විටින්විට අර්බුද මවන ලෝක ඛණිජ තෙල් සම්පතේ හිමිකරුවෝ

උග්‍ර විනිමය අර්බුදය හමුවේ උද්ගත ව ඇති තෙල් හා බලශක්ති හිඟය ශ්‍රී ලංකාව බරපතළ අර්බුදයකට පත් කර ඇත. දුම්රියේදී බස් රියේදී කාර්යාලයේදී මෙන් ම මිනිසුන් ගැවසෙන ඕනෑම තැනක දී මේ දිනවල අසන්නට දකින්නට ලැබෙන්නේ තෙල් හිඟය නිසා ඇතිව තිබෙන අපහසුතා ගැන විස්තර ය. තෙල් අලෙවි කරන ෂෙඩ් අසල පැය ගණන් පෝලිමේ සිටින පාරිභෝගිකයන් හා වාහන අද සුලබ දසුනකි.

පොසිල ඉන්ධන හෙවත් ඛණිජ තෙල් යනු වසර මිලියන ගණනක් පුරා මහපොළොව මත තිබුණු විවිධ කාබනික ද්‍රව්‍ය දිරා ගොස් පොළොව අභ්‍යන්තරයේ තැන්පත් වී එයින් සෑදුණු ස්වාභාවික සම්පතකි. ඛණිජ තෙල් යනු මානවයාට අලුතින් නිපදවිය හැක්කක් නොවේ. එය මහපොළොවේ දිගු කාලයක් මුළුල්ලේ ජීර්ණ ක්‍රියාවලියකට ලක්ව කිසියම් ආකාරයකට පොළොව තුළ තැන්පත්ව ඇති තැන්වලින් පිටතට ගෙන නිස්සාරණය කරමින් පමණක් පරිභෝජනය කළ හැකි සම්පතකි. එනිසා ම ඛණිජ තෙල් යනු සීමිත සම්පතකි. එම සීමිත ලෝක ඛණිජ තෙල් සම්පතේ හිමිකරුවන් ගැනයි මේ ලිපිය.

බ්‍රසීලයේ ලූමන් තෙල් සංචිතය – www.usatoday.com

 

තෙල් නිෂ්පාදනයේ අතීතය

ක්‍රිස්තු වර්ෂ 347දී කැණී යයි සලකන ලෝකයේ පැරණිත ම ඛණිජ තෙල් ළිඳ හමුවන්නේ චීනයෙනි.  මෑත යුගයේ තෙල් හා ගෑස් කර්මාන්තයේ මූලාරම්භය ලෙස සනිටුහන් වන්නේ 1847 වසර ය. ස්කොට්ලන්ත ජාතික විද්‍යාඥයකු වූ ජේම්ස් යං ගල් අඟුරු ආකරයක කිසියම් පෙට්‍රෝලියම් කාන්දුවීමක් නිරීක්ෂණය කළේ ය. එම කාන්දුවීම මඟින් ගල්අගුරුවලින් වාෂ්පශීලී තෙල් සහ ඝණ තෙල් පෙරා වෙන්කර ගත හැකි බව ඔහු දුටුවේ ය. ඒ ඔස්සේ පර්යේෂණ සිදු කළ ජේම්ස් යං නම් රසායන විද්‍යාඥයා ගල් අඟුරු ආශ්‍රිත නිධිවලින් ලෝකයේ ප්‍රථම වානිජ ඛණිජ තෙල් සහ ෆැරෆින් වර්ගයේ ඉටි නිෂ්පාදනය සඳහා 1850 දී පියවර ගත්තේ ය. වර්ෂ 1852දී පෝලන්ත ජාතික විද්‍යාඥයකු වූ ඉග්නාසි ලූකාසීවිෂ් පෙට්‍රෝලියම් සහ භූමිතෙල් ඉතා පහසුවෙන් පෙරා නිස්සාරණය කර ගැනීම සඳහා ක්‍රමයක් සොයාගන්නට සමත් විය. පෝලන්තයේ “බොබ්ර්කා” හි ප්‍රථම තෙල් පතල 1854 දී ඇති කෙරිණි.

අඩි 280ක් ගැඹුරැති පළමු තෙල් ළිඳේ  කැණීම් කටයුතු කැරිබියන් රටක් වූ ට්‍රිනිටෑඩ් හි ලා බ්‍රියා නගරයේදී මෙරිමැක් නම් ඇමරිකානු සමාගමක් 1857 දී සිදු කර ඇත. ස්වාභාවික ඛණිජ තෙල් අමෙරිකාවේ වටිනා වෙළෙඳ භාණ්ඩයක් විය. පෙනිසිල්වේනියාවේ තෙල් ගවේෂණය සඳහා කැණීම් 1859 දී සිදු විය. 1865 දී ලොව ප්‍රථම තෙල් සම්බන්ධ සමාගම වූ ස්ටෑන්ඩර්ඩ් ඔයිල් සමාගම ජෝන් ඩී රොක්ෆෙලර් ආරම්භ කළේ ය.

ලෝකයේ තෙල් නිෂ්පාදනය කරන ඔපෙක් සහ ඔපෙක් නොවන රටවල් – www.opec.org

 

ඔපෙක් සංවිධානය

ඔපෙක් සංවිධානය යනු ඛණිජ තෙල් අපනයනය කරන රාජ්‍ය ඇතුළත් සංවිධානයකි. 1960 දී ඉරානය, කුවේටය, සෞදි අරාබියාව, ඉරාකය සහ වෙනිසියුලාව එක්ව ඉරාකයේ බැග්ඩෑඩ් නුවර දී මෙම සංවිධානය ආරම්භ කෙරිණි. එනිසා මෙම රටවල් පහ ඔපෙක් සංවිධානයේ ආරම්භක සාමාජිකයන් ලෙස කටයුතු කරයි. ඔපෙක් සංවිධානයේ මූලික ප්‍රඥප්තියට අනුව සැලකිය යුතු ප්‍රමාණයකින් බොරතෙල් අපනයනය කළ හැකි ලෝකයේ ඕනෑම රටකට, ඔපෙක් සංවිධානයේ සාමාජිකයින්ගේ හතරෙන් තුනක පිළිගැනීමකට ලක්වේ නම් පූර්ණ සාමාජිකයකු වශයෙන් කටයුතු කිරීමේ වරප්‍රසාදය ලැබේ. 1961දී කටාර් රාජ්‍යය ද, 1962දී ඉන්දුනීසියාව සහ ලිබියාව ද, 1967දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද, 1969 දී ඇල්ජීරියාව ද, 1971 දී නයිජීරියාව ද, 1973 දී ඉක්වදෝරය ද, 1975 දී ගැබොන් රාජ්‍යය සහ ඇන්ගෝලාව ද, මෙම සංවිධානයට එක් වූහ. ඉක්වදෝරය, ඉන්දුනීසියාව, ගැබොන් රාජ්‍යය සහ කටාර් රාජ්‍යය ඔපෙක් සංවිධානයේ සාමාජිකත්වයෙන් මෑත කාලීනව ඉවත්ව තිබේ.

රටවල ඛණිජ තෙල් පරිභෝජනය 2016 දී – oilprice.com

ඛණිජ තෙල් පරිභෝජනය පිළිබඳ දත්ත වාර්තා

2016 දී ගණනය කළ දත්තයන්ට අනුව ලෝකයේ තහවුරු කොට තිබෙන තෙල් සංචිතය තෙල් බැරල් ට්‍රිලියන 1.65 කි. වර්ෂ 2016 දත්ත වාර්තාවලට අනුව 2016 ගෝලීය ඛණිජ තෙල් පරිභෝජනය තෙල් බැරල් 35,442,913,090 වූ අතර, එක් දිනෙක ගෝලීය පරිභෝජනය දිනකට බැරල් 97,103,871 බවට ගණන් බලා තිබේ.  මෙම ගණන් බැලීම්වලට අනුව ඒක පුද්ගල ඛණිජ තෙල් පරිභෝජනය 2016 දී ගැලුම් 199 හෙවත් තෙල් බැරල් 5කි. ඒ අනුව මෙතෙක් තහවුරු කොට ඇති ලෝකයේ පවතින ඛණිජ තෙල් ප්‍රමාණය ඉතිරි ව ඇත්තේ ඉදිරි වසර 47කට පමණි.

තෙල් නිෂ්පාදනය සහ අපනයන කරන රටවල් අතර මුල් රටවල් දහය යි මේ.

1. වෙනිසියුලාව
වෙනිසියුලාව යනු ලෝකයේ අන් කිසිදු රටකට වඩා විශාලතම තෙල් සංචිත ඇති රාජ්‍යයකි. එය ගෝලීය ඛණිජ තෙල් සම්පතෙන් 17.5% ක ප්‍රතිශතයකි. බැරල්වලින් සඳහන් කරන්නේ නම් බැරල් මිලියන 303.2කි. එය තනි රටක ඇති විශාලතම ඛණිජ තෙල් සංචිතයයි. 2011 වසරේදී ඛණිජ තෙල් අතින් වෙනිසියුලාව සෞදි අරාබියද ඉක්මවා යමින් ලැයිස්තුවේ ඉහළටම යාමට සමත් විය. වෙනිසියුලා රාජ්‍යයේ අපනයන ආදායමෙන් 90% කට වඩා ලැබෙන්නේ ඛණිජ තෙල් නිශ්පාදනයෙන් හා අපනයනයෙනි. 

වෙනිසියුලාවේ තෙල් නිෂ්පාදනය – www.usatoday.com

2. සෞදි අරාබිය
ලෝකයේ දෙවෙනි විශාලත ම ඛණිජ තෙල් සම්පතට හිමිකම් කියන්නේ සෞදි අරාබිය යි. තහවුරු කළ එරට මුළු තෙල් සංචිතයේ ප්‍රමාණය තෙල් බැරල් 266.2කි. එය එය ගෝලීය තෙල් සම්පතෙන් 15.7% අගයක් ගනියි. 2017 දත්ත වාර්තා අනුව දිනකට තෙල් නිශ්පාදනය බැරල් මිලියන 12කි. ඔපෙක් සංවිධානයේ සාමාජික රටවල් අතරින් තෙල් නිෂ්පාදනය වැඩියෙන් ම කෙරෙන රාජ්‍යය සෞදි අරාබිය යි. වර්ෂ 2017දී සෞදි අරාබියේ මුළු අපනයන ආදායමෙන් 75% කට වඩා වැඩි ප්‍රමාණයක් ලබාගෙන තිබෙන්නේ ඛණිජ තෙල් නිෂ්පාදනයෙන් සහ තෙල් අපනයනයෙනි. රටේ තෙල් සම්පතෙන් වැඩිම ප්‍රමාණයක් හසුරුවන්නේ එරට රජය යි. 

3. කැනඩාව
ගෝලීය තෙල් සම්පතෙන් 9.8% ක ප්‍රමාණයක් කැනඩාව සතු ය. 2019 වසරේදී නිෂ්පාදනය කළ බොරතෙල් ප්‍රමාණය දිනකට බැරල් 16,000කි. කැනඩාව ලෝකයේ තෙල් පරිභෝජනයෙන් 9වැනි ස්ථානය ගනි යි. වර්ෂ 2016 දත්තයන්ට අනුව කැනඩාව සාමාන්‍යයෙන් දිනකට තෙල් බැරල් 4,596,724.82 නිෂ්පාදනය කොට ඇත.  එය තෙල් නිෂ්පාදන රටවල් අතරින් කැනඩාව 5වැනි ස්ථානයට ගෙන එයි. ස්වකීය ඛණිජ තෙල් නිෂ්පාදනයෙන් 40%ක ප්‍රමාණයක් අපනයනය කරන කැනඩාව එයින් විශාල විදේශ විනිමයක් ජාතික ආර්ථිකයට උපයා ගනියි.  

4. ඉරානය
ජාත්‍යන්තර සම්බාධක හමුවේ ආර්ථිකය මෙහෙයවන ඉරානය තෙල් සම්පත අතින් ඉතාම පොහොසත් රාජ්‍යයකි. එහි සොයාගෙන තහවුරු කර ඇති තෙල් සංචිත ප්‍රමාණය බැරල් බිලියන 157.2 කි. එය ලෝකයේ සමස්ථ සංචිතවල ප්‍රතිශතයක් ලෙස ගතහොත් 9.3% අගයකි.  2017 වර්ෂයේ දත්ත වාර්තා අනුව දිනකට තෙල් බැරල් මිලියන 5ක් ඉරානය නිෂ්පාදනය කරයි.
ඉරානය ඔපෙක් සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකි. ඉරානයේ සියලු ම ඛණිජ තෙල් ගවේෂණය, නිපදවීම, සහ ඛණිජ නිෂ්පාදන කළමණාකරණය සිදුකරන්නේ ජාතික ඉරාන තෙල් සමාගම ය.  

ඉරානයේ තෙල් කැණීම –  www.tehrantimes.com

 

5. ඉරාකය
ගවේෂණාත්මක තහවුරු කිරීම් අනුව බැරල් බිලියන 148.8 හෙවත් ගෝලීය තෙල් සම්පතෙන් 8.8% ආසන්න තෙල් සම්පතක් ඉරාකය සතු ය. ගෝලීය තෙල් සැපයුමෙන් 9% ක් ඉරාකය සපයයි. එරට දිනක තෙල් නිෂ්පාදනය බැරල් මිලියන 4.5ක් බව 2017 දත්ත වාර්තා කරයි. ඉරාකයතෙල් අපනයනය කිරීමෙන්  2017 දී උපයා ගත් මුදල අමෙරිකා ඩොලර් බිලියන 60.8 කි. බැග්ඩෑඩ්, රමාඩි, බස්රා යන නගර ආශ්‍රිත ව ඉරාකයේ වැඩිම තෙල් සම්පත ඇතැයි සදහන් වේ. 

6. රුසියාව
 ලෝකයේ භූමියෙන් විශාල ම රට වන රුසියාව තුළ මෙතෙක් තහවුරු කළ තෙල්සම්පත තෙල් බැරල් බිලියන 106.2 හෙවත් ගෝලීය සම්පතෙන් 6.3%කි. 2017 දත්ත වාර්තා අනුව රුසියාවේ දිනකට නිෂ්පාදනය බැරල් මිලියන 11.3කි. රුසියාවේ 2017 අපනයන ආදායම වූ ඩොලර් බිලියන 341න් සියයට පනහක් ම වූයේ ඛණිජ තෙල් නිෂ්පාදන අපනයනය කිරීමෙන් ලත් ආදායම යි. රුසියාවේ තෙල් සම්පතෙන් වැඩි ප්‍රමාණයක් සොයා ගෙන ඇත්තේ සයිබීරියාව ආශ්‍රිත ප්‍රදේශයෙනි. 

7. කුවේට් රාජ්‍යය
ගෝලීය ඛණිජ තෙල් සංචිත අතුරින් ඉහළ වැදගත් කමක් ගන්නා කුවේටය සතු තෙල් සම්පත තෙල් බැරල් බිලියන 102ක් හෙවත් සමස්ත ගෝලීය තෙල් සම්පත් අතරින් 6% කි. 2017 දත්තයන්ට අනුව කුවේටයේ දෛනික තෙල් නිෂ්පාදනය බැරල් මිලියන 3කි. බැරල් බිලියන 100 ඉක්මවා යන තෙල් සම්පත ඇති රටවල් අතරින් හත්වැනි ස්ථානයේ  කුවේටය රැදී සිටියි. 

ලිබියාවේ ජාවියර් බ්ලාස් පිරිපහදුව – www.usatoday.com

8. එක්සත් අරාබි එමීර් රාජ්‍යය
ඔපෙක් සංවිධානයට අයත් රාජ්‍යයක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තහවුරු කළ තෙල් සම්පත බැරල් බිලියන 97.8 කි. එය ගෝලීය තෙල් සම්පතෙන් 5.8% අගයක් ගනියි. 2017 දී දිනක් තුළ එරට තෙල් නිෂ්පාදනය බැරල් මිලියන 3.9කි. එයින් උපයාගත් අපනයන ආදායම මුළු අපනයන ආදායම වූ ඩොලර් බිලියන 142 තුළ සියයට පනහක අගයක් ගත්තේ ය. 

9. එක්සත් ජනපදය 
එක්සත් ජනපදය තුළ වැඩිවශයෙන් ඛණිජතෙල් නිෂ්පාදනය කරන්නේ නිව් මෙක්සිකෝ, කොලරාඩෝ, උතුරු ඩැකොටා, ටෙක්සාස් සහ ඔක්ලහෝමා යන ප්‍රාන්ත වල ය. 2019දී මෙම ප්‍රාන්ත පහ එකතුව නිෂ්පාදනය කළ මුදාහැරි ඛණිජතෙල් ප්‍රමාණය එක්සත් ජනපද බොරතෙල් නිෂ්පාදනයෙන් 69% ක අගයක් ගනියි. 2017 දී එරට දිනක තෙල් නිෂ්පාදනය බැරල් මිලියන 13.1 කි. එක්සත් ජනපදය ලෝකයේ අධික ම තෙල් පරිභෝජනය කරන ප්‍රමුඛ රටවල් අතර සිටියි. බලශක්ති උත්පාදනය සහ පර්භෝජනය පිණිස එක්සත් ජනපදය වසරකට ඛණිජතෙල් ටොන් මිලියන 913.3 ක් වැය කරයි.

10. ලිබියාව
ලිබියාවේ තහවුරු වූ තෙල් සම්පත බැරල් බිලියන 48.4කි. එය සමස්ත ගෝලීය තෙල් සම්පතෙන් 2.9% ප්‍රමාණයකි. ලිබියාවේ අපනයන ආදායමේ තීරණාත්මක සාධකය වන්නේ තෙල් නිෂ්පාදනය යි. 2017 වසරේ එරට දෛනික තෙල් නිෂ්පාදනය බැරල් 865,000 කි. ලිබියානු නායක ගඩාෆි ගේ පාලනයෙන් පසු එරට තෙල් නිෂ්පාදනයෙන් 42.7% ක කඩාවැටීමකට ලක්විය.

ස්වභාව ධර්මයා මිනිස් ප්‍රජාවට දුන් ස්වභාව දායාදයක් වූ ඛණිජ තෙල් සම්පත මෙතෙක් ලෝකය පුරා බෙදී ගොස් ඇති ආකාරය මෙම කරුණුවලින් පැහැදිලි ය. තවමත් සොයා නොගත් තවමත් තහවුරු නොකළ ඛණිජ තෙල් සහ ස්වභාවික ගෑස් සංචිත ලෝකයේ කොතැනක හෝ තිබිය හැකි බවට අනුමාන කෙරේ. වැදගත් ම කරුණ නම් මෙතෙක් ගණනය කොට ඇති ආකාරයට ඉතිරි ව ඇති තෙල් සංචිතවලින් ලෝකයාට තෙල් ලැබෙන්නේ තවත් වසර 47 කට පමණන් වීම ය.

කවරයේ ඡායාරූපය - www.baobablms.com

මූලාශ්‍ර:

www.worldometers.info

/www.usatoday.com

www.nsenergybusiness.com

www.offshore-technology.com

www.opec.org

Related Articles

Exit mobile version