පතොක් වගාව ලංකාවට ගැලපෙයි ද?

පතොක් යන නම ඇසුනු සැනින් ඔබට මතක් වෙන්නේ ශුෂ්ක දේශගුණයක හැදෙන කටු සහිත ගොරෝසු පත්‍ර තිබෙන ශාකයක්. පතොක් ශාකයේ බාහිර පෙනුම නිසා එය කිසිදු විශේෂ ප්‍රයෝජනයක් නැති ශාකයක්යැ යි බොහෝ දෙනෙකු සිතා සිටිනවා. නමුත් ලෝකයේ සමහර රටවල් පතොක් වාණිජ වගාවක් ලෙස සිදුකරනු ලබනවා. එලෙස පතොක් වාණිජ වගාවක් ලෙස සිදුකරන රටවල් අතර මෙක්සිකෝව, ඉන්දියාව, චිලී, සහ අප්‍රිකානු රටවල් ඉදිරියෙන්ම සිටිනවා. එම රටවල් කිහිපය අතුරින් බහුලවම පතොක් වගාව සිදුකරන මෙක්සිකෝවේ වඩාත් ජනප්‍රිය වී තිබෙන්නේ නෝපාල් නම් පතොක් විශේෂය යි. 

නෝපාල් පතොක් සහ මෙක්සිකෝව අතර සම්බන්ධය 

වර්තමානයේ දී මෙක්සිකෝව භාවිතා කරන ජාතික ධජය හඳුන්වාදුන්නේ 1968 වසරේ දී යි. එම ධජයේ මැද තිබෙන සුදු තීරුවේ නෝපාල් පතොක් ගසක සිට සර්පයෙකු අනුභව කරන උකුස්සෙකු දැක්වෙනවා. මෙම ධජයට පෙර මෙක්සිකෝව භාවිතා කළ ජාතික ධජ කිහිපයකම නෝපල් පතොක් ගස දක්නට ලැබුණා. ඒ අනුව නෝපාල් පතොක් ගස මෙක්සිකෝවේ ජාතික සංකේතයක් බවට පත්ව තිබෙනවා. 

මෙක්සිකෝ ජාතික ධජය (gettyimages)

මෙක්සිකෝවේ නෝපාල් පතොක් වගාව 

මෙක්සිකෝවට අයත් සෑම ප්‍රාන්තයකම වාගේ මහා පරිමාණයෙන් නෝපාල් නම් පතොක් විශේෂය වගා කරනු ලබනවා. ඒ අනුව වර්තමානය වන විට දළ වශයෙන් හෙක්ටයාර 3,000,000ක පමණ මෙම පතොක් විශේෂය වගා කර ඇති ආකාරය දක්නට ලැබෙනවා. එහි දී prickly pear නමින් හැඳින්වෙන පතොක් වර්ගය පළතුර ලබා ගැනීමටත්, පතොක්වල මාංශල කොටස් ලබාගැනීමටත්, කාර්මයින් නැමති සායම් වර්ගය නිපදවීමට කොචීනිල් නම් කෘමි විශේෂය එකතු කිරීමටත් මහා පරිමාණයෙන් පතොක් වගාව සිදුකරනු ලබනවා. පසුගිය කාල සමයේ පතොක් වාණිජ වගාවක් ලෙසින් මෙක්සිකෝව තුළ වඩාත් ජනප්‍රිය වී ඇති නිසා වර්තමානය වන විට වගාකරන බිම් ප්‍රමාණය ද විශාල ලෙස ඉහළයමින් තිබෙනවා. 1996 වසර පමණ වන විට පතොක් පළතුර ලබාගැනීමට දළ වශයෙන් පතොක් වගාකර තිබුණේ හෙක්ටයාර 10,300ක් වැනි බිම් ප්‍රමාණයක යි. නමුත් වර්තමානය වන විට එම කාර්යය සඳහා දළ වශයෙන් හෙක්ටයාර 57,000ක පමණ පතොක් වගාකර තිබෙනවා. ඉන් නිගමනය කර හැක්කේ වර්තමානය වන විට නෝපාල් පතොක් ආශ්‍රිත නිෂ්පාදනයන් සඳහා විශාල ඉල්ලුමක් තිබෙන බවයි. 

මෙක්සිකෝවේ නෝපාල් පතොක් වගාව (gettyimages)

නෝපාල් පතොක් ශාකයේ විවිධ කොටස්වලින් ලබාගන්නා ප්‍රයෝජන

පතොක් ශාකයෙන් ලබාගන්නා කොටස් විවිධ කාර්යයන් සඳහා යොදාගනු ලබනවා. පහත දක්වා තිබෙන්නේ ඒවායේ පළතුර සහ පතොක්වල මාංශල කොටස්වලින් ලබාගන්නා ප්‍රයෝජන යි. එසේම පතොක් පත්‍රවල ජීවත්වන කොචීනිල් නම් කෘමි විශේෂයෙන් ලබාගන්නා කාර්මනික් අම්ලයෙන් ද විවිධ ප්‍රයෝජන ගනු ලබනවා. 

පතොක් පළතුර

prickly pear නම් පතොක් විශේෂයේ පළතුර ඉතාමත් පැණිරස ගතියෙන් යුක්ත යි. ඒ හේතුවෙන් මෙම පළතුර භාවිතා කරමින් සිසිල් බීම වර්ග, ජෑම්, කෝඩියල්, මාමලේඩ්, ජෙලි, පැණි, සිරප් වැනි නිෂ්පාදන කරනු ලබනවා. එලෙස නිෂ්පාදනය කරන ආහාර සහ පාන වර්ගවලට වෙළඳපොළ තුළ හොඳ ඉල්ලුමක් තිබෙනවා. මෙම පළතුර තුළ ප්‍රතිඔක්සිකාරක, විටමින්, සහ ඛණිජ ලවණ ඉහළ මට්ටමක පවතින නිසාම ගුණාත්මක බවින් ඉහළ මට්ටමක පවතිනවා. එසේම මෙම පළතුර ආහාරයට ගැනීමෙන් පහත සඳහන් ලෙඩ රෝගවලින් ආරක්ෂාවීමට ද හැකිවනවා.

1) වයසට යන විට අස්ථි ආබාධ ඇතිවීමේ අවදානම අඩු කරයි

2) සිරුරේ ප්‍රතිශක්තිකරණය වැඩි කරයි 

3) සිරුරේ බර කළමනාකරණය කරගැනීම සඳහා උපකාරී වෙයි 

4) දන්ත රෝග වළක්වා ගැනීමට උපකාරී වෙයි 

5) පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරයි 

6) ආතරයිටිස්, රක්තවාතය සහ මාංශ පේශි වේදනාවන්වලට සහනයක් ලබා දෙයි

7) ධමනි සිහින් වීම සහ කිරීටක හෘද රෝග වළක්වා ගැනීමට උපකාරී වෙයි 

8) රුධිරයේ කොලෙස්ටෙරෝල් සහ සීනි මට්ටම පාලනය කරයි 

prickly pear පළතුරු ගෙඩියක්  (gettyimages)

නෝපාල් පතොක් මාංශල

පතොක් මාංශලය එළවළුවක් ලෙසින් ආහාරයට ගනු ලබනවා. එය නිවෙස්වල, අවන්හල්වල විවිධ ආකාරයට පිළියෙල කරමින් ආහාරයට ගනු ලබනවා. එසේම මෙම පත්‍රය දේශීය වෙදකමේ දී ඖෂධයක් ලෙසින් ද භාවිතා කරනු ලබනවා. එහි දී තුවාල සහ දද වැනි දේවල් සුව කිරීම සඳහා මෙය යොදාගනු ලැබෙනවා. එසේම නෝපාල් පතොක් පත්‍ර ආහාරයට ගැනීමෙන් ඔබට පහත සඳහන් ප්‍රතිලාභ ලැබෙනවා.

1)  ස්නායු සෛල ආරක්ෂා වීම 

2) පුරස්ථි ග්‍රන්ථි රෝග අවම වීම  

3) අක්මා රෝග ඇතිවීමේ අවදානම අඩු වීම 

4) රුධිරයේ කොලෙස්ටෙරෝල් සහ සීනි මට්ටම පාලනය වීම

නෝපාල් පතොක් කොළවලින් සාදන ආහාර (gettyimages)

 කාර්මයින් සායම් වර්ගය සාදාගන්නා ආකාරය 

නෝපාල් පතොක් පත්‍ර මත කොචිනීල් නම් කෘමි විශේෂය වාසය කරනවා. එම කෘමියන් කාර්මිනික් නම් අම්ලය නිපදවනු ලබනවා. එම කෘමියන් එකතු කර වියළා ශරීරයෙන් කාර්මිනික් අම්ලය නිස්සාරණය කර ඇලුමිනියම් හෝ කැල්සියම් ලවණ සමග මිශ්‍ර කර කාර්මයින් නම් සායම් වර්ගය සාදාගනු ලබනවා. 

සාදාගන්නා සායම්වලින් ආහාර වර්ග, බීම වර්ග වැනි දේවල් සඳහා අවශ්‍ය රතු වර්ණකත්, ලිප්ස්ටික් වැනි දේවල්වල ස්වභාවික රතු වර්ණය සාදාගැනීමටත් යොදාගනු ලබනවා. එසේම රෙදිපිළි වර්ණගැන්වීම සඳහාත් මෙම සායම් විශේෂය භාවිතා කරනවා. 

කාර්මයින් ඩයි (gettyimages)  

නෝපාල් පතොක් ශාකයෙන් ලබාගන්නා වෙනත් ප්‍රයෝජන 

මේ වන විට ලෝකයේ විවිධ රටවල් ජෛව ඉන්ධන නිපදවමින් සිටිනවා. නෝපාල් පතොක් සීනි අධික ප්‍රභවයක් නිසා ජෛව ඉන්ධන සෑදීම සඳහා යොදා ගත හැකියි.  සාමාන්‍යයෙන් ඉරිඟු, උක්, පාම් තෙල්, සෝයා බෝංචි වැනි ශාක ජෛව ඉන්ධන ලබාගැනීම සඳහා වෙනම වගාකරනු ලබනවා. නමුත් නෝපාල් පතොක් ශාකයේ අපද්‍රව්‍යවලින් ජෛව ඉන්ධන සහ ජෛව මීතේන් නිෂ්පාදනය කිරීමට හැකිවීම අමතර වාසියක්. 

ලංකාවේ පතොක් වගාවට සුදුසු ප්‍රදේශ තිබෙනවා ද?

ශ්‍රී ලංකාව විවිධ ආකාරයේ දේශගුණික කලාප පිහිටා තිබෙන රටක් .ඒ අනුව හම්බන්තොට, මන්නාරම, සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල අර්ධ ශුෂ්ක ලක්ෂණ දක්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් ඉතාමත් අඩු වාර්ෂික වර්ෂාපතනයක් තිබෙන මෙවැනි ප්‍රදේශ පතොක් වගාව සඳහා වඩාත් සුදුසු යි. වර්තමානය වන විට මෙම ශුෂ්ක ප්‍රදේශවල වල් පතොක් පඳුරු බහුල වශයෙන් දක්නට ලැබෙනවා. එම ප්‍රදේශවල තිබෙන දේශගුණිය පතොක් ශාකයේ වර්ධනය සඳහා වඩාත් උපකාරී වනවා.

ශුෂ්ක කලාපයේ වැවෙන පතොක් ශාක (UNDP)

පතොක් වාණිජ වගාවක් ලෙස ලංකාව තුළ අත්හදා බැලිය හැකියි 

ලෝකය තුළ කෘෂි කර්මාන්තයේ නව ප්‍රවණතා නිරන්තරයෙන්ම දක්නට ලැබෙනවා. අප රටේ කෘෂිකර්ම ක්ෂේත්‍රය දියුණුවීමට නම් සම්ප්‍රදායික කෘෂි කර්මාන්තයෙන් බැහැරව නව භෝග වර්ග අත්හදා බැලිය යුතු වනවා. වර්තමානය වන විට පතොක් නැගී එන වාණිජ භෝගයක් බවට පත්ව තිබෙන නිසාම මෙක්සිකෝව වැනි රටවල් පතොක් වාණිජ වගාවක් ලෙස සිදුකිරීමෙන් විශාල ආදායමක් ලබාගන්නවා. 

පතොක් වගාවට සුදුසු ශුෂ්ක ප්‍රදේශ අප රට තුළ තිබිය දී මෙවැනි වාණිජ වගාවක් ඇරඹීමට සුදුසුදැ යි සමීක්ෂණ මෙන්ම, ලංකාවේ ශුෂ්ක ප්‍රදේශවල වාණිජ වගාවක් ලෙස පතොක් වගාව ආරම්භ කිරීමට පෙර ඒ පිළිබඳව විවිධ පර්යේෂණයන් ද කළ යුතු යි. එම පර්යේෂණවලින් සාර්ථක ප්‍රතිඵලයන් ලැබුණොත් නෝපාල් වැනි පරිභෝජනය කළ හැකි පතොක් වර්ගයක් වාණිජ වගාවක් ලෙසින් ලංකාවේ ශුෂ්ක කලාපයේ ප්‍රදේශ තුළ වැඩි දියුණු කළ හැකියි. දේශීය වල් පතොක් ද පළතුර කෑමට ගත හැකි විශේෂයක්. එනිසා මෙම පතොක් ද වාණිජ වගාවක් ලෙස සුදුසුදැ යි සලකා බැලිය හැකියි. කෘෂිකාර්මික රටක් ලෙස නමක් දිනාගෙන සිටින ශ්‍රී ලංකාවට ලෝකයේ තිබෙන අනිත් කෘෂිකාර්මික රටවල් සමග උරෙනුර ගැටීමට නම් සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තයෙන් බැහැරව මෙවැනි අත්හදාබැලීම් කිරීමට සිදුවන බව අවසන් වශයෙන් සිහිපත් කරනවා. 

කවරයේ ඡායාරූපය- නෝපල් පතොක් ශාකයක් (gettyimages)

මූලාශ්‍රයයන්- Mexican cacti a sustainable biofuel from the desert

Related Articles

Exit mobile version