19 වැනි ශතවර්ෂයට අයත් පර්සියාවේ (වර්තමාන ඉරානය) එක් රාජවංශයක් වූ ක්වජාර් රාජවංශයේ කුමරියක් හා සම්බන්ධව මෑතකාලීන සමාජ මාධ්‍යයන් තුළ පෙරළිකාර කතාබහක් ඇති වුණා. එහි සඳහන් වූ ආකාරයට “එවකට සුරූපී බවේ සංකේතය ලෙස හැඳින්වූ ක්වජාර් කුමාරියගේ ආදරය දිනා ගැනීමට නොහැකිවීම නිසා, තරුණ පුරුෂයන් 13 දෙනෙකු සියදිවි හානි කරගත් බව” සඳහන් වුණා. නමුත් මේ පිළිබඳ වන ඉතිහාස කතාව මීට වඩා විශාල වශයෙන් වෙනස්. එහි දක්වා ඇති ආකාරයට කිසි විටෙකත් ක්වජාර් නම් තනි කුමාරිකාවක් පර්සියාව තුළ ජීවත් වී නැහැ. ක්වජාර් යනු රජ පරම්පරාවක් වන අතර, ක්වජාර් කුමාරිකාවන් පිළිබඳ වාර්තා වී ඇති ඉතිහාසය හාත්පසින්ම වෙනස් සහ ගැඹුරු කාරණාවලින් සමන්විත බව ඒ පිළිබඳ අධ්‍යයනය කරන විට හඳුනාගත හැකියි. එනිසා ක්වජාර් කුමාරිකාවක් හා බැඳි සමාජ මාධ්‍ය තුළ පෙරළියක් ඇති කළ ඉහත පුවතෙහි අන්තර්ගත ඇතැම් කරුණු, සැබෑ ඉතිහාසය හා සසඳන කළ බොහෝ වෙනස් ස්වරූපයක් උසුලනවා.
ක්වජාර් රාජ වංශය
19 වැනි ශතවර්ෂය වන විට පර්සියාවේ රාජ්‍ය පාලනය රැගෙන යනු ලැබුණේ තුර්කි පෙළපතකින් පැවත ආ ක්වජාර් රාජවංශය යි. මෙම රාජ වංශය 1785 -1925 කාල පරාසය තුළ පර්සියාවේ රාජ්‍ය පාලනය සිදු කරනු ලැබුවා. උක්ත කාරණාව හා සම්බන්ධ වූ ක්වජාර් වංශික කුමරියගේ පියා වූ නසර් අල්-දින් ෂාහ් ක්වජාර් රජු එකල රාජ්‍ය පාලනය කළ රජුන්ගෙන් අයෙක්. ඔහු 1848 සිට 1896 කාල සීමාව තුළ පර්සියාවේ රජු ලෙස කටයතු කළා.
නසර් රජු ඉරාන ඉතිහාසය තුළ ඉතා වැදගත් චරිතයක් ලෙස හඳුන්වාදිය හැකියි. පර්සියානු ඉතිහාසයේ තුන්වැනි දීර්ඝතම රාජ්‍ය සමය හිමි අධිරාජයා ඔහු යි. නමුත් ඔහුගේ රාජ්‍ය පාලන ක්‍රමය අනෙකුත් පාලකයන්ගේ ගෞරවයට පාත්‍ර නොවූ බව ද සඳහන් වෙනවා. ඔහු තරමක් දුරට ඒකාධිපති ස්වභාවයක පාලනයක් අනුගමනය කළ බවත්, මේ හේතුව නිසා ආගමික සහ ස්වදේශික ගෝත්‍ර නායකයින් ඔහු පැනවූ නීති, රෙගුලාසිවලට එකඟ නොවූ බවත් කියැවෙනවා.
නසර් රජු නිල වශයෙන් යුරෝපා රටවල සංචාරයන්හි නිරත වූ පළමු පර්සියානු අධිරාජයා ලෙස ඉතිහාසගත වී තිබෙනවා. ඔහු 1873,1879, සහ 1889 වසරවල යුරෝපා සංචාරයන්හි නිරත වූ බව සඳහන්. මෙම සංචාරවල දී එක්සත් රාජධානිය එකල භාවිතයට ගනු ලැබූ තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳ ඔහු ඉතා විශ්මයට පත් වූ අතර, පර්සියානු ජනතාවගේ දැඩි විරෝධාකල්ප මැද පවා ඇතැම් තාක්ෂණයන් පර්සියාව තුළ ස්ථාපිත කළ බව ද සඳහන් වෙනවා.
තම රටවැසියන් අමනාපයට පත්කිරීම යන කාරණාව පසෙකට ලූ විට, රාජ්‍ය පාලකයෙකු වශයෙන් ඔහු පර්සියාව තුළ ඉතා විශාල වෙනස්කම් රාශියක් සිදු කළ බව දැකගත හැකියි. ඔහු මාර්ග සංවර්ධනය, ටෙලිග්‍රාෆ් සහ තැපැල් සේවය ආරම්භ කිරීම, හමුදා සේනාංක ප්‍රමාණාත්මකව ඉහළ නැංවීම, උසස් අධ්‍යාපනික ආයතන බිහි කිරීම, පළමු පුවත්පත ආරම්භ කිරීම, සහ විදේශීය සබඳතා ඉහළින් පවත්වා ගැනීම සිදුකර තිබෙනවා. කෙසේ නමුත් නසර් රජු 1896 දී ඝාතනයට ලක් වී තිබෙනවා.
නසර් රජුට දාව උපන් කුමරියන් එකොළොස්දෙනෙකු වුණා. එස්මත්-ඔද්-දව්ලේ සහ සාරා ඛානුම් තාජ් එස්-සුල්තානේ එයින් දෙදෙනෙක්. එස්මත් කුමරිය වයස අවුරුදු 9 දී විවාහය සඳහා යොමුකර තිබෙනවා. විවාහයෙන් අනතුරුව ඇය සිය ස්වාමියා සහ ඥාති සහෝදරයින් හැර වෙනත් පුරුෂ ආශ්‍රයක් සඳහා යොමු වී නැති බව සඳහන්. එබැවින් ඇයගේ අත පතා තරුණියන් 13 දෙනෙකු පැමිණීම හා ඇගේ ප්‍රේමය නොලැබී ප්‍රතික්ෂේප වීම තුළ ඔවුන් සියදිවි නසා ගැනීමක් පිළිබඳ කිසිදු වාර්තාවක් නැහැ.
පර්සියානු කුමරියන්ගේ සුරූපී බව මනින නිර්ණායක
ලෝකය පුරා විවිධ සංස්කෘතීන් සමග බද්ධ වූ සුරූපී බව අගයන නිර්ණායක පවතිනවා. 19 වැනි ශතවර්ෂය වන විට පර්සියාවේ සුරූපී බව අගයන නිර්ණායක් ලෙස “කාන්තාවන් සිහින් උඩු රැවුලක් වර්ධනය කර ගැනීමට කටයුතු කිරීම” දක්නට ලැබුණා. එවන් වටපිටාවක් තුළ එස්මත් ඇතුළු පර්සියානු කාන්තාවන් බොහෝ දෙනෙක් සිහින් උඩු රැවුලක් වර්ධනය කරගනිමින්, සිය සුරූපී බව ලොවට විදහා දැක්වීමට උත්සාහ කළ ආකාරය දැක ගත හැකියි. එවැනි වටපිටාවක් තුළ 19 වැනි ශතවර්ෂය වන විට කාන්තාවන් සිය සුරූපී බව ඉස්මතු කර ගැනීමට, වඩා ස්වභාවික රූප ලක්ෂණයන් හිමිකර ගැනීමට පෙළඹී තිබුණා. කෙසේ වෙතත් පර්සියානු කාන්තාවන්, පර්සියානු පුරුෂයන් සතුව පැවති කාන්තා ලාලිත්‍ය ලක්ෂණ අගය කළ බවත් සඳහන් වෙනවා. මේ හේතුව නිසා පර්සියානු කාන්තාවන් විශාල ඝණ ඇහිබැම, සහ උඩුතොල මත සිහින් රැවුල වර්ධනය කර ගැනීමට පෙළඹුණා. මෙම රූප ලක්ෂණ ඉස්මතු කර පෙන්වීමට බොහෝ විට ඔවුන් “මස්කාරා” වැනි රූපලාවණ්‍ය ද්‍රව්‍ය භාවිතයට ගත්බව සඳහන් වෙනවා. මෙසේ කාන්තා පාර්ශවය වඩා ස්වභාවික, මහත් ශරීර ඇතිව හැඩිදැඩි ස්වභාවයක් හරහා සිට සුරූපී බව විදහා දැක්වීමට කටයුතු කළ අතර, පර්සියානු පුරුෂ පාර්ශ්වය සිහින් හැඩැති සිරුරක් සහ කොමළ ස්වභාවය සහිත ගතිගුණ විදහාපාමින් කාන්තා ආකර්ශණය ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා.
19 වැනි ශතවර්ෂය හා සසඳන කල, වර්තමානය වන විට පෙරදිග සමාජයේ ස්ත්‍රී රූපශ්‍රීය පිළිබඳ වන නිර්ණායකයන්හි කැපී පෙනෙන මහත් වෙනසක් සිදුවී තිබෙන බව නිරීක්ෂණය කළ හැකියි. කලෙක සුරූපීබව මනින නිර්ණායක තවත් කලෙක එලෙස සම්භාවනාවට පාත්‍ර නොවීමට ඉඩ පවතින නමුත්, තත්කාලීන නිර්ණායක හාස්‍යයට ලක් කිරීමට කිසිදු හැකියාවක් නැහැ.
එස්මත් කුමරිය සතුව පැවති දැඩි ගුණාංග නිසාම, ඇයගේ පිය රජු සිය රාජ්‍යයට පැමිණෙන කාන්තා අමුත්තන්ට සේවය සැපයීමේ සහ සත්කාර කිරීමේ වගකීම ඇයට පවරා දී තිබුණා. එමෙන්ම එස්මට් කුමරිය බොහෝ අවස්ථාවල දී සම්ප්‍රදායට එරෙහිව ක්‍රියා කිරීමට මැලි නොවූ අතර, එවකට කාන්තාවන් සිදු නොකළ පියානෝ වාදනය, ඡායාරූපකරණය වැනි ශිල්ප ප්‍රගුණ කරනු ලැබුණා. ඇයගේ පියා ඇයට ඇගේම පුද්ගලික කලාගාරයක් නිමවා දී තිබුණා.
ස්ත්‍රීවාදී අදහස් තුළින් ඉතිහාස ගත වූ ක්වජාර් වංශික කුමරියන්
නසර් රජුගේ 11 වැනි දියණිය මෙන්ම, එස්මත් කුමරියගේ සුළු-සහෝදරිය වූ තාජ් එස්-සුල්තානේ, එස්මත් කුමරිය මෙන්ම සාම්ප්‍රදායන් ප්‍රශ්න කරමින්, ඊට අභියෝග කරමින් පර්සියානු ඉතිහාසය වෙනස් කළ කාන්තා චරිතයක් ලෙස හඳුනාගත හැකියි. එමෙන්ම ඇය උග්‍ර ස්ත්‍රීවාදී අදහස් දරමින්, කාන්තා විමුක්තිය උදෙසා සටන් කළ තැනැත්තියක ලෙස ඉතිහාගත වී තිබෙනවා. පර්සියාව තුළ රහසේ ක්‍රියාත්මක වෙමින් කාන්තා අයිතීන් දිනාගැනීම වෙනුවෙන් සංවිධානය වූ “අන්ජොමන් හොරියත් න්ස්වෙන්” හෙවත් “කාන්තා විමුක්ති සංගමය (Women’s Freedom Association)” ඇයගේ මූලිකත්වයෙන් ඇරඹුණු සංවිධානයක්. ඊට අමතරව ඇය පර්සියානු රාජ්‍ය තුළ කාන්තා භූමිකාව පිළිබඳ ග්‍රන්ථ රචනා කළ කතුවරියක්, චිත්‍ර ශිල්පිණියක් මෙන්ම ඉතා බුද්ධිමත් තැනැත්තියක්. වඩා වැදගත් කාරණාව වන්නේ ඇය සම්ප්‍රදාය එක එල්ලේ විවේචනය කරමින් ක්වජාර් රාජ සභාව තුළ තම හිජාබය ගලවා දමා, ක්වජාර් සම්ප්‍රදායික ඇඳුම් ආයිත්තම් ඉවත්කොට, බටහිර සම්ප්‍රදාය අනුගමනය කළ පළමු කාන්තාව වීම යි.
සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන බොහෝ කරුණුවල පවතින සත්‍ය-අසත්‍යතාව පිළිබඳ විමසා බැලීම වැදගත්. ඇතැම් අවස්ථාවල දී සමාජගත වන කාරණා තුළ සත්‍යයට වඩා අසත්‍ය කරුණු අන්තර්ගත වී තිබෙනවා. කරුණු තෝරා බේරා ගනිමින් සත්‍ය කරුණු සමාජගත කිරීම තුළින් ඉතිහාසය විකෘති වීම වලකාගත හැකියි.