මත්ද්‍රව්‍ය, ෆේස්බුක් සාද, මත් පෙති, හා යෞවන වයසේ පසුවන්නන් ගැන මේ දිනවල කතාබහ වැඩි යි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වන්නන්ගේ පිරිස වසරෙන් වසර ඉහළ යයි. මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නන් හා භාවිතා කරන්නන් ලෙසින් අත්අඩංගුවට පත්වන පිරිස ද ඉහළ යයි. මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් ලෙසින් පුනරුත්ථාපනයට යොමුවන පිරිස ද දිනෙන් දින ඉහළ යයි. නමුත් මෙහි නැවතීමක් නම් පෙනෙන තෙක් මානයකවත් නැහැ. ඒ නිසයි මේ ලිපිය පළ කිරීමට සිතුවේ. යමක් සිදු වූ පසු ව ප්‍රතිකාර කරනවාට වඩා, එය මුලින්ම උගුල්ලා දැමිය යුතු බව යි සමාජ කියමන් පවසන්නේ. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ද මේ පිරුළ ගැළපේයැ යි සිතමි.
මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙක්, ඉන් ගලවා ගැනීම සුළුපටු ක්‍රියාවක් නම් නොවේ. එය එතරම් පහසු වන්නේ නැහැ. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සංඛ්‍යා ලේඛනවලට අනුව, 2017 වර්ෂයේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය යටතේ පුනරුත්ථාපනයට යොමු වූ පිරිස 2706ක් වන අතර, ඉන් 8 දෙනෙක් කාන්තාවන් ය. මේ සියල්ලෙන් 1353ක් ම බස්නාහිර පළාතේ පදිංචිකරුවන් බව යි වාර්තා පවසන්නේ. ඉන් 1276ක් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරයි.
පුනරුත්ථාපන මධ්‍යස්ථාන
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය යටතේ පාලනය වන පුනරුත්ථාපන මධ්‍යස්ථාන 04කි. ගාල්ල උණවටුන මධ්‍යස්ථානය, නිට්ටඹුව ඌරාපොල මධ්‍යස්ථානය, නුවර ඉන්දෙස්ස මධ්‍යස්ථානය, සහ තලංගම මධ්‍යස්ථානය ඒ අතර වෙයි. මෙසේ රට පුරා මධ්‍යස්ථාන විහිදී පැවතුණත්, පුද්ගලයන් පුනරුත්ථාපනය සඳහා යොමු කෙරෙන්නේ ප්‍රදේශය අනුව නම් නොවේ. මෙසේ පුනරුත්ථාපන මධ්‍යස්ථාන සඳහා යොමු කිරීමේ දී අදාළ පුද්ගලයාගේ වයස, ස්ත්‍රී පුරුෂභාවය, සහ මත්ද්‍රව්‍යවලට යොමුව සිටි කාල සීමාව ආදිය සලකා බලන බව යි පැවසෙන්නේ.
ඒ අනුව මත්ද්‍රව්‍යවලට යොමුව සිටි කාලය සලකා බලමින් එකී කාලය අවුරුදු 6ට අඩු නම්, ඔවුන් නිට්ටඹුව ඌරාපොල මධ්‍යස්ථානයටත්, ඒ කාලය අවුරුදු 6 ත් – 12 ත් අතර කාලයක් වන්නේ නම් ඔවුන් තලංගම මධ්‍යස්ථානය වෙතටත් යොමු කෙරෙයි. අවුරුදු 12කටත් වඩා වැඩි කාලයක් මත්ද්‍රව්‍ය සඳහා යොමුව සිටි පුද්ගලයන් ගාල්ල උණවටුන මධ්‍යස්ථානය වෙත යොමු කරයි. වයස අනුව සලකමින් වයස අවුරුදු 21ට අඩු සියලුම තරුණ තරුණියන් මහනුවර ඉන්දෙස්ස මධ්‍යස්ථානය වෙත යොමු කරයි. සියලුම කාන්තාවන් යොමු කරන්නේ ද තලංගමට යි.
ප්‍රතිකාර කිරීම
පුනරුත්ථාපන මධ්‍යස්ථාන කරා යොමුවන සෑම පුද්ගලයෙක් ම මාස දෙකක නේවාසික ප්‍රතිකාර සඳහා යොමු කෙරේ. මාස දෙකක ප්‍රතිකාරවලින් පසු ව ඔවුන් සාමාන්‍ය ජීවිතයට හුරු කරන අතර, එහි දී දීර්ඝ කාලීන ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු වේ. මෙහි දී සම්පුර්ණ සුවය ලැබීම සඳහා එකිනෙකාට ගතවන කාලය වෙනස් ය. ඒ සඳහා එක් එක් පුද්ගලයාගේ සාමාජීය තත්ත්වය, අධ්‍යාපන මට්ටම, සාමාජීය අත්දැකීම් මෙන්ම පවුලේ සාමාජිකයන්ගෙන් සහ හිතවතුන්ගෙන් ලැබෙන සහයෝගය ද බලපානු ලබයි.
රැකියාවක නිරතවන අයෙකුට ද පුනරුත්ථාපනය සඳහා යොමු විය හැකි අතර, ඔවුන්ට නේවාසික ව ප්‍රතිකාර ලබා දෙන්නේ දින 14කි. ඉන්පසු ව දෛනික කටයුතු සමග ප්‍රතිකාර සිදුකරන අතර, එහි දී අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් ඔවුන්ගෙන් සුළු ගාස්තුවක් ද අය කරයි.
නේවාසික ප්‍රතිකාර සහ වැඩසටහන්
පුනරුත්ථාපන ක්‍රියාවලියේ දී ඖෂධීය ප්‍රතිකාරවලට අමතර ව නේවාසික ප්‍රතිකාර හා බැඳුණු වැඩසටහන් බොහොමයක් දැකගත හැකයි. භාවනා වැඩසටහන්, උපදේශන සේවා, පවුල් උපදේශන, ක්‍රීඩා වැඩසටහන්, රසවින්දන, යෝග අභ්‍යාස වැඩසටහන් ඒ අතර ප්‍රධාන යි.
මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක නොවන්නේ නම්, පුනරුත්ථාපන ක්‍රියාවලියේ සාර්ථකත්වයක් දැකගත නොහැකි අතර, ඖෂධ ප්‍රතිකාර සමග මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වන බව යි, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසන්නේ.
පුනරුත්ථාපන ක්‍රියාවලියට ඇති බාධා
ඉඩකඩ මඳකම
දැනට පුනරුත්ථාපන ක්‍රියාවලියට බලපා ඇති ප්‍රධානම ගැටලුව වන්නේ, පුනරුත්ථාපනය සඳහා එකවර විශාල ප්‍රමාණයක් යොමු කරගැනීමට තිබෙන අපහසුතාවය යි. එනම් දැනට පවතින පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ඉඩකඩ ප්‍රමාණවත් නොවීම යි. එක් මධ්‍යස්ථානයක එකවර පුනරුත්ථාපනය සඳහා යෙදවිය හැක්කේ 165 දෙනෙකු පමණ යි. මේ නිසා බොහෝ පිරිසකට බොහෝ කාලයක් පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට ද සිදු ව තිබේ. ඇතැම් විටෙක සමහර පුද්ගලයන් මාස දෙකක පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට පෙර වසරක පමණ කාලයක් පොරොත්තු ලේඛනයේ රැඳී සිටිනු දැකගත හැකියි. එකී කාලය තුළ පුද්ගලයා තුළ මානසික වශයෙන් මෙන්ම සාමාජිය වශයෙන් ද විශාල වෙනස්කම් ඇති විය හැකි අතර, එය කිසිසේත් ම එකී පුද්ගලයාටත්, සමාජයටත් යහපතක් සිදු කරන්නේ නම් නැහැ.
මත්ද්‍රව්‍ය ජාවාරමේ නැවතුමක් නොමැති වීම
මේ සම්බන්ධයෙන් පවතින තවත් ගැටලුවක් වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම අවම කිරීමට හා මත්ද්‍රව්‍ය ජාවාරමේ අතකොළුවක් වී මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් පුනරුත්ථාපනය කොට හොඳ මඟට ගැනීමට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය කෙතරම් උත්සාහ කළත්, මත්ද්‍රව්‍ය ජාවාරමේ හෝ පුනරුත්ථාපනය සඳහා පැමිණෙන අයගේ අවමයක් හෝ නැවතුමක් නොමැති වීම යි. මේ සඳහා ප්‍රධාන වශයෙන් ම බලපා ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ඇතැම් දේශපාලඥයන්ගෙන් සහ පොලිසියේ ඇතැමුන්ගෙන් ලැබෙන සහාය බව යි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසන්නේ. මෙය සම්පුර්ණයෙන් ම රටෙන් තුරන් කළ හැකි වන ගැටලුවක් වුවත්, ඒ සඳහා ලැබිය යුතු සහාය නොලැබීම මත ජාවාරමක් ලෙසින් තව තවත් මෙය රට තුළ ව්‍යාප්ත වන බව යි දැකගත හැක්කේ.
සෑම වසරක ම මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් අත්අඩංගුවට ගත්තත්, ඔවුන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන කරා යොමු කළත්, එයින් ඵලක් වී නම් නැත. එසේ වී ඇත්තේ තවමත් මේ ජාවාරමේ යෙදෙන ප්‍රධාන ජාවාරම්කරුවන් ලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අතළොස්සක් පමණක් වීම යි.