සතර අපාය වැනි අපිරිසිදු මුඩුක්කු මුම්බයිි හි තවමත් ඇයි?

බොලිවුඩ් හි චිත්‍රපට ගීතවල එන සුන්දර උයන් වතු කෙත්වතු, ජල තලා, ලස්සන නගර දසුන් ආදිය ඉන්දියාවට පිවිසෙන්නකුට දැකගන්නට අමාරු ය. චිත්‍රපටි කර්මාන්තයේ මහ ගෙදර වැනි ඉන්දියාවේ මුම්බයි නගරයේම තවමත් සුවිසාල මුඩුක්කු පළාතකි. අහස් යාත්‍රාවකින් මුම්බයි කරා බසින විට කුඩා කුඩා පෙට්ටි ගෙවල් ලෙස මෙම මුම්බයි පළාතේ මුඩුක්කු සංකීර්ණ නෙත ගැටේ. විද්‍යා තාක්ෂණික අතින් දියුණු වී, අයිටී ගණිත මිණිත අංශයෙන් ලෝක තලයේ දක්ශයින් බිහිකළ දැවැන්ත රටකි ඉන්දියාව. එහෙත් ඉන්දියාවේ ප්‍රධානතම වාණිජ නගරයේ තවමත් මුඩුක්කු ය. ඒවායේ ජනතාව තවමත් අපිරිසිදු බවේ ඇලී ගැලී, දහසකුත් එකක් දුප්පත්කම හා බැදුනු සමාජ ප්‍රශ්ණ ගොඩක සිරවී සිටී. ඇත්තටම ඇයි තවමත් මෙහෙම?

freepressjournal.in

මුඩුක්කු පළාත සහ එහි විස්තර

මුම්බයි යනු මුහුදට ආසන්න නගරයකි. මුම්බයි නගරයේ විශාල කොටසක් ජල තලාවට නෙරා ගිය ගොඩබිමක් ආකාරයෙන් පවතී. එනිසා තනිකර ගොඩබිම් කලාපයක පිහිටි නගරයක මෙන් මුම්බයි නගරයට හතර අතට ව්‍යාප්ත වන්නට හැකියාවක් නැත. නගරයේ ආර්ථිකයෙන් කොටසක් කුඩා ඉඩකඩ තුළ කොටු වී තිබේ. මෙය සරලව ගතහොත් අපගේ යාපන අර්ධද්වීපය වැනි ය. එහි ද තුන්පසකින් ජලය තිබේ. යාපනය ලංකාවේ මහා ගොඩබිමට සම්බන්ධ වන්නේ A32 සහ A9 මාර්ග සහිත පටු තීරයන් ඔස්සේම පමණි. මුම්බයි හැඩය මෙආකාර නොවුනත් තත්ත්වය එසේම ය.

1900 මුල් කාලය වන විට මුම්බයි නගරයේ මේ ආකාරයේ කුඩා පැල්පත් නිවාස අඩු ය. එකල මුම්බයි මුඩුක්කු වාසී ජනතාව සියයට 1කටත් අඩු ය. ක්‍රම ක්‍රමයෙන් ජනතාව රැකියාවන් සහ වෙනත් අවශ්‍යතාවලට නගරයට විත් පදිංචි වන්නට විය. අද වන විට පැල්පත්වල වාසය කරන ජනතාව මිලියන 6.5කි. සරලව කිවහොත් අද වන විට සමස්ථ මුම්බයි නගර වාසීන්ගෙන් 55%ක් පැල්පත් ආශ්‍රිතව ජීවත් වේ. මේ පැල්පත් ඇති වපසරිය වර්ග කිලෝමීටර 36.45ක් පමණ වේ. දළ වශයෙන් සම්පූර්ණ කොළඹ නගරයම වැනි භූමිභාගයක් මුම්බයිිහි වෙන් වී ඇත්තේ මුඩුක්කු සහ පැල්පත් නිවාස සඳහා ය. සමස්ථ මුම්බයි නගරයෙන් පැල්පත් සඳහා වෙන් වී ඇති ප්‍රමාණය 12%කි. එය මුම්බයි නගරයේ ගොඩනැගිලි තැනිය හැකි ඉඩකඩම් ප්‍රමාණයෙන් හතරෙන් පංගුවකි.

පුද්ගලික අවශ්‍යතාවයන් පුද්ගලික නැති පැල්පත්වාසීන්

මුම්බයිහි බොහෝ තැන්වල සනීපාරක්ශාව අවම ය. එහිදී නාන්නේ, වැසිකිලි යන්නේ, පිරිසිදු වන්නේ පොදු අවකාශවල ය. කෑම උයන්නට සිද්ධ වී ඇත්තේ බොහෝවිට අපවිත්‍ර වටපිටාවක ය. ජලය සැපයෙන්නේ අධික මිල ගණන්වලට ය. කොටින්ම ඇතැම් නිවාස කොටස් තුළ මිනිසුන් සිටියත් ඔවුන් සිටින්නේ ඌරු කොටුවක ඌරන් සිටිනවාක් මෙන් තෙරපී වැතිරීගෙන ය. ඔවුන්ටම කියා පුද්ගලිකත්වය වෙන් කොට දැක්වූ දොරක් වත් ඔවුනගේ වාසස්ථානයට නොමැත.

ධරාවි මුඩුක්කු පැල්පත් නිවාස

ධරාවි පළාත දැනට ඉන්දියාවේ පමණක් නොව මුළුමහත් ආසියාවේම විශාලතම මුඩුක්කු පදාසය සේ සැලකේ. එහි පමණක් මිනිසුන් දශ ලක්ශයක් (මිලියනයක්) තරම් විශාල පිරිසක් වාසය කරයි. එහෙත් ඒ ධරාවි කුඩා බිමේ කුහුඹුවන් මෙන් වෙසෙන මිනිසුන් රුපියල් බිලියනයක් තරම් මුදලක් උපයන්නේ යැයි වාර්තාවල සටහන් වී තිබේ.

මුඩුක්කු පැල්පත් සහ ආර්ථිකය

lonelyplanet.com

අහසින් බැලූ විට කුඩා කුඩා සෙවිලි තහඩු ගොඩක් මෙන් දිස්වුණත් මෙම පැල්පත් තුළ ඇති අවකාශයන් වෙන් වී ඇති ආකාරය පුදුම සහගත ය. මෙහි එකකට එකක් පැල්පත් ප්‍රමාණයෙන් මෙන්ම ස්වභාවයෙන් ද වෙනස් ය. මෙම පැල්පත් පළාත් තුළ ද වඩාත් පිරිසිදුවට ඒවා පවත්වාගෙන යත පැති වේ. විවධ ජාතීන්ට, ආගම්වලට අයත් ජනයා විවිධ ආකාරයට මෙම පැල්පත් නිවාස තුළ ගොනු වී සිටියි. මෙම පැල්පත් තුළ සතුන් ඇතිකිරීම පවා ඇතැම් තැන්වල සිදු වේ. මුම්බයි පැල්පත් යනු එහි අරක්ගත් කර්මාන්තකරුවන්ට මහත් රුකුලකි. අඩු මිලට ලාබ ශ්‍රමය පැල්පත්වලින්ම උකහා ගන්නා ඔව්හු අඩු මිලට බඩු බාන්ඩ ආදිය නිපදවති. එදා පටන්ම මුම්බයි ධරාවි පළාත සම්භාන්ඩ, මැටි භාන්ඩ, රෙදි පිළි නිෂ්පාදන නිපදවීමට නම ගිය තැනක් වේ.

මෙම පැල්පත් භූමි භාගයන් තුළ මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවයන් වුව ද සපිරෙන්නේ නැති සතුන් මෙන් කූඩු කළ අවකාශයන් වුව ද, ඒ තුළ ගොඩනැගුනු ආර්ථිකමය, සමාජීය, ආගමික වටපිටාවන් ප්‍රබල ය. කම්කරු නීතිරීති, අවකාශය ගැන නීති රීති, කර්මාන්ත ශාලා ගැන රෙගුලාසි නොතැකෙන මුඩුක්කු පරිසරයේ ඇතැම් තැනෙක මධ්‍යම පරිමාණ ව්‍යාපාර කාර්මික කටයුතු පවා සිදුකෙරේ. මෙය නරක වැඩක් ලෙස දැකිය හැකි වුව ද මෙ ආකාරයටම චීනය වැනි ඇතැම් රටවල විශේෂ ආර්ථික කලාපයන් තුළ දී ශ්‍රමය සූරාකෑමට ලක් කරන්නේ ඇතැම්විට වැඩ නොකරනවාට හාම්පුතුන් විසින් ශාරීරික දඩුවම් පවා ලබා දෙමිනි. ඒ අතින් සිය ජීවන පරිසරයෙන් පිටතට නොයා ඒ තුළම වෙනමම සමාජ ආර්ථික පසුබිමක වාසය කරන මුම්බයි හි පැල්පත් වාසින් යනු වෙනමම සංකීර්ණ පද්ධතියකි.

මුඩුක්කු වෙනුවට මහල් නිවාස

maciejleszczynski.com

මෙම මුඩුක්කු නිවාස පිහිටා ඇති බිමේ තට්ටු ගණන් උසට මහල් නිවාස තනා ඒවායේ ජනයා පදිංචි කර, ඉන් පසු ඒ ඉතුරුවන ඉඩ වෙනත් පාර්ශවයන්ට වැඩිමිලට විකිණීම 1995 දී පටන් මුම්බයි හි අත්හදා බැලුනි. එහෙත් ජනයාගෙන් ඒ අලුත් නිවාස සංකීර්ණවලට එල්ල වූ ප්‍රතිරෝධය සුලුපටු නොවේ. සෑම මිනිසෙකුගේම අවශ්‍යතාවයන් සහ ඔවුන් වෙසෙන ඉඩකඩ සමාන නොවේ. තට්ටු බිල්ඩිමක අවකාශයක් වූ කලී කලින්ට වඩා හොඳට නිදාගැනීමේ පහසුව සනීපාරක්ශක පහසුව ඇති තැනක් විය හැකි ය. එහෙත් එය තුළින් ඒ පැල්පත් වාසියාගේ, මුඩුක්කු වාසියාගේ ජීවිනෝපායන්ට, ඔවුන් ජීවත් වූ වටපිටාවට අත් වන්නේ නරක දසාවකි. මිනිසුන් දහ පහලොස් දාහකට නම් ඇතැම්විට පැල්පත් මහල් නිවාස කොට, ඔවුන්ට නව රක්ෂා ලබාදීම ද සලකා බලන්නට හැකිය. එහෙත් මෙහිදී මිනිස්සු මිලියන 6කි. ඔවුන් පරිසරයෙන් ගැලවීම තුළ ඔවුන්ගේ ආර්ථිකය බංකොලොත් වෙයි නම්, එතැන දී ඒ ව්‍යාපෘතිය අසාර්ථක ය.

මුඩුක්කු නිවාස පැල්පත්වල කලින් කුඩා කර්මාන්ත තිබූ තැන්වලටත්, කලින් ඌරු කොටු තිබූ තැන්වලටත්, කලින් කුණු ප්‍රතිචක්‍රීකරණය කළ තැන්වලටත්, දැල් රෙදි ඇදුම් මැසූ තැන්වලටත් ආදී හැම තැනකටම නිවාස ව්‍යෘපෘති අවසානයේ ලැබෙන්නෙ මහල් නිවසක වෙන්කළ කුඩා නිවාස අවකාශයකි. එහෙත් එය ඒ ජනයාගේ අවශ්‍යතාවය සැපිරීමක් නොවේ.

මුඩුක්කු සවාරි

අප බොහෝදෙනා සිතන්නේ සංචාරකයින් වඩාත් ආස කරන්නේ ලක්ශන සුන්දර ස්ථාන නැරඹීමට බව ය. එහෙත් විදෙස් සංචාරකයෝ ඇතැමෙක් ඇතැම් දුක්ඛිත ජීවිත හා බැඳුනු අත්දැකීම් විඳගැනීමට ආශා කරති. එවැනි සංචාරකයින්ට මුම්බයිහි පැල්පත් ජීවිත විඳගැනීම සැලකිය යුතු විශාල අත්දැකීමකි. හරියට ශවර් එකක් වත් නැති තැනක බාල්දියෙන් නාමින්, අන් ජනයා කන බොන අපිරිසිදු හෝටලවලින් ඒවායෙන් කමින්, ඇඳක්යැ යි නමට කියන තැනෙක නිදා ගනිමින් මේ සංචාරකයෝ ඒ මුඩුක්කු ජීවිතය විඳගනිති. ඉන්දියාව යනු භාෂා සහ ආගම් සිය ගණනක් ඇති විවිධත්වයෙන් යුතු රටකි. මුම්බයිහි මේ ෆ්ලැට් අස්සේ සිටින මිනිසුන්ගේ මව් භාෂාවන් මෙන්ම ඔව්නගේ දෙවියන් ද එකිනෙකට වෙනස් ය. එබැවින් ඒ සංස්කාතික අවකාශය සත්‍ය ලෙසම නැරඹීමට ද සංචාරකයින්ට මේ මුම්බයි ෆ්ලැට්හි සවාරි යෑම උදව් වේ.

thisisplace.org

මුඩුක්කු පැල්පත් නැතිකිරීම

නිදහසින් පසු කාලයක් තිස්සේ නිවාසවලට නිවාස ව්‍යාපෘතිවලට සහ ඉඩකඩම්වලට සමාජවාදී න්‍යායය අනුව යමින් වැට බැඳීමත්, රජයෙන් ජනයාගේ නිවාස අවශ්‍යතාවය සපුරාලීමට නොහැකි වීමත් මුඩුක්කු ඇතිවීමට හේතු වී තිබේ. එසේම වර්ථමානයේ මුම්බයි හි බිහි වී තිබෙන අපාර්ට්මන්ට් හෙවත් සුඛෝපබෝගී මහල් නිවාස සංකීර්ණ නිසා සාමාන්‍ය මධ්‍යම පාන්තිකයින්ට මිල දී ගත නොහැකි තරම් ලෙස නිවාස මිල ඉහළ ගොස් තිබේ.

පැල්පත් ඉවත් කිරීම සිතන තරම් පහසු නැත. ඒ සදහා ව්‍යාපෘති රැසක් අතීතයේ පැන නැගුනු නමුත් මේ මිලියන ගණනක් වන ජනතාවගෙන් සියයට 1ටවත් ඒ හරහා මහල් නිවාස ලබාදීමට නොහැකි වී ඇත. මිලියන 6.5ක පැල්පත් වාසීන් යනු සැබැවින්ම රජයකට විශාල බරකි. එහෙත් ඒවායේ වෙසන ජනයා නගරයේ ආර්ථිකයට ඔවුන් අයහපත් අඩියේ සිට ද විශාල ප්‍රමාණයකින් දායක වෙති. පිටතින් බලන වඩාත් පිරිසිදු ශිෂ්ඨ ලෝකයාට මහා අරුමයක් වුවත් මේ මහා මුම්බයි මුඩුක්කු පැල්පත් වාසී ජීවිතය දශක ගණනාවක් තිස්සේ  ඒවායේ වසන ජනයාගේ සාමාන්‍ය ජීවිතය වී හමාර ය.

කවර් පොටෝව : wilsoncenter.org

Related Articles

Exit mobile version