සිංහරාජයේ නිවුන් සොයුරා- රූණ කන්ද වනාන්තරය

සිංහරාජ වැසි වනාන්තරය ගැන නම් නොදන්න කෙනෙක් නෑ.  සිංහරාජයට පමණක් විශාලත්වයෙන් දෙවැනි රූණකන්ද වැසි වනාන්තරය ගැන නම් දන්නෙ එහෙමට කෙනෙක් විතරයි.

කොටින් පවා ජීවත් වන මේ වනාන්තරය පිහිටා තිබෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ. අපි රූණ කන්දට ගිහින් එහි වැදගතක්ම හා සුන්දරත්වය ගැන විමසා බලමු.

වන පෙත හරහා ආරණ්‍යයකට යන මගක්- Nishantha Bandara හීනයක් ද මේ facebook page

පිහිටීම

කළුතර දිස්ත්‍රික්කයේ පාළින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්ව බස්නාහිර, සබරගමුව හා දකුණු පළාත් තුනට මායිම්ව මේ වනපෙත පිහිටා තිබෙනවා. රූණ කන්ද තවමත් යෝජිත මට්ටමේ පවතින රක්ෂිතයක් නිසා එයට තව ම විශාල ප්‍රසිද්ධියක් ලැබී නැහැ.  කොළඹ සිට මතුගම හරහා කලවාන මාර්ගයේ පැමිණ බදුරලිය පසු කර කිලෝමිටර 06ක් ගිය පසු අත්වැල්තොට හන්දිය හමු වෙනවා.

අත්වැල්තොට හන්දියෙන් දකුණට හැරී  දිවෙන දුෂ්කර පාරේ කිලෝමිටර් 16 ක් ගමන් කළ විට හමු වන්නේ මන්නවත්ත කියන සුන්දර ගම යි. මන්න වත්ත හරහා රූණකන්ද වනාන්තරයට ළඟා විය හැකි යි. එසේ නැති නම් බදුරලිය, හැඩිගල්ල, දික්හේන මාර්ගයේ ගොස් මගුරු ගඟ තරණය කර කිලෝමිටර් අටක් වනය මැදින් පැමිණීමෙන් ද මන්න වත්ත හරහා රූණකන්දට පැමිණීමට  හැකි යි. මෙම වනාන්තර සීමාව තුළ දෙනිහේන, කළුකන්දාව, හිඟුරුවැල්කැටිය, මන්නවත්ත වැනි කුඩා ගම්මාන කිහිපයක් පැතිර පවතිනවා. ඔවුන්ට ළඟම කඩමණ්ඩිය අත්වැල්තොට යි.

සොඳුරු වනපෙත – චතූ facebook page

සුන්දර වනපෙත

අතීතයේ සිංහරාජය හා එක් ව පැවති මෙම වනාන්තරය අද නම් වෙන ම හුදෙකලා වනපෙතක් ලෙස යි පවතින්නේ. මගුරු ගඟ පෝෂණය ලබන්නේ රූණ කන්දෙන්. තැනින් තැන නැගී සිටින කඳුගැට, ගල්පර්වත අතරින් ගලා බස්නා දොළ පාරවල් මේ වනයේ අලංකාරත්වය ඉහළ නංවනවා. සොබාදහම් රසිකයන් හැරුණුවිට විශාල පිරිසක් රූණකන්ද නැරඹීමට එන්නෙත් නැහැ.

ඉහළ ජෛව විවිධත්වයක් මේ නිවර්තන වැසි වනයේ ද දැකගත හැකි යි.  හෙක්ටයාර් 6500ක පමණ විශාලත්වයකින් යුක්ත මෙය අඩි 1566 දක්වා උසකට පැතිර යන කුඩා කඳුවැටිවලින් යුක්ත පෙදෙසක්.  වනයේ  සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 26 පමණ වන අතර වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 4000 පමණ වෙනවා.

වනය හරහා ගලන දොළ පහරක් – hirunikaushalya.blogspot.com

 

ලෝක සංරක්ෂණ සංගමයේ රතු දත්ත වාර්තාවට අනුව තර්ජනයට ලක් වූ, දැඩි ලෙස තර්ජනයට ලක් වූ හා අවදානමට ලක් වූ කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත සත්ව ප්‍රජාව සමඟ සසඳන විට මේ වනපෙත ඉතා ඉහළ සත්ත්ව ගහනයක් හා ජෛව විවිධත්වයක් සහිත  බවට හඳුනා ගෙන තිබෙනවා.  හොර, බූ හොර, දොරණ, හොඳ බෙරළිය, දුන්, බටුනා, ඇටඹ, කිරි හැඹිළිය, කුරුම්බැට්ටිය, ලියන්, වල්දෙල්, කොකුම්, හීන් කැබෙල්ල, කටු කැන්ද, කෝ කහ, වල්දෙල්, මලබොඩ, බටදොඹ, කොකුම්, පෙලෙන්, හම් පැලැන්ද, ගල් හැඩවක, උබ්බේරිය, කිතුල් ඇතුළු ආවේණික හා ඒක දේශීය ශාක වර්ග විශාල සංඛ්‍යාවක් මෙහි පැතිර තිබෙනවා.  මේවා අතරින් 75%ක් පමණ ඒක දේශීය ශාක වීමද විශේෂයත්වයක්.

වනයේ සුලබ පලා පොළඟා- Sandamini Kandambi- travel kaluthara.com

සත්ව විවිධත්වය

සත්ව විවිධත්වය අතින්ද රූණ කන්ද ඉතා පොහොසත් බව හෙළි වී තිබෙනවා. අප රටට  ආවේණික පක්ෂීන් 33දෙනාගෙන් 29 දෙනෙක් ම මෙම වනයේ සැරිසරනවා. මේ වනයේ  නිරතුරුව ම දක්‌නට ලැබෙන ආවේණික පක්‍ෂි විශේෂ සමහරක් ලෙස මහ කවුඩා, ලංකා මල්කුරුල්ලා, කැහිබෙල්ලා, වලිකුකුළා, හබන් කුකුළා, බට ඇටිකුකුළා, ලංකා රතු වත මල් කොහා, රතු දෙමළිච්චා, අළු දෙමළිච්චා, හිස දුඹුරු දෙමළිච්චා, දෙමළිච්චා, ලංකා පිලලිච්චා, අළු කෑඳැත්තා, සැළලිහිණියා, පෙතිගෝමර වල් අච්චියා, පුල්ලි වල් අච්චියා, හිස කළු කොණ්‌ඩයා, මහ කෑරලා, රන් මුහුණත් කොට්‌ටෝරුවා, හීන් කොට්‌ටෝරුවා, ශ්‍රී ලංකා අළු ගිරවා, ශ්‍රී ලංකා ගිරා මලිත්තා, පඩුවන් බස්‌සා, මූකලන් බස්‌සා, හිස සුදු මයිනා, බඩ රතු වැහිලිහිණියා හඳුනා ගැනීමට හැකි යි.

රූණ කන්ද වනයේ දිවිගෙවන ක්ෂීරපායීන් අතර වල් බළලා, අඳුන් දිවියා, දිවියා, ගෝනා, ඕළු මුවා, මී මින්නා, වල් ඌරා, හම්බාවා, දඬු ලේනා, රිලවා, කළු වඳුරා, කැබැල්ලෑවා, උණහපුලුවා, රන් හෝතඹුවා, උරුලෑවා, දිය බල්ලා ආදීන්ට වැඩි වැදගත්කමක් හිමිවෙනවා.

ආවේණික මසුන්ට තිඹිරිගෙයක් වූ මඟුරු ගඟ- මතුගම හරිත මිතුරෝ facebook page

 

මෙහි මත්ස්‍ය විවිධත්වය ද ඉතා ඉහළ යි. දේශිය මිරිදිය මත්ස්‍ය විශේෂ අතරින් විශේෂ 51 පමණ මෙහි  දිය මාර්ග ආශ්‍රිත ව හමුව තිබෙනවා.  මෙහි හමුවන මත්ස්‍ය විශේෂ අතරින් කිහිප දෙනෙක් ලෙස බුලත්හපයා, ඉපිලිකඩයා, දෙපුල්ලියා, කොටපෙතියා, රතු වරල් පෙතියා, හීත මස්සා, ලේ තිත්තයා, මස් පෙතියා, බණ්ඩි තිත්තයා, මඩ ඉපිල්ලා, දණ්ඩියා, හොරපොලයා, ගල්පාඩියා, හාල් මල් දන්ඩියා, ඉරි අංකුට්ටා, මගුරා, උඩ හඳයා, කොරලියා, මහ වැලිගොව්වා, කටරතු වැලිගොව්වා, තල්කොස්සා, කොළ කනයා, මඩ කනයා, තෙලියා, ආඳා හඳුනාගත හැකි යි.

වල් බළලා, අඳුන් දිවියා මෙන් ම  කොටියාත් මෙහි දිවි ගෙවනවා.  ගෝනා, ඕළු මුවා, වල් ඌරා, හම්බාවා, දඬු ලේනා, රිලවා, කොළ වඳුරා, කබල්ලෑවා, උණහපුලුවා, රන් හෝතඹුවා, උරුලෑවා, දුඹුරු මුගටියා සහ දිය බල්ලා මෙහි සැරිසරන ක්ෂීරපායීන් අතරින් කිහිප දෙනෙක්.

නව සර්ප විශේෂය- novataxa.blogspot.com

අලුත් සර්ප විශේෂයක්

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා නොවූ නව සර්ප විශේෂයක් ලෙස වර්ෂ 2020 දී සොයාගත් ඩ්‍රයිකැලමස් චිත්‍රසේකරයි Dryocalamus chithrasekarai  නම් සර්පයා රූණකන්ද වනයේ ද සිටින බව හෙළිවී තිබෙනවා.

මුලින්ම එම සර්පයා සොයා ගත්තේ ගාල්ල කන්නෙළිය වනාන්තරයෙන්. එම පර්යේෂණය සිදුකර ඇත්තේ මෙන්ඩිස් වික්‍රමසිංහ සහ නෙතූ වික්‍රමසිංහ යුවළ ඇතුළු කණ්ඩායමක්.

 මන්නවත්ත ඇල්ල – මතුගම හරිත මිතුරෝ facebook page

වනය සරසන දියඇලි

රූණ කන්ද වනපෙතේ සුන්දරත්වය ඔප් නංවන දොළ මාර්ග ඇසුරින් තැනුණු දියඇලි කිහිපයක් ම දැකගත හැකි යි. නා කඳ ඇළ, පුවක් වැටිය ඇළ, කෙටලපත් ඇළ ඇතුළු දොළ මාර්ල ගණනාවක් උපත ලබනවා. මෙම දොළ මාර්ගවලින් මන්නවත්ත ඇල්ල, මෝහීනී ඇල්ල, පහන්තුඩා ඇල්ල ආදී කුඩා  දිය ඇලි රාශියක් බිහි ව තිබෙනවා.  මේවායේ ජලය එක්වන්නේ  කළුගඟේ ශාඛාවක් වන මඟුරු ගඟට යි.

මන්න වත්ත ඇල්ල මේ වනයේ දියඇලි අතර අලංකාර ම ඇල්ල ලෙස සැලකෙනවා. දෙනිහේන මන්නවත්ත ප්‍රදේශයේ දී එය  දැකගත හැකි යි.  මගුරු ගඟ විශාල ගල් තලාවක් මතින් ගමන් කරමින් ගල්තලාවේ එක් කුඩා කපොල්ලකින් මීටර් අටක පමණ ඉහළ සිට පහළට වැටීමෙන් එය තැනී තිබෙනවා. පහන්තුඩාව ඇල්ල පිහිටා ඇත්තේ දික්හේන ගමට නුදුරු ව යි.  ඇල්ල කොටස් දෙකක් ලෙස කඩා හැලෙනවා.  

අලංකාර දොළ මාර්ගයක්- මතුගම හරිත මිතුරෝ facebook page

දැව කැපීම නිසා වුණු හානිය

1970 දශකයේ තුනී ලෑලි කර්මාන්ත ශාලා සඳහා ගස් කැපීමට ලංකාවේ වැසි වනාන්තර වන සිංහරාජය, කිතුල්ගල මාකන්දාව, කන්නෙලිය, සිංහරාජ වනාන්තරය වගේම රූණ කන්ද වනයත් භාවිත කළා. මේ නිසා රූණකන්ද වනාන්තරයට වුණු විනාශයේ ශේෂ තවමත් දැකගත හැකි යි. එකල දැව ගෙනයාමට තැනූ මාවත්වල සලකුණු, එහි සේවයට පැමිණි සේවකයන්ගේ දරුවන් වෙනුවෙන් ඉදිකළ පාසල්වල ගරාවැටුණු ගොඩනැඟිලි ආදිය වනය තුළ අදත් දැක ගැනීමට ලැබෙනවා. ජෛව විවිධත්ව මිතුරෝ පරිසර සංවිධානය රූණකන්ද වනය සංරක්ෂණය කටයුතු සඳහා පහසුකම් සලසන සංවිධානයක්.   එම සංවිධානය විසින් රූණකන්ද සංරක්ෂණ මධ්‍යස්ථානයද පවත්වාගෙන යනවා.

පසුගිය කාලයේ වල්ලපට්ට ජාවාරම මේ වනයෙන් ද වාර්තා වුණා. එමෙන් ම ජාන ලබා ගැනීම සඳහා විදේශිකයන් කෙටල හා වෙනත් ජලජ පැළෑටි සොරාගත් විදේශිකයන් ද මෙහි දී අත්අඩංගුවට ගත් බව මාධ්‍යවල පැවසුණා.

වනපෙත හා වන සීමාවේ පිහිටි විහාරයක්- travel kaluthara.com

මූලාශ්‍ර:

අසිරු වේදිත කරුණාරත්න -හරිත පහසෙන් ගත සිත පිනවන රූන කන්ද ලිපිය, Silumina.lk

Vidusara.com

Dinamina.lk

Related Articles

Exit mobile version