මැණික්, දියමන්ති සහ රත්‍රන් වැනි දේට ඉතා ඉහළ වටිනාකමක් ලැබී ඇත්තේ ඒවායේ ඇති දුර්ලභ බව නිසා ය. ඒවා ලබා ගත හැකි ප්‍රදේශ ගණන ඉතා සීමිත වීම මෙන් ම ලබා ගැනීමට විශාල වියදමක් සහ පරිශ්‍රමයක් දැරීමට සිදු වීම වැනි හේතු නිසා සාමාන්‍ය ආදායමක් උපයන පුද්ගලයකුට දරාගත නොහැකි තරම් මිලක් මැණික් සහ දියමන්ති වැනි දේට ලැබී තිබේ.
ලොව ඇති වටිනාකමින් ඉතා ඉහළ දේ අතර එවැනි පාෂාණමය දේ පමණක් නොව ශාකසාර දේ ද තිබෙන බව ඔබ දැනටමත් දන්නවා විය හැක. මෙම ලිපිය ඉල්ලුමට සාපේක්ෂ ව සැපයුම ඉතා අවම මට්ටමක පවතින බැවින් ලොව මිල අධික නිෂ්පාදන අතර ප්‍රධාන තැනක් ගන්නා කුළුබඩු විශේෂයක් වන ‘කුංකුම’ පිළිබඳ යි.
ලොව තිබෙන මිල අධික ම කුළුබඩු විශේෂය ලෙස කුංකුම සැලැකේ. කුංකුම සකස් කරගන්නේ ‘සැෆ්‍රෝන් ක්‍රෝකස්’ නම් පැළෑටියේ හටගන්නා මල්වල රේණුවලිනි. එම මලක රේණු තුනක් පමණක් හටගන්නා බැවින් කුංකුම කිලෝග්‍රෑම් එකක් වැනි ප්‍රමාණයක් සකස් කරගැනීම සඳහා මල් ලක්ෂ ගණනක් අවශ්‍ය වේ. ඊට අමතර ව කුංකුම නිෂ්පාදනය සඳහා විශාල මිනිස් ශ්‍රමයක් යොදාගැනීමට සිදු වීම එහි මිල ඉහළ යාමට බලපා ඇති තවත් ප්‍රධාන හේතුවකි.
නිජබිම පිලිබඳ විවිධ මත
කුංකුම නිෂ්පාදනය සඳහා යොදා ගන්නා පැළෑටියේ නිජබිම පිළිබඳ විවිධ මත ඉදිරිපත් වී තිබේ. ඒ අතරින් බොහෝ දෙනෙක් පිළිගත් මතය වන්නේ එහි නිජබිම වර්තමාන ඉරානය යන්න යි. වර්තමානය වන විටත් ලොව වැඩියෙන් ම කුංකුම නිෂ්පාදනය කරන රටවල් අතර ඉරානය ඉදිරියෙන් ම සිටීම මෙම මතය නිර්මාණය වීමට හේතු වී තිබේ. මේ වන විට ලෝක කුංකුම නිෂ්පාදනයෙන් 90-93% ප්‍රමාණයක් සපයන රට වන්නේ ඉරානය යි. ඊට අමතර ව කුංකුම පැළෑටියේ නිජබිම ග්‍රීසිය සහ මෙසපොටේමියාව විය හැකි බවට ද මත ඉදිරිපත් වී තිබේ.
වගා කිරීම
වියළි කාලගුණයක් සහිත ප්‍රදේශවල කුංකුම වගා කිරීම වඩාත් පහසු ය. ඒවා ශීත කාලයටත් ඔරොත්තු දෙන අතර හිම පතනයට වුවත් දින කිහිපයක් දක්වා ඔරොත්තු දීමේ හැකියාවක් මෙම පැළෑටිවලට තිබේ. සෙවණ සහිත ප්‍රදේශවල කුංකුම පැළෑටි හොඳින් නොවැඩෙන අතර ඒවාට ඉතා හොඳින් සූර්යයාලෝකය අවශ්‍ය වේ.
කුංකුම වගා කරන බොහෝ රටවල වගා කටයුතු ආරම්භ කරන්නේ ජූනි මාසයේ දී ය. ඒ සඳහා සෙන්ටිමීටර් 7-15 අතර දිගින් යුතු අල භාවිත කෙරේ. ජූනි මාසයේ දී අල රෝපණය කළ පසු ඒවායේ මුල් ඇද පැළෑටිය වර්ධනය වීම ආරම්භ වන්නේ ඔක්තෝබර් සහ ඊළඟ වසරේ පෙබරවාරි අතර කාලයේ දී ය.
වර්තමානය වන විට කුංකුම වගා කරන ප්‍රධාන පෙළ රටවල් ලෙස ඉරානය, ස්පාඥ්ඥය, ඉන්දියාව, ග්‍රීසිය, ඇෆ්ගනිස්ථානය, ඉතාලිය සහ මොරොක්කෝව හැඳින්විය හැකි ය.
වගාකරුවන් මුහුණපාන ගැටලු
කුංකුම වගාව සඳහා මිලිමීටර් 1,000-1,500 අතර වාර්ෂික වර්ෂාපතනයක් අවශ්‍ය වේ. වර්ෂාපතනය නිසි පරිදි නොලැබෙන ප්‍රදේශයක නම් වගාවන්ට යෙදීමට ජලය ලබාගත හැකි මූලාශ්‍රයක් තිබීම අත්‍යවශ්‍ය වේ. කෙසේ වෙතත් පැළෑටිවල මල් හටගන්නා කාලයේ දී වැස්ස සහ ශීත කාලගුණය නිසා මල් අස්වැන්න අඩු වන අතර හටගන්නා මල්වලට විවිධ රෝග ද වැලඳේ. කුංකුම වගා කිරීමේ දී මුහුණපෑමට සිදුවන තවත් ප්‍රධාන ගැටලුවක් වන්නේ සතුන්ගෙන් සිදු වන හානිය ය. හාවුන්, මීයන් සහ විවිධ පක්ෂින්ගෙන් එම වගාවන්ට හානි සිදු වේ.
අස්වනු නෙළීම
කුංකුම මිල අධික ද්‍රව්‍යයක් වීම සඳහා බලපා ඇති ප්‍රධානත ම හේතුව අස්වනු නෙළීම සඳහා වැය වන විශාල ශ්‍රමය යි. සාමාන්‍යයෙන් කුංකුම කිලෝග්‍රෑම් එකක් නිෂ්පාදනය කිරීමට කුංකුම පැළෑටියේ හටගන්නා මල් රේණු 440,000ක් පමණ අවශ්‍ය වේ. එක මලක හටගන්නේ රේණු තුනක් පමණක් බැවින් කිලෝග්‍රෑම් එකක් සඳහා මල් 150,000ක අස්වැන්න අවශ්‍ය වේ. එම රේණු ප්‍රමාණය නෙළා ගැනීමට වැය වන පැය ගණන ආසන්න වශයෙන් 40කි. එක මලකින් නෙළා ගන්නා කුංකුම ග්‍රෑම් 30කට ආසන්න බරින් යුතු අතර එම ප්‍රමාණය වියළා ගත් පසු ග්‍රෑම් හතකට ආසන්න වේ.
කුංකුම වර්ග
උද්භිද විද්‍යාත්මක අතින් සහ නිෂ්පාදන ක්‍රියාවලිය හරහා එකිනෙකට වෙනස් ලක්ෂණවලින් යුතු කුංකුම නිෂ්පාදනය කරන අයුරු වර්තමානයේ දී දැකිය හැකි ය. වර්ණයෙන්, රසයෙන් සහ සුවඳින් එකිනෙකට වෙනස් කුංකුම විශේෂ මේ වන විට වෙළෙඳපොළ තුළ තිබේ. ඒ අනුව සාමාන්‍ය මෙරූන් පැහැති කුංකුමවලට අමතරව ළා රතු සහ කහ පැහැති කුංකුම ද වර්තමානයේ දැකිය හැකි ය. බොහෝ රටවල කුංකුම සඳහා වන ප්‍රමිතීන් සකස් කිරීම සහ අදාළ ශ්‍රේණිගත කිරීම් සිදු කරන්නේ රජය යි. ඒ අතරින් ප්‍රමිතියෙන් උසස් කුංකුමවල මිල ද ඉතා අධික වේ.
නිෂ්පාදනය
මේ වන විට සිදු කර ඇති සමීක්ෂණවලට අනුව ගෝලීය වශයෙන් වසරකට නිෂ්පාදනය කරන කුංකුම ප්‍රමාණය ටොන් 250ක් පමණ වේ. ඉන් 90-93% අතර ප්‍රමාණයක් ඉරානයේ නිෂ්පාදනය කෙරේ. පසුගිය දශක කිහිපය තුළ ග්‍රීසියේ සහ ඇෆ්ගනිස්ථානයේ කුංකුම නිෂ්පාදනය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. මොරොක්කෝව සහ ඉන්දියාව සුළු වශයෙන් කුංකුම වගා කරන රටවල් අතර වේ.
ඉතාලියේ දකුණු දිග ප්‍රදේශය ද කුංකුම නිෂ්පාදනයට සැලකිය යුතු දායකත්වයක් දක්වයි. ඕස්ට්‍රියාව, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, මධ්‍යම අප්‍රිකාව, චීනය, ඊජිප්තුව, ප්‍රංශය, ඊශ්‍රායලය, මෙක්සිකෝව, ස්වීඩනය, තුර්කිය, අමෙරිකා එක්සත් ජනපදය සහ නවසීලන්තය ද ඉතා සුළු වශයෙන් කුංකුම නිෂ්පාදනය කරන රටවල් අතර වේ. එම රටවල වාර්ෂික කුංකුම නිෂ්පාදනය කිලෝග්‍රෑම් කිහිපයක් පමණි.
ප්‍රයෝජන
අතීතයේ පටන් සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම, විශේෂයෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ එන ප්‍රතිකාර ක්‍රම සඳහා කුංකුම බොහෝ සෙයින් යොදාගනියි. ඊට අමතර ව ආහාරපාන සැකසීමේ දී වර්ණකයක් සහ කුළුබඩු විශේෂයක් ලෙස කුංකුමවලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.
පර්සියානු, ඉන්දියානු, අරාබි සහ යුරෝපීය ආහාර සැකසීමේ දී කුංකුම බහුල වශයෙන් යොදාගනු ලැබේ.
චීනය සහ ඉන්දියාව වැනි රටවල රෙදි වර්ණ ගැන්වීම සඳහා ද කුංකුම යොදා ගනියි. සුවඳ විලවුන් කර්මාන්තය සඳහා භාවිතා කරන මිල අධික අමුද්‍රව්‍යවලින් එකක් ලෙස ද කුංකුම හැඳින්විය හැකි ය.
මිල ගණන්
වර්තමානය වන විට කුංකුම කිලෝග්‍රෑම් එකක තොග සහ සිල්ලර මිල අමෙරිකන් ඩොලර් 1,100 සිට 11,000 දක්වා පරාසයක විහිදේ. 1970 දශකය වන විට බොහෝ බටහිර රටවල කුංකුම කිලෝග්‍රෑම් එකක මිළ ඩොලර් 2,200 ට ආසන්න වී තිබිණි. 2013 වර්ෂයේ දී ලබා ගත් දත්ත අනුව බොහෝ බටහිර රටවල අලෙවි කිරීමට ඇති ග්‍රෑම් 1.7ක් පමණ බරින් යුතු කුංකුම ප්‍රමාණයක් අඩංගු බෝතලයක මිල ඩොලර් 17කට ආසන්න වේ. එම රටවල කුංකුම කිලෝග්‍රෑම් එකක උපරිම සිල්ලර මිළ ඩොලර් 9,500 කි.
කෘත්‍රිම සහ තත්ත්වයෙන් බාල නිෂ්පාදන
කුංකුම සඳහා ඇති ඉතා ඉහළ ඉල්ලුම සහ ඒවායේ ඇති දුර්ලභ බව නිසා කෘත්‍රිම සහ බාල වර්ගයේ කුංකුම නිෂ්පාදනය අතීතයේ පටන් සිදු වේ. ඒ පිළිබඳ මුල්වරට තොරතුරු සඳහන් වන්නේ යුරෝපයේ මධ්‍යයතන යුගයේ දී ය. තත්ත්වයෙන් බාල කුංකුම නිෂ්පාදනයේ දී කුංකුමවලට සමාන වෙනත් ද්‍රව්‍යයක් සමඟ නියම කුංකුම ස්වල්පයක් පමණක් මිශ්‍ර කර අලෙවි කිරීම සිදු වේ.
ඒ සඳහා යොදා ගන්නා කුංකුමවලට සමාන වෙනත් දෑ ලෙස බිට්රුට් සහ දෙළුම් යුෂ භාවිත කර සකසා ගත් කෙඳි වර්ග සහ සේද කෙඳි හැඳින්විය හැකි ය. කුංකුමවල බර වැඩි කර ගැනීමේ අරමුණින් ඒවා මී පැණි හෝ එළවළු තෙල්වල ගිල්වා තැබීම ද තවත් එවැනි ක්‍රමයකි.
කුඩු කළ කුංකුම අලෙවි කරන පුද්ගලයන්ට බාල වර්ගයේ නිෂ්පාදන අලෙවි කිරීම ඉතාමත් පහසු වී තිබේ. ඔවුහු බොහෝ විට සැබෑ කුංකුම කුඩු ඉතා සුළු ප්‍රමාණයක් සමග කහකුඩු, මිරිස්කුඩු හෝ වෙනත් ඒ හා සමාන කුඩු වර්ග මිශ්‍ර කරති. ඊට අමතර ව ඉතා ඉහළ ප්‍රමිතියෙන් යුතු කාශ්මීරයේ නිෂ්පාදනය කරන කුංකුම ඉරානයේ නිෂ්පාදනය කරන බාල වර්ගයේ කුංකුම සමඟ මිශ්‍ර කිරීම ද සිදු වේ.
ලොව මිලෙන් වැඩිම කුළුබඩුව: කුංකුම ලිපියත් කියවන්න.