අමරදේවයන්ගේ ‘ආරාධනා’ ගීතය, සිංහල ගීත අතර අමතක නොවන ගීතයක්. කාලයක් ගුවන් විදුලියේ ප්‍රචාරය වූ ‘ආරාධනා ස්වර දැහැන’ නම් වැඩසටහනට ද පාදක වූයේ මේ සුමධුර ගීතය යි. මේ ගීතය අඩංගු වන්නේ විජය ධර්ම ශ්‍රී ශුරීන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ආරාධනා චිත්‍රපටියේ වන අතර මෙය ගැන චිත්‍රපටියෙන් වියුක්ත ව විග්‍රහයක් කළ නොහැක්කේ, එය චිත්‍රපටියටම බද්ධ වූ බැවින් ය.
තරුණ ඉංජිනේරුවරයෙකු වන සේනක (රවීන්ද්‍ර රන්දෙණිය) එංගලන්තයේ රැකියාවක් ලැබ පිටත් වීමට සූදානම් වන විට සිය විවාහක එහෙත්, වෙන් වී සිටින බිරිඳ වන ජිනාදරී (මාලනි ෆොන්සේකා)ගේ රුවට සමාන රුවක් දැකීමෙන් සේනකගේ සිත අතීතයට ඇදී යනවා. ඒ අනුව ඔහු ජිනාදරී හමුවීමට යනවා. ඒ යන අතරතුර කතාව විටින් විට අතීතයට ඇදී යනවා.
සේනක ඉංජිනේරුවෙකු වශයෙන් වැඩ කරන අවධියේ දී එම වැඩ බිම වෙත පැමිණෙන ජිනාදරී නම් සාත්තු සේවිකාවක සමග ආදර සම්බන්ධයක් හට ගන්නවා. එම ආදරය, සාම්ප්‍රදායික සීමා ඉක්මවා ගොසින් ජිනාදරීට දරුවෙකු පිළිසිඳ ගන්නවා. පියාටත්, රැකියාවටත් ඇති බිය නිසා ජිනාදරි දරු ගැබ විනාශ කිරීමේ අරමුණින් කිසියම් බෙහෙත් වර්ගයක් ගත්ත ද කිසියම් වාසනාවකට ඒ දරු ගැබ විනාශ වෙන්නේ නැහැ. ඉන්පසුව, සේනක හා ජිනාදරී විවාහ වන අතර එම දෙපලට පිරිමි දරුවෙකු ලැබෙනවා. ඔවුන් දෙපල ඉතා සතුටින් දිවි ගෙවන අතරතුර දී එම දරුවා ලියුකේමීයා රෝගයෙන් මිය යන්නේ ඔවුන්ව සසල කරවමිනුයි. පසුව සේනකට සිය දරුවාට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා මුණ ගැසෙන අතර, ඔහු දරුවා මියයාමට හේතුව එම දරුවා ගැබ් ගෙන සිටි අවධියේ ගන්නා ලද ඖෂධයක් විය හැකි බව පවසනවා. මින් කිපෙන සේනක, ජිනාදරීටත් ඇයගේ දෙමාපියන්ටත් බැණ වදිනවා. එම බැණ වැදීම සේනක- ජිනාදරී විවාහය දෙදරා යෑමට හේතු වෙනවා. කෙසේ හෝ නැවත කාලයාගේ ඇවෑමෙන් සේනක හා ජිනාදරී නැවත එක්වෙනවා.
මෙම චිත්‍රපටියේ ප්‍රකට ගීත තුනක් ඇතුළත් වෙනවා. ඒවා නම්, අමරදේවයන්ගේ ‘ජීවිතයේ තනි මංසල’, මිලටන් මල්ලවාරච්චි හා මාලනි බුලත්සිංහල යන දෙපල ගයන ‘සීත අරණේ’ සහ විජය කුමාරතුංගයන් විසින් ගායනා කරන ලද ‘සිනහවකින් පුතුගේ මුවින්’ යන ගීතයන් ය. මේ ලිපිය පාදක වන්නේ, මෙම චිත්‍රපටියේ තේමා ගීතය වන ‘ජීවිතයේ තනි මංසල’ ගීතය ය. මෙය කුලරත්න ආරියවංශයන්ගේ පද රචනයෙන් හා රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් ඔප් නැංවී තිබේ.
“ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදකලාව සුසුම් හෙලන හදවත සනහා
අතීතයේ ගිලි හී ගිය
සතුට රැගෙන යලි වඩින්න
ආරාධනා… ආරාධනා…”
සුසුම් යනු ජීවිතයේ අතරමං වූ විටත්, තනි වූ විටත් ඔබ ළඟ සිටින ගමන් සගයා ය. මේ පදයෙන් කියැවෙන්නේ තනි වූ ජිවිතයේ හදවත සනහා ගන්නේ සුසුම් හෙලීම ඔස්සේ බව යි. එහෙත් ඒ සුසුම් මැද ආරාධනාවක් පවතී. ඒ අතීත සතුට යි. සේනක හා ජිනාදරී යන දෙදෙනාටම ඒ අතීත සතුට හදවතට දැනෙයි. ඔවුන් දෙදෙනාම අයැද සිටින්නේ ඒ සතුට යි. වඩින්න යනුවෙන් අප භාවිතා කරන්නේ ඉතා වටිනා උතුම් දේවල් සඳහා ය. ධම්ම පදයේ සන්තුට්ඨී පරමං ධනං යනුවෙන් ද අප හඳුනාගත්තේ සතුටෙහි ඇති වටිනාකම යි. ඒ අනුව සතුට රැගෙන යළි ගෞරවාන්විත එන ලෙසට කරන ආරාධනාවකින් ගීතය ඇරඹෙයි.
“නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ… කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනින් අනාථ වූ දා
සෙනෙහයේ සත් පියුමන් යළිඳු පිපේවා
ආරාධනා… ආරාධනා…”
කැටයම් නෙළන්නේ අසීමත කාලයක් පැවතීමට යි. ආදරය කරන අවධියේ දී අප සැමම සිතන්නේ මෙන්ම පතන්නේ ද එම ආදරයේ සදාකාලික බව යි. එහෙත් කාලයාගේ අවෑමෙන් එම ආදරය වෙරළේ ඇදි රේඛා මෙන් මැකී යනු දැකිම වේදනාවක් වුව ද එය යතාර්ථයකි. සත් පියුමන් යළිදු පිපේවායැ යි කරන ප්‍රාර්ථනය ද විත්‍රපටිය හා සෘජු සම්බන්දයක් ඇත. බෞද්ධ අප විශ්වාස කරන පරිදි සිදුහත් කුමරු ඉපැදුණේ සත් පියුම් මත ය. සේනක- ජිනාදරීගේ යුග දිවිය හමාර වූයේ පුතුගේ වියෝව කෙන්ද්‍ර කරගෙන බව කලින්ම සඳහන් කළා. මේ ආරාධනාව තවත් එවන් බෝසත් දරුවෙකු ඉපදේවා යි කරන ප්‍රාර්ථනාව යි. එමෙන්ම, මෙම විත්‍රපටියේ සේනක- ජිනාදරීව සොයාගෙන යන්නේ වෙසක් පොහොය දිනයක වීම ද මෙම ගීතයේ ඇති යෙදුම තවත් අර්ථ ගන්වයි.
“එදා සිඟිති කිරි සුවඳින් යුග දිවි අරණේ
ඔබේ උණුසුමේ… යළිදු උපන්නෙමි
බිඳුණු එවන් රජ දහනින් සමුගෙන යන දා
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා
ආරාධනා… ආරාධනා…”
මිනිසුන්ගේ ජිවිත කිරි සුවඳත් සමග වෙනස් වේ. පියවරුන් දෙවන ජීවිතය ලබන්නේ දරු උපතකින්යැ යි පොදු මතයක් පවතියි. සේනක නැවත උපදින්නේ ඒ කිරි සුවඳත් සමග යි. සනත් නන්දසිරි ශූරින්ගේ දූ අනුරාධා ගීතයෙන් පියෙක් දරුවෙකු නිසා කිරුළු පළඳින බව පවසන කතාවම මෙම ගීතය ද කියයි. එහෙත් එය බිඳුණු රජ දහනකි. ඒ බිඳුණු රජ දහනට යළි එළිය ලැබේවායැ යි මෙයින් ප්‍රාර්ථනා කරයි. එය එළිය ලැබිය යුත්තේ අනෙකාගේ ඇස් යුගලයෙන් බව පවසන්නේ එය තනියෙන් කළ නොහැකි බව යි.
මේ ගීතය පුරාවටම ඇති ආරාධනා පදය තුළත්, පණ්ඩිත් අමරදේවයන්ගේ ළයාන්විත හඬ තුළත් ඇත්තේ කෙනෙක් අනෙකෙකුට කරන ආයාචනය යි. ජිවිතයේ සිදුවන වැරදි තුළ සදා එල්බ ගෙන සිටිමෙන් ඇති වන්නේ තවත් හුදකලාව උරුම වීම බවත්, වැරදි හඳුනාගෙන සතුට කැන්දා ගත් හැකි බවත් මේ සොඳුරු ගීතය පසක් කරයි.
දශක ගණනාවක් පුරාවට රසිකයන් පිනවූ ආරාධනා ගීතය, බොහෝ විට විචාරයට බඳුන් වන්නේ චිත්‍රපටියෙන් වියුක්තව යි. එහෙත් එම ගීතය චිත්‍රපටය සමග නැවත රස විඳීමේ දී එයට නව මානයක් එක් වන බව නම් නිසැක ය.
මෙන්න ගීතය: