මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව තුළ වඩාත් කතාබහට ලක් වූ මාතෘකාවක් ලෙස ශ්‍රී දළදා වහන්සේ උදෙසා වාර්ෂිකව පවත්වනු ලබන මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ශ්‍රී දළදා කරඬුව වැඩම කරවීමට නියමිත ‘නැඳුන්ගමුව රාජා’ හැඳින්වීම අතිශයෝක්තියක් නොවෙයි. අලි ඇතුන් පිරිවරා ගත් මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දී සොඳුරු වස්ත්‍රාභරණයෙන් සැරසී ගාම්භීර්ය ලීලාවෙන් පියවර නඟමින් ශ්‍රී දළදා කරඬුව වැඩම කරවන මංගල හස්ති රාජයා වෙත දෙස් විදෙස් නරඹන්නන්ගේ විශේෂ අවධානය යොමු වෙනවා. බෞද්ධ ජනතාවගේ විශ්වාසය වන්නේ මෙසේ ශ්‍රී දළදා කරඬුව වැඩම කරවමින් මිනිසුන්ගෙන් පවා වැඳුම් ලැබීමේ භාග්‍ය හිමිවන්නේ පෙර කරන ලද පින් ඇති හස්ති රාජයෙකුට පමණක් බව යි.
එසේම ශ්‍රී දළදා කරඬුව වැඩම කරවීම සඳහා හස්ති රාජයෙකු තෝරාගැනීමේ දී අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක්ම පවතිනවා. ඒ අනුව තෝරාගන්නා ලද මංගල හස්ති රාජයාගේ සිව් පාද, හොඬය, ලිංගය සහ වලිගය යන ස්ථාන හත (හත් පොළය), භූමිය ස්පර්ශ වන ආකාරයෙන් පිහිටා තිබිය යුතු වන අතර අදාළ හස්තියාට පුළුල් කුම්භස්ථලය, පුළුල් පිට, උදාර ලීලාව සහ තේජාන්විත දළ යුග්මය යන ගුණාංග ද පැවතිය යුතු වෙනවා. එසේම මංගල හස්තියා තේරීමේ දී ප්‍රචණ්ඩකාරී හැසිරීම් ඇති ඇතෙකු නොවීම සහ මිනිසුන් මරණයට පත්කර නොතිබීම වැනි කරුණු ද සැලකිල්ලට ගනු ලබනවා.
මේ ගුණාංගයන් සියල්ල සපුරන ලද ‘නැඳුන්ගමුව රාජා’ දශකයකට අධික කාලයක් තිස්සේ මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ශ්‍රී දළදා කරඬුව වැඩම කරවන මංගල හස්ති රාජයා ලෙස කටයුතු කරන්නේ, වර්තමානයේ දී දියවඩන නිලමේ තනතුර දරන නිලංග දෑල බණ්ඩාර මැතිතුමා විසින් සිදුකරන ලද ආරාධනාවකට අනුව යි. සෑම වසරකම ශ්‍රී දළදා කරඬුව වැඩම කරවීම සඳහා නැඳුන්ගමුවේ සිට මහනුවර බලා පා ගමනින් පැමිණෙන ‘නැඳුන්ගමුව රාජා’ ගැන යි මේ ලිපිය.
දඹදිව සිට ලක්දිවට පැමිණි ඇත් රජු
1954 දී ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයේ දී උපන් ‘නැඳුන්ගමුව රාජා’ අයත් වන්නේ විද්‍යාත්මකව Elephas maximus indicus ලෙස හඳුන්වනු ලබන ආසියානු මහද්වීපයට ආවේණික ආසියානු හස්ති විශේෂයට යි. උසින් අඩි 11½ක් වන අඩි 6ක පමණ දිගින් යුතු දළ යුග්මයකට උරුමකම් කියන නැඳුන්ගමුව රාජා, වයස අවුරුදු 5ක පමණ පැටවෙකුව සිටි අවධියේ මයිසූර් ප්‍රාන්තයේ මහරාජාවරයෙකුගේ ත්‍යාගයක් ලෙස නැව් මඟින් ශ්‍රී ලංකාවට ගොඩ බැස තිබෙනවා. ඒ ගංගාරාම විහාරයේ වාසය කළ ‘නවම් රාජා’ හස්තියා ද සමග යි.
මානසික රෝග සුව කිරීම සඳහා කීර්තියක් අත් කරගෙන සිටි පිළියන්දල නීලම්මහර විහාරවාසී භික්ෂුවක්, මයිසූර් ප්‍රාන්තයේ මහරාජාවරයාගේ රෝගී තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව කිරීමට සමත් වීම හේතුවෙන් සතුටට පත් වී, එයට තුටුපඬුරු ලෙස අවශ්‍ය මොනවාදැ යි භික්ෂූන් වහන්සේගෙන් විමසා තිබෙනවා. එයට පිළිතුරු ලෙස තමන්ට ඉන්දියානු දළ ඇත් පැටවෙකු ලබාදෙන ලෙස භික්ෂූන් වහන්සේ ඉල්ලීමක් සිදුකර ඇති අතර ‘නැඳුන්ගමුව රාජා’ සහ ‘නවම් රාජා’ යන ඇත් පැටවුන් දෙදෙනාම මහරාජා විසින් වෙද හාමුදුරුවන්ට තිළිණ කර ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙස යි.
මෙසේ තුටුපඬුරු ලෙස හිමි වූ ඇතුන් දෙදෙනා වසර 15කට ආසන්න කාලයක් නීලම්මහර විහාරයේ වාසය කර ඇති අතර, පසුව ඇතුන් දෙදෙනෙකු නඩත්තු කිරීම අපහසු වූ බැවින් වෙද හාමුදුරුවන් විසින් ‘නවම් රාජා’ ඇතාව ඇඹිලිපිටියට ද, ‘නැඳුන්ගමුව රාජා’ ඇතාව හොරණ උඩුවේ වලව්වට ද, අලෙවි කර තිබෙනවා. දිනපතාම හොරණ දැව වැඩපොළක කොටන් ඇඳීමේ නිරත වූ ‘නැඳුන්ගමුව රාජා’ව 1978 දී නැඳුන්ගමුවේ වාසය කළ ධර්මවිජය වෙද රාළහාමි විසින් මිල දී ගෙන ඇත්තේ රු.75,000/-ක මුදලකට යි.
ඡද්දන්ත කුලයේ මංගල හස්තියා
නැඳුන්ගමුවට රැගෙන ආ ඇතා අනෙක් ඇතුන් මෙන් බර වැඩ සඳහා යොදාගන්නා ඇතෙකු නොව නිසි ලෙස හත් පොළය පිහිටි ඡද්දන්ත කුලයේ ඇතෙකු බව ධර්මවිජය වෙද රාළහාමි නිරීක්ෂණය කර ඇති අතර, ‘නැඳුන්ගමුව රාජා’ව බර වැඩ සඳහා යොදා නොගෙන මනාව රැකබලා ගැනීම සඳහා ඇත් ගොව්වෙකුගේ සහය ලබාගැනීමට ඔහු කටයුතු කර තිබෙනවා. ධර්මවිජය වෙද රාළහාමිගේ මරණයෙන් පසුව ‘නැඳුන්ගමුව රාජා’ව උරුම වී ඇත්තේ ඔහුගේ පුතු වූ හර්ෂ ධර්මවිජය වෙද රාළහාමිට යි. අලි ඇතුන්ට වෙදකම් කරන ඔහු ‘නැඳුන්ගමුව රාජා’ව රැකබලා ගැනීම සඳහා විල්සන් කොඩිතුවක්කු නම් ඇත් ගොව්වාගේ සහය ලබාගෙන ඇති අතර, ඔහු වසර 15කට අධික කාලයක් තිස්සේ ප්‍රධාන ඇත් ගොව්වා ලෙස කටයුතු කරන බව යි වාර්තා වන්නේ.
මෙසේ දිගු කලක් නැඳුන්ගමුවේ වාසය කළ ‘නැඳුන්ගමුව රාජා’ වර්තමානයේ දී දියවඩන නිලමේ තනතුර දරන නිලංග දෑල බණ්ඩාර මැතිතුමාගේ ආරාධනය මත ශ්‍රී දළදා කරඬුව වැඩම කරවන මංගල හස්ති රාජයා ලෙස කටයුතු කිරීම අරඹා ඇත්තේ 2005 දී යි. ස්වභාවයෙන්ම සන්සුන් ඇතෙකු ලෙස නම් දිනාගෙන සිටින ‘නැඳුන්ගමුව රාජා’ ඇසළ පෙරහැර මංගල්‍යයට සහභාගී වීම සඳහා සෑම වර්ෂයක ම නැඳුන්ගමුවේ සිට කි. මී. 100කට ආසන්න දුරක් තරණය කරමින් පා ගමනින්ම මහනුවර බලා පැමිණෙන්නේ රාජ්‍ය ආරක්ෂාව මැද යි.
දළදා කරඬුව දරාගෙන සන්සුන් ගමනින් ඉදිරියට
දැනට වාසය කරන ආසියානු හීලෑ අලි ඇතුන් අතරින් විශාලතම හස්තියා ලෙස සැලකෙන ‘නැඳුන්ගමුව රාජා’ වඩාත් ප්‍රකට වී ඇත්තේ ඔහුගේ සන්සුන් බව හේතුවෙන්. නිහඬ පරිසරයක වාසය කිරීම ප්‍රිය කළ ද, ඇසළ පෙරහැර මංගල්‍යයේ ගමන් කරන විට පන්දම් ආලෝකය හෝ බෙර සහ හොරණෑ හඬින් ‘නැඳුන්ගමුව රාජා’ මොනම අවස්ථාවක දී හෝ කලබලයට පත් නොවන බව යි සඳහන් වන්නේ. එසේ ම ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා සූදානම් වන විට ඇත් රජුගේ චාරිත්‍රානුකූල හැට්ටය, හොඬ වැස්ම, හිස් වැස්ම, කන් වැස්ම, ගිගිරි වළලු සහ කිංකිණි පලඳවා ශ්‍රී දළදා කරඬුව තැන්පත් කරන තෙක් ‘නැඳුන්ගමුව රාජා’ නොසෙල් වී සිටින බව පැවසෙනවා. එසේම සියලුම ඇඳුම් පැලඳුම් නිසි ලෙස රැඳවීම සඳහා අවැසි ගැට (knots) 180ක ප්‍රමාණය නිවැරදිව බඳින තුරු ‘නැඳුන්ගමුව රාජා’ ගමන් ඇරඹීම ප්‍රතික්ෂේප කරන බව යි ඔහුගේ ඇත් ගොව්වන් ප්‍රකාශ කරන්නේ.
වසර 12කට අධික කාලයක් අඛණ්ඩව මහනුවර ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැරේ ශ්‍රී දළදා කරඬුව වැඩම කරන දැනට 64 වැනි වියේ පසු වන ‘නැඳුන්ගමුව රාජා’ ශ්‍රී ලාංකික සංස්කෘතියේ තෙදවත් බව ලොවට පෙන්වන සොඳුරු උරුමයක් බව පැවසීම වැරදි නැහැ.
කවරයේ පින්තූරය : © Charith Gunarathna
විශේෂ ස්තූතිය:
අධික වැඩ රාජකාරි මධ්‍යයේ මෙම ලිපිය සඳහා යොදාගැනීමට අවැසි ඡායාරූප අප්‍රමාදීව ලබාදුන් ඡායාරූප ශිල්පී චරිත් ගුණරත්නට.