මිනී මස් බුදින්නන්ට වැලඳුණු අභිරහස් මස්තිෂ්ක රෝගය

විසිවන සියවසේ මුල් භාගය වන විට ලොව බොහෝ දෙනෙක් පැපුවා නිව්ගිනියාවේ වෙසෙන ගෝත්‍රික ජනයා ගැන දැන සිටියේ නැහැ. එම ගෝත්‍රික ජනයා ද සෙසු ලෝකයා සමඟ ගනුදෙනු නොපැවැත්වූ හුදෙකලා ජනකායක් වූ අතර, එම හේතුව නිසා ම තම තමන්ට අනන්‍ය වූ ඇවතුම් පැවතුම් දීර්ඝකාලීන ව පවත්වාගෙන ගොස් තිබුණා. කොටින් ම මේ සමහරක් ගෝත්‍රවල ජනයාගේ ජීවන විධික්‍රම පිළිබඳ, ඒ යාබද ව ජීවත් වූ අනෙකුත් ගෝත්‍රවල ස්වදේශික ජනයා පවා දැන උන්නේ නැහැ. මේ සමහරක් ගෝත්‍රවල එලෙස පවත්වාගෙන ගිය සම්ප්‍රදායයක් වූයේ මිනී මස් අනුභව කිරීම යි. මෙලෙස සිය ඥාතීන් ආහාරයට ගත් එහි වූ ෆොරේ නම් ගෝත්‍රිකයන්ට මෙම ක්‍රියා පිළිවෙත නිසා ‘කුරු’ නම් අරුම පුදුම මෙන් ම මාරාන්තික රෝගයකට ගොදුරු වන්නට සිදුවුණා.

සිනහවේ මරණය

පැපුවා නිව්ගිනියාවේ ෆොරේ නම් ගෝත්‍රිකයන් බහුතරය සමඟ මුලින් ම නිසි ලෙස සම්බන්ධතා පැවැත්වූ දියුණු විදේශික කණ්ඩායම වන්නේ රන් ආකර සොයා එහි ගිය ඔස්ට්‍රේලියානු ජාතිකයනු යි. ඔවුන් මේ ජනයා පිළිබඳ ව සෙසු ලෝකය දැනුවත් කිරීමෙන් පසු පර්යේෂකයන් හා වෙනත් නිලධාරීන් එහි ගිය අතර, එහි වූ ස්වදේශික ජනයා කෙමෙන් කෙමෙන් ඔවුන් සමඟ සම්බන්ධතා පවත්වන්නට පටන් ගත්තා. කෙසේ නමුත් ඔවුන්ගේ ‘මිනී මස් අනුභව කිරීමේ’ සම්ප්‍රදායය පිළිබඳ ලොවට හෙළි වූයේ එයිනුත් වසර ගණනාවකට පසුව යි.

 ෆොරේ ගෝත්‍රිකයින්- researchgate.net

 

බොහෝ දෙනා සිතන පරිදි පැපුවා නිව්ගිනියාවේ බොහෝ ෆොරේ ගෝත්‍රිකයන් මිනී මස් අනුභව කළේ මිනිසුන් මරා දමමින් නොවේ. ඔවුන් මිය ගිය සිය ඥාතීන් ගේ මාංශය චාරිත්‍රානුකූල ව අනුභව කළා. මෙය තමන්ට එම ඥාතියා කෙරෙහි වූ බැඳීම හා, ඔහු හෝ ඇය මිය යාමේ දුක ලොවට පෙන්වීමට ඔවුන් විසින් සිදු කරමින් පැවතියා. මේ නිසාම ‘කුරු’ නම් භයානක රෝගය ඔවුන් අතර ශීඝ්‍රයෙන් පැතිරී ගියා. ‘සිනහවේ මරණය’ ලෙස හැඳින්වුණු මෙම රෝගය වැලඳුණු විට යමකුගේ හැඟීම්, අතපය ඇතුළු ශරීරයේ පාලනය සම්පූර්ණයෙන් ඔහු හෝ ඇය කෙරෙන් ගිලිහී යන අතර, වසරක් වැනි කාලයක් තුළ මිය යන්නේ සිනහව සහ වලිප්පු තත්ත්වය පාලනය කරගත නොහැකිව යි. මෙය මස්තිෂ්ක පටකවලට හානි සිදුවීම නිසා සිදුවන්නක් වුණා.

 වි‍යැකී යන්නට ගිය ගෝත්‍රික ප්‍රජාව

1950 දශකය වන විට ‘කුරු’ රෝගය පැපුවා නිව්ගිනියාව පීරමින් භයානක ලෙස ව්‍යාප්ත වන්නට වුණා. මේ නිසා මෙහි වූ ෆොරේ ගෝත්‍රික ප්‍රජාවගෙන් 2% ක පමණ කොටසක් වාර්ෂික ව මිය ගියා. මෙලෙස විකාරරූපී ලෙස සිනහ වෙමින් සිට මිය යන රෝගයේ මූලය කොතැනදැ යි එක්වර ම එහි වූ ඕස්ට්‍රේලියානු රන් කනින්නන් හා අනෙකුත් පර්යේෂකයන්ට වැටහී ගියේ නැහැ. කෙසේ නමුත් වසර කිහිපයක ඇවෑමෙන් මෙයට හේතුව මිනී මස් අනුභවය බැව් ඔවුන් අවබෝධ කර ගත්තා.

පැපුවා නිව්ගිනියාවේ ෆොරේ ගෝත්‍රික බහුතරය එහි වූ කඳුකර පෙදෙස්වල, ඝණ වන මැද ජීවත් වුණා. ඔවුන් බොහෝමයක් දෙනා මිනීමස් අනුභවය සිදු කළ අතර, එලෙස සිදුකිරීමේ චාරිත්‍ර විධික්‍රමයන් එකිනෙකට වෙනස් වුණා. මෙලෙස මිය ගිය අයකුගේ සිරුර කෑලිවලට කපා, ඒවා හොඳින් පිස ආහාරයට ගැනීමෙන් ඔහුගේ හෝ ඇයගේ ආත්මයට ශාන්තිය ළඟා වෙන බව ද, ඔවුන්ගේ ආත්මය ජීවත් ව සිටින්නන්ට කරදර නොකරනු ඇති බව ද ඔවුන්ගේ විශ්වාසය වුණා. තමන්ගේ සහෘදයකු මිය ගිය පසු, එම සිරුර පණුවන්ට කන්නට දී බලා සිටිනවාට වඩා මිනිසුන් පරිභෝජනය කිරීම වඩා ගෞරවනීය බවට ඔවුන් තුළ මතයක් පැවතුණා.

පැපුවා නිව්ගිනියාව වෙත ගිය යුරෝපීය හා ඔස්ට්‍රේලියානු ජනයා මෙම මිනිමස් කෑමේ චාරිත්‍රය පිළිකෙව් කළ ද ඔවුන් දිගින් දිගට ම, ගෞරවයෙන් යුක්තව එය කරගෙන ගියා. ‘කුරු’ රෝගය ඔවුන් අතරින් මතු වන්නට පටන්ගත්තේ 1910 සහ 1920 දශකවල යි. මෙය මීට කලිනුත් ඔවුන් අතර වරින් වර මතු වී පැවතියා ද යන්න පිළිබඳ කිසිදු සාක්ෂියක් නැහැ. මෙය කෙතරම් වේගයෙන් පැතිරී ගියා ද යත්, 1950 දශකය වනවිට එහි කුරු රෝගීන් 11,000 ක් පමණ වාර්තා වී තිබුණා.

 කුරු රෝගයෙන් පෙලෙන දරුවෙක්- Wikimedia Commons

 

කුරු රෝගය පාලනය කිරීමෙහි ලා පැපුවා නිව්ගිනියාවේ එවකට විසූ බලධාරීන් බොහෝ උත්සාහ කළා. මෙය වැලඳෙන ආකාරය හා රෝග ලක්ෂණ මතු වන්නේ කෙසේදැයි යන්න පිළිබඳ ඔවුන් බොහෝ සෙයින් සොයා බැලුවත් ඔවුන් සාර්ථක වූයේ නැහැ. කෙටි කලකින් එය වසංගත තත්ත්වයකට පත් වූ අතර මෙමගින් වසරකට ෆොරේ ගෝත්‍රිකයන් 200 ක් පමණ මිය ගියා. මෙය එහි වූ  ෆොරේ ගෝත්‍රික ජන්න සංඛ්‍යාව අනුව ඉතා විශාල අගයක් වුණා. පර්යේෂකයන් මෙය ඔවුන්ගේ ජානමය ගැටලුවක් ලෙස මුල දී වර්ගීකරණය කළ අතර, ගෝත්‍රික ජනයා සිතුවේ ඔවුනට යමකු’ගුරුකමක් ‘ කර ඇති බව යි. කෙසේ නමුත් 1960 දශකය ආරම්භයේදී මේ පිළිබඳ සාර්ථක ලෙස කරුණු සොයා ගන්නට ඒ පිළිබඳ පර්යේෂණ පැවැත්වූ අය සමත් වුණා.

මිනීමස් කෑමේ චාරිත්‍රය නිසා ‘කුරු රෝගය’ ඇතිවන අයුරු

වෝහාරික වෛද්‍ය ෂර්ලි ලින්ඩන්බවුම් හා ඒවන විට ඇගේ සැමියා ව සිටි රොබට් ග්ලාස් ‘කුරු’ නම් මෙම අභිරහස් රෝගය පිළිබඳ පර්යේෂණයක් ආරම්භ කළා, ඒ 1961 වසරේදී යි. ඔවුන් ෆොරේ ගෝත්‍රිකයින් සිටින ගමින් ගමට ගොස් මෙම රෝගය සහිත අය පිළිබඳ අධ්‍යයනය කළා. ඔවුන්ට වැටහී ගියේ මෙම රෝගය බාහිර පරිසරයෙන් පැමිණෙන විෂබීජයක් නිසා හෝ ජානමය හේතුවක් නිස ඇති නොවන බව යි. එයට හේතු වූයේ මෙය වැලඳී ඇත්තේ එකට වෙසෙන ගෝත්‍රික කොටස්වල අයට විනා, එකම ජාන කිටුව දරන පුද්ගලයන්ට නොවන බව බව ඔවුන්ට ප්‍රත්‍යක්ෂ වූ බැවිනු යි. 

විශේෂිත ම කාරණාව වූයේ මෙම භයානක රෝගයට ගොදුරු ව ඇත්තේ කුඩා දරුවන් හා කාන්තාවන් පමණක් වීම යි. වැඩිහිටි පිරිමින් මෙයට ගොදුරු වී ඇත්තේ අතිශය අල්ප මාත්‍රික ව බවට පසක් වුණා. මේ අසාමාන්‍ය තත්ත්වය පිළිබඳ පසුකාලීන සොයා බැලූ නවසීලන්ත වසංගතවේද වෛද්‍ය ආර්. ඩබ්ලිව් හෝන්බෲක්ට අවසානයේ මෙම ගැටලුව නිරාකරණය කරගන්නට හැකි වුණා. ෆොරේ ගෝත්‍රික සමාජවල වඩා සංවේදී කොට්ඨාස ලෙස සැලකෙන කුඩා දරුවන් හා කාන්තාවන්, එම සංවේදීතාව හුවා දැක්වීමට, අවමංගල්‍යවලදී සිය මියගිය ඥාතීන්ගේ ශරීර කොටස් ආහාරයට ගන්නා බැව් ඔහු අධ්‍යයනය කළා. මෙය වඩා හැඩිදැඩි පුරුෂයින් සිදු කළේ නැහැ.

ලොව අනෙකුත් විද්‍යාඥයන් බහුතරයක් ලින්ඩන්බවුම්, ග්ලාස් හා හෝන්බෲක් ගේ සොයාගැනීම් එක්වර ම පිළිගත්තේ නැහැ. කෙසේ නමුත් ඔවුන් සිය මතයේ ම පිහිටා සිටි අතර, අවසානයේ අමෙරිකානු විද්‍යාඥයන් පිරිසක් ‘කුරු’ රෝගයට ලක්ව මිය ගිය අයගේ මස්තිෂ්ක කොටස්වල ස්‍රාව චිම්පන්සීන් කණ්ඩායමකට එන්නත් කළ අතර, ඔවුන් ද ‘කුරු’ රෝග ලක්ෂණවලින් පෙලෙන්නට වුණා. මේ අනුව එම විද්‍යාඥයන් තිදෙනාගේ මතය පිළිගැනුණා.

 ෂර්ලි ලින්ඩන්බවුම් (වමේ සිට දෙවැනියා ) ෆොරේ ප්‍රජාව සමගින්- medanthrotheory.org

 

‘කුරු’ නම් රෝගය ව්‍යාප්ත වන්නේ ආසාදිත අයකුගේ ශරීර කොටස් ආහාරයට ගැනීමෙන් බැව් ඔප්පු වූව ද තවත් පිළිතුරු සොයා ගත යුතු කාරණා ගණනාවක් තිබුණා. මෙලෙස මිනී මස් අනුභව කරන්නට යෙදුණු ගෝත්‍රික කණ්ඩායම් සිටින්නේ පැපුවා නිව්ගිනියාවේ පමණක් නොවන අතර, ෆොරේ ගෝත්‍රිකයන් හැර ඒ අනෙක් කණ්ඩායම් අතර මෙම රෝගය නැත්තේ ඇයි දැයි විවාදයට බඳුන් වුණා.

පර්යේෂණ දිගට ම

1960 දශකය වන විට ‘කුරු’ රෝගයෙන් භීතියට පත්ව ෆොරේ ජනයා බහුතරයක් මිනී මස් අනුභව කිරීමෙන් වැලකුණා. මේ නිසා ‘සිනාසෙන මරණය’ හෙවත් කුරු රෝගය වැලඳීමෙන් මියයන සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවුණා. එනමුත් පර්යේෂකයන් සිය පර්යේෂණ දිගට ම කරගෙන ගිය අතර, ඔවුන් අවසානයේ අනුමාන කළේ අනුභව කිරීමට ලක් වූ එක් ෆොරේ ගෝත්‍රිකයකුට ක්‍රොයිට්ස්ෆෙල්ඩ් – යාකොබ් නම් මත්තිෂ්කයට අදාළ රෝගය වැලඳී තිබෙන්නට ඇති බව යි. මෙය ‘කුරු’ රෝග ලක්ෂණ වලට සමාන ලක්ෂණ දරන රෝගයක් වෙනවා.

‘කුරු’ රෝගය වැලඳෙන්නේ මස්තිෂ්කයේ පටකවල  ‘ප්‍රියෝන’ නම් ප්‍රෝටීනය අසාමාන්‍ය ලෙස බැඳීම නිසා යි. මේ නිසා මස්තිෂ්ක පටලවල ගැටිති ඇති වී සම්පූර්ණ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයට බාධා ඇති කරනවා. ඉන් ශරීරයේ පාලනය රෝගියාගෙන් ගිලිහී යන අතර, රෝග ලක්ෂණ පහළ වී වසරකට පමණ පසු එම රෝගියා මිය යනවා. පර්යේෂකයන්ට අනුව මෙම රෝගය නිසා එක් ෆොරේ ගෝත්‍රිකයෙක් 20 වන සියවස ආරම්භයේ දී ම මියගොස් තිබෙනවා. රෝගී වූ ඔහුගේ මස්තිෂ්ක කොටස් ඔහුගේ හෝ ඇගේ ඥාතීන් අනුභව කර තිබෙනවා. මේ හේතුවෙන් එම රෝගය ඔවුනට ව්‍යාප්ත වී තිබෙනවා. නූතන වෛද්‍ය පහසුකම් කිසිත් නොමැති එම ගෝත්‍රිකයන්ට දිගින් දිගට ම සිදුවන මෙම මරණ පිළිබඳ ව හේතුවක් සිතා ගත නොහැකි වී තිබෙනවා.

‘කුරු’ භීතිකාවේ අවසානය

ලිපියේ පෙර සඳහන් කළ පරිදි කුරු රෝගයේ සුලමුල හෙළිවීමත් සමඟ ෆොරේ ගෝත්‍රිකයින් මිනීමස් කෑමෙන් බොහෝ කොටම වැලකුණා. කෙසේ නමුත් එය සම්පූර්ණයෙන් පහව යන්නට යම් කාලයක් ගත වුණා. ඒ මෙම චාරිත්‍රය හොර රහසේ සිදුකරන පුද්ගලයන් ද සිටි නිසා යි. කුරු රෝගය වැලඳී මිය ගිය අවසන් රෝගියා වාර්තා වූයේ 2009 වසර තරම් මෑතක යි. 2012 වසරේ දී මෙම වසංගතය නිල වශයෙන් අවසන් බැව් තහවුරු කෙරුණා. වර්තමානය වන විට පැපුවා නිව්ගිනියාවේ ෆොරේ ගෝත්‍රිකයන් 20,000 ක් පමණ ජීවත් වෙනවා. එම අගය කුරු වසංගතයේ උච්චත ම අවස්ථාවේ විසූ ෆොරේ ගෝත්‍රික සංඛ්‍යාව මෙන් දෙගුණයක් පමණ වෙනවා.

 වර්තමාන ෆොරේ ජනයා (2008 )- Shirley Lindenbaum

 

කුරු රෝගය පිළිබඳ පර්යේෂණ කළ විද්‍යාඥ කණ්ඩායමට ඒ වෙනුවෙන් නොබෙල් ත්‍යාගය හිමි වුණා. ඒ එම පර්යේෂණ මඟින්  ක්‍රොයිට්ස්ෆෙල්ඩ් – යාකොබ්, පිස්සු ගව රෝගය හා ඇල්සයිමර් වැනි මස්තිෂ්කය හා සම්බන්ධ රෝග පිළිබඳවත් වැඩි අවබෝධයක් ගත හැකි වූ නිසා යි. 2015 තරම් මෑතකදී විද්‍යාඥයන් ෆොරේ ගෝත්‍රිකයන් සම්බන්ධයෙන් තවත් වැදගත් කරුණක් සොයා ගත්තා. ඔවුන් සමහරකගේ ශරීරවල මස්තිෂ්ක ප්‍රියෝන හා සම්බන්ධ රෝගාබාධවලට එරෙහි ව ජානයක් විකසනය වී ඇති බව යි. මෙමගින් ඩිමෙන්ෂියා වැනි රෝග තත්ත්වවලටත් එරෙහි ව යම් ප්‍රතිරෝධයක් ඔවුනට ලැබී තිබෙනවා.

කවරයේ ඡායාරූපය - කුරු රෝගී දරුවෝ - medium.com 

මූලාශ්‍ර:

Healthline.com

Allthatsinteresting.com

Npr.org

Related Articles

Exit mobile version