Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පහන්ගල කඳුවැටිය

ලංකාවේ තිබෙන සුන්දරම ස්ථානයක් වුවත්, වැඩි ප්‍රසිද්ධියක් නැති සැඟවුණු ස්ථානයක් ලෙස පහන්ගල කඳු වැටිය හඳුන්වන්න පුළුවන්. සුන්දරම කඳු වැටියක් වන “පහන්ගල” කියන්නේ තවත් කුඩා ලෝකාන්තයක් කිව්වොත් නිවැරදියි.

සුන්දර පහන්ගල

සුන්දර පහන්ගල පිහිටා ඇත්තේ මධ්‍යම කඳුකරයේ උතුරු බෑවුම අවසන් වන රිදී විහාර කඳු වැටියෙන් මිටර් 900 ක් දකුණු දෙසට වන්නට යි. පහන්ගල කඳුවැටියෙහි උස මීටර් 300 ක් පමණ වෙනවා.

පහන්ගල කඳු මුදුනට ළඟා වන අයෙකුට රිදීගම ප්‍රාදේශීය ලේකම් සීමාවේ අඩක් පමණම දැකගත හැකි වෙනවා. කඳු වළල්ලකින් වට වුණු මොරතිහ නම් වූ සුන්දර ගම්මානයේ සිරි දැකගත හැකි වන්නේ ද පහන්ගල කඳුවැටිය තරණය කර පහන්ගල වෙත ළඟා වූ අයෙකුට පමණයි. මේ ස්ථානයේ සිට කුරුණෑගල දිස්ත්‍රික්කය, මාතලේ දිස්ත්‍රික්කය, මෙන්ම මහනුවර දිස්ත්‍රික්කයත් වෙන්වන කඳු වැටි හොඳින් නිරීක්ෂණය කළ හැකියි.

කන්දේ නැගෙනහිරට වන්නට පිහිටා ඇති ඇටිපොළ කන්ද, ලිහිණියා ගල, නැව්ගල කන්ද මෙන්ම නෙල්ලි ගල මෙහි සිටින අයෙකුට දැකගත හැකියි. බටහිර සහ උතුරු දෙසින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශාල ප්‍රමාණයක් දැකගත හැකි වන අතර, ඇතුගල කන්ද, දොළු කන්ද, යක්දෙස්සා ගල, සහ හදුරුක් කන්ද මේ අතර ප්‍රසිද්ධයි. පහන්ගලේ සිට පහළ බලන අයෙකුට සුන්දර ජලාශයක් ද දැකගත හැකි වන අතර ඒ බතලගොඩ වැවයි.

trips.lakdasun.org (පහන්ගල මුදුනට ඇටිපොල කන්ද දිස්වන ආකාරය)

නම හැදුණ හැටි

“පහන්ගල” ට නම හැදුණ හැටි අපූරු යි. එය අතීත කතාවකින් පටබැඳුනක්. පහන්ගලේ සිට කෙලින්ම පහළ බලන විට ඔබට දැකගත හැකි බතලගොඩ වැව එක් රැයකින් හදා නිම කළ බවයි පැවසෙන්නේ. එක් රැයකින් එහි වැඩ නිම කර ඇත්තේ අතීතයේ සිටි යෝධයෙක් ලු. මේ යෝධයා පහන්ගල මුදුනේ විශාල පහනක් පත්තු කර ඒ එළියෙන් වැවේ වැඩ නිම කළ බවයි සඳහන් වන්නේ. කන්දට “පහන්ගල” යන නම ලැබුණේ මේ නිසා බවයි ජනප්‍රවාදයෙහි සඳහන් වෙන්නෙ.

trips.lakdasun.org (පහන්ගල සිට පහළ බලන විට බතලගොඩ වැව දිස්වන අයුරු)

ඉතිහාස කතා

මේ අවට ඇති රිදී විහාරයේ රහතන් වහන්සේලා 500 නමක් පමණ වැඩ සිටි බව පැවසෙනවා. උන් වහන්සේලා වැඩ සිටි ලෙන් රිදී විහාරය අවට කඳු කිහිපයක්ම දැකගත හැකියි. පහන්ගලේ යට කොටසේ විශාල ලෙන් සහ ගුහා කිහිපයක්ම දැකගත හැකියි. අතීතයේ මේ ලෙන් වලත් මහා රහතන් වහන්සේලා වැඩ සිටින්නට ඇතැයි විශ්වාස කරනවා.

පහන්ගලට ළඟා වීම

පහන්ගල දක්වා යන්න නම් අපි මුලින්ම යා යුතු වන්නේ රිදීගම නගරයට යි. රිදීගම නගරයට ළඟා වීමට නම් කුරුණෑගල නගරයට යා යුතුයි. කුරුණෑගල සිට නුවර මාර්ගයේ කිලෝ මිටර් 3 ක පමණ දුරක් එන විට මල්ලවපිටිය නම් හන්දිය හමු වෙනවා. මේ මල්ලවපිටිය හන්දියෙන් වමට තිබෙන කැප්පිටිගල මාර්ගයට හරවා කිලෝ මිටර් 15 ක විතර දුරක් ගමන් කිරීමෙන් ඔබට රිදීගම නගරයට ළඟා විය හැකියි.

රිදීගම නගරයේ සිට කිලෝ මීටර එකක (1) පමණ දුරක් කැප්පිටිගල මාර්ගයේ ගමන් කරන විට විජයපුර මංසන්ධිය ඔබට හමු වේවි. ඒ විජයපුර මංසන්ධියෙන් දකුණට ඇති මාර්ගයේ කිලෝ මීටර් එක හමාරක (1 ½ ) පමණ දුරක් ගමන් කරන විට රිදී විහාරය නම් වූ විහාර භූමිය වෙත ළඟා විය හැකියි.

මේ රිදී විහාරයේ සැරසුම්ගල නම් වූ චෛත්‍යය දක්වා ගමන් කර එය පිටුපසින් වැටී ඇති පාර දිගේ ගමන් කළ යුතුයි. ඒ මාර්ගය, එනම් චෛත්‍යය පසු කළ විගස ඔබට හමු වන මාර්ගය වන වියනක් යටින් වැටුණු මාර්ගයක්. එතැන් සිට පහන්ගල වෙත ළඟා වන තුරුම මේ වන වියන යටින් යි ගමන් කිරීමට සිදු වන්නේ. ඒ නිසා ඔබේ ගමන් මාර්ගය වැටී තිබෙන්නේ සිසිල් වූ පරිසරයක් තුළිනුයි.

mapsights.com (රිදී විහාරය)

mapsights.com (සැරසුම්ගල චෛත්‍යය)

සාමාන්‍යයෙන් කන්දක් තරණය කිරීම යන්න ඇති දුෂ්කර කාර්යයක් වුවත්, මේ ගමන අධික විඩාවකින් තොරව අවසන් කළ හැකි වේ. ඒ සිසිල් වූ පරිසරය නිසාමයි. එමෙන්ම සැරසුම්ගල චෛත්‍යයේ සිට පහන්ගල දක්වා ‍ගමන් කරන මාර්ගය ඇත්තේ තැනිතලා බිමකය. මෙය ගමන තවත් පහසු කරවයි.

එසේ ඒ මාර්ගය ඔස්සේ මිනිත්තු 15 ක පමණ කාලයක් ගමන් කළ පසු දුරකථන සංඥා කුළුණක් මුණ ගැසෙන අතර එය මඟ සලකුණක් බඳු ය. කුළුණේ ආරක්‍ෂිත වැටේ දකුණු පසින් ඇති ආදි පාර දිගේ තවත් මිටර් 200 ක පමණ දුරක් ගමන් කිරීමෙන් අනතුරුව ඔබට ගමනේ අවසානය වන පහන්ගල වෙත ළඟා විය හැකියි.

කවරයේ කතාව- trips.lakdasun.org

මූලාශ්‍ර

https://www.tripadvisor.com

http://www.srilankatravelnotes.com

http://amazinglanka.com

Related Articles