Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එක්සත් ජාතීන්ගේ පළමු ශ්‍රී ලාංකික නිත්‍ය නියෝජිතයා- ශ්‍රීමත් සෙනරත් ගුණවර්ධන

එක්සත් ජාතීන්ගේ සංවිධානය 1945 වසරේ ඔක්තෝම්බර් 24 වනදා ආරම්භ වෙනවා. මේ සඳහා මූලිකත්වය ගන්නේ එවකට එක්සත් ජනපද ජනාධිපති ෆ්‍රැන්ක්ලින් රූස්වෙල්ට්, බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් හා සෝවියට් නායක ජෝසප් ස්ටාලින් යන නායකයන් තිදෙනා යි. රටවල් අතර අන්‍යෝන්‍ය සහයෝගය වර්ධනය කිරීමත්, නැවත විනාශකාරී ලෝක යුද්ධයක් ඇති නොවන්නට වග බලා ගැනීමත් මෙහි මූලික අරමුණ වෙනවා.

1955 දෙසැම්බර් 14 වැනි දින තවත් රටවල් 9ක් සමග ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගන්නවා. ඒ සමයේ ලංකාවේ සිටි අගමැතිවරයා වන්නේ සර් ජෝන් කොතලාවල යි. ඉන්පසු අවුරුද්දේ එනම්, 1956 වසරේ ලංකාවේ රාජ්‍ය නායකයා ප්‍රථම වතාවට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව සඳහා සහභාගී වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රථම ලංකා නිත්‍ය නියෝජිතයා වන්නේ (Permanent Representative to United Nations) සර් සෙනරත් ගුණවර්ධන යි. ඔහු ඊට ප්‍රථම ඇමෙරිකා එක්සත් ජනපදයේ ලංකා තානාපතිවරයා වශයෙන් කටයුතු කරනවා.

සර් සෙනරත් ගුණවර්ධනගේ කුඩා කල ජීවිතය 

සෙනරත් ගුණවර්ධන දකුණේ, බණ්ඩාරනායක අගමැතිවරයා සමග 1956 එ.ජා මහා මණ්ඩල සමුළුවේ දී (one.un.org)

1899 වසරේ මාතර, නූපේ උපත ලබන සෙනරත් ගුණවර්ධනගේ පළමු නම වන්නේ සැම්සන් ගුණවර්ධන යි. පසුව ඔහු විසින් සිය නම රත්නකීර්ති සෙනරත් සේරසිංහ ගුණවර්ධන ලෙස වෙනස් කරගනු ලබනවා. පාසල් අධ්‍යාපනය හැදෑරීම සඳහා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළු වෙන ඔහුට පාසල් අධ්‍යාපනය සම්පුර්ණයෙන් ම හදාරා අවසන් කිරීමට සිදුවෙන්නේ නෑ. ඒ ඔහුගේ පියාගේ වියෝව හේතුවෙන්.

පසුව, මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ ගුරුවරයෙක් ලෙස සේවය කරනවා. ලන්ඩන් විභාගය සමත් වීමෙන් අනතුරුව ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස එහි ගුරු මණ්ඩලයට ඇතුළත් වෙනවා. පසු කාලයේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ පළමු විදුහල්පතිවරයා ලෙස පත් වන්නේ ද සෙනරත් ගුණවර්ධන යි.

පසුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිය පිළිබඳව හදාරන සෙනරත් ගුණවර්ධන, 1927 වසරේ දී අද්වකාත්වරයෙක් ලෙස සිය සේවය ආරම්භ කරනවා. අනතුරුව අපරාධ නීතිය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව සිය හැදැරීම් ප්‍රගුණ කරන සෙනරත් ගුණවර්ධන, සමස්ත ලංකා බෞද්ධ කොංග්‍රසයේ (All-Ceylon Buddhist Congress) ආරම්භක සභාපතිවරයා ලෙස පත් වෙනවා.

දේශපාලන ක්ෂේත්‍රයට ඇතුළත් වීම 

සෙනරත් ගුණවර්ධන- වමේ (akamaihd)

ලංකා ජාතික කොංග්‍රසය (Ceylon National Congress) තුළින් සිය දේශපාලන ගමන ආරම්භ කරන සෙනරත් ගුණවර්ධන, එම පක්ෂයේ ලේකම්වරයා ලෙස ද (1926–1932) කටයුතු කරනවා. 

වයස අවුරුදු 21ට වැඩි සියලුම ගැහැණු හා පිරිමි ලාංකික ජනතාවට ඡන්ද බලය ලබාදීම හෙවත් සර්වජන ඡන්ද බලය ලංකාවට ලබාදීම සඳහා වැඩ කටයුතු සුදානම් වන්නේ 1931 වසරේ දී යි. මෙහි දී ඡන්ද බලය ලබාදීමට පක්ෂව හා විපක්ෂව විවිධ මතවාද ඉදිරිපත් වෙනවා. මෙම අවස්ථාවේ දී සෙනරත් ගුණවර්ධන, සර්වජන ඡන්ද අයිතිය ලබාදීමට පක්ෂව විශාල කාර්යභාරයක් ඉටුකරනවා.

1936 වසරේ දී ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාවට (State Council of Ceylon) ඔහු තේරී පත්වෙනවා. ඒ, ගම්පොළ ඡන්ද කොට්ඨාසය නියෝජනය කරමින්. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ වැඩ බලන ඇමතිවරයෙක් ලෙස ද ඔහු 1936 වසරේ නොවැම්බර් මාසයේ සිට  කටයුතු කරනවා. 

රාජ්‍ය තාන්ත්‍රික සේවයට හා එක්සත් ජාතීන්ගේ සංවිධානයට 

නිව්යෝක් හි පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානය (assettype)

1949 වසරේ දී සෙනරත් ගුණවර්ධන ඉතාලියේ ලංකා තානාපතිවරයා ලෙස පත් වෙනවා. අනතුරුව, 1954 වසරේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ ලංකා තානාපතිවරයා බවට පත් වන්නේත් සෙනරත් ගුණවර්ධන යි. 1955 දී ලංකාව නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය හා සම්බන්ධව කටයුතු කළ පළමු නියෝජිතයා බවට පත් වීමට සෙනරත් ගුණවර්ධනට හැකියාව ලැබෙනවා. 1958 වසර දක්වා ඔහු සිය ධූරයේ කටයුතු කරනවා. 1963 වසරේ දී නැවතත් එක්සත් ජාතීන්ගේ ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස ඔහු පත් වෙනවා. එවර 1965 වසර දක්වා ඔහු එම ධූරයේ කටයුතු කරනවා.

මෙම කාල සිමාවේ දී ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් DC හි වාසය කරන අතර, එහි දී ඔහු විසින් වොෂින්ටන් DC හි බෞද්ධ මධ්‍යස්ථානය (Buddhist Centre in Washington) ආරම්භ කරනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ලංකාවේ සිය කටයුතු ආරම්භ කරන්නේ 1952 වසරේ දී යි. ඉන් වසර තුනකට පසුව යි ලංකාව එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබාගත් රටක් බවට පත් වෙන්නේ. එනම්, 1955 දෙසැම්බර් 14 වන දින ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාමාජික රටක් ලෙස ඔවුන් විසින් පිළිගනු ලබනවා. 

“එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයා” එක්සත් ජාතීන් නියෝජනය කරන මෙරට ප්‍රමුඛතම රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයා වන අතර, එක්සත් ජාතීන් වෙනුවෙන් මෙරට මෙහෙවර භාරව සිටින්නේ එම නියෝජිතයා යි. නිත්‍ය නියෝජිත තනතුර තානාපතිවරයකුට සමාන වන අතර, ඔහුට හෝ ඇයට තානාපතිවරයෙකුගේ සියලුම අයිතිවාසිකම් හා වරප්‍රසාද හිමි වෙනවා. 

වර්තමානය වන විට කටයුතු කරන්නේ එක්සත් ජාතීන්ගේ 20 වන නිත්‍ය නියෝජිතයා යි. ඔහු, 2018 වසරේ සිට එම ධූරයේ කටයුතු කරන A.L.A. Azeez  යි.

මූලාශ්‍රයයන්

Lk.one.un.org

Un.org

Related Articles