COVID-19 රෝගයේ ඉරණම මෙන්න

දැනට සංසරණය වන සාර්ස් කොව්-2 නොහොත්, කොවීඩ්-19 වසංගතයේ ඉරණම දෙයාකාරයක් ලෙස ගත හැකි බව වසංගත විද්‍යාඥයෝ හා වයිරස විද්‍යාඥයෝ විශ්වාස කරති.

1 වන ජවනිකාව: 

නිරෝධායනය, ගමන් තහනම්, ලොක් ඩවුන්, සමාජ දුරස්ථකරණය (Social Distancing) මඟින් වසංගතය මුළුමනින්ම නැවතීම හා ඉන්පසු සාර්ස් වසංගතය සේ මෙම වයිරසය මුළුමනින්ම ලොවෙන් තුරන් වී යෑම ය. එය එසේ පහසුවෙන් සිදුනොවනු ඇතැ යි බහුතරයකගේ මතය යි. එයට හේතුව, රෝග ලක්ෂණ නොමැතිව වයිරස පිට කරන පුද්ගලයින් පාලන කටයුතුවලට හසුනොවීමත්, එමඟින් පවත්වා ගැනෙන සම්ප්‍රේෂණය යි (Sustained Transmission). එය දෙවන ජවනිකාව වෙත වසංගතය යොමු කරයි. ඒ, තමා විසින්ම සම්ප්‍රේෂණය පවත්වා ගන්නා (Self sustained) වසංගතයක් ලොව පුරා පැතිර යාම යි.

2 වන ජවනිකාව: 

නිදහස්ව තමා විසින්ම සම්ප්‍රේෂණය පවත්වා ගන්නා වසංගතයක් ලොව පුරා පැතිර යාම, මේ ජවනිකාව යි. මෙය ප්‍රභේද දෙකක් ලෙස සිදුවිය හැකි ය. 

(1) මේ අනුව විවිධ රටවල පිටතින් පැමිණෙන රෝගීන්ගෙන් නොව, ඒ ප්‍රජාවන් තුළ ම සම්ප්‍රේෂණය (community transmission) පවත්වා ගන්නා වසංගත පැතිරෙන අතර, මෙය වැඩි තීව්රතාවයකින් යුත් චක්‍ර දෙක තුනක් පවත්වා ගෙන ඉන්පසු, දැනට සංසරණයේ ඇති අනෙක් කොරෝනා වයිරස 4ට පස්වැන්න සේ එක්ව ප්‍රජාවේ රෝගය පතුරවමින්, වරින් වර මරණ ද ඇති කරමින් කාගේත් විශේෂ අවධානයෙන් ගිලිහී යෑම සිදුකරයි. එසේ වුව ද, මෙමඟින් විශාල පිරිසක් වෙත වයිරසය අසාදනය වීම නිසා එන්නත් හා ඖෂධ නිපදවීමට ව්‍යාපාරික ලෝකය පෙළඹවීම සිදුවිය හැකි ය. 

(2) මේ ජවනිකාවේ ඊළඟ ප්‍රභේදය දැඩි පාලන කටයුතු හා උෂ්ණත්ව වෙනස්කම් මත ක්‍රියාකාරකම බිංදුවට ආසන්න මට්ටමට පැමිණීම ය. එහෙත්, ඒ අවසානය නොවේ. නැවතත් වාසිදායක පාරිසරික සාධක පැමිණි කල ඊළඟ මෝසම්/ සීත කාලයේ එය නැවත මතු වෙනු ඇත. ඒ, වාරික (seasonal) වයිරසයක් ලෙස ය. හරියට 2009 අධි වසංගත ඉන්ෆ්ලුවන්සා වයිරසය වාරික වයිරසයක් ලෙස සම්ප්‍රේෂණය වන්නට ගෙන වසර 11ක් ගතව ඇතත්, 2020 දීත් තවම සැරිසරන ආකාරයට ය. එවන් තත්ත්වයක දී වයිරසය ධාරකයාව මරා දමන්නේ නම් එහි (වයිරසයේ) පැවැත්ම බිඳවැටෙනු ඇත. එබැවින්, මේ ආකාරයට සාර්ථකව වාරිකව (seasonal) සංසරණය වෙමින් පැවතීම සඳහා එය දැනට තමා සතු ප්‍රචණ්ඩ බවත් (virulence) අඩු කර ගනු ඇත. බොහෝ විද්‍යාඥ මතය නම්; දැනට එය රෝගීන් මරා දමන්නේ 2%-4% අතර ප්‍රමාණයක් බැවින් ද, සාර්ථක දිගුකාලීන සම්ප්‍රේෂණයක් සඳහා දැනට පවත්නා ගුණාංග ප්‍රමාණවත් බැවින් ද වයිරසය ඒ අයුරෙන්ම නොවෙනස්ව පැවතෙනු ඇති බව යි. කෙසේ වුව ද, මේ වසංගතයේ ඉරණම පළමුවන හෝ දෙවන ජවනිකාව ද යන්න අපට ඉදිරියේ දී දැකගත හැකි ය.

විශේෂඥ වෛද්‍ය පුෂ්ප රංජන් විජේසිංහ

Related Articles

Exit mobile version