ජනසංහාරයට කියන ඉංග්‍රීසි වචනය, ‘Genocide’, හැදිලා තියෙන්නේ ග්‍රීක සහ ලතින් වචන දෙකක් ඇසුරෙන්. පෝලන්ත ජාතික නීතීඥයෙකු සහ ලේඛකයෙකු වෙන රෆායල් ලෙම්කින් තමයි එහි නිර්මාතෘවරයා විදිහට හඳුනා ගෙන තිබෙන්නේ. ඔහු 1941 වසරේදී ජාතිය යන තේරුම රැගත් ‘genos’ කියන ග්‍රීක වචනය, සහ ඝාතනය කිරීම යන තේරුම දෙන ‘cide’ කියන ලතින් වචනය එක් කරමින්, ‘genocide’ යන නව වචනය ලොවට හඳුන්වා දෙනවා.
1948 වසරේදී එක්සත් ජාතින්ගේ සංවිධානය නිල වශයෙන් කරන නිර්වචනයට අනුව ජනසංහාරයක් කියන්නේ කිසියම් ජාතියක්, ජනවර්ගයක්, ආගමක් අදහන පිරිසක්, හෝ රටවැසියන් පිරිසකගෙන් කොටසක් හෝ ඔවුන් සහමුලින්ම වනසා දැමීමේ අරමුණින් සංවිධානාත්මකව කරන පහත ක්‍රියාවන්ගෙන් එකක් හෝ කිහිපයක්.
- ඉහත දක්වා ඇති පාර්ශවයන් ඝාතනය කිරීම.
- ඔවුන්ට බරපතල කායික හා මානසික හිංසා පීඩා කිරීම.
- සහමුලින්ම හෝ අර්ධවශයෙන් වනසා දැමීමේ අරමුණෙන් ඔවුන්ගේ ජීවන තත්ත්වය පාලනය කිරීම සහ එයට බලහත්කාරයෙන් මැදිහත් වීම් සිදු කිරීම.
- එම කණ්ඩායමේ සිදුවන උපත් පාලනය කිරීම සඳහා උපායන් යෙදීම.
- එම කණ්ඩායමේ කුඩා දරුවන් බලහත්කාරයෙන් වෙනත් කණ්ඩායම්වලට ලබා දීම.
දැනට ලැයිස්තුගත කර ඇති පරිදි 20 වන සියවසේ සිදු වූ ජනසංහාරයන් කිහිපයක් ගැන මේ ලිපියෙන් ඔබට දැනුවත් විය හැකියි.
නැමීබියානු ජනසංහාරය (1904 – 1908)
“හරේරෝ ජනතාව වහාම රටෙන් පිටවිය යුතුයි. මොකද තව දුරටත් ඔවුන් ජර්මනියේ වැසියන් ලෙස සැලකීමේ හැකියාවක් අපිට නැහැ. මේ අණට කීකරු නොවී රට තුල රැඳී සිටින්නට උත්සහ කරන ඕනෑම කෙනෙක් වහාම මරා දැමිය යුතුයි. ඒ කිසිවෙකුට කිසිදු අනුකම්පාවක් දක්වන්න මම සූදානම් නැහැ…”
ජෙනරාල් Lothar von Trotha
විසිවන සියවසේ සිදුවූ ප්‍රථම ජනසංහාරය වන මෙයට වගකිව යුත්තේ ජර්මනියයි.
වර්තමානයේ නැමීබියාව 1884 සිට 1915 දක්වා වූ කාලය තුල ජර්මානු යටත් විජිතයක් ලෙස පැවති අතර, එය ‘ජර්මන් නිරිතදිග අප්‍රිකාව’ ලෙස හඳුන්වනු ලැබුවා. හෙරේරෝ සහ නාමා කියන්නෙ එරට ජීවත් වූ ස්වදේශික ගෝත්‍රයන් දෙකක්.
ඔවුන්ගේ ජීවනෝපාය වූවේ සත්ත්ව පාලනයයි. ජර්මානු අධිරාජ්‍යවාදීන් ජනතාව නවීකරණය කිරීම සඳහා යැයි කියමින් ඔවුන්ව ගොවිතැනට හුරු කරවීමට උත්සාහ කළා. නමුත් මෙහි සත්‍ය අරමුණ වූවේ ස්වදේශිකයන් සතු වූ ඉඩකඩම් අත්පත් කර ගැනීමයි. එපමණක් නොවෙයි, ‘ඔටාවී’ දුම්රිය මාර්ගය වෙනුවෙන් තමන් සතුවූ ඉඩකඩම්වලින් 1/4ක් ජර්මානුවන්ට පවරා දීමටත් හරේරෝ ජනතාවට සිදු වුණා. නිසි වන්දිගෙවීමකින් පවා තොරව සිදු කෙරුණු මෙම ඉඩම් අත්පත් කරගැනීමේ උත්සාහයට එම ස්වදේශිකයන් දැඩිව විරුද්ධ වූ බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. තමන්ගේ පාරම්පරික ඉඩම්වල ජර්මානුවන්ගේ වහලුන් ලෙස සේවය කිරීමට සිදුවීම ඔවුන්ට මහත් වේදනාවක් ගෙන දුන් කරුණක් වූවා.
නීතියෙන්වත් මේ ජනතාවට පිළිසරණක් නොලැබුණේ නීතිමය සහ මානව හිමිකම් පිලිබඳ සලකන විට එක් සුදු මිනිසෙකු අප්‍රිකානු වැසියන් 7 දෙනෙකුට සමාන වන බව ජර්මානු අධිරාජ්‍යවාදීන් අතර සම්මතයක් තිබූ නිසයි. ස්වාදෙශිකයෙකු සතුව තිබූ ඉඩමක අයිතිය ඇත්තේ තමන්ට කියා සුදු ජාතිකයෙකු හෝ කිහිප දෙනෙකු පැවසුවහොත් අධිකරණයෙන් බොහෝ විට එහි අයිතිය පවරා දුන්නෙත් ඒ සුදු ජාතිකයන්ටමයි.
1904 ජනවාරි 12 වන දින සැමුවෙල් මහරේරෝ ප්‍රමුඛ හරේරෝ ජනතාව ජර්මානු අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් වදින්නට පටන් ගත්තා. එයට හේතුව ජර්මානුවන් අතින් ස්වදේශිකයන් 150 දෙනෙකු පමණ ඝාතනය වීමයි. අර්බුධය ඇවිලෙමින් පවතින අතරතුර එම වසරේ මැයි මාසයේ දී ජර්මානු ජෙනරාල් Lothar von Trotha 14,000කගෙන් සමන්විත වූ හමුදාවක් සමගින් හරේරෝ ජනතාව ඝාතනය කරන්නට පටන් ගන්නවා. ඔවුන්ගෙන් කොටසක් ඔමහෙකේ කාන්තාරයට පලවා හරින්නේ කාන්තාරය මැදදී මිය යන්නට හරින්නයි. ජර්මානුවන් විසින් කාන්තාරයේ තිබූ ළිංවලට වස දැමූ බවත් සඳහන් වෙනවා. ඇතැමුන්ගේ හිස් ගසාදමනු ලැබූ බවත් ඒ හිස්කබල් පර්යේෂණ සඳහා ජර්මනියට යැවූ බවටත් සාක්ෂි පවතිනවා.
හරේරෝ මෙන්ම තවත් ස්වදේශික ජන කොටසක් වූ නාමා ජනතාවත් ජර්මානු අධිරාජ්‍යවාදීන්ට එරෙහිව කැරළි ගසන්නට උත්සාහ කළත් ඔවුන්ට අත්වූවේත් පෙර කිවූ ඉරණමම පමණයි.
වාර්තාවලට අනුව හරේරෝ සහ නාමා ජනතාවගෙන් 80%ක් පමණ මෙසේ ඝාතනය කෙරුණා. ඝාතනය නොකළ අනෙකුන් බර වැඩ කිරීම සඳහා ජර්මානු වැඩ කඳවුරු වලට යවනු ලැබූ අතර මන්දපෝෂණය නිසා ඔවුන්ගෙන් ද බහුතරය කඳවුරු තුල දී මරණයට පත් වුණා.
විසිවන සියවසේ මුල සිදු වූ මෙම සිදුවීම් සමුදාය ජනසංහාරයක් ලෙස ලොව අනෙක් රටවල් පිළිගෙන තිබුණත් ජර්මනිය විසින් එය නිල වශයෙන් පිළිගනු ලැබුවේ මෙම වසරේ ජුලි මාසයේදී යි.
ආර්මේනියානු ජනසංහාරය (1915 – 1917)
1939 අගෝස්තු 22 වෙනදා නාසි හමුදාවේ අණදෙන නිලධාරීන් අමතමින් ඇඩොල්ෆ් හිට්ලර් මෙසේ පවසනවා.
“මම මේ කාලය තුල නැගෙනහිර ප්‍රදේශයට යැව්වේ ‘මරණයට අධිපති කණ්ඩායම්’ පමණයි. ඒ කිසිම අනුකම්පාවක් නොදක්වා පෝලන්ත ජාතිකයන් සහ එම භාෂාව කතා කරන ඕනෑම අයෙක්, ගැහැණු, පිරිමි, ළමා භේදයක් නැතිව මරා දැමිය යුතුයි යන නියෝගයත් සමඟ. අපට අවශ්‍ය ඉඩකඩ දිනාගැනීමේ සටන ජයග්‍රහණය කළ හැක්කේ එසේ කළොත් පමණයි. ආර්මේනියානුවන්ට සිදුවූ දේ ගැන දැන් කවුද කතා කරන්නේ?”
නැගෙනහිරෙන් අසර්බයිජානයට සහ බටහිරෙන් තුර්කියට මායිම් වී පිහිටා ඇති ආර්මේනියාව කලින් සෝවියට් සමූහාණ්ඩුවට අයත් ජනරජයක්. ජනසංහාරය සිදුවන අවධියේදී එය ඔටෝමන් අධිරාජ්‍යයට අයත් රටක්. තුර්කියේ අගනුවර වුණ ඉස්තාන්බුල් නගරයේ සැලකිය යුතු තරමේ ආර්මේනියානුවන් පිරිසක් පදිංචි වෙලා හිටියා.
සියවස් ගණනාවක් පුරා සිය ආධිපත්‍යය ලොව පුරා පැතිරවීමට සමත් වූ ඔටෝමන් ආණ්ඩුව 1800 ගණන්වලදී ලක්වන්නේ දරුණු පසු බෑමකට. මේ අවධියේදී යුරෝපා කාර්මික ක්ෂේත්‍රයේ ඇතිවූ නව්‍යතාවන් මෙයට හේතුවයි.
මේ කාලයේදී ඔටෝමන් අධිරාජ්‍යයට අයිති වූ ග්‍රීකයන්, සර්බියානුවන්, සහ රුමේනියානුවන් ඔවුන් දිගු කලක් බලාපොරොත්තුවෙන් සිටි නිදහස දිනා ගනු ලබනවා. තවදුරටත් එම බංකොලොත් අධිරාජ්‍යය තුල රැඳී සිටීමට සිදුවූවේ ආර්මේනියානුවන්ට සහ එම කලාපයේ ජීවත් වූ අරාබි ජාතිකයන්ට පමණයි.1890 දී සමාජ ප්‍රතිසංස්කරණ (උදා : ඡන්දය භාවිතා කිරීමේ අයිතිය, ක්‍රිස්තියානු බැතිමතුන්ගෙන් වැඩි පුර අයකරගත් බදුවලින් නිදහස් වීම) ඉල්ලා සිටි ආර්මේනියානුවන්ට සුල්තාන්වරයා පිළිතුරු ලබා දුන්නේ ප්‍රචණ්ඩත්වයෙන්.
කෙසේ හෝ 1890 දී ඇරඹුණ ඇදවැටීමෙන් තුර්කිය ගලවා ගැනීමේ අරමුණෙන් තුර්කි හමුදාවේ කණිෂ්ට නිලධාරීන් පිරිසක් එකතු වී ‘තරුණ තුර්කිවරු’ (Young Turks) නමින් සංවිධානයක් පිහිටුවා ගන්නවා. මූලික අයිතිවාසිකම් සුරැකීම සහ නව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වුණ ඔවුන්ගේ උත්සාහයන්ට ආර්මේනියානුවන් නොමද සහයක් ලබා දෙනවා.
නමුත් නිදහස සඳහා වූ ඔවුන්ගේ බලාපොරොත්තු සුණු විසුණු වී යන්නේ 1913 දී ‘තරුණ තුර්කිවරු’ සංවිධානයේ ප්‍රබලයන් තිදෙනෙක් හමුදා කුමන්ත්‍රණයක් මගින් ආණ්ඩු බලය අත්පත් කරගැනීමත් සමඟයි. මේ තිදෙනාට අවශ්‍ය වූවේ කලාපය එක්සත් කර සියලුම තුර්කිවරු එකතු කරගනිමින් නව තුර්කි අධිරාජ්‍යයක් බිහිකරන්නටයි. තුර්කියේ දේශ සීමාවන් පුළුල් කිරීමත් එයට ඇතුළත්. මෙම සැලසුම් කළ එකම භාෂාවක් කතා කරන, එකම ආගමක් අදහන මිනිසුන්ගෙන් සමන්විත නව අධිරාජ්‍යයට ඔවුන් ලබා දුන් නම වූවේ ‘තුරාන්’.
නමුත් ඒ වන විට තුර්කි සමස්ථ ජනගහණයෙන් මිලියන දෙකක්, එනම් 10%ක්ව සිටියේ ආර්මේනියානුවන්. ඔවුන්ගෙන් බහුතරය ඉහල අධ්‍යාපන මට්ටමක් තිබූ, සමාජයේ උසස් යැයි සම්මත රැකියාවන්වල නිරත වුණ පුද්ගලයන් ලෙස සැලකෙනවා. නව ‘තුරාන් සංකල්පයට’ අනුව, ඉස්ලාම් ආගම අදහන තුර්කිවරුන්ගෙන් සමන්විත අධිරාජ්‍යයකට මොවුන් සැලකුණේ බාධකයක් ලෙසටයි. ඒ නිසා තුර්කියේ ජීවත් වුණ ආර්මේනියානුවන්ට සිදුවූවේ තම රටේම ආගන්තුකයන් ලෙස දිවි ගෙවීමට.
1914 දී ආරම්භ වුණ ප්‍රථම ලෝක යුද්ධයේ දී තුර්කිය ජර්මනියටයි සහයෝගය ලබා දුන්නේ. ක්‍රිස්තියානු භක්තිකයන් වූ ආර්මේනියානුවන් රුසියාවට සහය ලබාදෙන බවට තුර්කි ආණ්ඩුව චෝදනා කළා. ඒ නිසාම ආර්මෙනියානුවන් හැඳින්වුණේ දේශ ද්‍රෝහීන් හැටියටයි. භීතිය සහ සැකය වපුරුවමින් ගිනියම් වෙමින් පැවති පසුබිම යටතේ 1915 අප්‍රේල් 24 වෙනි දින තුර්කි රජය උගතුන් හා බුද්ධිමතුන් ලෙස පිළිගැනීමක් ලබා තිබූ ආර්මේනියානුවන් දෙසීයකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඝාතනය කරනු ලබනවා. ඉන් පසු සාමාන්‍ය ආර්මේනියානු වැසියන් සිය නිවාසවලින් පිටමන් කර, මෙසපොතේමියානු කාන්තාරය හරහා පාගමනින් යාමට ඔවුන්ට බලකරනු ලබනවා. දැඩි හිරු රශ්මියක් යටතේ, ආහාර, ජලය, ඇඳුම් ආදී කිසිවක් ලබා ගැනීමට අවස්ථාවක් නොලැබුණ මෙම පාගමනෙන් එම වැසියන්ට ලැබුණේ මරණය පමණයි. ඉදිරියට යාම ප්‍රතික්ෂේප කළ අයව වෙඩි තබා මරා දැමුණා.
එමෙන්ම පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ, ‘ක්‍රිස්තියානි අංග දියකර හැරීමේ’ අරමුණෙන් නිර්මාණය කෙරුණු ඝාතක කණ්ඩායම් තවත් වැසියන් දස දහස් ගණනක් අමු අමුවේ ඝාතනය කරනු ලැබුවා. මෙම ඝාතන සඳහා දියේ ගිල්වීම, කඳුවලින් පහළට විසි කිරීම, කුරුසයේ තබා ඇණ ගැසීම, පිළිස්සීම වැනි ක්‍රම යොදා ගැනුණා. සංහාරය ඇරඹී කෙටි කලකින් තුර්කි දේශසීමා මළ සිරුරුවලින් වැසී ගිය බවයි පැවසෙන්නේ.
ඊට අමතරව පැහැරගන්නා ලද ආර්මේනියානු දරුවන් ඉස්ලාම් ආගමට හැරවීමෙන් අනතුරුව තුර්කි පවුල්වලට හදා වඩා ගැනීම සඳහා බාර දුන් බවත් සඳහන් වෙනවා. දූෂණය කරන ලද කාන්තාවන් ගණිකා නිවාසවලට හෝ වහල් මෙහෙයට යවනු ලැබුවා.
ජනසංහාරය අවසන් වූ පසු තුර්කියේ ජීවත් වූ මිලියන දෙකක් පමණ ආර්මේනියානු ජනතාවගෙන් ඉතිරි වී සිටියේ 400,000 කට ආසන්න පිරිසක් පමණයි.
කෙසේ වෙතත් මෙය ජනසංහාරයක් ලෙස පිළිගැනීම තුර්කිය විසින් තවමත් ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් අවධාරණය කරන්නේ එය යුධ සමයේ දී කිරීමට සිදුවූ ‘අත්‍යාවශ්‍ය ක්‍රියාවක්’ ලෙසටයි. මෙය වඩාත් හොදින් පැහැදිලි වුණේ මෙම වසරේ තුර්කියේ සංචාරයක නියැළුන පාප් වහන්සේ සිය කතාවේ දී ‘ආර්මේනියානු ජනසංහාරය’ යන වචනය යොදාගැනීමෙන් උරණ වුණු තුර්කි රජය වතිකානුවේ සිටි තුර්කි තානාපතිවරයා නැවත එරටට කැඳවීමට තීරණය කිරීමත් සමඟයි.
තුර්කියේ මිතුරෙකු ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදය 2010 වසර වන තෙක්ම මෙය ජනසංහාරයක් ලෙස නිල වශයෙන් පිළිගෙන තිබුණේ නැහැ. එරට ප්‍රමුඛ පෙළේ පුවත්පතක් වන ‘නිව්යෝක් ටයිම්ස්’ පවා ආර්මේනියානු ජනසංහාරය යන වචනය භාවිත කිරීමට පටන් ගත්තේ 2004 වසරේ සිටයි.
රොක් සංගීත ලෝලීන් අතර ඉතා ජනප්‍රිය System Of A Down සංගීත කණ්ඩායමේ ‘Holy Mountain’ ගීතයෙන් ගැයෙන්නේ එදා අමු අමුවේ ඝාතනය කෙරුණ සහ විපතට පත්වුණ ආර්මේනියානුවන් පිළිබඳවයි. ආර්මේනියානු සම්භවයක් ඇති ශිල්පීන්ගෙන් සමන්විත මෙම කණ්ඩායම ජනසංහාරය ගැන ගීත කිහිපයක්ම නිර්මාණය කර තිබෙනවා.
හොලොකෝස්ට් (1938 – 1945)
දෙවන ලෝක යුධ සමයේ දී ජර්මානු පාලක ඇඩොල්ෆ් හිට්ලර් විසින් යුදෙව්වන් සමූල ඝාතනය කිරීමට උපදෙස් ලබා දීම ගැන ඔබ අනිවාර්යයෙන්ම අසා ඇති. ‘හොලොකෝස්ට්’ යන වචනය භාවිත කරන්නේ එදා සිදුවූ ඒ යුදෙව් සංහාරය හැඳින්වීමටයි. 20 වන සියවසේ සිදුවූ ජනසංහාර අතරින් සියළු දෙනාම පාහේ දන්නා ප්‍රසිද්ධම ජනසංහාරය වන්නේ මෙයයි.
‘හොලොකෝස්ට්’ යන වචනයේ මූලය විදිහට සැලකෙන්නේ ‘හොලෝකවුස්ටන්’ කියන ග්‍රීක වචනයයි. එහි තේරුම ‘ගින්නෙන් දවා පුද කිරීම’ යන්නයි. දෙවියන්ට කෙරෙන පූජාවක් ලෙස පණ ඇති සතුන් සම්පූර්ණයෙන්ම දවා හළු කිරීම එයින් අදහස් කෙරෙනවා.
1933 වන විට යුරෝපයේ විසූ යුදෙව් ජනගහණය මිලියන 9 ඉක්මවූවා. ඔවුන්ගෙන් බහුතරය දෙවන ලෝක යුද සමයේ නාසි ජර්මනිය අත්පත් කරගත් හෝ අත පොවනු ලැබූ රටවල්වලයි ජීවත් වුණේ. පිරිසිදු ආර්යය ජාතියක් ගොඩ නැංවීම සඳහා යන ගමනට යුදෙව්වන් බාධකයක් ලෙස ජර්මනිය විසින් සලකණු ලැබුවා. එම ‘යුදෙව් ගැටළුවට වෙනුවෙන් වන අවසාන විසඳුම’ ලෙස නාසීන් සලකණු ලැබුවේ ක්‍රමානුකූල සැලැස්මකට අනුව ඔවුන්ව සමූල ඝාතනය කිරීමයි.
පනවනු ලැබූ නීති රීති මගින් නාසීන් යුදෙව් ජනතාවවගේ මූලික අයිතිවාසිකම් පවා අත්හිටුවමින් ඔවුන්ව සිවිල් සමාජයෙන් පිටමන් කර දැමීමට පියවර ගත්තා. අනතුරුව තම නිවෙස්වලින් ඉවත් කරනු ලැබූ ඔවුන් වැඩ කඳවුරුවලට යවනු ලැබුවා. ‘වැඩ කිරීමෙන් නිදහස ලැබේ’ යන තේමා පාඨය යටතේ වූ ඒ කඳවුරුවලින් ඔවුන්ට ලැබුණු එකම දේ වූවේ ගණනය කළ නොහැකි තරම් වූ හිංසා පීඩාවලට පසුව ලැබුණ මරණය පමණයි. කඳවුරු තුල ඉක්මනින් මරණයට පත්වෙන අය සලකනු ලැබුවේ වාසනාවන්තයන් ලෙසයි.
මේ කාලය තුල යුදෙව් ජාතිකයන් අවම වශයෙන් මිලියන 6ක් පමණ ඝාතනය කෙරෙන්නට ඇතැයි සැලකෙනවා. යුදෙව්වන්ට අමතරව, පිරිසිදු ආර්යයන් ලෙස නොසැලකූ අහිකුණ්ඨකයින්, වෙනත් ජාතීන්ට අයත් වූවන් (උදා: රුසියානුවන්, පෝලන්ත ජාතිකයන්), විරුද්ධ මතධාරීන්, සමරිසි පුද්ගලයන් ආදී ලෙස වර්ග කරනු ලැබූ තවත් මිලියන කිහිපයක් පමණ වූ ජනතාවක් නාසි හමුදා විසින් ඝාතනය කර ඇති බවට වාර්තා පවතිනවා.
මිත්‍ර හමුදාවන් විසින් ජර්මනිය පරාජය කිරීමෙන් පසු අවසන් වූ සංහාරයෙන් අනතුරුව 700,000ක් පමණ වූ යුදෙව් ජනතාව ඊශ්‍රායලය බලා ගිය බවත් සඳහන් වෙනවා.
ඉහත තුන හැරුණු විට බොස්නියාවේ, රුවන්ඩාවේ, කාම්බෝජයේ සිදුවූ ජනසංහාර 20 වන සියවසේ සිදුවූ අනෙකුත් ජනසංහාරයන් ලෙස ලෝකය විසින් පිළිගෙන තිබෙනවා. ඒවා ගැන තොරතුරු ඉදිරි ලිපියකින් ඔබ වෙත ගෙන ඒමටයි අප බලාපොරොත්තු වෙන්නේ.
කවරයේ පින්තුරය: Rapahel Lemkin/රෆායල් ලෙම්කින්/Duke Magazine