පැෂන් පෘට් හෙවත් වැල් දොඩම් ඉතාමත් මිහිරි රසයකින් යුත් පළතුරක්. බොහෝ නිවෙස්වල දක්නට ලැබෙන වැල් දොඩම්, පහසුවෙන්ම වගා කළ හැකි පළතුරු වර්ගයක් ලෙසින් හඳුනාගෙන තිබෙනවා. එසේම වැල් දොඩම්වලට දේශීය වෙළඳපොල තුළ හොඳ ඉල්ලුමක් පවතිනවා. ඒ වැල් දොඩම් ගෙඩියෙන් සාදන පළතුරු බීමවල තිබෙන ප්‍රණීත රසය නිසා යි. එම නිසා වාණිජ වගාවක් සහ ගෙවතු වගාවක් ලෙසින් වැල් දොඩම් වගා කරනු ලබනවා.
වැල් දොඩම් වගාවට හිතකර දේශගුණික සහ පාංශු සාධක
වැල් දොඩම් බෝගය වගා කිරීමේ දී වර්ෂාව තීරණාත්මක සාධකයක්. එම නිසා වසර මුළුල්ලේම හොඳින් පැතිරුණු වර්ෂාපතනයක් ඇති තෙත් කලාපීය ප්‍රදේශවල පහසුවෙන්ම වැල් දොඩම් වගා කළ හැකියි. එසේම වියළි සහ අතරමැදි කලාපවලත් වැල් දොඩම් වගාව සිදුකළ හැකියි. නමුත් එම ප්‍රදේශ ආශ්‍රිතව වියළි කාලගුණික තත්ත්වයක් පවතින අවස්ථාවන්වල දී අවශ්‍ය පරිදි ජල සම්පාදනය සිදුකළ යුතු යි.
මනා ජලවහනයක් පවතින විට සැහැල්ලු වැලි ලෝම පස්වල, සහ මැටි ලෝම පස්වල මෙම බෝගය වගා කළ හැකියි. එහි දී පසෙහි PH පරාසය 6.0-7.5 අතර පැවතිය යුතුයි.
ලංකාවේ වැල් දොඩම් වගා කරන ප්‍රදේශ
ශ්‍රී ලංකාව තුළ බහුලවම වැල් දොඩම් වගා කරනු ලබන්නේ කළුතර, ගම්පහ, රත්නපුර, සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක තුළ යි. නමුත් ගාල්ල, කොළඹ, නුවරඑළිය, කෑගල්ල, මහනුවර, මාතලේ යන දිස්ත්‍රික්කවල ද වැල් දොඩම් වගාව හොඳින් සිදුකළ හැකියි. එසේම අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර, යාපනය වැනි වියළි කලාපීය ප්‍රදේශ ආශ්‍රිතව ද ජල සම්පාදනය මඟින් වගාව සිදුකළ හැකියි.
වැල් දොඩම් ප්‍රභේද
අප රට තුළ අතීතයේ සිට දක්නට ලැබුණේ දම් සහ කහ යන වැල් දොඩම් ප්‍රභේද දෙක යි. නමුත් පසුකලෙක ඒවා යොදාගෙන නව වැල් දොඩම් ප්‍රභේද කිහිපයක් නිර්මාණය වුණා. පහත දක්වා තිබෙන්නේ දැනට මෙහි වගා කරන වැල් දොඩම් ප්‍රභේද යි.
කහ ප්‍රභේදය
මෙම ප්‍රභේදයට අයත් ගෙඩි ඕවලාකාර හෝ රවුම් හැඩයෙන් යුක්ත යි. ඉදුණු විට පොත්ත කහ පැහැයට හැරෙයි. ගෙඩියක් ග්‍රෑම් 80-150 අතර බරකින් යුක්ත යි. කහ ප්‍රභේදයට අයත් වැල් දොඩම් ගෙඩිවල අම්ල ගතිය දම් ප්‍රභේදයට සාපේක්ෂව වැඩියි. එම නිසා යුෂය තරමක් ඇඹුල් ගතියෙන් යුක්ත යි. සාමාන්‍යයෙන් මෙම ප්‍රභේදයේ සීනි සහ අම්ල අතර අනුපාතය 3:8ක් පමණ වෙයි. මිහිරි රසයකින් යුත් කහ ප්‍රභේදයේ වැල් දොඩම් ගෙඩි යුෂ නිෂ්පාදනය කිරීම සඳහා වඩාත් සුදුසු යි. මෙම වැල් දොඩම් ප්‍රභේදය වඩාත් හොඳින් වගා කළ හැක්කේ පහතරට තෙත් කලාපය තුළ යි. එසේම කහ වැල් දොඩම් නෙමටෝඩාවන්ට සහ ෆියුසාරියම් මැලවීමේ රෝගයට ඔරොත්තු දෙන නිසා වගාකරුවන් අතර වඩාත් ජනප්‍රිය යි.
දම් ප්‍රභේදය
මෙම ප්‍රභේදයට අයත් ගෙඩි ඕවලාකාර හැඩයෙන් යුක්ත යි. ඉදුණු විට ගෙඩියේ පොත්ත දම් පැහැයට හැරෙයි. ගෙඩියක් ග්‍රෑම් 30-50 අතර බරකින් යුක්ත යි. දම් ප්‍රභේදයට අයත් වැල් දොඩම් ගෙඩිවල පැණිරස ගතිය කහ ප්‍රභේදයට සාපේක්ෂව වැඩියි. ඒ මෙම ප්‍රභේදයේ සීනි සහ අම්ල අතර අනුපාතය 5:1ක් පමණ වන නිසා යි. මෙම වැල් දොඩම් ප්‍රභේදය වඩාත් හොඳින් වගා කළ හැක්කේ සීතල දේශගුණයකින් යුත් උස්බිම් තුළ යි. දම් වැල් දොඩම් නෙමටෝඩාවන්ට සහ ෆියුසාරියම් මැලවීමේ රෝගයට ගොදුරු වන බව හඳුනාගෙන තිබෙන නිසා වගාක්කරුවන් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු යි.
කහ සහ දම් යන වැල් දොඩම් ප්‍රභේද යොදාගෙන නිෂ්පාදනය කරන ලද තවත් වැල් දොඩම් ප්‍රභේද තුනක් අප රට තුළ වගා කරනු ලබනවා. එම වැල් දොඩම් ප්‍රභේද පිළිබඳව තොරතුරු පහත දක්වා තිබෙනවා.
බණ්ඩාරවෙල පර්පල්
බණ්ඩාරවෙල ප්‍රාදේශිය කෘෂිකර්ම පර්යේෂණ සහ සංවර්ධනය මධ්‍යස්ථානය විසින් දම් ප්‍රභේදය වැඩි දියුණු කර මෙම නව ප්‍රභේදය නිපදවනු ලැබුවා. මෙම ප්‍රභේදයට අයත් ගෙඩි ඕවලාකාර හැඩයකින් යුක්ත යි. ඉදුණු විට පොත්ත දීප්තිමත් රතු පැහැයකට හැරෙයි. ගෙඩියක් ග්‍රෑම් 100-120 අතර බරකින් යුක්ත යි. ගෙඩියකින් 35%ක පමණ යුෂ ප්‍රමාණයක් ලබාගත හැකියි. මදය තද කහ පැහැතියි. ප්‍රසන්න සුවඳකින් යුක්ත යි. මෙම වැල් දොඩම් ප්‍රභේදය නිර්දේශ කර තිබෙන්නේ උඩරට තෙත් සහ අතරමැදි කලාප සඳහා යි. සාමාන්‍යයෙන් මෙම වැල් දොඩම් ප්‍රභේදය වගා කිරීමෙන් ඉහළ අස්වැන්නක් ලබාගත හැකියි.
හොරණ ගෝල්ඩ්
හොරණ පළතුරු භෝග පර්යේෂණ සහ සංවර්ධනය ආයතනය විසින් කහ ප්‍රභේදය වැඩි දියුණු කර මෙම නව ප්‍රභේදය නිපදවනු ලැබුවා. මෙම ප්‍රභේදයට අයත් ගෙඩි රවුම් හෝ දිගටි හැඩයෙන් යුක්ත යි. ඉදුණු විට පොත්ත කහ තැඹිලි පැහැයකට හැරෙයි. ගෙඩියක් ග්‍රෑම් 135-150 අතර බරකින් යුක්ත යි. ගෙඩියකින් 52%ක පමණ යුෂ ප්‍රමාණයක් ලබාගත හැකියි. මදය කහ පැහැයට හුරු තැඹිලි පැහැයක් ගනියි. මෙම වැල් දොඩම් ප්‍රභේදය නිර්දේශ කර තිබෙන්නේ පහතරට තෙත්, අතරමැදි, මැදරට තෙත් සහ වියළි යන කලාප හතර සඳහා යි. සාමාන්‍යයෙන් මෙම වැල් දොඩම් ප්‍රභේදය වගා කිරීමෙන් ඉහළ අස්වැන්නක් ලබාගත හැකියි.
රහන්ගල දෙමුහුම
කහ සහ දම් යන වැල් දොඩම් ප්‍රභේද දෙමුහුම් කර මෙම ප්‍රභේදය නිපදවනු ලැබුවා. ගෙඩිය ඉදුණු විට පොත්ත රෝස පාටට හුරු දම් පැහැයකට හැරෙයි. යුෂය ගුණාත්මක බවින් වැඩියි. මදය කහ පැහැතියි. මිහිරි සුවඳකින් යුක්ත යි. මෙම වැල් දොඩම් ප්‍රභේදය නිර්දේශ කර තිබෙන්නේ උඩරට ප්‍රදේශ සඳහා යි. පහතරට ප්‍රදේශවල වගා කළ විට ගෙල කුණුවීමේ රෝගයට පහසුවෙන් ගොදුරු වෙයි.
වැල් දොඩම් භාවිතා කරමින් සිදුකරන නිෂ්පාදන
වැල් දොඩම් ප්‍රණීත රසයෙන් යුක්ත නිසා විවිධ ආහාර වර්ග නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කරනවා. වැල් දොඩම් භාවිතා කළ නිෂ්පාදනය කරන ආහාර සහ පාන වර්ග කිහිපයක් පහත දක්වා තිබෙනවා.
1) පළතුරු බීම 2) කෝඩියල්
3) ජෑම් 4) මාමලේඩ්
5) ජෙලි 6) පුඩින් වර්ග
7) අයිස් ක්‍රීම්
වැළඳෙන රෝග සහ හානි කරන පළිබෝධකයන්
වැල් දොඩම් වගාවට හානි කරන්නේ කූඩිත්තා සහ වැල් කපන කුරුමිණියා යන පළිබෝධකයන් දෙදෙනා යි. ඊට අමතරව වැල් දොඩම් වෛරස් රෝගය මෙම වගාවට වැළඳිය හැකි දරුණුම රෝගය යි.
වැල් කපන කුරුමිණියා
* දිගැති සිරුරක් සහිත කළු පාට කුරුමිණියෙක්.
* රාත්‍රී කාලයේ දී ක්‍රියාකාරී වන මෙම කුරුමිණියා දෙසැම්බර් සහ ජනවාරි මාසවල සුලභව දැකිය හැකියි.
* වැල් දොඩම් වගාවට හානි සිදු කරන්නේ ගැහැණු සතා යි.
* කෘමියා විසින් බිත්තර දැමීම සඳහා රාත්‍රී කාලවල දී බෝගයේ ප්‍රධාන වැල කපා දමයි.
* කපා දැමූ වැල්වල පොත්ත තුළ බිත්තර තැම්පත් කිරීමෙන් දින 8 දී පමණ කීටයන් බිහිවෙයි.
* කපා දැමීම නිසා මැරී ගිය වැල් තුළ කුඩා කීටයන් ක්‍රමයෙන් වර්ධනය වෙයි
* කීට අවධිය සඳහා වසරක පමණ දිගු කාලයක් ගතවෙයි
* එම නිසා ප්‍රමාණයෙන් විශාල වැල් පමණක් බිත්තර දැමීම සඳහා තෝරා ගනියි.
මෙම කෘමියාගෙන් සිදුවන හානිය පාලනය කිරීම සඳහා රෝගය වැළඳුණු වැල් කපා පුළුස්සා දැමිය යුතු යි. රෝගය උත්සන්න වුණු අවස්ථාවල දී නිර්දේශිත පළිබෝධනාශක භාවිතා කළ යුතු යි.
කූඩිත්තා
* කූඩිත්තන් වැල් දොඩම් ශාකයේ යුෂ උරා බීම සිදු කරයි.
* වැල් දොඩම් වෛරස් රෝගය පතුරවන වාහකයා වශයෙන් ක්‍රියා කරන්නේ කූඩිත්තා යි. එම නිසා කූඩිත්තන් මර්දනය කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි.
වැල් දොඩම් වෛරස් රෝගය
* වැල් දොඩම් වගාවට විශාල ලෙස හානි කරයි
* අස්වැන්න අඩුවී යයි
* ගෙඩියේ ගුණාත්මකභාවය අඩුවෙයි
* ගෙඩියේ පිට පොත්තේ කහ හෝ කොළ පැහැති පුල්ලි ඇතිවෙයි
* ගෙඩි අස්වාභාවික තද ගතියකින් යුක්ත යි
මෙම රෝගය වගාවට වැළඳුණු පසුව සුව කිරීමට අපහසු යි. නමුත් රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා රෝගී වැල් විනාශ කිරීම, කූඩිත්තන්ගේ ධාරක ශාක ලෙස ක්‍රියාකරන වල් පැලෑටි විනාශ කිරීම වැනි දේවල් කළ හැකියි. ඊට අමතරව වැල් මහත් වීම, සහ මුල් කුණුවීම වැනි රෝගයන් ද වැල් දොඩම් වගාව තුළ දක්නට ලැබෙනවා. නමුත් වගාවට වැඩිම හානිය සිදුකරන්නේ වැල් දොඩම් වෛරස් රෝගය යි.