක්ෂීන් සමඟ සසඳන විට විශේෂ වන්නේ ඔවුන් සතු අලංකාර පිල් කලඹ නිසා ය. තවත් විශේෂ කරුණක් වන්නේ ශ්‍රී ලාංකිකයන් භක්තියෙන් අදහන කතරගම දෙවියන්, එනම් කඳ සුරිඳුන්ගේ වාහනය ලෙස සැලකෙන්නේ ද මොනරා වීම යි. මෙම ලිපියෙන් අප ඔබට කියන්නේ මේ අපූරු පක්ෂියා පිළිබඳ බොහෝ දෙනකු නොදත් තතුයි.
ව්‍යාප්තිය සහ ගති ලක්ෂණ
ආසියාවේ බහුල ව දැකිය හැකි මොනර ප්‍රභේද ලෙස ඉන්දීය අර්ධද්වීපයේ දැකිය හැකි නිල් මොනරා හෙවත් ඉන්දියානු මොනරා සහ ගිනිකොන දිග ආසියානු රටවල දැකිය හැකි කොළ මොනරා හැඳින්විය හැකි ය. ඊට අමතර ව කොංගෝ නිම්නය ආශ්‍රිතව දැකිය හැකි කොංගෝ මොනරා අප්‍රිකානු මොනර ප්‍රභේදයක් ලෙස හඳුන්වයි. මෙම ප්‍රභේදයන්ගෙන් නිල් මොනරා හෙවත් ඉන්දියානු මොනරා ශ්‍රී ලංකාවේ හම්බන්තොට, මොනරාගල, තණමල්විල, අනුරාධපුර සහ පොළොන්නරුව වැනි වියළි කලාපීය ප්‍රදේශවල දැකිය හැකි ය.
පිල් කලඹ
මොනරා අනික් පක්ෂීන්ගෙන් විශේෂ වීම සඳහා හේතු වී ඇති ප්‍රධානම දේ ලෙස අලංකාර පිල් කලඹ හැඳින්විය හැකිය. දිගැති පිල් ගණනාවකින් සමන්විත වන එය ඉතාමත් වර්ණවත් ය. ඉහත ප්‍රභේද දෙකට ම අයත් පිරිමි පක්ෂීන්, ගැහැනු පක්ෂීන්ට වඩා ප්‍රමාණයෙන් විශාල වන අතර ඊට එක් හේතුවක් ලෙස පිරිමි පක්ෂීන් සතු දිගු පිල් කලඹ හැඳින්විය හැකි ය. මොනරාගේ පිල් කලඹ ඉතා හොඳින් දැකගත හැකි වන්නේ මොනරා එය විහිදා ගෙන සිටින අවස්ථාවල දී වන අතර ඇසකට සමාන හැඩයකින් යුතු සලකුණු පිහාටුවල දැකිය හැක.
ඉහත කී මොනර ප්‍රභේද අතරින් නිල් මොනරා සතු ව නිල් සහ කොළ පැහැති අලංකාර පිල් කලඹක් දැකිය හැකි අතර කොළ මොනරාගේ පිල් කලඹ සමන්විත වන්නේ දීප්තිමත් කොළ, නිල් සහ තරමක් රන්වන් පැහැති පිල්වලිනි.
නිල් මොනර විශේෂයට අයත් ගැහැනු පක්ෂීන් සතු ව තද අළු, දුඹුරු සහ කොළ පැහැති පිල්වලින් සමන්විත කුඩා පිල් කලඹක් තිබෙන අතර ඔවුන් ද යම් අනතුරක් දුටු වහාම කුඩා පක්ෂීන්ට අනතුරු අඟවනු පිණිස එය විහිදයි. කොළ මොනර විශේෂයට අයත් සෙබඩ පිරිමි පක්ෂියාට බොහෝ සෙයින් සමාන වන නමුත් ඔවුන්ගේ පිල් පිරිමි පක්ෂියාගේ පිල්වලට වඩා බොහෝ කෙටි ය.
කොංගෝ විශේෂයට අයත් මොනරා සිය පිල් කලඹ ප්‍රදර්ශනය කිරීමක් නොකරන අතර එම විශේෂයට අයත් මොනරාගේ පිල් කලඹ ඉතාමත් කෙටි එකකි.
සියලු ම ප්‍රභේදයන්ට අයත් මොනරාගේ සහ ගැහැනු පක්ෂියා (සෙබඩ) ගේ දැකිය හැකි පොදු ලක්ෂණයක් ලෙස ඔවුන්ගේ හිස මත පිහිටා තිබෙන ඔටුන්නක් වැනි පිහාටු කිහිපය හැඳින්විය හැකි ය.
වාසස්ථාන සහ ආහාර
සාමාන්‍යයෙන් මොනරු විවෘත පහත්බිම් ආශ්‍රිත ලඳු කැළෑවල ජීවත් වන අතර රංචු ලෙස හෝ යුගළ ලෙස දිවා කාලයේදී ආහාර සොයා යෑම සිදු කරති. සත්ත්ව විද්‍යාවට අනුව සර්වභක්ෂකයින් බවට හඳුනාගෙන ඇති මොනරුන් ආහාරයට ගන්නේ කුඩා ක්ෂීරපායී සතුන් වර්ග, කෘමීන් වර්ග සහ මල්, පත්‍ර වැනි ශාක කොටස් ය.
ඊට අමතර ව සමහර උරගයින් ද මොනරුන් ආහාරයට ගන්නා අතර ධාන්‍ය පොතු, මල්පෙති ආදිය ද ප්‍රධාන වශයෙන් ආහාරයට ගනී. ගෘහාශ්‍රිත ව ඇති කරන මොනරුන් ඕට්ස්, ඉරිඟු, චීස්, බත් සහ බළලුන්ට ලබාදෙන ආහාර වැනි දේ ද ආහාරයට ගනී. දිවා කාලයේ ආහාර සොයායන මොනරුන් සහ සෙබඩ පක්ෂීහු රාත්‍රි කාලයේදී උස් ගස් මුදුන් වල රැඳී සිටිති.
සංස්කෘතිකමය වැදගත්කම
ක්‍රි.පූ 6 වන සියවසටත් පෙර සිට ම ආගමික හා සංස්කෘතික ලෙස සහසම්බන්ධ වූ සත්ත්වයකු ලෙස මොනරා හඳුනාගත හැකි අතර බුදුරජාණන් වහන්සේ ද පෙර එක් ආත්මයක දී රන්වන් මොනරකු ව උපත ලද බව මෝර ජාතකයේ දී දේශනා කළ සේක. ඒ අනුව යමින් ආරක්ෂාව පිණිස මෝර පිරිත ද දේශනා කළ අතර වර්තමාන බෞද්ධයන් අතර ආරක්ෂක පිරිත් සූත්‍රයක් වශයෙන් එම සූත්‍රය ප්‍රචලිත ය.
මොනරාගේ පිල් කලබ බර වැඩි හෙයින් ගමන ද ප්‍රමාද බවත් ගිහියා ද එසේ නිවන් මාර්ගය වැඩීමේ දී බාහිර බැඳීමවලින් යුතු නිසා ප්‍රමාද බව බුදුරජාණන් වහන්සේ මුනි සූත්‍රයේ දී දේශනා කළහ.
පෙර දවස ලංකාවේ දී මොනර මාංශය ආහාරයට ගත් බව සද්ධර්මාලංකාරයේ එන පූවපබ්බතවාසී තෙරුන්ගේ කථාවෙන් හෙළි වේ. අනුරාධපුර සමයේ විසූ රහතුන් වහන්සේ නමක් වන උන්වහන්සේට පෙර ආත්මයක දී කළ කුසලයක් හේතුවෙන් සැට අවුරුද්දක් ම දානය ලෙස ලැබී ඇත්තේ මොනර මස්, ගිතෙල් හා ඇල්හාලේ බත් ය. මෙයින් පෙනෙන්නේ මොනර මාංශ සුඛෝපභෝගී ආහාරයක් ලෙස සැලකුණු බවයි. එහෙත් දෙවියන් හා සම්බන්ධ කටයුතුවල දී මෙන් ම යාතුකර්ම, ගුරුකම් ආදී කටයුතුවලදී කිලි ආහාර යන ගණයට මොනර මාංශය අයත් වූ බව පෙනෙයි.
කැටයම් හා චිත්‍ර සඳහා ද මොනර රුව යොදා ගෙන ඇති අතර සාංචි කැටයම් අතර ද එය දැක ගත හැකි ය. මිහින්තලයේ කණ්ඨක චෛත්‍යයේ නිරෑපිත සත්ත්ව රූප අතර මොනර රුව ද ඇතුළත් වේ.
මොනරා සංස්කෘතිකමය වශයෙන් වැදගත් වන අවස්ථාවක් ලෙස කතරගම දෙවිඳුන්ගේ වාහනය ලෙසින් නිරූපණය කිරීම පෙන්වා දිය හැකිය. හින්දු දේව කතාවලට අනුව සුරාසුර යුද්ධයේ දී කතරගම දෙවියන් සූරපත්ම නැමැති අසුරයාට වේලායුදයෙන් පහර දී ඔහු මරණාසන්න වුයේ ය. එහි දී සූරපත්ම අසුරයා අභය දානය ඉල්ලා සිටි නිසා දෙපළු වූ ඔහුගේ ශරීරයේ එක් භාගයකින් කතරගම දෙවියන් ස්වකීය වාහනය වූ මොනරා මැවී ය. මේ නිසා කතරගම දෙවියන් සම්බන්ධ සියලු තැන්වලදි සංකේතයක් ලෙස මොනර රුව භාවිත කිරීම සිරිතක් ව පවතී. වර්තමානයේ පෙරහරවල දක්නට ලැබෙන මොණර නැටුම්වල ආරම්භය ද කතරගම පෙරහර ලෙස හඳුනාගත හැක.
මහායාන බුදු දහමේ මහා මයුරි නමින් බෝධිසත්වවරියක් පිළිබඳව ද සඳහන් වන අතර එහි කතා ප්‍රවෘත්තිවලට අනුව බුදුන් වහන්සේ (මහායානයට අනුව) තම මව ලෙස ඇය සැලකූ බව සඳහන් වේ. චීනය, ජපානය ආදී රටවල මහායාන විහාරස්ථානවල මෙම මහා මයුරි බෝධිසත්වවරියගේ ප්‍රතිමා තැන්පත් කොට සෞභාග්‍ය හා නිරෝගී බව පතා වන්දනා කරයි.
පාරිසරික වැදගත්කම හා මොනරාට ඇති අභියෝග
මොනරා පරිසර සමතුලිතතාව කෙරෙහි වැදගත් කාර්යයක් ඉටු කරන අතර විශේෂයෙන් සර්ප ගහණය පාලන කිරීම කෙරෙහි සැලකිය යුතු කර්තව්‍යයක් ඉටු කරයි. ජනශ්‍රැතියේ පවා සදහන් වන්නේ මොනරුන්ගේ හඬ ගෑමට සර්ප බිත්තර බිදී විනාශ වන බවයි.
වර්තමානය වන විට මොනර ගහණය ශීඝ්‍රයෙන් වැඩිවීම හේතුවෙන් ඔවුන් වැඩි වශයෙන් වාසය කළ වියළි කලාපීය වන ප්‍රදේශවලින් මිදී තෙත් කලාපීය ගම්මාන හා වගා බිම්වෙත යොමු වීම නිසා ගැටලු රාශියක් උද්ගතව ඇත. එක් අතකින් වී ආදී භෝග ආහාරයට ගැනීමෙන් කෘෂිකර්මාන්තයට හානි පැමිණවීම, මොනරුන්ගේ ශරීරයෙහි වෙසෙන පරපෝෂිතයන් මිනිස් වාසස්ථාන කරා පැමිණීම වැනි ගැටලු ද ඇති වී තිබේ. කෙසේ වෙතත් පාරිසරික සහ සංස්කෘතික වශයෙන් විශාල වැදගත්කමකින් යුතු මොනරා රැක ගැනීම අප සැමගේ වගකීමකි.