Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පුද්ගල බන්ධනාගාරගත කිරීම් ඉහළ යාමට බලපාන හේතු

සමාජ, ආර්ථික, සහ දේශපාලන වශයෙන් අර්බුදකාරී කාලසීමාවක් පසු කරමින් සිටින තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවේ සිදු වන විවිධ අපරාධ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් තිබේ.

විවිධ ප්‍රදේශවල සිදු වූ වෙඩි තැබීම් හේතුවෙන් පසුගිය සති කිහිපය තුළ පුද්ගලයන් ගණනාවක් ජීවිතක්ෂයට පත් විය. ඊට අමතරව සොරකම්, මුදල් වංචා, සහ විවිධ අපචාර ක්‍රියා වැනි සියලු ආකාරයේ අපරාධවල වැඩි වීමක් වාර්තා වේ.

ජූලි 26 වැනි දා සිට අගෝස්තු 01 වැනිදා දක්වා කාලය තුළ දෙනකු වෙඩිතැබීම්වලින් පුද්ගලයන් මිය යාම ඉහළ ගොස් ඇත. පොලිසියේ දත්තවලට අනුව මැයි 30 සිට මේ දක්වා වාර්තා වන වෙඩි තැබීමේ සිද්ධි සංඛ්‍යාව 20කි. පොලිසිය පවසන්නේ, වෙඩි තැබීමේ සිද්ධි මා අපරාධවල පැහැදිලි වැඩි වීමක් ඇති බව යි. 

වැලිකඩ බන්ධනාගාරය – www.dailynews.lk

මේ හේතුවෙන් ගත වූ මාස කිහිපය තුළ විවිධ චෝදනාවලට වැරදිකරුවන් වී බන්ධනාගාරගත කරන පුද්ගලයන් සංඛ්‍යාව ද පසුගිය වසරවලට සාපේක්ෂ ව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව පසුගියදා වාර්තා විය. ඒ පිළීබඳ සැබෑ ම තත්ත්වය, එවැනි තත්ත්වයක් ඇති වීමට බලපා ඇති හේතු ගැන මේ ලිපියෙන් සොයා බලමු.

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පිහිටා ඇති බන්ධනාගාර සියල්ල බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වේ.  ඒවා, සංවෘත බන්ධනාගාර, රැඳවුම් බන්ධනාගාර, වැඩ කඳවුරු, විවෘත එළිමහන් බන්ධනාගාර කඳවුරු, සහ තරුණ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථාන යනුවෙන් ඛාණ්ඩ කිහිපයකට බෙදා තිබේ.

බන්ධනාගාර රැඳවියන් සඳහා පැවැත්වෙන පුහුණු සැසියක් – www.prisons.gov.lk

අඟුණකොළපැලැස්ස, බෝගම්බර, බූස්ස, මහර සහ වැලිකඩ යන බන්ධනාගාර සංවෘත බන්ධනාගාර ලෙසත්, අනුරාධපුර, බදුල්ල, මඩකළපුව, කොළඹ රිමාන්ඩ්, ගාල්ල, යාපනය, කළුතර, කෑගල්ල, කුරුවිට, මැගසින්, මාතර, මොනරාගල, මීගමුව, පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ වාරියපොළ බන්ධනාගාර රැඳවුම් බන්ධනාගාර ලෙසත්, අඹේපුස්ස, මීතිරිගල, කදුරුගස්ආර, කන්දෙවත්ත, කුරුවිට, පිටබැද්දර, වාරියපොළ, වටරැක සහ වීරවිල බන්ධනාගාර වැඩ කඳවුරු ලෙසත්, අනුරාධපුර සහ පල්ලෙකැලේ එළිමහන් බන්ධනාගාර කඳවුරු ලෙසත්, පල්ලන්සේන සහ තල්දෙන තරුණ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථාන ලෙසත් ක්‍රියාත්මක වේ.

සිරකරුවන්ගේ වැඩිවීමක්

රට පුරා පිහිටා ඇති සියලු බන්ධනාගාරවලට අදාළ සංඛ්‍යා ලේඛනවලට අනුව, 2022 වසර ආරම්භයේ දී පටන් මේ දක්වා, බන්ධනාගාරගතවීම් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව පසුගිය දා වාර්තා විය. විවිධ වැරැදි සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් සහ නඩු විභාග අවසානයේ වැරැදිකරුවන් බවට පත් වී බන්ධනාගාරගත වන පුද්ගලයන් සංඛ්‍යාව ද ඉහළ ගොස් තිබෙන තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මේ වසරේ ජූලි මස වන විට රට පුරා පිහිටි බන්ධනාගාරවල රඳවා ඇති සිරකරුවන් සංඛ්‍යාව ආසන්න වශයෙන් 20,500කි.

මව්වරුන්ගේ දිනය වෙනුවෙන් වැලිකඩ බන්ධනාගාරයේ පැවැති වැඩසටහනක් – www.dailynews.lk

එම සංඛ්‍යාව ඊට පෙර වසරවල ජනවාරි සිට ජූලි දක්වා වූ කාලය තුළ බන්ධනාගාරවල රඳවා සිටි සිරකරුවන් සංඛ්‍යාවට සාපේක්ෂ ව සැලකිය යුතු ඉහළ අගයක් ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.  දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2017 දී සිරකරුවන් 50,274ක්, 2018 දී සිරකරුවන් 61,418ක්, 2019 දී සිරකරුවන් 31,446ක්, සහ 2020 දී සිරකරුවන් 48,626ක් වශයෙන් බන්ධනාගාරවල රඳවා තබා ඇත.

සිරගතවීම්වලට අදාළ වැරැදි

බන්ධනාගාර වෙත වාර්ෂික ව යොමු කරන සිරකරුවන් සිරගත වීම සඳහා බලපාන වැරැදි විශාල පරාසයක පැතිර පවතියි. ඒ අතර මිනීමැරීම, මිනීමැරීමට උත්සහ කිරීම, පැහැර ගැනීම, ස්ත්‍රී දූෂණය, සාපරාධී බිය වැද්දීම, ගබ්සාව, සිය දිවි නසා ගැනීමට තැත් කිරීම, අපරික්ෂාකාරී රිය ධාවනය නිසා මරණයක්/ මරණ සිදු කිරීම, පිරිමි හෝ ගැහැනු පුද්ගලයන් අලෙවි කිරීම පුධාව ය.

සොරකම, මංකොල්ලකෑම, වංචා කිරීම, ගිනි තැබීම, අනර්ථය, ව්‍යාජ මුදල් නෝට්ටු සකස් කිරීම, අල්ලස් ගැනීම, සතුන්ට හිරිහැර කිරීම, බීමතින් අවිනීතව හැසිරීම, රජයට අයත් ඉඩම් එළිපෙහෙළි කිරීම, පොලිසියට වාර්තා නොකිරීම, මුදලට ලිංගික සේවා සපයන ස්ථාන පවත්වාගෙන යාම, රජයේ නිලධාරීන්ට බාධා කිරීම, ළමා අපචාර, සහ ආදායම් බදු නොගෙවීම යනාදි වැරදි ද අනතුරු ව ප්‍රධාන තැනක් ගනී. ඊට අමතර ව හදිසි නීතිය සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ද සැලකිය යුතු පිරිසක් බන්ධනාගාරගත කෙරේ.

සමාව ලබා පිටව යන රැඳවියෝ – www.dailymirror.lk

සිරගත කිරීම් ඉහළ යාමට හේතු

මේ ආකාරයෙන් සිරගත කිරීම් ඉහළ යාම සඳහා බලපා ඇති හේතු කිහිපයක් ද බන්ධනාගාර බලධාරීන් හඳුනා ගෙන තිබේ. පවතින ආර්ථික අර්බුදය හමුවේ මුහුණදෙන මූල්‍යමය දුෂ්කරතා හේතුවෙන් සමහර සුළු වැරදි සම්බන්ධයෙන් චෝදනාවලට ලක්වන පුද්ගලයන්ට අධිකරණය නියම කරන දඩ මුදල් ගෙවීමට හැකියාවක් නොමැති වීම නිසා ඔවුන්ට ද බන්ධනාගාරගත වීමට සිදු වී ඇත.

දඩ මුදල් ගෙවීමට වත්කමක් නොමැති වීම නිසා සිරගත වීමට සිදුවන පුද්ගලයන් සම්බන්ධයෙන් කාලයක් තිස්සේ කතාබහක් නිර්මාණය වී තිබෙන අතර බොහෝ දෙනකු පෙන්වා දෙන්නේ ඔවුන් සිරගත කර තැබීමේ දී රජයට ඔවුන් වෙනුවෙන් දැරීමට සිදු වන වියදම ඔවුන් ගෙවිය යුතු දඩ මුදලට වඩා ඉහළ අගයක් ගන්නා බව යි.

දිනෙන් දින ඉහළ යන අපරාධ

පසුගිය මාස කිහිපය පුරාවට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන පාතාල කල්ලි ආශ්‍රිත ක්‍රියාකාරකම් ද මේ ආකාරයෙන් සිරගතවීම් ඉහළ යාම සඳහා හේතු වී ඇත. විශේෂයෙන් ම ඉකුත් මාසවල නාඳුනන තුවක්කුකරුවන් යතුරුපැදිවලින් හෝ වෙනත් වාහනවලින් පැමිණ පුද්ගලයන්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම් ගණනාවක් වාර්තා විය. ශ්‍රී ලංකා පොලිසිය සතු දත්තවලට අනුව පසුගිය මැයි 30 සිට අගෝස්තු 1 දක්වා වූ කාලය තුළ එවැනි නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙඩි තැබීම්වලින් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 20කට අධික යි.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශන අතරතුර තුවක්කුකරුවන් පමණක් නොව ඔවුන්ට ආයුධ සැපයීම, වාහන සැපයීම, වෙනත් ආකාරවලින් අනුබල දීම, වැනි විවිධ වැරදිවලට සම්බන්ධ පුද්ගලයන් ද අත්අඩංගුවට ගෙන ඇත. ඒ ආකාරයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව බන්ධනාගාරගත කෙරේ.

ආහාර පිළියෙළ කරන රැඳවියෝ – www.twitter.com- Azam Ameen

සොරකම් සහ වෙනත් වංචාවල වැඩිවීමක්

රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ සොරකම් සහ වෙනත් වංචාවල සැලකිය යුතු ඉහළ යාමක් තිබෙන බව වාර්තා වේ. ඉහළ ගොස් ඇති ජීවන වියදම, රැකියා අහිමි වීම, සහ වැටුප් කප්පාදු කිරීම, වැනි විවිධ හේතු නිසා සමහර පුද්ගලයන් සොරකම් කිරීම වැනි වැරදි ක්‍රියාවලට යොමු වී ඇත. මේ දිනවල නිවෙස්වල සහ ව්‍යාපාරික ස්ථානවල සිටින පුද්ගලයන් බියවද්දා මුදල් සහ භාණ්ඩ පැහැර ගැනීම් මෙන් ම නිවෙස්වලට සහ ව්‍යාපාරික ස්ථානවලට අනවසරයෙන් ඇතුළු වී සොරකම් කිරීමේ සිදුවීම් මාධ්‍ය මගින් නිරන්තරයෙන් වාර්තා කෙරේ. මේ ආකාරයෙන් සොරකම් කරන දෑ අතර ගෑස් සිලින්ඩර් සහ ආහාර ද්‍රව්‍ය වැනි දේ පවා වීම විශේෂත්වයකි. කෙසේ වෙතත් තාක්ෂණික දියුණුව හමුවේ ආරක්‍ෂිත කැමරා වැනි ආරක්ෂක උපක්‍රම මේ වන විට බොහෝ ස්ථානවල ස්ථාපිත කර ඇති බැවින් මෙවැනි ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් ඉක්මනින් නීතියේ රැහැනට කොටු කර ගන්නට ආරක්ෂක අංශ සමත් වෙයි.

විදෙස් රැකියා සඳහා පිටත් කරන බව පවසමින් විවිධ පුද්ගලයන්ගෙන් වංචනික ආකාරයෙන් මුදල් ලබා ගන්නා පුද්ගලයන්ගේ සහ ආයතනවලද මේ වන විට වැඩි වීමක් තිබේ. බොහෝ පුද්ගලයන් මේ දිනවල දැඩි ආර්ථික දුෂ්කරතාවලින් පෙලෙන බැවින් කොපමණ මුදලක් ගෙවා හෝ විදේශගත වීමට බොහෝ දෙනෙක් පෙළඹීම හේතුවෙන් මේ තත්ත්වය තවත් උග්‍ර වී ඇත. එවැනි පුද්ගලයන් රවටා, ඔවුන්ගෙන් වංචනික ආකාරයෙන් මුදල් ලබා ගන්නා පුද්ගලයන් සහ ව්‍යාජ විදේශ රැකියා සපයන ආයතනවල ඉහළ යාමක් තිබෙන බව පසුගිය දිනවල වාර්තා විය. එවැනි පුද්ගලයන් ද නිරන්තරයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන, අධිකරණ ක්‍රියාමාර්ගවලින් අනතුරු ව බන්ධනාගාරගත කෙරේ.

මහ මඟ වෙඩි තැබීමේ සිදුවීම් මේ වන විට ඉහළ ගොස් ඇත- www.dailynews.lk

අලුතෙන් එක් වූ වැරදි

 රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ මීට පෙර අප අසා නොතිබූ වැරැදි ද මේ වන විට නිර්මාණය වී ඇත. ඉන්ධන තොග එක්රැස් කිරීම සහ වැඩි මිල ගණන්වලට අලෙවි කිරීම වැනි වැරැදි මීට පෙර අසන්නට ලැබුණු ඒවා නොවේ. කෙසේ වෙතත් පසුගිය කාලය පුරාවට පැවති ඉන්ධන හිඟය (මේ වන විට යම්තාක් දුරකට පහව ගොස් ඇති බවක් පෙනෙන්නට තිබේ) හේතුවෙන් විවිධ පුද්ගලයන් ඉන්ධන තොග එක්රැස් කරන බව සහ ඒවා වැඩි මිලට අලෙවි කරන බව නිරන්තරයෙන් අසන්නට ලැබිණි. එවැනි සිදුවීම් සම්බන්ධයෙන් වන පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පොලිසිය විශේෂිත දුරකථන අංක පවා හඳුන්වා දී ඇත. ලැබෙන පැමිණිලි ඔස්සේ අත්අඩංගුවට ගන්නා මෙවැනි වැරැදිවලට සම්බන්ධ පුද්ගලයන් ද නිරන්තරයෙන් බන්ධනාගාරගත කෙරේ.

හදිසි නීතිය නිසා සහ අරගලයට සම්බන්ධ වූ අය

වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කරමින් සිටිය දී වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයට පත් කළ හදිසි නීති තත්ත්වය සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස බල කරමින් ක්‍රියාත්මක වූ ජනතා අරගලයට සම්බන්ධ පුද්ගලයන් නිරන්තරයෙන් අත්අඩංගුවට ගැනීම ද බන්ධනාගාරගත කිරීම් ඉහළ යාම සඳහා හේතු වී ඇත.

ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යයාලය සහ අරලියගහ මන්දිරය වැනි ස්ථානවලට පසුගිය දිනවල ඇතුළු වූ පුද්ගලයන්, විරෝධතාවලට සහභාගී වූ පුද්ගලයන්, සහ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පළකිරීම් සිදු කළ පුද්ගලයන් දිගින් දිගට ම අත්අඩංගුවට ගැනීම සිදු වේ. ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසකට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලැබෙන නමුත් තවත් පිරිසක් බන්ධනාගාරගත කෙරේ.

බන්ධනාගාර නිලධාරීහු – www.prisons.gov.lk

අවධානයෙන් පසු වන පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ

පසුගිය මාස කිහිපය පුරාවට ඉන්ධන පිරවුම්හල් සහ ගෑස් බෙදාහැරීමේ මධ්‍යස්ථාන වැනි ස්ථාන අසල ආරක්ෂාව සඳහා පොලිස් සහ හමුදා නිලධාරීන් යොදවා තිබිණි. එවැනි ස්ථානවල රාජකාරියේ යෙදී සිටින නිලධාරීන් විවිධ වැරදි ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසු වී එම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අදාළ නීතිමය පියවර ගැනීම ද බන්ධනගරගත කිරීම් ඉහළ යාම සඳහා හේතු වූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සහ පොලිසියේ මතය වේ.

මීට පෙර මහාමාර්ගවල රාජකාරි සඳහා යොදවා තිබූ ආරක්ෂක අංශ සාමාජිකයන් සංඛ්‍යාවට සාපේක්ෂව වැඩි සංඛ්‍යාවක් මේ වන විට එම රාජකාරි සඳහා යොදවා ඇත. විවිධ වැරදි ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ද එනිසා නිරන්තරයෙන්  සිදු වේ. ඔවුන් අදාළ අධිකරණවලට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාරගත කිරීමේ වැඩි සම්භාවිතාවක් තිබේ.

කවරයේ ඡායාරූපය- පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේ පුද්ගල බන්ධනාගාරගත කිරීම් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත- www.adaderana.lk

මූලාශ්‍ර:

www.prisons.gov.lk

www.dailynews.lk

www.themorning.lk

බන්ධනාගාර දෙපාර්තමේන්තු ප්‍රකාශ හා ආරංචි මාර්ග

Related Articles