වේලාව ‘අහෝසි කිරීමට’ යෝජනා කරන මිනිස්සු

විවිධ යෝජනා සම්මත කරගැනීමට හා විවිධ අයිතිවාසිකම් දිනාගැනීම සඳහා ලොව විවිධ ප්‍රදේශවල ජනතාව සත්‍යග්‍රහ පවත්වනවා, පෙත්සම් අත්සන් කරනවා. නෝර්වේහි කුඩා දූපතක් වන ‘සොමරෝයි අයිලන්ඩ්’ හි ජනතාවත් මෙවැනිම යෝජනාවක් ක්‍රියාත්මක කරගැනීම සඳහා පසුගිය දා එක්කාසු වුණා. ඒ ‘වේලාව’ අහෝසි කරගැනීම සඳහා යි.

සිද්ධිය සැකෙවින්

ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල මෙන් නොව උප නිවර්තන හෝ ධ්‍රැවාසන්නව පිහිටි රටවල දිවා කාලය වසර පුරාවට ඉතා දැඩි ලෙස විචල්‍ය වෙනවා. මෙය සමකයෙන් ඈතට වන්නට වන්නට වැඩි වැඩියෙන් අත්දකින්නට පුළුවන්. විශේෂයෙන් උත්තර හෝ දක්ෂිණ කවය ආසන්න රටවල ශීත කාලයේ දී පැය 3-4ක් පමණක් හිරු උදාවන අතර ග්‍රීෂ්මයේ දී එය පැය 20කටත් වඩා වැඩි වෙනවා. මේ හේතුව නිසා එම දිවා කාලයෙන් වැඩි ප්‍රයෝජන ගැනීම සඳහා සාමාන්‍ය වේලාව පැයකින් හෝ පැය භාගයකින් ඉදිරියට ගන්නට ඒ ඒ රටවල් ක්‍රියා කරනවා. ‘ග්‍රීෂ්ම කාලය’ යනුවෙන් මෙය හැඳින්වෙනවා.

සොමරෝයි දිවයින- tnp.no

උත්තර කවය මත හෝ ඊට වඩා උතුරින් පිහිටි ස්ථානවලට ගිම්හානයේ උච්චතම අවස්ථාවේ දී පැය 24ම හිරු උදා වී තිබෙනු දැකිය හැකියි. මෙය එක් දිනක සිට මාස ගනනක් පමණ වුව විය හැකියි. ස්කැන්ඩිනේවියානු රටක් වන නෝර්වේහි සමහර පෙදෙස්වලට ද මේ ආකාරයට පැය 24ම හිරු පායනවා. එහි උතුරින් පිහිටා තිබෙන සොමරෝයි දූපත හෙවත් ‘ග්‍රීෂ්ම දිවයින ද’ මේ ආකාරයට වසරේ යම් කාලයක් හිරු බසින්නේම නැතිව පවතින ස්ථානයක්. කෙසේ නමුත් මෙහි ද ග්‍රීෂ්මයේ දී වේලාව ඉදිරියට ගෙන එන්නේ පැයකින් පමණ යි.

උක්ත ආකාරයට පැයක් පමණක් ග්‍රීෂ්මයේ දී වේලාව ඉදිරියට ගෙන ඒමෙන් ‘දිවා කාලයේ’ පැය ගණනාවක් නිරපරාදේ නාස්ති වන බවට එහි වැසියන් චෝදනා නගනවා. මේ හේතුව නිසා ඔවුන් පවසන්නේ ‘වේලාව’ සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු බව යි. මේ සඳහා වූ යෝජනාවක් ඔවුන් සිය නියෝජිතයින් ලවා පසුගිය දා එරට පාර්ලිමේන්තුවට ද ගෙන ආවා.

සොමරෝයි දූපත පිළිබඳව සැකෙවින්

සොමරෝයි දූපත නෝර්වේ රාජ්‍යයේ උතුරින් පිහිටි කුඩා දූපතක්. මෙහි භූමි වපසරිය වර්ග කිලෝමීටර 0.34ක් පමණක් වන අතර, ප්‍රධාන වශයෙන් ධීවර කර්මාන්තය සිය ජීවනෝපාය කරගත් 320ක පමණ ජනකායක් මෙහි ජීවත් වෙනවා.

උත්තර කවය ලෙස හැඳින්වෙන්නේ උතුරු අක්ෂාංශ 66 1/2කටා වඩා උතුරෙන් පිහිටි පෙදෙස යි. සොමරෝයි දූපත මේ ප්‍රදේශයෙ තුළ පිහිටා තිබෙන අතර එය පිහිටා ඇත්තේ උතුරු අක්ෂාංශ 69 හා 70 අතර වෙනවා. මේ නිසා ශීත කාලයේ උපරිම කාලයේ දී දින කිහිපයක් එයට හිරු උදාවීම සිදු නොවන අතර ග්‍රීෂ්මයේ උපරිම සමයේ දී හිරු බැසයාම සිදුවන්නේ නැහැ. සංඛ්‍යාත්මකව පැවසුවහොත් සෑම වසරකම නොවැම්බර් හා ජනවාරි මාස අතර කාලයේ දී මේ දිවයිනට හිරු උදා නොවෙන අතර මැයි මස 18 වන දා සිට ජූලි මස 27 වන දා දක්වා දින 69ක කාලයක් මුළුමණින්ම හිරු බැසයන්නේ නැහැ.

සොමරෝයි වැසියන් විරෝධතා පවත්වමින්- Kjell Ove Hveding

හිරු එළිය හා දින චර්යාව

පැය 24ම හෝ ඒ ආසන්න පැය ප්‍රමාණයක් දිනකට හිරුඑළිය ලැබෙන කාලයේ දී සොමරෝයි දිවයිනේ වැසියන්ගේ දින චර්යාවත් කාලාන්තරයක් තිස්සේ ඒ අනුව හැඩගැසී ඇති බවට එහි වැසියන් ප්‍රකාශ කර සිටිනවා. විශේෂයෙන් මේ කාලය තුළ පාන්දර 2 හා සවස 2 යන වේලාවන් දෙකෙහි දී ප්‍රදේශයට ලැබෙන සූර්යයාලෝකයේ සැලකිය යුතු වෙනසක් සිදු නොවන බැවින් වේලාව වෙනසක් නොමැතිව පුද්ගලයින් සිය එදිනෙදා චර්යාවල නිරත වෙන බව එහි වැසියන් ප්‍රකාශ කර සිටිනවා.

නෝර්වේ ඇතුළු යුරෝපීය රටවල් බොහොමයක් ‘ග්‍රීෂ්ම කාලය’ යන සංකල්පය ක්‍රියාතමක කර ඇති නමුත් ග්‍රීෂ්මයේ උපරිමයේ දීත් උපරිම වශයෙන් වේලාව ඉදිරියට ගෙන එන්නේ පැයක් පමණක් වන නිසා උක්ත දිනවල දී හිරු එළිය සහිත දිවා කාලය දැඩි ලෙස අපතේ යන බව සොමරෝයි වැසියෝ චෝදනා කරනවා. විශෙෂයෙන් පාසල් වැනි සමහර සීමිත පහසුකම් තදබදයකින් තොරව බෙදා හදාගෙන පහසුවෙන් කාණ්ඩ වශයෙන් භාවිතා කිරීමේ හැකියාව තිබිය දීත්, මෙලෙස වේලාව නම් වූ සාධකය නිසා ඒවා එසේ සිදු නොවන බැව් ඔවුන් වැඩිදුරටත් පවසනවා. මේ හේතුව නිසා හිරු රශ්මිය හොඳින් වැටෙන රාත්‍රී කාලයේ දී සිය නිවෙස්වලට වී ඔහේ කාලය කා දමනට ඔවුනට සිදුවී තිබෙනවා. විශේෂයෙන් රජයේ ආයතනවල සේවය ලබාගැනීමට යාමේ දී සේවා මුර ක්‍රමය පහසුවෙන් යොදාගත නොහැකි ඇයිදැ යි යන්න ඔවුන් ප්‍රශ්න කරනවා.

වේලාව අපට එපා

උක්ත කාරනා සියල්ල සලකා බැලීමෙන් අනතුරුව සොමරෝයි දිවයිනේ ජනතාව තීරණය කර ඇත්තේ ‘වේලාව’ යන සංකල්පය සිය දිවයිනෙන් ඉවත් කර ගැනීම වඩා ඵලදායී බව යි. මේ අනුව ඔවුන් ඒ සඳහා වූ ක්‍රියාකාරකම් ආරම්භ කර තිබෙනවා. මෙය සංකේතාත්මකව පෙන්වීම සඳහා ඔවුන් සිය අත් ඔරලෝසු සියල්ල එක්කාසු කොට ඒවා සිය දූපත ප්‍රධාන ගොඩබිම හා සම්බන්ධ වන එකම පාලමෙහි ආධාරක මත එක පෙළට එල්ලා තැබුවා. මේ පිළිබඳව වූ පනතක් පාර්ලිමේන්තුවට යැවෙන්නේ ඉන් පසුව යි.

දිවයිනට ඇතුළු වන පාලමෙහි බැඳ තිබූ අත් ඔරලෝසු- Kjell Ove Hveding

වේලාව අහෝසි කිරීම විද්වත් මත

වේලාව අහෝසි කිරීමේ යෝජනාව කරලියට පැමිණීමත් සමග ඒ පිළිබඳව විවිධාකාරයේ මත ලොව නන් දෙසින් ඉදිරිපත් වූ අතර ඉන් වැඩි ප්‍රමාණයක් ඊට එරෙහිව නැගුණු ඒවා වුණා. විද්වතුන් කිහිප දෙනෙක් පවසා සිටියේ, දවසේ වැඩි කාලයක් හිරු එළිය ලැබීම හේතුවෙන් ඒ අනුකූලව රජයේ හා පෞද්ගලික ආයතනවල සේවා මුරයන් සකස් කිරීම සුදුසු වූවත් සම්පූර්ණයෙන්ම වේලාව අහෝසි කිරීම නිසා ඒවායේ පිළිවෙල අවුල් වී විවිධාකාරයේ ප්‍රශ්න ඇතිවනු ඇති බව යි. සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සමහරක් දෙනා පවසන්නේ මිනිස් ශරීරය දවසේ පැය 24ට අනුකූල චක්‍රීය ක්‍රියාවලියකට කාලයක් තිස්සේ ජෛවවිද්‍යාත්මකව හැඩගැසී ඇති බැවින් මෙලෙස කාලය අහෝසි කර ක්‍රියාකාරකම්වල නිරත්වන්නට යාමෙන් සෞඛ්‍ය ගැටළු රාශියක් පැනනගිනු ඇති බව යි.

කෙසේ නමුත් මීට පිළිතුරු දෙමින් සොමරෝයි දිවයිනේ වැසියන් කියා සිටින්නේ නිල වශයෙන් තවමත් ක්‍රියාත්මක කර නැතත් මේ වන විටත් තමන් සිය ජීවිතය හැඩගස්වාගෙන ඇත්තේ ‘වේලාවක් නොමැතියැ යි’ සලකාගෙන බව යි. මේ නිසා වේලාව අනුකූලව සෑදූ සමහර නීතිමය තත්ත්වයන් තමන්ට කරදරයක් පමණක් බව ඔවුන් පවසනවා.

Related Articles

Exit mobile version